කූරගල අරගලයට පන්නරය ලැබුණු හැටි

3252

සපරගමු පළාතේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන තන්ජන්තැන්න කඩ මණ්ඩිය ළඟින් හැරී කි.මීටරයක් පමණ ගමන් කරනවිට හමුවන කූරගල පර්වතය බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් පුදබිමකි. කටාරම් කෙටූ ගිරි ලෙන් දහතුනකින් පමණ සමන්විත මෙම පර්වතය හිටුවන්ගල කූරගල ලැගුම්ගල සහ ඉබ්බන්ගල යනුවෙන් පර්වත ශිඛර හතරකින් සමන්විතය. මෙම ගල්ලෙන්වල කටාරමට යටින් තිබූ ලෙන් ලිපි තුනක් අපට හමුවෙයි. සද්ධර්මාලංකාර කතා වස්තුවේ එන වත්ථුල පබ්බත කතා වස්තුවේ හැටියට බැමිණිතියා සාය සමයේ කුහරගල විසූ එක් සැදැහැවත් උපාසකයකු සහ උපාසිකාවක විසින් කරකොළ සකසා දානය දීමට කළ අධිෂ්ඨානයෙන් පසු කරගස පණුවන්ගේ හානියට ලක් වීමෙන් කළ හැකි දෙයක් නැති තැන ශරීර මාංස කපා දානය දෙන්නට උත්සාහ කරන ලද්දේය. මේ අධිෂ්ඨානය සහ මොවුන්ගේ පින් බලයෙන් සක‍්‍රයා විසින් දානය සඳහා රත්හැල් සහ ගිතෙල් සපයන ලද්දේය. ඒ දානය පිළිගැන්වීමේ ආනිසංසයෙන් උපාසක දෙපළ දෙව්ලොව ජනිත විය.

කූරගල පර්වතය මුදුනේ තපස් පිළක් වෙයි. පෙර තපස්වරුන් බවුන් වැඩූ මේ ස්ථානයේ සිට පබ්බත පාමුළට ගමන් කළ හැකි උමං මඟක් තිබුණේ යැයි කියැවේ. මේ කුහරය නිසා කූහරේගල කූරගල යන නාමය ඇති වූයේ යැයි ජන ප‍්‍රවාදයේ පවතී. ඓතිහාසික ජනප‍්‍රවාදයන්ට අනුව කූරගල ගල මුදුනට බුදුන් වහන්සේ වැඩම කර තිබේ. සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල ගල මතුපිට මැණික් ගලක ශ‍්‍රීපාද සටහන තැබීමෙන් පසු සමන් දෙවියන් ගේ වාසභවන ලෙස සැලකෙන කූරගල පව්වට වැඩම කරන ලද්දේ පැරණි චන්ද්‍රගිරි රාජධානිය නොහොත් තන්ජම මෙහි පැවතුණු බැවිනි. පසුකාලයේ දී කූරගලත් කල්තොට නිම්නයේ පවතින බුදුගලත් යාවෙන පබ්බත ආරාම සංකීර්ණයක් ගොඩනැං වී තිබේ. කූරගල පර්වත දිගන්තයේ දක්නට ලැබෙන කටාරම් කෙටූ ගිරිගුහා ආරණ්‍ය මගින් ද බුදුගල දක්නට ලැබෙන ප‍්‍රධාන ඝර සංකීර්ණයේ නෂ්ටාවශේෂ මෙන්ම ගල්ටැම්යායේ පංචාවාස ගොඩනැඟිලි මගින් ද කියාපාන්නේ මේ ඓතිහාසික කතන්දරයයි.

කූරගල අරගලයට පන්නරය ලැබුණු හැටි

කූරගල ඓතිහාසික ආරණ්‍ය දහනවවන සියවස වනවිට වන ගතව තිබූ හුදකලා භූමියක් විය. අලි ඇතුන් කොටි වලසුන් ගේ අභය භූමියක් විය. නමුත් රුහුණේ සිට පැමිණෙන ප‍්‍රධාන ගමන් මාර්ගයක සමීපයේ පිහිටි බැවින් කූරගල කන්ද නැඟ බළන්ගොඩ ට පැමිණීමට පුරුදු වූ වෙළහෙළදාම් වල නියුතු පිරිසක් වූහ. ඔවුනතර තැනින් තැන රෙදි පිළි සහ මැණික් වෙළෙඳාමේ නියුක්ත මරක්කල පිරිසක් ද වූහ. බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත් වූ මෙරටේ විශේෂ වරප‍්‍රසාද ලත් පිරිසක් බවට පත් වූ බැවින් නීති විරෝධී වැඩ කිරීමට ද ඔවුහු පසුබට නොවූහ. කංසා තිප්පොළක් බවට පත් කරන ලද කූරගල පර්වත මුදුනේ ඔවුනගේ පැලක් අටවෙන්නේ මේ නීති විරෝධී කටයුතු පිණිසමය. වන සතුන් ගෙන් පිරි මේ අඩවියට මුලෑදෑනීන්ගේ පැමිණීම සීමා සහිත විය. නමුත් මේ අනවසර පැල ගැන ආරංචිය ලත් මුල්ගම කෝරාළ විසින් එය කඩා ඉවත් කර ලෙස 1923 දී පමණ කල්තොට ආරච්චිට නියෝග කරන ලද්දේය. පසුව 1930 දී මේ අනවසර මධ්‍යස්ථානය ගැන ඇති වූ ආරවුලකින් පසු බළන්ගොඩ වාසය කළ මරක්කලයන් විසින් මේ ස්ථානයේ ගල්ලෙනක් ආසන්නයේ යාඥා මඩුවක් අටවන ලද්දේ එහි දී මිය ගිය පුද්ගලයකු ගේ සොහොනක් ද ඇතිවය. කෙසේ වෙතත් එතැන් සිට මේ ඓතිහාසික සිද්ධස්ථානය අන්‍යාගමිකයන්ගේ ප‍්‍රධාන කඳවුරක් බවට පත් විය. ඓතිහාසික කූරගල ලෙන් විහාර සංකීර්ණය අත්පත් කරගෙන එහි පැවැති බුදු පිළිම සඳකඩ පහන් මෙන්ම ශ‍්‍රී පතුල ද කඩා බිඳ දැමීම ආරම්භ වන්නේ ඉන් පසුවය.

1939 වර්ෂයේ දී මුල්වරට පූජ්‍ය කිරිඇල්ලේ ඥානවිමල නාහිමියන් එහි වැඩම කළ අවස්ථාවේ දී තිබූ තත්ත්වය සබරගමුවේ පැරණි ලියවිලි සංග‍්‍රහයේ ඇතුළත් කර ඇත. පසුව සපරගමු දර්ශන කෘතියේ ද වැඩි විස්තර වශයෙන් සඳහන් කර තිබේ. මෙම ස්ථානය අන්‍යාගමිකයන් ගෙන් බේරා ගැනීමට උන්වහන්සේ උත්සාහ ගන්නා අවස්ථාවේ දී මුස්ලිම් පක්ෂය විසින් කළ එදිරිවාදුකම් පැහැදිලිව එහි දක්වා තිබේ. පුරාවිද්‍යා නිලධාරීන් සමග සෙල්ලිපි පිටපත් කිරීමට ගිය අවස්ථාවේ දී එයට ඉඩ නොදුන් ආකාරය ද උන්වහන්සේට එරෙහිව පොලිසියට පැමිණිලි කළ ආකාරය ද එහි ඇතුළත්ව ඇත. දේශයේ බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ප‍්‍රභූවරුන් ගේ කැපවීම නිසා කාලයකට පසු මේ ඓතිහාසික භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කරන ලද්දේ 1971 වර්ෂයේ දීය. නමුත් 1977 වර්ෂයෙන් පසු පළාතේ දේශපාලන අධිකාරිය ද මුස්ලිම් පක්ෂය නියෝජනය කළ බැවින් කූරගල පර්වතය නැවත බෞද්ධයන් වෙත නිදහස් කිරීම සිදු නොවීය. ඒ වෙනුවට සෑම වර්ෂයකම මේ ස්ථානයේ විශාල සත්ත්ව ඝාතනයක් සිදු වෙමින් අන්‍යාගමික උත්සව පැවැත්වීම නම් සිදු විය. එයට අමතරව දේශපාලන අධිකාරියේ මැදිහත් වීමෙන් කල්මුණේ වැසි පුද්ගලයන් රැසක් මෙහි පැමිණ අවට ගම්මානයක් පවා අටවා ගන්නට කටයුතු සිදු කර ඇත.

කූරගල අරගලයට පන්නරය ලැබුණු හැටි

මෙලෙස දිනෙන් දින අන්‍යාගමික බලය පැතිරෙන කල්හි පූජ්‍ය වටද්දර ඥානිස්සර ස්වාමීන් වහන්සේ මෙම ස්ථානයට පැමිණ ගල්ලෙන් ආශ‍්‍රිතව වැඩ වාසය කරන්නට වීම මේ අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් විය. අසූව දශකයේ දී මේ ස්ථානය නිදහස් කර ගැනීමේ සටන තවත් තීව‍්‍ර විය. සාකච්ඡා වට ගණනාවකින් පසු ආර්. පේ‍්‍රමදාස ජනපතිවරයා ගේ කාලයේ දී මුස්ලිම් පක්ෂය වෙත විකල්ප ඉඩම් ප‍්‍රදානය කරමින් කූරගල නිදහස් කර ගැනීමේ එකඟතාවක් ඇති විය. ඒ අනුව 1990 වසරේ මාර්තු මාසයේ දී හිටුවන්ගල පර්වත පාමුළ අක්කර විසිගණනක් භූමියක් තිස්අවුරුදු බදු පදනමින් ඔවුනට හිමි වූ නමුත් ගල්ලෙන් ආශ‍්‍රිතව සිදු වූ ඉදිකිරීම් කටයුතු නොනවත්වා සිදු විය. එයට හේතු වූයේ මෙම ස්ථානය රැකවල් කළ පුරාවිද්‍යා මුරකරුවන් විසින් මුස්ලිම් පක්ෂයට උදව් උපකාර කිරීමයි. කූරගල පර්වත නිම්නයේ කඩපිල් මෙන්ම ගල්ලෙන්වල බැඳි මුලූ තැන් ගෙවල් ගව ඝාතකාගාර සියල්ල ඉදිවන්නේ මේ සමයේ දීය.

මුස්ලිම් පක්ෂයට අක්කර විස්සක භූමියක් ලැබෙන විට පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමියන්ට ද අක්කර දහයක භූමියක් පර්වත පාමුළින් හිමි විය. ඒ ස්ථානයේ විහාරස්ථානයක් ඉදි වුව ද එය සංවර්ධනය වීමට මේ මුස්ලිම් ආක‍්‍රමණය බාධාවක් විය. අනතුරුව අනූව දශකයේ දී මේ කූරගල අරගලය උච්චස්ථානයකට පත් වීමෙන් පසුව නන් දෙසින් පැමිණි බෞද්ධ සැදැහැවතුන් කූරගල පර්වත මස්තකයේ පින්කම් කිරීම ආරම්භ කරන ලදී. අස්ගිරි විහාරයේ වර්තමාන ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප‍්‍රමුඛ පිරිසක් වටද්දර නාහිමියන් සමග සාකච්ඡා පවත්වා මෙම ස්ථානය බෞද්ධයන් වෙත නිදහස් කර ගැනීමේ අරගලය ආරම්භ වීමෙන් පසු මැදපෙරදිග හෙළ බිම සංවිධානයේ ආධාර උපකර සහිතව පහළ පන්සල ආශ‍්‍රිතව 2003 වර්ෂයේ දී නව විහාරස්ථානයක් ඉදි විය. ආචාර්ය දයානන්ද බිනරගම, රංජිත් අමරතුංග, හෙළවංශ වැනි දායකයන්ගේ අප‍්‍රතිහත ධෛර්ය ඊට හේතු විය. එම විහාරස්ථානය ඉදි කිරීමේ දී බළන්ගොඩ සිටි සිංහල දේශපාලකයන්ගේ ගෙරවීම්වලට පවා ලක් වීමට සිදු විය. ඉන්පසු මෙම අරගලය දිගින් දිගට ම ඇවිළී ගිය අතර ලක්වාසී බෞද්ධ සංවිධාන රැසක් මේ පර්වතය මස්තකය වෙත පැමිණි බව සිහිපත් කළ යුතුය. සිංහල රාවය බොදු බළසේනා සංවිධානය ජාතික හෙළ උරුමය රාවණා සවිය වැනි සංවිධාන එහි ප‍්‍රමුඛ විය. සිංහල රාවය සමග කල්තොට පොලිසිය ඇති කරගත් ගැටුම් නිමක් නැති විය. පොලිසිය මුස්ලිම් පක්ෂයට සහාය පළ කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේට තහනම් නියෝග පවා ගත් බව මෙහි දී සිහිපත් කළ යුතුය.

කූරගල අරගලයට පන්නරය ලැබුණු හැටි

මේ කාලයේ දී පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමියන් ගේ ශිෂ්‍යයකු බවට පත් වූ කොළොන්නේ ශාන්තවිජය ස්වාමීන් වහන්සේ විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එරෙහිව මානව හිමිකම් කොමිසමේ ඉදිරියේ පවරන ලද නඩුව නිසා හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා විසින් මුස්ලිම් පක්ෂයට එරෙහිව බළන්ගොඩ උසාවියේ නඩු පවරන ලද්දේය. මෙම නඩුවේ තීන්දුව වූයේ පුරාවිද්‍යා රක්ෂිතයේ පිහිටි අනවසර ඉදිකිරිම් සියල්ල ඉවත් කළ යුතු බවයි. නමුත් එවක තිබූ දේශපාලන බලපෑම් නිසා මේ කටයුත්ත නිසි පරිදි සිදු නොවීය. මේ කාලයේ ආරක්ෂක ලේකම් ධුරය දැරූ ගෝඨාභය රාජපක්ෂ මහතා වරක් මෙම ස්ථානයට පැමිණියේය. ඔහුගේ නියෝගය වූයේ නඩු තීන්දුව ප‍්‍රකාරව අනවසර ඉදි කිරීම් සියල්ල කඩා ඉවත් කරන ලෙසයි. ඒ අනුව සිවිල් ආරක්ෂක බළකායේ ද සහායෙන් අනවසර ඉදිකිරීම් දාහතක් ඉවත් කරනු ලැබීය. කූරගල පර්වතය අවට සත්ත්ව ඝාතනයද අන්‍යාගමික බලපෑම් ද තුනීව යන්නේ ඉන් අනතුරවයි. නමුත් 1930 දී පමණ ඉදි කරන්නට යෙදුණු ප‍්‍රධාන මුස්ලිම් යාඥා මඩුව තවමත් ඉවත් වී නොමැත. එහි අවට පුරාවිද්‍යාත්මක කැණීමකින් පසුව වසර අටදාහක් පමණ පැරණි මානව ඇටසැකිල්ලක් සොයා ගැනීමට හැකි විය. මරක්කලයන්ගේ ව්‍යාජ ඉතිහාසය සිඳ බිඳ දමන්නට මේ සොයා ගැනීම් මෙන්ම කූරගල අවට සිදු කරන ලද ගවේෂණයන් ද අතිශයින් ඉවහල් වූ බව කිව යුතුය.

මෙලෙස කූරගල නිදහස් කර ගැනීමේ අරගලය සිදු වෙමින් පැවැති සමයේ පූජ්‍ය වටද්දර ඥානිස්සර හිමියන්ගේ පූර්ණ ආශීර්වාදය ඇතිව අස්ගිරි පාර්ශ්වයේ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරත්න හිමියන්ට කූරගල ශ‍්‍රී පාද දිවාගුහා රජමහා විහාරයේ භාරකාරත්වය පවරා දෙන ලද්දේය. වර්තමාන සංවර්ධනය ඇරඹෙන්නේ එතැන් සිටයි. අන්‍යාගමික ඉදි කිරීම්වලින් නිදහස් කර ගත් කූරගල පර්වත මුදුනේ විශාල චෛත්‍යයක් ඉදි කිරීම ආරම්භ කරන ලද්දේ 2021 වසරේ දීය. පෙර දී මුස්ලිම් පක්ෂය විසින් කූරගලට නැඟීම සඳහා ගල්පඩි කපා මුස්ලිම් හැඩයට තොරණක් පවා ඉදි කර තිබුණි. එය මඟ හැර හිටුවන් ගල ආසන්යට ම මාර්ග පහසුකම් සලසා මේ සංවර්ධන කටයුතු ඇරඹෙන අතර 2022 ජනවාරි 16 වැනි දින ශාක්‍ය සිංහ අසදිස සුගත මහා සෑයේ ධාතු තැන්පත් කිරීම සිදු වන්නේ වත්මන් ජනපති තුමන් අතිනි. වන්දනාකරුවන් ගෙන් පිරී ගිය කූරගල පර්වතය එදින බුදුරැසින් බබළන්නට විය. විශාල පිරිසකට රැඳි සිටිය හැකි ධර්ම ශාලාවක් වන්දනාකරුවන්ට පහසුවෙන් කන්ද තරණය කිරීමට මාර්ග සහ දැවැන්ත සිංහ රූපයක් මේ වනවිට එහි ඉදි වෙයි. සැබැවින්ම එදා කූරගල ඓතිහාසික පුදබිම අන්‍යාගමිකයනගෙන් බේරා ගැනීමට සිටියේ අතලොස්සක් දෙනෙකි. සිංහල ජාතිවාදීන් ලෙස හංවඩුගසා මේ අරගලය දියාරු කිරීමට උත්සාහ කළ විද්‍යුත් මාධ්‍ය අද කූරගල මහ පින්කම තමන්ගේ මාධ්‍ය තුළ වාර්තා කරනුයේ මහත් ඉහළිනි. එදා කූරගල සටනට සිටියේ දිවයින පත‍්‍රය පමණකි. කෙසේවෙතත් පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ට මේ පුදබිම සංවර්ධනය කරලීමට ශක්තිය ලබා දුන් හමුදාපති ඇතුළු සිවිල් ආරක්ෂක බළකාය යුගයේ අති විශාල මෙහෙවරක් සිදු කරන බව කිව යුතුය. උතුරේ ඉදිවන පුදබිම් මෙන්ම නැඟෙනහිර දීඝවාපියට ද මේ සහාය නොමඳව පළවෙයි. තවමත් ඒ සහාය නොලැබී ඇත්තේ මුහුදු මහා විහාරයට පමණි. කෙසේ වෙතත් වර්තමානයේ කොතෙක් ප‍්‍රශ්න ගැටලූ තිබුණත් සිංහල බෞද්ධයන්ට සතුටු විය හැකි උදම් ඇනිය හැකි මහත් පින්කමක් වේ නම් ඒ කූරගල ආශ්චර්යන් බව කිවමනාය. ඒ අරගලය පිටිපස සිටි පිරිස අද ඉදිරියේ නොදැක්ක ද ඔවුන් සදා ජීවමාන වෙති.

කූරගල අරගලයට පන්නරය ලැබුණු හැටි

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment