කෘත්‍රිම වැදෑමහ සහ ගර්භාෂවලට නොමේරූ ළදරුවන්ගේ ජීවිත බේරා ගත හැකි නමුත්, ඒවා සම්බන්ධ මිනිස් අත්හදා බැලීම් ආරම්භ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු සදාචාරාත්මක කරුණු මොනවා ද?
එය මිනිස් ළදරුවන් ඔවුන්ගේ මව්වරුන්ගේ ගර්භාෂයෙන් ඉවතට ගෙන ඒ වෙනුවට දියර පිරවූ බහාලුම් (pods) තුළ වැඩීමට සලස්වන ආසාර්ථක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කතා වස්තුවක් ලෙස හැඟෙනවා විය හැකි ය. එහෙත්, එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියාවේ ෆිලඩෙල්ෆියා ළමා රෝහලේ (CHOP) විද්‍යාඥයින්, අතිශය නොමේරූ වීමේ අවදානමක් ඇති ළදරුවන් සඳහා අනුගමනය කිරීමට යෝජනා කරන්නේ නිසැකව ම එයයි.
ඔවුහු “කෘත්‍රිම ගර්භාෂයක්” ලෙස හෝ නිශ්චිතව සඳහන් කරන්නේ නම්, අලුත උපන් බිළිඳුන්ගේ වර්ධනය සඳහා බාහිර ගර්භාෂ පරිසරයක් (Extend) ලෙස සඳහන් කරන දේ නිර්මාණය කරමින් සිටිති. ගැබ් ගැනීමේ සිට උපත දක්වා කළලයක් වර්ධනය කිරීම Extend මගින් අදහස් නොකරයි. අවශ්‍ය වුවද එය කළ නොහැක්කකි. ඒ වෙනුවට, ඉන් තම ජීවිත කාලය පුරා ම ඇතිවිය හැකි සෞඛ්‍ය බලපෑම් රාශියකට මුහුණ දෙන, අතිශය නොමේරූ ළදරුවන්ගේ පැවැත්මේ අනුපාතය ඉහළ නැංවීම සඳහා උපකාර කිරීමට අදහස් කෙරේ. සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න ගැබ් ගැනීමක් සති 40ක් පමණ පවතින අතර, සති 37දී ළදරුවන් පූර්ණ ලෙස වැඩී ඇතැයි සැලකේ. කෙසේ වෙතත්, ඇතැම් අවස්ථාවලදී ගර්භණී සමයේදී සංකූලතා ඇති වන අතර එය ඉක්මන් දරු ප්‍රසූතියකට හේතු විය හැකි ය.
වාසනාවකට මෙන් පසුගිය දශක කිහිපය තුළ වෛද්‍ය විද්‍යාව අත් කර ගත් විශාල දියුණුවට ස්තූතිවන්ත වන්නට, බොහෝ නොමේරූ ළදරුවන්ගේ දිවි රැකෙන අතර ඉතා අඩු සංකූලතා සහිතව ඔවුහු රෝහලෙන් පිටව යති. ඉතා මෑතක ලබා ගත් දත්ත පෙන්නුම් කරන්නේ, දැඩි සත්කාර ලබා දෙන්නේ නම් සති 22දී උපදින බිළිඳුන්ගෙන් 30%ක් දිවි ගලවා ගන්නා බව ය. “අවංකවම, සති 28 සහ සති 27 දරුවෝ පවා සමස්තයක් ලෙස ගත්තා ම ඉතා හොඳින් ඉන්නවා,” කැන්සස් සිටි ළමා මර්සි රෝහලේ ළමා රෝග විශේෂඥවරියක වන ස්ටෙෆනි කුකෝරා පවසයි.
“ඇත්ත වශයෙන් ම සති 22 සිට 23 දක්වා උපත ලබන ළදරුවන්ගේ තත්ත්වය තමයි බරපතළ වෙන්න පුළුවන්. අපිට විශ්වාසයක් තියන්න බැහැ ඒ අයගේ ජීවන තත්ත්වය හොඳ එකක් වේවි ද කියලා.” වෛද්‍ය උපකාරය ඇතිව ගර්භාෂයෙන් පිටත ජීවත් විය හැකි කාලය අද්දර (සති 22 සිට 23 දක්වා) උපදින බිළිඳුන් දැඩි සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දෙති. මෙම ළදරුවන් උපතේදී රාත්තල් 2ට (ග්‍රෑම් 900) වඩා අඩු බරකින් යුක්ත වන අතර දැඩි වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව දරුවා ජීවත් කරවීමට තරම් හෘදය, පෙනහළු, ආහාර ජීර්ණ අවයව සහ මොළය වැනි තීරණාත්මක අවයව වර්ධනය වී නොමැත.