කෘත්‍රිම රා එතනෝල් ජාවාරමක්!

95

අවුරුද්දට බිලියන 145 ක් විනාශයි !

මාසයකට එක ඉන්ධන නැවකට ගෙවන්නට ඇති ණයට සමාන මුදල් ප්‍රමාණයක් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ වැරැද්ද නිසා අහිමි වන බවට පසුගියදා චෝදනාවක් එල්ල කළේ ද බලපත්‍රලාභී මත්පැන් අලෙවි කරන්නන්ගේ සංගමයයි. ඔවුන් කියන ආකාරයට දිනකට සුරාබදු දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂම වැඩපිළිවෙළ නිසා අහිමි වන බදු ආදායම රුපියල් කෝටි 40 කි. එනම් මිලියන 400 කි. එය වසරකට බැලුවහොත් රුපියල් බිලියන 146 කි. අද පවතින ඩෙලර් අනුපාතය සමඟ සසඳන කල ඩොලර් මිලියන 405 කි.

කොළඹ නෙලුම් කුලුන ඉදිකරන්නට වැය වී ඇත්තේ ඩොලර් මිලියන 104 කි. ඒ අනුව මේ මුදලේ තරම වටහා ගත හැකිය.

● භාණ්ඩාගාරයට මුදල් ලැබෙන හැටි

බලපත්‍ර ලාභී සුරාසල් හිමියන් පෙන්වා දුන්නේ එක කරුණකි. ඒ සුරාබදු දෙපාර්තමේන්තුවට එක දවසකට රුපියල් කෝටි 40ක් හෙවත් රුපියල් මිලියන හාරසියයක් පමණ අහිමි කර ගැනීමක් ගැනය. මෙම ආදායම් අහිමි වීම මූලිකව සිදුවන්නේ ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදනාගාර ඇතුළු මත්පැන් කර්මාන්තකරුවන් වෙත රා සැපයුම් කරන රා නිෂ්පාදකයන්ගෙන් බවට මෙම චෝදනාවෙන් කියවුණි. ඔවුන් ස්වාභාවික රා නිෂ්පාදනය සඳහා ලබා දී ඇති බලපත්‍රය අවභාවිත කරමින් ඊට අදාළ බදු ගණනයන් අබිබවමින් කෘත්‍රීම රා නිපදවා රජයට කිසිදු බදු ගෙවීමකින් තොරව අලෙවි කරන බවට වන චෝදනා කරති.

● රා නිෂ්පාදකයන් කරන්නේ කුමක්ද ?

මේ රා නිෂ්පාදකයන් කරන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීම වැදගත්ය.

ඔවුන්ට නීත්‍යනුකූලව බලපත්‍රයක් ලබා දී ඇත්තේ පොල් ගස් මැද පොල් රා ලබා ගැනීමටය. මේ පොල් රාවලින් කොටසක් රා ලෙසින්ම වෙළෙඳපොළට නිකුත් කරන අතර වැඩි කොටසක් යැවෙන්නේ මේ රටේ ඇති මත්පැන් නිෂ්පාදන ඉස්කාගාරවලටය. මෙම පොල් රාවලින් ලබා ගත් එතනෝල් එක් කිරීම අරක්කු නිෂ්පාදන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අංගයකි. එහෙත් දැනට ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ස්වාභාවික රා නිෂ්පාදනය ඔවුන්ට මෙම සැපයුම ලබාදීමට ප්‍රමාණවත් නැති බව පවසන්නේ එම රා නිෂ්පාදකයන් මය. මේ හේතුව නිසා ඔවුන් සීනි, යීස්ට් මිශ්‍රකර පැසවීමේ ක්‍රියාවලියක් හරහා මෙම රා ප්‍රමාණය වැඩි කර ගැනීමට පෙලඹී සිටිති. ගස් මැදීමේ බලපත්‍රය සහිත නිශ්චිත පොල් ගස් ප්‍රමාණයක් මෙම රා නිෂ්පාදකයන් සම්බන්ධයෙන් ලියාපදිංචි ව ඇති අතර මේ ගස්වලට සාපේක්ෂව ලැබෙන ලීටර ප්‍රමාණය පිළිබඳව අදහසක් ඇත. සාමාන්‍යයෙන් දිනකට මෙම එක් පොල් ගසකින් ලබා ගත හැකි තෙලිදිය ප්‍රමාණය ලීටර 1.5ක් පමණ වන අතර ඊට අනුපාතිකව ඔවුන්ට නීත්‍යනුකූලව නිපදවිය හැකි රා ප්‍රමාණයේද සීමාවක් ඇත. ඒ සඳහා සුරා බදු අය කිරීමේදීද ඊට අනුගත වූ ක්‍රමවේදයක් ද ඇත. මෙවැනි බලපත්‍ර ලාභී රා නිෂ්පාදකයන් සිටිනුයේ 32කි. ඔවුන් නිපදවන ස්වාභාවික පොල් රා මේ කර්මාන්තයේ ඉල්ලුම අනුව හැරෙන්නටවත් බැරි තරම්ය. මේ නිසා ඔවුහු නීති විරෝධී ලෙසින් මෙම කෘත්‍රිම රා නිපදවති.

ඒ බව මෙම නිෂ්පාදකයන් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා වෙත යවන ලද ලිපියකින් ද නිල වශයෙන් පිළිගෙන තිබේ.

මේ වනවිට විදේශ රටවලින් එතනෝල් ගෙන්වීම තහනම් කර ඇත. රටේ මත්පැන් නිෂ්පාදනයට අවශ්‍ය එතනෝල් කර්මාන්තයට එන්නේ කොහෙන්ද ඒ සඳහා උල්පතක් ලෙස දැනට භාවිත කරන්නේ මේ සීනි, යීස්ට් ලුනු ඇමෝනියා සහ යූරියා මෙන්ම කටුකම්බි බැටරි එක් කර හදන කෘත්‍රීම රාවලින් හදා ගන්නා එතනෝල්ය. ඇමැතිවරයා හමුවේ ලිඛිතව මෙවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බවට පිළිගන්නා රා නිෂ්පාදකයන් ඒ කරන්නේ මෙරට නීතියෙන් අනුමත නැති නීති විරෝධී මෙන්ම සෞඛ්‍යයට හිතකර නොවන අවදානම් නිෂ්පාදන පියවරකි. ඒ සඳහා ඔවුන් රටේ නීතියෙන් සම්මත නැති අසම්මත නීති විරෝධී ක්‍රියාදාමයක් අනුගමනය කරති.

● නීති විරෝධී නීතිය හමුවට

මේ රා පැසීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සඳහා පරණ බැටරි කටුකම්බි වැනි ද්‍රව්‍යයන්ද එක් කරන බවට විවිධ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුගිය කාලය තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ මාරවිල, කළුතර වැනි ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කරන ලද වැටලීම්වලදී ඔවුන්ට බලපත්‍ර සහිත පොල් ගස් ප්‍රමාණයට සාපේක්ෂව නිපදවිය හැකි රාවලට සාපේක්ෂව ලීටර තිස් දහසත් හැට දහසත් අතර ප්‍රමාණයක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. එම වැටලීම් පොලිසිය හෝ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරනු ලැබුව ද ඒවා අධිකරණයට ඉදිරිපත් කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවය. ඔවුන් කරන්නේ රා අනුමත ප්‍රමාණයට වඩා සන්තකයේ තබා ගැනීමේ “කාර්මික අපරාධයක්” ලෙස හුවා දක්වා අධිකරණයට ඉදිරිපත් නොකර සාපේක්ෂව අවම දඩයක් මත ඔවුන් නිදහස් කිරීමය. එය ඔවුන් අතර පවතින අන්‍යොන්‍ය ගනුදෙනුවක් හා සමාන ය. කොහොම වුණත් ඔවුන්ට දිගින් දිගටම දඩ ගෙවන්නට වන තරමට මෙවැනි වැටලීම් හැමදාම සිදුවන්නේ නැත. ඒවා සිදුවන්නේ අකලටය. මේ වංචනිකයන්ට ඇත්තේ මෙලෙස අකලට හසුවන අවස්ථාවකදී ඊට අදාළ සාපේක්ෂව සුළු දඩය ගෙවා ඔවුන්ගේ කෝටි ගණනක ජාවාරම දිගටම කරගෙන යාමය. ඒ අනුව මේ කර්මාන්තකරුවන් කරන්නේ යළිත් සුපුරුදු කෘත්‍රීම රා නිෂ්පාදනයට එළඹීමය. ඔවුන් බදු ගෙවන්නේ ඔවුන්ට බලපත්‍ර සහිත ගස් ප්‍රමාණයට වුවද ඔවුන් සාමාන්‍යයෙන් අනුමත ලීටර ප්‍රමාණයට වඩා ලක්ෂ දෙක තුනක්වත් අරක්කු නිෂ්පාදනාගාරවලට, රා ලෙස වෙළෙඳපොළට සහ විනාකිරි නිෂ්පාදනය වෙනුවෙන් යොදවති. මෙම කෘත්‍රිම රා සම්බන්ධයෙන් මේ වනවිට පිළිගත් රසායනාගාර වාර්තා ලබාගෙන ඇති අතර ඒවායේ අනුමත ප්‍රමාණයට වඩා ඇමෝනියා අඩංගු වන බවට අනාවරණය කරගෙන ඇත.

● අපට ඒ පිළිබඳව සවිස්තරව කතා කළ හැකිය.

මේ ප්‍රශ්නය සමාජය තුළ මෙන්ම රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව තුළ ද දැඩි ලෙස කතාබහට ලක්ව ඇත. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මේ පිළිබඳව බොහෝ දත්ත ඉදිරිපත් කරමින් රජයට මේ කෘත්‍රිම රා කර්මාන්තය නිසා රුපියල් බිලියන 80ක අලාභයක් සිදුවන බව පෙන්වා දී ඇත. එය එවකට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ද පිළිගෙන මේ පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන බවට පිළිගෙන ඇත.

● සුරාබදු දෙපාර්තමේන්තුවේ අවනීතිය

මෙලෙස කෘත්‍රීම රා නිපදවීමේ ක්‍රියාවලියක් සිදුවන බවත් එයින් බිලියන 80ක් නැතත් යම් මුදලක් අහිමි වන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව මේ වනවිට පිළිගෙන ඇත.

එදා රුපියල් බිලියන 80 ක් කී මේ මුදල් අහිමිවීම අද බලපත්‍ර ලාභී සුරාසල් හිමියන්ගේ ගණනයනට අනුව බිලියන 145ක් පමණ වී ඇත. නමුත් මේ අහිමි වන මුදල යළි හිමිකර ගැනීම මේ මොහොතේ කළ යුතුම කරුණක් ව ඇත. ඒවා හුදෙක් මෙවැනි ලිපි, මාධ්‍ය හමුවේ කතා සාප්පු බවට පමණක් පත් නොවීමට නම් විය යුත්තේ ඊට අදාළ නීති රීති වෙනස් වීමය. විශේෂයෙන් යල් පැන ගිය සුරා බදු පනත යාවත්කාලීන කිරීමය. මේවා එක රැයකින් සිදු කළ නොහැකි වුවද සති දෙක තුනකින් සිදු කළ හැකිය. අතාර්කික මුදල් මුද්‍රණය කිරීමට වඩා එවැනි පියවර සාධනීය වන්නේය. අනෙක මේ වනවිට වැටෙන්නට තැනක් නැති තැනට පත්ව ඇත. රටේ ආර්ථිකයට හුස්ම දෙන්නට එන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලට රාජ්‍ය ආදායම් වැඩි කර පෙන්වීමේ නව සැලසුම්වලට ඒවා ඇතුළු කළ හැකිය.

අප දකින ආකාරයට මේ පිළිබඳව මේ වනවිට යම් ප්‍රගතිශීලි පියවරක් ගෙන ඇත්නම් ඒ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කෝප්, කෝපා, රාජ්‍ය ගිණුම් කාරක සභාව වැනි කමිටුවලින් පමණි. සියලු පක්ෂ නියෝජිතත්වයෙන් පවතින මෙම පාර්ලිමේන්තු කමිටු තවදුරටත් බලවත් කිරීමත් ඒ හරහා මෙම නීති රීති සම්පාදනය වේගවත් සහ ශක්තිමත් කිරීමත් මේ අරාජික මොහොතේ මහජන නියෝජිතයන්ගේ සැලකිය යුතු කාර්ය භාරයක් බව අපේ වැටහීමයි. තවද මේ මොහොතේ ඩොලර් සොයමින් ලෝකයටම ණය වෙමින් පීර පීරා රටට මුදල් හොයන යාන්ත්‍රණයක් ගැන හීන මවන බලධාරීන්ට මේ අපතේ යන මිලියන බිලියන මුදල මේ මොහොතේ රන් ආකරයක් බඳුය. ඒ වග නොතේරීම රටේ අභාග්‍යය ය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment