කූරගල යළි පිබිදීම

40

බෞද්ධ ඉතිහාසයේ වැදගත්ම සිදුවීම් සිදු වී ඇත්තේ පොහොය දිනයන්හිදීය. එම නිසා පොහොය දිනය බෞද්ධයන්ට බෙහෙවින් වැදගත් වේ. අපට පමණක් නොව ලොව සිටින සියලූම බෞද්ධයන්ට පොහොය දිනය අතිශයින්ම වැදගත්ය. දුරුතු පොහොය ලංකාවාසී අපට ඉතාමත් වැදගත්ම පොහොයක් වන්නේ බුදුන් වහන්සේ මේ දිවයිනට පළමු වරට වැඩියේ දුරුතු පොහොය දිනයේ වන නිසාය. බුදුන්වහන්සේ මහියංගණයට වැඩම කොට යක්ෂ ගෝත‍්‍රිකයන්ට දහම් දෙසා විමුක්ති මාර්ගය හෙළි කිරීම ද මේ පොහෝ දා සිදු වූ තවත් වැදගත් සිදුවීමකි. බුදුරජුන්ගේ කේශ ධාතු නිධන් කිරීම මත දෙවියකු විසින් ඉදිකරන ලද ප‍්‍රථම දාගැබ වන්නේත් මහියංගණ දාගැබයි. ජාතියේ වංශ කථාවට මූලාරම්භය වැටුණු, ජාතියේ ප්‍රෞඪත්වයට හා දේශයේ උදාරත්වයට ස්වර්ණමය මාර්ගය උදාවුණු බුදු සිරිපා පහස ලබා පුණ්‍ය ක්ෂේත‍්‍රයක් බවට මේ හෙළ බිම පළමු වරට පත්වුණු දුරුතු පුන් පොහෝ දිනය සිංහල බෞද්ධයාගේ ආගමික හා ඓතිහාසික දිනයෙකි. සැලැස්මක් ඇතිව කාල සටහනක් ඇතිව කටයුතු කිරීමට ලෝකයෙහි පළමු වරට ඉගැන්වීම සිදු කළ ආගමික නායකයා බුදුරජාණන් වහන්සේ ය. පොහොය දින සම්මත වූයේ ද උපාසක උපාසිකාවනට එක් දිනයෙක එක් වේලාවෙක පන්සලට බැමිණ බුදුන් වැඳ බණ අසා යෑමේ පහසුව සඳහා ය. පොහොය ආගමික දින වශයෙන් කොතරම් දුරට තහවුරු වූවා දැයි කිවහොත් ශක‍්‍ර ආදී දෙවියන් පවා මනුෂ්‍යයන් පින් කරන හැටි බලන්නට පොහෙය දිනයන් හි මිනිස් ලොවට පැමිණෙන සැටි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

 මේ පොහොය දිනයේ කූරගල යළි පිබිදීම ගැන සටහනක් තැබිය යුතුය. නූතන බෞද්ධ ප‍්‍රබෝධයේ එක් වැදගත් පියවරක් ලෙස කූරගල පින්බිම ඉදිවීම දැක්විය හැක. බලංගොඩ කල්තොට පාරේ කිලෝමීටර් 23ක් දුර ගිය විට හමුවන තංජන්තැන්න සිට කිලෝමීටර් 3ක් ගිය විට හමුවන කූරගල පුදබිම මෑතදී බිහිවූ බෞද්ධ පුදබිමක් නොවේ. සෙල්ලිපි සහිත ලෙන්වලින් හා කටාරම් කොටන ලද ගල්ලෙන් සමූහයෙන් මෙම ස්ථානය එදා මහ රහතන් වැඩ සිටි උතුම් සුවිශේෂී පුණ්‍ය භූමියක් වියයුතුම බව පුරාවිද්‍යාඥයෝ හා මහ සඟරුවන පවසති. තවත් ජන ප‍්‍රවාදයක් අනුව කූරගල යනු බුදුරජාණන් වහන්සේ තුන්වැනි වරට මෙරටට වැඩම කළ අවස්ථාවේ දිවා විහරණය කළ ‘දිවා ගුහාව’ වීමට ද ඉඩ ඇත. වසර දෙදහසකට වඩා ඉතිහාසයක් ඇති මෙම පින්බිම පසුගිය කාලයේ බෞද්ධයන්ට අහිමි කර තිබිණි. නමුත් දැන් සියල්ල ආපසු හරවා තිබේ. බලන්ගොඩ ඓතිහාසික කූරගල ක`දු මුදුනේ ඉදිවෙන අඩි සියයක් පමණ උසකින් යුක්ත මහා සෑය ස`දහා මුල්ගල් තැබීමේ පුණ්‍යෝත්සවය පසුගිය වසරේ මැදින් පොහෝදා සිදු කෙරුණු අතර එහි ධාතු නිධානෝත්සව පිංකම ඊයේ අද සහ හෙට සිදු කෙරේ. සබරගමුවේ උසම චෛත්‍යය මෙය වේ. නෙල්ලිගල හාමුදුරුවෝ හෙවත් කූරගල පුදබිම නව පිබිදීමේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන හිමියෝය. වසර 1200කින් පසු ශ‍්‍රී ලංකාවේ ඉදිවන දැවැන්තම සර්ව සම්පූර්ණ විහාරාරාම සංකීර්ණය කූරගල ඉදිවේ. කෙටිම කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ ඉදිවූ දැවැන්තම බෞද්ධ පුදබිම ලෙස කූරගල ඉතිහාසගත වන බව වතුරකුඹුරේ ධම්මරතන නාහිමියෝ ප‍්‍රකාශ කර තිබිණි. ‘කූරගල යළි පිබිදීම’ ආරම්භ වූයේ පසුගිය වසරේ පෙබරවාරි හතරවැනිදාය. ලබන පෙබරවාරි 04 වැනිදා දිනයේ කූරගල ඉදිවෙන සුගත ශාක්‍ය මහා සෑය ජාතියට දායාද කෙරෙනු ඇත. මෙරට බෞද්ධයන් සියලූ දෙනාම හැකි පමණින් මේ මහ`ගු පුණ්‍යකර්මයට සහයෝගය දීම වැදගත්ය. මන්ද මේ කටයුත්ත ලෝක බෞද්ධ ඉතිහාසයට එක්වන බව සටහන් කළ හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment