කුළියාපිටියට ආ මහාචාර්ය ඒකකය කුරුණෑගලට ගෙනියන්නේ ඇයි? රජයට මුදල් නොමැතිනම් මහාචාර්ය ඒකකය ගොඩනගන්න මම කෝටි දෙකක් හොයල දෙනවා…

231

– රෝහල් කමිටුවේ අනුශාසක කුලියාපිටිය විද්‍යාවිනොද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ඇපලදෙනියේ සුමනසිරි හිමි

ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පක්ෂ මාරුව සිදුවන අවස්ථාවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති වෙනස් කිරීම් වල අහිතකර බලපෑම් අපි අත්වින්දෙමු. අත්විඳිමින් සිටින්නෙමු. එදවස ලංගම බස් රථවල ලාංඡනය කොළපාට වූයේත්, නිල්පාට වූයේත් පක්ෂයක් බලයට පත්වී පැය විසිහතරක් ගතවීමටත් පෙරය. ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ ජනරජ දිනය මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන අතර වසර සියයකට අධික කාලයක් ශ‍්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස ස්වෛරීභාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය මෙරටට හිමිවූ 1972 මැයි 22 දින සැමරීමද අහිමි කළේ දේශපාලන පිල් මාරුවේ රාජ්‍ය ප‍්‍රතිපත්ති වෙනස් කිරීම නිසාවෙනි. සුවසැරිය ගිලන්රථ සේවය මෙරටට ලබා දීමේදී එවකට විපක්ෂයේ සිටි ඇතැම් මන්ත‍්‍රීවරුන් බිල්ලන් මැව්වෝය. වර්තමානයේ එය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මැති ඇමැතිවරුන් පවා එය අගය කරති. මේ දේශපාලන කාසියේ දෙපැත්තේ ස්වභාවයයි.
 
 දශක හතකට වැඩි දේශපාලන ඉතිහාසයක් අපට තිබේ. ගතවූ කාල පරිච්ෙඡ්දය පුරාවටම රටේ ප‍්‍රධාන පක්ෂ වරින් වර බලයට පත්විය. එහෙත් පිල් මාරුවේදී දේශපාලන ප‍්‍රතිපත්ති වෙනස් වීමක් සිදු නොවීය. අදටත් එය ප‍්‍රබලව පවතී. රටේ පරිහානියට බලපාන එක් ප‍්‍රධාන සාධකයක් ලෙස එය හැඳින්විය හැකිය. දිනෙන් දින රට ආපස්සට ඇද දමන්නේ දේශපාලනඥයින්ගේ අමන තීන්දු තීරණ නිසාවෙන්ය. ජනතාවගේ සාධාරණ ඉල්ලීම්, ජන ඒකරාශි මායිම් නොකර ඉන් සිදු වන්නා වූ අනිසි ප‍්‍රතිඵල ජනතාවට අත්විඳීමට ඉඩහැර තම පටු අරමුණු ළ`ගා කර ගැනීමට දේශපාලනඥයින් කටයුතු කරති.
 
 ඊට කදිම නිදසුනකි කුලියාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපනය කිරීමට නියමිත මහාචාර්ය ඒකකය කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යෑමේ පවතින අරගලය.
 
 අනුබද්ධ විශ්වවිද්‍යාලයක් ලෙස 1991 වර්ෂයේ ආරම්භ කළ වයඹ විශ්වවිද්‍යාලය 1999 වසරේ ජාතික විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපනය කෙරිණි. වයඹ විශ්වවිද්‍යාලය කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය, පශුසම්පත් ධීවර හා පෝෂණ පීඨය, ව්‍යාපාර අධ්‍යයනය හා මූල්‍ය පීඨය, ව්‍යවහාරික විද්‍යාපීඨය, තාක්ෂණ පීඨය හා වෛද්‍ය පීඨය ඇතුළු විවිධ විෂය ධාරාවන් යටතේ උපාධි පිරිනමන පීඨ හයකින් සමන්විත විශ්වවිද්‍යාලයකි.
 
 මෙය පටන් ගන්නා කාලවකවානුවේදී විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව තිබුණද එවකට උද්ගත වූ ගැටලූ රාශියක් හේතුවෙන් එහි වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමට නොහැකි විය. මෙම තත්ත්වය හමුවේ පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මැදිහත්වීමෙන් 2016.02.19 වෙනි දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත‍්‍රයක් මගින් වෛද්‍ය පීඨයක් ස්ථාපනය කිරීමට කටයුතු කෙරුණි. පරිපාලන ගොඩනැගිල්ලක්, ප‍්‍රජා මධ්‍යස්ථානයක්, දෙමහල්
 ගොඩනැගිල්ලකින් සමන්විත පුස්තකාලයක්, ආසන පන්සීයකින් යුත් ශ‍්‍රවණාගාරයක්, සිසුන් හාරසීයකට පහසුකම් සැපයිය හැකි නේවාසිකාගාරයක්, කාර්ය මණ්ඩල නිල නිවාස , ගෘහස්ථ ක‍්‍රීඩාංගණයක්, ක‍්‍රීඩාපිටියක්, නවීන පහසුකම් වලින් යුත් දේශනශාලා ඇතුළු සියලූ පහසුකම් වලින් පරිපූර්ණ මෙම වෛද්‍ය පීඨය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 3029 කි. හරිත සංකල්පය මුල්කරගෙන ඉදිකළ මෙම පීඨය අද්විතීය නිර්මාණයකි.
 
 මේ අනුව 2018.2.10 වෙනි දින ප‍්‍රථම ශිෂ්‍ය කණ්ඩායම බඳවා ගැනීමට කටයුතු කෙරිණි. වයඹ පළාත් සභාව යටතේ තිබූ කුලියාපිටිය මූලික රෝහල 2018.10.26 දින මධ්‍යම රජයේ පවතින ශික්ෂණ රෝහලක් බවට පත්කිරීමට පියවර ගත්තේ වෛද්‍ය පීඨ සිසුනගේ සායනික පහසුකම් සැලසීම සඳහාය. 2017 වර්ෂයේ අපොස උසස් පෙළ සමත් සිසුන් 75ක්, 2018 වර්ෂයේ සිසුන් 75 ක් මේ වන විට පීඨයේ අධ්‍යයන කටයුතු පවත්වාගෙන යනු ලබයි. 2019 වසරේ සිසුන් 120 ක් බඳවා ගැනීමට නියමිතව ඇත. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ පුහුණුවීම් කටයුතු සිදු කරන සිසුන් වෙනුවෙන් පැමිණෙන මහාචාර්යවරුන්ගේ අධ්‍යයන හා ප‍්‍රායෝගික පරීක්ෂණ සිදු කරන මහාචාර්ය ඒකකයට, හදිසි අනතුරු වාට්ටු සංකීර්ණය හා වෛද්‍ය නිල නිවාස ස්ථාපනය කිරීම සඳහා මුල්ගල් තැබා ඇත්තේ 2019.08.31 වෙනි දිනය. මේ වන විට එය මුල්ගල් වලට පමණක් සීමා වී ඇත්තේ මෙම ඒකකය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කිරීම නිසා බව ජනතාව චෝදනා කරති. මේ හේතුවෙන් විශාල අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී ඇත. මෙම ඒකකය එම රෝහලේ ස්ථාපනය නොකර කුරුණෑගලට රැගෙන යෑමට කටයුතු කිරීම නිසා පසුගිය දින කීපය තුළ ප‍්‍රදේශයේ ජනතාව ඊට විරෝධය දැක්වූහ. මේ වන විට ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයක් පිහිටුවාලීමට තරම් එම කාර්ය දුරදිග ගොස් ඇත. සර්ව ආගමික නායකයින්, පක්ෂ පාට භේද නොබලා සර්වපාක්ෂිකයින්, වෙළඳ සංගම්, නීතිඥවරුන් ඇතුළු සියලූ පාර්ශව එකම වේදිකාවකට පැමිණීම විශේෂත්වයකි.
 
 සාමාන්‍යයෙන් උද්ඝෝෂණ, විරෝධතා රජයට එරෙහිව බොහෝ අවස්ථාවල පවත්වන්නේ විපක්ෂය හා ඊට සම්බන්ධ පාර්ශවයන් කීපයකි. එහෙත් ඉතිහාසයේ පළමු වතාවට මෙසේ සියලූ පාර්ශවයන් නියෝජනය කරමින් හඬක් නැගීමට කටයුතු කිරීමෙන් ගම්‍යවන්නේ කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දියුණුව වෙනුවෙන් අති විශාල ශක්තියක් නිර්මාණය වී ඇති බවයි.
 
 මේ සම්බන්ධව අදහස් විමසීමට සර්ව ආගමික නායකයින්, සර්වපාක්ෂ පාක්ෂිකයින් ඇතුළු විවිධ පාර්ශවයන් වෙත යෑමේදී ඔවුන් ඉතා සංවේදීව සිය අදහස් පළ කළේ කුලියාපිටිය නගර කේන්ද්‍ර කරගෙන පවතින ප‍්‍රදේශ පමණක් නොව පුත්තලම දිස්ත‍්‍රික්කය ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ජනතාවට අපහසුවකින් තොරව සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමට ඉතා හැකිවන බව ඒත්තු
 ගන්වමිනි.
 
 කුලියාපිටිය විද්‍යාවිනොද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ඇපලදෙනියේ සුමනසිරි හිමි-
 
 අපට තිබෙන ගැටලූව තමයි කුලියාපිටියෙ ශික්ෂණ රෝහලට අනුමත වෙලා සියලූම ප්ලෑන් හදලා ඇස්තමේන්තු හදලා සියලූ පහසුකම් ලබාදීමට මුල් ගල් තියලා මහාචාර්ය ඒකකය ඇතුළු ඒ අනිත් ගොඩනැගිලි පද්ධතිය නව රජය විසින් කුරුණෑගල රෝහලට ගෙනියන්ඩ ඕන කුලියාපිටිය රෝහලේ පහසුකම් නෑ කියලා පසුගිය දවසක පාර්ලිමේන්තුවේ දී සෞඛ්‍ය ඇමැතිතුමිය ප‍්‍රකාශයක් කළා. සෞඛ්‍ය ඇමැතිතුමිය මෙම ප‍්‍රකාශය සිදු කරන්නේ කුලියාපිටිය නියෝජනය කරන මන්ත‍්‍රී සමන්ප‍්‍රිය හේරත් මැතිතුමා මේ සම්බන්ධව පැන නැගී ඇති ප‍්‍රශ්න කීපයක් ගැන විමසීමක් සිදු කිරීමේදී එතුමා ඒ ප‍්‍රශ්න නගන්නේ මේ කුලියාපිටිය රෝහලේ ස්ථාපනය කිරීමට කටයුතු කරන මහාචාර්ය ඒකකය ජනාධිපතිවරණයෙන් පස්සේ වරින්වර කුරුණෑගල රෝහලට රැගෙන යෑමට කටයුතු කරන බවට ඇතිවූ මතවාදයක් නිසයි. ඊට පස්සේ අපි විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා කළත් එහිදී අපිට තේරුම් ගියා මේ මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙන යෑමට කටයුතු කරන බව. ඇත්තටම වෛද්‍ය විද්‍යාලය පිහිටලා තිබෙන්නේ මීට කිලෝමීටර් දෙකක් දුරින්. එතකොට මහාචාර්ය ඒකකයක් නැති වෛද්‍ය විද්‍යාලයක් කියන්නේ ගුරුවරු නැති ඉස්කෝලයක් වගේ සමන්ප‍්‍රිය හෙරත් මන්ත‍්‍රීතුමා මේ සම්බන්ධව අවස්ථා ගණනාවක ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් සමග සාකච්ඡා කළා මහාචාර්ය ඒකකය මෙහෙ රඳවා ගන්න. අපි කියන්නේ කුරුණෑගල රෝහල දැන් තියෙන තත්ත්වයට දියුණු වුණේ එක දවසින් ද ? එක දවසින් නොවෙයි. එතකොට මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ රෝහල් දෙක සංසන්දනය කරනවා. එහෙම නම් කුරුණෑගල රෝහලත් කොළඹ රෝහලත් සංසන්දනය කළොත් කොහොමද? කොළඹ රෝහලට මුළු ලංකාවෙම රෝගීන් යනවා. නමුත් කුරුණෑගලට එහෙම එන්නේ නෑ. ඒ නිසා මේක වැරදි අර්ථකථනයක්. ඒ නිසා අපි දකින්නේ ඔය මතවාද ඉදිරිපත් කරන්නෙ නැතුව පහසුකම් නොමැති නම් පහසුකම් ලබා දෙන්න කටයුතු කරන්න. මොකද වහලා තියන කඩවලට මිනිස්සු බඩු ගන්න යන්නෙ නෑ. කුලියාපිටිය, ගිරිඋල්ල, දඹදෙණිය ඒ වගේම හලාවත, නාත්තන්ඩිය මේ පැත්තෙන් හෙට්ටිපොළ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක රෝගීන් එනවා කුලියාපිටියට. හැබැයි එහෙත් අසාධ්‍ය රෝගීන් කොළඹට යනවා. එහෙම නැත්නම් කුරුණෑගලට යනවා මෙතන පහසුකම් නැති නිසා. අපි කියන්නේ රෝගීන් නැතුව යන්න නෑ මේ පහසුකම් ටික ලබාදුන්නොත්. රෝහල් කමිටුවේ අනුශාසක මම ඇතුළු දහ දෙනෙක් රෝහලේ ප‍්‍රශ්නය සඳහන් කරල ජනාධිපතිතුමාට අගමැතිතුමාට සහ අදාළ බලධාරීන්ට ලිපියක් යොමු කළා. අද විශාල මුදලක් වැය කරලා වෛද්‍ය පීඨයක් හදල තියෙනවා. අපි කියන්නේ මේ කුලියාපිටිය රෝහලේ මහාචාර්ය ඒකකය හදලා වෛද්‍ය සිසුන්ගේ අධ්‍යයන කටයුතු නිසියාකාරව පවත්වාගෙන යෑමට කටයුතු කරන්න. කුලියාපිටිය ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබා ගන්න අයිතියක් නැද්ද? අද මේ වෛද්‍ය සංගමය ප‍්‍රකාශ කරලා තියෙනවා කුලියාපිටිය වෛද්‍ය විද්‍යාලය සහ මහාචාර්ය ඒකකය කුරුණෑගලට රැගෙන ගොස් ඒ වෙනුවට අපිට පශු වෛද්‍ය ඒකකයක් ලබා දෙනවා කියලා. මේ පැත්තෙ හරක්ද නැත්නම් සත්තු ඉන්නව කියල හිතුවද? අපි ඒ වැඬේ කරන්න ඉඩ දෙන්නෙ නෑ. අපි විශාල ජනමතයක් ගොඩනගලා තියෙන්නේ. එහෙම වුණොත් රජය විශාල අපහසුතාවකට ඉදිරියේදී පත්වෙන්න වෙයි. අපි මේක රජය අපහසුතාවට පත්කරන්න සිදුකරන දෙයක් නෙවෙයි. අපි කරුණාවෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් අග‍්‍රාමාත්‍යවරයාගෙන් සහ සෞඛ්‍ය අංශවල සියලූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ ඒකකය රැගෙන යන්න එපා. කඹ ඇදලා මේක අවුල් කරන්න එපා. මේවට කමිටු පත් කර කර අදින්න එපා. අපි කියන්නේ මේ මහාචාර්ය ඒකකය සහ අදාළ ඒකක වලට මුල්ගල් තියපු එක හදන්න පටන් ගන්න. සමහර අය කියනවා මේ කොරෝනා ප‍්‍රශ්නය නිසා දැන් රජයට සල්ලි නෑ කියල. ඒ නිසා මෙය ඉදි කරන්න කටයුතු කරන්නෑ කියලා. හැබැයි මම අභියෝග කරනවා අපට මේ මහාචාර්ය ඒකකය ගොඩනගන්න මම රුපියල් කෝටි දෙකක් හොයල දෙනවා.
 
 කුලියාපිටිය කතරගම දේවාලයේ හින්දු පූජක ජෙයරාම් ෂර්මා –
 
 මේ ගමේ තමයි මම ඉපදුනේ. දිනෙන් දින දියුණු වෙන මේ කුලියාපිටියේ නගරයට වෛද්‍ය පීඨයක් ලැබීම ගැන අපි ගොඩක් සතුටු වුණා. අද ආගමික නායකයෝ වගේම පක්ෂ පාට නොබලා සියලූම දෙනා එකට පෙළ ගැහිලා. ඉතින් අපි ඉල්ලන්නේ සාධාරණයක් ඉෂ්ට කරන්න කියල.
 
 නියාස්දීන් මොහොමඞ් නියාස් මවුලවිතුමා- කුලියාපිටිය ප‍්‍රධාන මුස්ලිම් දේවස්ථානය ඇත්තටම මට දැන ගන්න ලැබුණා මේ රෝහලට ලැබීමට නියමිතව තිබුණ මහාචාර්ය ඒකකය අහිමි වෙනවා කියන එක. එය මගේ හිතට විශාල කනගාටුවක් දැනුනා. මොකද පහුගිය කාලයේ විශාල සංවර්ධනයක් කුලියාපිටිය නගරයෙ සිදුවුණා. රෝහල ඊට සමගාමීව සංවර්ධනය වීම ගැන අපට විශාල සතුටක් ඇති වුණා. මොකද මේ ප‍්‍රදේශයට පමණක් නොවෙයි විශාල ප‍්‍රදේශයක් ආවරණය කරගන්න පුළුවන් වීම අප කාටත් හොඳ දෙයක්. හැබැයි අපි මෙම ඒකකය ලබාගන්න විශාල ලෙස වෙහෙස මහන්සියක් දරනවා. අපි දන්නවා මහනුවර සිට පේරාදෙණියට තිබෙන්නේ කිලෝමීටර් 5ක දුරක්.
 
 රාජේෂ් කරුණාරත්න,කුලියාපිටිය ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ ප‍්‍රධාන සංවිධායක උපාලි වීරසිංහ,කුලියාපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කඩවලගෙදර මහතා,ඒ. එම්. ලක්ෂමන් අධිකාරි නගර සභා සභාපති, පොදු පෙරමුණ නාගරික මන්ත‍්‍රී සෝභිත තේනුවර මෙහිදි අදහස් දැක්විය.
 
 අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment