‘කූඩිති මරුවා’ ගොවිබිමට යයි

147

● තක්කාලි කූඩිත්තාගේ සතුරෙක් ගන්නෝරුවේ සිට ගොවි ගෙදරටම

● සතුරා ඉන්නේ අක්‍රියව කෝෂයක් ඇතුළේ

● සොයාගත්තේ අපේම පරිසරයෙන්

● පළිබෝධනාශක නෑ, පරිසර හිතකාමී ක්‍රමයක්

‘කූඩිති මරුවා’ ගොවිබිමට යයි

වගාවට විණකරන පළිබෝධකයන් මර්දනය කිරීමේ පිළිවෙත් අතර ජෛව පළිබෝධ මර්දනය මේ වනවිට වඩාත් ආරක්ෂිත ක්‍රමවේදයක් බවට පත්වෙමින් තිබේ. මේ මගින් කෙරෙන්නේ පළිබෝධකයාට සතුරුවෙන තවත් කෘමි සතෙක්ව ස්වාභාවික පරිසරයෙන්ම තෝරාගෙන විද්‍යාගාර තත්ත්වයන් යටතේ බෝකර, අනතුරුව වගාබිමට නිදහස් කර හැරීමයි. වැඩි ගහනයක් එක්වරම එසේ මුදාහැරිවිට පළිබෝධකයාට යන එන මං අහිමිවීම පුදුමයක් නොවේ. මෙම සිරිත වගාවකදී යොදාගත් පළමුවැන්නා බවට පත්වූයේ 1967 දී ඕලන්දයේ සිටි පිපිඤ්ඤා ගොවියෙක් වූ ජාන් කොපර්ට් නමැත්තාය. වගාවේ වෙසෙන රතු මකුළු මයිටාවා වෙනුවෙන් ඊට සතුරුවන තවත් මයිටාවෙක් සොයාගනිමින් තම පුතුන් දෙදෙනා වන පෝල් සහ පීටර් සමග කුඩා ආයතනයක් ඔහු පිහිටුවා ගත්තේ තම වගාව වෙනුවෙන් පමණක් සතුරු සතුන් බෝකිරීමට නොව අසල්වාසී ගොවීනටද ලබාදීමේ පරහිතකාමී අදහසද ඇතිවය. අද වනවිට මෙය පනස් වසරක්ද පසුකර ඇති ඕලන්දය පාදකව බිහිවූ කොපර්ට් ජෛව පද්ධති (Koppert Biological Systems) නම්වූ ව්‍යාපාරයකි. ලොවපුරා පිහිටි සහායක සමාගම් 30 කට වැඩි ගණනක් සමගින් 100 කට අධික රටවල් සංඛ්‍යාවක මේ වනවිට මෙය පැතිරී පිහිටයි. පළිබෝධකයන්ට සතුරුවන වගාවට හිතවත් කෘමීන්, පුෂ්ප පරාගනයට යොදාගත හැකි සතුන් යනාදිය බෝකරමින්ද, අවශ්‍ය අයට අලෙවි කරමින්ද ඔවුහු තම ව්‍යාපාරය කරගෙන යති.

මෙරට සුලභ එළවළු වගාවන් වන බටු, මිරිස්, තක්කාලි යනාදියට විනකරන කූඩිත්තා (මයිසස් පෙර්සිකේ Myzus persicae) ගැන නොදන්නා ගොවියෙක් නොමැති තරම්ය. හානිය වළක්වන්නට මෙතෙක් භාවිතයේ තිබුණේ කෘමිනාශකයි. ජෛව පළිබෝධනාශන පියවරක් වශයෙන් කූඩිත්තාට සතුරුවෙන තවත් කෘමියෙක් වන ඒෆිඩියස් අර්වි (Aphidius ervi) නමැත්තෙක් මෙරට වගාබිම් තුළින්ම සොයාගැනීමට ගන්නොරුවේ කෘමි විද්‍යාඥයෙක් මෙන්ම පැළෑටි සංරක්ෂණ සේවයේ ප්‍රධානියාද වන ප්‍රභාත් නිශාන්ත මහතාට හැකියාව ලැබී තිබේ.

‘කූඩිති මරුවා’ ගොවිබිමට යයි

“බෝග ශාක පත්‍ර පරීක්ෂා කිරීමේදී මට දැකගන්නට ලැබුනා මියගිය කූඩිත්තන්ගේ සිරුරු. මම ඒවා එකතුකරගෙන ඇවිත් විද්‍යාගාර කුටියක තියාගෙන සිටියදී එම සිරුරු බිඳගෙන වෙනත් කෘමියෙක් එලියට එනවා දුටුවා. එයා තමයි කූඩිත්තාගේ සතුරා. මම ඊළඟට කෙරුවේ මේ සතුරාව එකතුකරගෙන විද්‍යාගාරයේ ඇතිදැඩි කරමින් කූඩිත්තාට හානිකරන ආකාරය සොයා බැලීමයි.”

එසේ පවසන ප්‍රභාත් නිශාන්ත ප්‍රථමයෙන් කූඩිත්තන් බෝකර තිබෙන්නේ විද්‍යාගාර කුටියක සිටුවූ ගෝවා පැළ මතය. අනතුරුව ඉහත කී සතුරු කෘමියන්ව එයට දමා කූඩිත්තන් දමනය කෙසේ සිදුවන්නේදැයි විමසිල්ලෙන් බලා සිට ඇත. ඔහුගේ පර්යේෂණ සහකාර ඉසුරු දිසානායක මහතා එතැන් සිට සිදුවූ දෑ පවසන්නේ මෙසේය.

“ළපටි කූඩිත්තන් බිත්තරයෙන් එලියට ඇවිත් පරිනත වීමේදී ශිශු අවස්ථා කීපයක් පසුකරනවා. මේ සතුරු පරපෝෂිතයා කරන්නේ ඒ ශිශුවන්ගේ ඇඟ විදලා ඇතුළට බිත්තරයක් දාන එක. එතකොට සතුරාගේ පැටවා උපදින්නේ ශිශුවාගේ ඇඟ ඇතුළේ. කූඩිත්තාගේ ශිශු දේහය කා දමමින් තමයි එයා හැදෙන්නේ. අන්තිමට ශිශු දේහය ‘මමියක්’ බවට පත්වෙනවා. පසු අවස්ථාවක මේ ‘මමිය’ පලාගෙන පරපෝෂිතයා පිටවෙනවා.”

සොබාදහම මැවූ මෙම ක්‍රියාදාමය අපගේ ගොවිබිම්වලත් හොර රහසේම සිදුවන බවට කිසි සැකයක් නැත. එහෙත් එහි වේගය ආර්ථික ගොවිතැනකට ප්‍රමාණවත් නොවන බැවින් කූඩිත්තාගේ ජයග්‍රහණයත්, ඒ හරහා වගාවේ හානියත් අපට අත්විඳින්නට සිදුවී තිබේ. මෙම සතුරු කෘමියන් වැඩි වැඩියෙන් බෝකර වගාවට නිදහස්කිරීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් සකසන්නට නිශාන්ත ඇතුළු කණ්ඩායම තීරණය කරන්නේ මේ අනුවය.

‘කූඩිති මරුවා’ ගොවිබිමට යයි

“විද්‍යාගාරයේ වගා වලින් ගලවාගත්, පරපෝෂිතයින් සහිත ‘මමී’ අපි කාඩ්එකක ඇලෙව්වා. කාඩ් එකට ‘මමී’ 50 යි. “කූඩිති මරුවා” (Aphids Killer) කියලා මේ කාඩ්එකට නමකුත් දැම්මා. ගහේ ඇලිල තිබුණු පැත්ත යටට සිටින සේ තමයි ඇලෙව්වේ. ගොවිබිමට කාඩ් පෙට්ටියක් පහසුවෙන් යැවිය හැකි ක්‍රමවේදයක්ද හැදුවා. කාඩ්එකේ ඉහළ තිබෙන සිදුරකින් තක්කාලි වැනි ගසක එය පටලවා රඳවා තබන්න පුළුවන්. දැන් ‘මමී’ බිඳගෙන පිටවෙන පරපෝෂිතයින්ට වගාවේ සිටින කූඩිත්තන් අහුවෙනවා. කූඩිති පැටවුන්ගේ සිට සුහුඹුලන් දක්වා සියල්ලම ගොදුරු කරගන්නවා. එක බිත්තරය ගානේ ඔවුන්ගේ සිරුරු තුළට දමනවා. එක සතුරු කෘමියෙකුට පුළුවන් කූඩිත්තන් 200 දෙනකුට පමණ බිත්තරය බැගින් දැමීමට.”

නිශාන්ත මහතා පවසන පරිදි ඔවුන් නිර්මාණය කර තිබෙන පැකට්ටුව සිගරැට් පැකට්ටුවකට පෙනුමින් සමානය. දිග පළල පවා ඒ ආසන්නයේම තිබේ. එනම් සෙන්ටිමීටර් 13 ක් දිග 6.5 ක් පළල සහ 1.5 ක් ඝනකම පැකට්ටුවකි. ඒ තුළ තවත් පොලිතීන් ඇසුරුම් දෙකකි. එකක කූඩිති මරුවා කාඩ් 5 ක් බැගින් ඇත. කාඩ් එකක මමී 50 ක් අලවා තිබෙන නිසා මෙම පොලිතීන් ඇසුරුම තුළ තිබෙන මුළු මමී ගණන 250 කි. එනම් පැකට්ටුවේ මුළු මමී අන්තර්ගතය 500 කි. සුළු වගාවකට පැකට්ටුවක් ගෙන්වාගැනීම හොඳටම ප්‍රමාණවත්ය. කූඩිත්තන්ගේ ප්‍රහාරයක් තම එළවළු වගාවේ නිරීක්ෂණය වූ කල කීට විද්‍යාඥ නිශාන්ත මහතා අමතා (0718667990) ඇනවුම ලබාදීමට වගාකරුට හැකියාව තිබේ. පැකට්ටුව සඳහා අයකිරීමක් දැනට නොකෙරෙන නමුත් තැපැල් හෝ කුරියර් ගාස්තු ඇනවුම්කරු විසින් ගෙවා ලබාගන්නා ක්‍රමයට අදාළ කූඩිති මරුවා කාඩ් පැකට්ටුව උද්‍යාන බෝග පර්යේෂණායතනය විසින් එවනු ඇත. ප්‍රවාහන කාලය තුළදී එනම් දිනකීපයක් ඇතුළත අන්තර්ගතයට හානියක් නොවේ. එහෙත් වගාකරු විසින් කාඩ්පත් වගාවේ එල්ලීමට තවත් කල්ගතවේ නම් පැකට්ටුව ශීතකරණයක තබාගැනීම සුදුසුයයි පර්යේෂකයන්ගේ උපදේශයයි.

මේ වනවිට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහනුවර දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. ජී. එන්. සඳමාලි මහත්මියගේ මූලිකත්වයෙන් ගොවි ක්ෂේත්‍රවලත්, ආරක්ෂිත ගෘහ තුළත් මෙම කාඩ්පත් ඇසුරෙන් කූඩිත්තන් මර්දන ආදර්ශන පවත්වාගෙන යයි. කෘෂිරසායන ද්‍රව්‍ය නොමැතිව කෙරෙන මෙවැනි පරිසර හිතකාමී ක්‍රමවේදයන් භාවිත කරන්නේනම් අස්වැන්න නෙළීමට බලපාන පූර්ව අස්වැනු කාලසීමා හෝ තහංචි නැත. කූඩිති – පරපෝෂිත සටන සොබාදහමේ නියමයන්ට අනුකූලව කෙරෙන අතරතුරදී වගාව නිරුපද්‍රිතව පලබර වන්නේය.

● සනත් එම්. බණ්ඩාර
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment