කූරගලට යනවා නම් ගල්ටැම්යාය විහාරයටත් යන්න

228

වසර ගණනාවක් තිස්සේ බෞද්ධ ජනතාවට අහිමි වෙමින් පැවති කූරගල ඓතිහාසික ලෙන් විහාර සංකීර්ණය යළිත් වැඳුම් පිදුම් කිරීමට විවරව තිබේ. පොහොය දිනවල පමණක් නොව සෑම දිනකම පවා කූරගල වන්දනාවට යනෙන බොහෝ පිරිස් දැන් අපට දැක ගත හැකිය. ක්‍රි.පූ. දෙවනි සියවසේ පමණ සිට රහතුන් වහන්සේලා වැඩ සිටි කූරගල තපෝ වනය ලංකාවේ දක්ෂිණ වේදිකා පර්වත මොහොරය මත පිහිටි අතිශයින් වැදගත් සිද්ධස්ථානයකි. බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කොට සමන් දෙවිඳු ගේ ආරාධනයෙන් සමනල ගිරි ශිඛරයේ ශ්‍රී පාද සටහන තබා මදක් විවේක සුවයෙන් ගත කිරීමට වැඩමවන ලද දිවා ගුහාව පිහිටියේ කූරගල හිටුවන්ගල පාමුළ බව ජනප්‍රවාද ගතය. පණහේ දශකයේ දී මෙහි පැමිණි කෝට්ටේ රජමහා විහාරයේ සුසිලෝදයවීර පෙරමුණේ සාමාජිකයන් පිරිස මේ බැව් මුල් වරට ලොවට හෙළිකළහ. පසුව කොට්ටේ දේවානන්ද යනුවෙන් පැවිදි භාවයට පත් වූයේ සමන් දෙවිඳුන් සමග සෘජුව සම්බන්ධ වූ කුරුවිටගේ ප්‍රීමන් සිල්වා මහතාය. ආලෝකය ඇති ගුහාවක් දැක ගන්න. ගංගාවක් තරණය කරන්න. එවිට ඔබට දිවාගුහාව දැකගත හැකි යැයි එදා ප්‍රීමන් සිල්වා මහතාට සිහිනෙන් කී පුවත සැබෑවක් විය. බුදුන් වහන්සේ ප්‍රමුඛ පන්සීයක් රහතුන් වහන්සේලාට විවේක සුවය ලැබූ ස්ථානය හිටුවන්ගල දත්තගේ ගල්ලෙන බව තහවුරු විය. මේ බව පසු කාලයේ දී පූජ්‍ය වටද්දර ඤණිස්සර නායක හිමියන්ද තහවුරු කර ඇත.

මෙම දිවාගුහාව ශත වර්ෂ ගණනාවක් තිස්සේ සමන් දෙවිඳු විසින් ආරක්ෂා කළහ. ආලෝකය විහිදෙන කූරගල ගුහාව මෙන්ම සිරිපතුල් සටහන් ආරක්ෂා කළහ. මේ සිරිපතුල් ලාංඡන දෙකක් තිබුණු බවට බුදුගල සළකුණින් කියාපායි. කූරගල ගල්ලෙන් රහතුන් වහන්සේලාට පුදා එහි සෙල් ලිපි පිහිටුවා ඇත. බුදුගල පධාන ඝරයක් නිමවා වෘක්ෂ මූල ආරණ්‍ය පිහිටුවා මහ රහතුන් වහන්සේලාට පූජා කොට ඇත. ලංකා පබ්බතය යැයි අද හඳුන්වන වැලිපොත යායේ ගල්ලෙන් සංකීර්ණය පිහිටා තිබෙන්නේ කූරගල ආලෝක ගුහාවට සහ තපස් පිලට එක එල්ලේ පහළින්ය. එයද මහා රහතුන් වහන්සේලාට පූජා කොට තිබුණේ ක්‍රි. වර්ෂයෙන් පෙර සියවස් වලදීය. මෙලෙස බුදුන් වහන්සේ ගේ පාද ස්පර්ශයෙන් පවිත්‍ර වූ කූරගලට පැමිණි මහමදික සංචාරකයන් එහි තිබූ නටබුන් වූ නුවර යුගයට අයත් ලෙන් විහාරය දැක එහි නැවතී සිට සමනල කන්දට යා නොහැකිව එතැන් සිටම යාඥා කළහ. කල් යත්ම එහි පැලක් අටවා අයිතිය කියා පාන්නට විය. මහා සංඝාය වහන්සේලාට පිදූ ලෙන් ඔවුන්ගේ යැයි කියාපාමින් නඩු කියන්නට වූහ. වසර සියයක පමණ කාලයක් තිස්සේ බෞද්ධයන්ට නිදහස් කරගන්නට බැරි වූ කූරගල කතාව එයයි. ඒ කතාව දැන් නිමවී ඇත. 2022 වර්ෂයේ දී පූජ්‍ය වතුරකුඹුරේ ධම්රතන හිමියන් හට කූරගල පිළිබඳ පූජා භූමි පත්‍රය පිළිගන්වා නැවතත් බෞද්ධ අයිතිය පිළිගෙන තිබේ.

කූරගලට යනවා නම් ගල්ටැම්යාය විහාරයටත් යන්න

කූරගල පර්වත මොහොරයට අතීතයේ දී චන්ද්‍රගිරියයි කීහ. අටවක සඳක් මෙන්ව වක්‍රව තිබූ පර්වතයක් බැවින් එසේ කියන්නට ඇත. අනුරාධපුර යුගයේ දෙවන පෑතිස් රජ සමයේ ශ්‍රී මහා බෝධි ශාඛා බෙදන උත්සවයට රුහුණෙන් චන්දන ග්‍රාම ක්ෂ්ත්‍රියන් පැමිණි බව කියැවෙයි. චන්දන ග්‍රාමය නම් චන්ද්‍රගිරියෙන් විහිදුණු සඳ ගිරි රාජධානියයි. එදා රෝපණය කළ අෂ්ඨ ඵල බෝධිය අදටත් සඳ ගිරියේ නිරුපද්‍රිතව තිබේ. කූරගල වන්දනාවේ පැමිණෙන්නන් සඳගිරි බෝධිය වැඳ රජවක පාරෙන් පිටත්වන්නේ නම් වන්දනාව සම්පූර්ණ වනු නිසැකය.. චන්දන ග්‍රාමය සතුරු ආක්‍රමණ නිසා වල් බිහි වන කල්හි චන්ද්‍රගිරයේ කඳු සිඛරයන්ට මුවා වුණු ක්ෂ්ත්‍රියන් වර්තමාන තංජම පදිංචි වූහ. තංජම යනු චන්දන ගම බිඳුණු හැටිය.

නුවර යුගයේ දී තංජම බණ්ඩාර ගමක් විය. වලව් පහකට අයත් බණ්ඩාර පංගු එහි වී යැයි කියති. මුල්ගම කෝරාළට යටත්ව පාලනය වූ මේ තංජම වසම එගම පදිංචි මුදියන්සේට දුන් බවට ලියූ තුඩපතක්ද තිබේ. බළන්ගොඩ කල්තොට මහා මාවත සෑදීමෙන් පසු තංජමෙන් තැන්නට පැමිණි මේ පරපුරුවල වැසියන් කූරගල අවට පදිංචි වූහ. ගොවිතැනෙන් ගව පාලනයෙන් සශ්‍රීකව පැවති මේ පෙදෙස තුළ තවත් අපූරු පුදබිමක් වෙයි.

ඉඩම් නිරවුල් කිරීමේ නිලධාරීන් 1949 දී තංජම් තැන්නට පැමිණෙන විට මෙ පෙදෙස ඝන කැලෑවලින් වැසී ගිය මූකලානකි. ඔවුන්ගේ සටහන් අනුව කුරුදියවල මූකලාන නමින් පෙදෙසක් වෙයි. ගල් ටැම් යාය යනුවෙන් සටහන් වූ යාබද පෙදෙසක් ද වෙයි. ගල් කණු කොරවක් ගල් සඳකඩ පහන් පමණක් නොව විශාල පොකුණු කීපයක්ද මෙහි විය. ඉඩම් නිරවුල් කොට කට්ටි වෙන් කරන කල්හි මේවා ඉඩම් හිමියන්ගේ සන්තකයට පත් විය. ගල් ටැම් සහිත මෙපෙදෙස කූරගලට අයත් පැරණි කුරුදියවල විහාරය යනුවෙන් අපට හඳුනාගත හැකිය. ගල් ටැම් යායේ සිට කැපූ ගල් පඩි මතින් දිවෙන පැරණි කූරගල මාර්ගය අද වල්බිව ගොසින්ය.

කූරගලට යනවා නම් ගල්ටැම්යාය විහාරයටත් යන්න

අනුරාධපුර විහාර සංකීර්ණ අතර පංචාවාස විහාර සම්ප්‍රදාය බෙහෙවින්ම ප්‍රකට වෙයි. වාස්තු විද්‍යා ශාස්ත්‍රය අනුව රහතුන් වහන්සේලා ගේ විවිධ අවස්ථාවන් සඳහා යෝග්‍ය ලෙසින් තනවන ලද පංචාවාසයක් කූරගලටත් හිමි විය. අනුරාධපුර යුගයේ පසු භාගයේ ඉදිකරන ලද මේ පංචාවාස ගොඩනැඟිලි කාලයක් වනගතව තිබී අක්කර දෙකක පමණ පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් විය. 1960 ගණන්වලදී පූජ්‍ය බද්දේගම විමලවංශ නාහිමියන්ගේ මූලිකත්වයෙන් මෙහි විහාරස්ථානයක්ද ඉදිවිය. මේ කාලයේ පංචාවාසයට නුදුරින් පිහිටි ඉපැරණි බෝධීන් වහන්සේ වන්දනාමාන කරමින් විහාරස්ථානයේ කටයුතු සිදු වුණද 1971 දී කූරගල පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් වීමෙන් පසු ගල්ටැම් යායත් බුදුගලත් රක්ෂිත බවට පත් කිරීමට කටයුතු යෙදී තිබේ.

කූරගල ප්‍රාග් මානවයාගේ වාසස්ථානයක් වුවද ක්‍රි.ව. 1-6 අතර කාලයේ දී ගිරිගුහා පබ්බත ආරණ්‍ය සේනාසනයක් වෙයි. ආචාර්ය දයානන්ද බිනරගම මහතා සඳහන් කරන පරිදි ආරණ්‍ය සේනාසන හඳුන්වන ලද්දේ නගරද්වාරයෙන් හා ග්‍රාමයෙන් පිටත වූ වන ගත පෙදෙස් විලසය. සූත්‍ර පිටකයෙහි සඳහන් පරිදි ග්‍රාමයෙන් පිටත දුණු පන්සීයක් ගිය තැන ආරණ්‍ය සේනාසන වූ බව දක්වයි. ක්‍රි. ව. 7-10 සියවස් අතර කාලයේ දී වර්ධනය වූ පංචායතන පිරිවෙන් හා පධාන ඝර පිරිවෙන් යනුවෙන් තවත් ආරණ්‍ය සේනාසන දෙවර්ගයක් වෙයි. ගල්ටැම් යායත් බුදුගලත් මේ ආරණ්‍ය සේනාසන දෙවර්ගයට අයත් වේ.

ගල් ටැම් යාය නටබුන් ස්ථානය 2006 වසරේ දී පමණ කැණීමකට ලක් කරන ලද අතර මෙහි ස්ථූපය තුළ කළ කැණීමෙන් සුවිශේෂ ගල් පෙට්ටියක් හමු වූ බව එහි සේවය කළ පිරිස් දක්වා ඇත. මේ ස්ථානය තවමත් කැණීම් අවසන් නැත. අක්කර දෙකක භූමිය ඉක්මවා විශාල නටබුන් කොටසක් විහිදී පවතින බව දැක්විය හැකිය. ගල් ටැම් යාය වැඳ පුදා ගත් කල්හි බුදුගල පධාන ඝරයත් බුදුගල රජමහ විහාරයත් දැක බලා ගැනීමට ළඟා විය හැකිය. එතැන් සිට කොට්ටිඹුල් වල රජමහා විහාරය දක්වා දිවෙන මහා මාර්ග පද්ධතිය දෙපස පිහිටි බොහෝ පුරාවිද්‍යා ස්ථාන වන්දනාකරුවන්ට මග හැරෙයි. පබ්බත ලෙන, ශොණ ගල්ගේ කිරිමකුල් ගොල්ල දියවින්න දේවගිරිලෙන යටිමල් කඩුව ලෙන කෙවලගල ගල්ගේ ලගිනගල ගල්ගේ නූල් කටින ගල ලෙන්දොර විහාර ලෙන වෙහෙර ගල ලෙන ඉන් කීපයකි. කූරගලින් පිටත් වන වන්දනාකරුවන් හට දවසක් නොව දවස් කීපයක්ම ගත කර නරඹන්නට මෙන්ම බණ භාවානාදියෙන් ගත කරන්නටද මේ රමණීය බිම් පෙදෙස ඉවහල් කර ගැනීම ඉතා වටනේය.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment