කෘෂිකර්ම නිලධාරින් ජනපතිටත් බොරු කියලා

545

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවැම්බර් 17 වැනිදා අනුරාධපුරය බලා පිටත්ව ගියේ සඳහිරු සෑය විවෘත කිරීම, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් අනුරාධපුරයේ සංවිධානය කර තිබූ ආගමික උත්සව ආදී පුණ්‍යකර්ම රැසකට සහභාගි වන්නටය.

ඔහු එම දින කීපය අනුරාධපුර අවට විශේෂ ස්ථානවලට සහ යමින් එමින්, අනුරාධපුරයේ හිතවතුන් ආධාරකරුවන් හා විවිධ ආගමික නායකයන් හා ප‍්‍රභූන් හමුවෙමින් ඉතා සැහැල්ලූවෙන් හා විවේකයෙන් කාලය ගත කරනු ලැබුවේය. ඒ අතරතුර හැකි සෑම විටම මුදල් ඇමැති බැසිල් රාජපක්ෂට කතා කරමින් අයවැය හමුවේ ඇති ගැටලූ හා අභියෝග සාකච්ඡා කරන්නට ද අමතක නොකළේය.

ජනාධිපතිවරයා 20 වන සෙනසුරාදා උදේ අනුරාධපුරයේ සිට ගම්පොල බලා පැමිණියේය. ඒත් පැමිණීමට විශේෂ හේතුවක් තිබිණි. හේතුව වූයේ දිවංගත අග‍්‍රාමාත්‍ය දි මු ජයරත්නයන්ගේ දෙවර්ෂ පූර්ණ ගුණ සමරුව වෙනුවෙන් අම්බුළුවාව ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ සංවිධානය කර තිබූ විශේෂ ගුණ සමරු පුණ්‍යෝත්සවය යි. අම්බුළුවාව බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් දිමු ජයරත්න සමරුව නිරාවරණය කර ඊට පුෂ්පෝපහාර දක්වනු ලැබීය.

මෙම අවස්ථාවට ත්‍රෛනිකායික මහා සංඝරත්නය අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, මහින්දානන්ද අලූත්ගමගේ, ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, උදයන කිරිදුගොඩ ඇතුළු අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ද සහභාගි වී සිටියහ. පසුගිය සතියේ ජනාධිපතිවරයා ගේ වැඩි අවධානය යොමුව තිබුණේ පාර්ලිමේන්තුවේ අය-වැය විවාදයේ වැඩකටයුතු වලට ය. ඔහු නිතරම අයවැය විවාදවලට සවන් දෙමින් පාර්ලිමේන්තුවේ ඇතිවන තර්ක විතර්ක වලට අවධානය යොමු කරමින් සිටියා පමණක් නොව, එම වාද විවාදවලට සහභාගි වන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ගේ අදහස් උදහස් ද විමසමින් අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සිටියේය.

අවිවේකී ජනපති
උත්සව රැසක.

ජනාධිපතිවරයාට මෙම සතිය තුළ සහභාගි වන්නට තවත් උත්සව ගණනාවක් ද තිබිණි. මෙම 24 වෙනි බදාදා විවෘත කිරීමට නියමිතව තිබෙන අධිවේගී මාර්ගයට සම්බන්ධ කැලණි ගඟ හරහා සුවිශේෂී පාලම ‘‘කල්‍යාණි පිවිසුමේ” වැඩ කටයුතු ගැන ද ජනාධිපතිවරයා නිරීක්ෂණයෙන් සිටියේය. ඒත් සමග රට පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය, එම කාලගුණික තත්ත්වය මත රටේ බඩු මිල උච්චාවචනය, ආදී කරුණු කාරණා ගැන ද ජනාධිපතිවරයා ලොකු අවධානයකින් සිටියේය. අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන්ට වැඩ අධික දවසක් විය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන එදින ඡන්ද විමසීම ද පැවැත්වීමට නියමිත විය. පසුගිය දිනවල විදේශ සංචාරයක නිරතව සිටි නාමල් රාජපක්ෂ ඉකුත් සඳුදා නැවත මෙරටට පැමිණියේය. මෙරටට පැමිණි වහාම අමාත්‍යවරයා ගියේ කටුනායක ගුවන්තොටුපළ ආසන්නයේ ඇති ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ නිවසටයි.

ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ නිවසේදී මඳ වේලාවක් රැඳී සිටි අමාත්‍යවරයා නැවතත් උදේ 9.30 වන විට ගුවන්තොටුපළට පැමිණියේය. ඒ ගුවන්තොටුපොළේ පැවැත්වීමට නියමිතව තිබූ විශේෂ රැස්වීමකටයි. මෙම රැස්වීම සංවිධානය කර තිබුණේ ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා විසිනි. ගුවන්තොටුපළ තුළ පිහිටුවා ඇති සියලූම දෙපාර්තමේන්තුවල සහභාගිත්වයෙන් පොදු වැඩපිළිවෙළක් සකස් කිරීම මෙම රැස්වීමේ අරමුණ විය. ආගමන විගමන, රේගු, සෞඛ්‍යය ආදී සියලූම අංශ ප‍්‍රධානීන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.

‘‘නාමල් ඇමැතිතුමා එහෙනම් පටන් ගන්න”

‘‘ඔබතුමානේ විෂයභාර ඇමැතිතුමා. ඔබතුමාම පටන් ගන්න” නාමල් ඇමැතිවරයා කීය.

කොවිඞ් වසංගත තත්ත්වයත් සමග නව සාමාන්‍යකරණ තත්ත්වය යටතේ ගුවන්තොටුපළ කටයුතු පෙර පරිදි පවත්වාගෙන යෑම අපහසුය. පෙර නොතිබුණු යම් යම් දේ ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ ක‍්‍රියාත්මක කිරීමට සිදුව ඇත. මෙම රැස්වීම කැඳවා තිබුණේ ඒ පිළිබඳව පොදු තීරණය ගැනීමටයි.

‘‘මගී තදබදයක් නැති විදියට සෞඛ්‍යාරක්ෂිතව ගුවන්තොටුපළ කටයුතු පවත්වා ගෙන යන්න ඕනේ ” අමාත්‍යවරයා රැස්වීම කැඳවීමට හේතු පැහැදිලි කළේය.

‘‘ජනාධිපතිතුමා කියන්නෙත් ජනතාව අපහසුතාවට පත් නොවෙන විදියට කටයුතු කරන්න කියලා” නාමල් ඇමැතිවරයා ද කීවේය. එහිදී එක් එක් අංශවලට තිබුණු ප‍්‍රශ්න එකින් එක සාකච්ඡා කර ගුවන්තොටුපළ කටයුතු කාර්යක්‍ෂම කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.

එදින සවස අයවැය දෙවැනිවර කියවීමට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබිණි.

‘‘අපිට තව වෙලා ගන්න බැහැ. හවස අයවැය දෙවැනිවර කියවීමේ ඡන්දය” ප‍්‍රසන්න ඇමැතිවරයා රැස්වීම අතරතුර කීය.

‘‘ඔව්.ඔව්. ඒක ඇත්ත. තීරණ ගත්ත විදිහට වැඩ ටික කරගෙන යමු. සාමාන්‍යයෙන් තීරණ ගත්තට ක‍්‍රියාත්මක කරන කොටයි ප‍්‍රශ්න එන්නෙ. ඒ වෙලාවට එන ප‍්‍රශ්න විසඳගමු” නාමල් ඇමැතිවරයා ද ඒ අවස්ථාවේ සඳහන් කළේය. අමාත්‍යවරුන් දෙපළ කටුනායක ගුවන්තොටුපළේ සිට කෙළින්ම පැමිණියේ පාර්ලිමේන්තුවටයි.

අයවැය වැඩ අස්සේ
ප‍්‍රසන්න රණවීර

මේ අතරවාරයේ අඟහරුවාදා හවස කර්මාන්ත රාජ්‍ය ඇමැති ප‍්‍රසන්න රණවීර ගේ අමාත්‍යාංශයට අදාළ ජාතික ශිල්ප සභාව විසින් පවත්වනු ලබන උත්සවයක් ද බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල පරිශ‍්‍රයේ පැවැත්වීමට නියමිතව තිබිණි. ප‍්‍රසන්න රණවීරට ලොකු ප‍්‍රශ්නයක් වූයේ එදින හවස අයවැය සම්බන්ධ උණුසුම් විවාදය යෙදී තිබෙන අතරවාරයේ සිය කැබිනට් අමාත්‍යවරයා වන විමල් වීරවංශත් ජනමාධ්‍ය අමාත්‍යවරයා වන ඩලස් අලහප්පෙරුමත් යෞවන කටයුතු ක‍්‍රීඩා අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂත් උත්සවයට සහභාගි කරවා ගැනීම ය.

‘‘මේක කල්තියා යොදාගෙන තිබුණු වැඩක් හින්දා කල් දාන්නත් බැරිවුණා.” ප‍්‍රසන්න කීවේ නාමල් ඇමැතිවරයාට ය.

‘‘ඒකට කමක් නෑ. අයියා පිළිවෙළට වැඬේ හරි වෙලාවට ලෑස්ති කරන්න. මං එන්නම් වැඬේට. විමල් ඇමැතිතුමාත් ඒවි. ඩලස් ඇමැතිතුමාත් මොහොතකට හරි ඇවිල්ලා යාවි. බය වෙන්න එපා.”

නාමල් එසේ කියමින් ප‍්‍රසන්න රණවීරගේ බය තුනී කර හැරියේය. ජාතික ශිල්ප සභාව විසින් සූදානම් කර තිබූ උත්සවය නිසි වේලාවට ආරම්භ කර තිබුණෙන් ඇමැති විමල් ඇමැති ඩලස් සහ ඇමැති නාමල් යන තිදෙනාම හරි වෙලාවට සහභාගි වූහ. ජාතික ශිල්ප සභාවට සම්බන්ධ රට පුරාම විසිර පැතිර සිටින ශිල්පීන්ගේ තොරතුරු හා විස්තර ඇතුළත් වෙබ් අඩවියක් ද ආරාධිත අමුත්තන්ගේ අතින් මෙහිදී මෙහිදී ආරම්භ විය. ඇමැති ඩලස් අනෙක් දෙදෙනාට කලින් පිටත්ව ගියේ අයවැය විවාදයට සහභාගි වීමට තිබූ නිසාය. නාමල් සහ විමල් ද ප‍්‍රසන්න වෙනුවෙන් ඉටුකළ යුතුව තිබූ යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව පිටත්ව ගියේය. ඡන්දය විමසීමට මොහොතකට පෙර ප‍්‍රසන්න රණවීර ද පාර්ලිමේන්තු ගියේ එදින ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ඡන්දය ප‍්‍රකාශ කිරීම අනිවාර්ය කරුණක්ව තිබූ නිසා ය.

කාබනික ගොවිතැනට
ජනපතිට බොරු කියලා.

කෘෂිකර්ම නිලධාරින් ජනපතිටත් බොරු කියලා

මෙම අවස්ථාවේ තවත් තැනක ඉතා උණුසුම් රැස්වීම පැවැත්වෙමින් තිබිණි. එහි මුලසුන හොබවනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යි. ජනාධිපති ලේකම් කාර්යාලයේ කැබින්ට් ශාලාව තුළ මෙම රැස්වීම පවත්වන්නට නියමිතව තිබුණත් ඉඩකඩ මදි බැවින් අවසානයේ ප‍්‍රධාන ශාලාවේ රැස්වීම් ගන්නට ජනාධිපතිවරයා තීරණය කළේය. ඊට හේතුව එදින අමාත්‍යාංශය නිලධාරීන් පොහොර ලේකම් කාර්යාලයේ නිලධාරීන් හා පොහොර ගෙන්වන සමාගම්වල විවිධ මට්ටම්වල නිලධාරීන් ද යම් යම් පොහොර නිෂ්පාදකයෝ ද එම අවස්ථාවට පැමිණ සිටි නිසාය. පළාත් හා දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් ද කෘෂිකර්ම නිලධාරීන් පැමිණ සිටියේය. ජනාධිපතිවරයා පැමිණ ඉතා සුහදව සාකච්ඡාව ආරම්භ කළේය.

‘‘දැන් මොනවද ඔය කොල්ලන්ගෙ අලූත් රිසර්ච්. මොනවද තියෙන ගුඞ් නිවුස්. කියන්න බලන්න. මොනවද ප‍්‍රශ්න.’’ ජනාධිපතිවරයා විමසන්නට විය.

‘‘කෝ ඉතිං කවුරුවත් කතා කරන්නේ නෑනේ. මොනවද කියන්න බලන්න අනුරාධපුර පැත්තෙ තියෙන ප‍්‍රශ්න එහෙම.’’ ජනාධිපතිවරයා කටට උත්තර දෙමින් විමසන්නට විය.

‘‘සර් අපිට අපේ පළාතේ වගාවන්වලට නයිට‍්‍රජන් පොහොර ලැබිලා තියෙනවා. දියර පොහොර. ඒ වුණාට ප‍්‍රමාණවත් ප‍්‍රමාණ වලින් අපට තවම ලැබිලා නැහැ.

‘‘හරි ඔයගොල්ලන්ගේ පළාත දැන් මට කියන්න කෝ වගා කරලා සති කීයක් විතර වෙනවද කියලා.’’

‘‘සමහර තැන්වල සති හතරයි. සති හයක් සම්පූර්ණ වෙච්ච තැනුත් තියනවා.’’

‘‘හරි මට සංඛ්‍යාලේඛන කියන්න. ඔයගොල්ලන්ගේ පළාත්වල කොච්චර වවලා තියෙනවද. නයිට‍්‍රජන් කොච්චර වුවමනා වෙලා තියෙනවද කියලා. ගාන කියන්නකො.’’

‘‘අපේ දිස්ත‍්‍රික්කයේ කුඹුරු අක්කර එක් ලක්ෂ තිස් දාහක් විතර වවලා තියෙනවා. ඒකට නයිටි‍්‍රජන් ලීටර් එක් ලක්ෂ හැට දාහක් විතර වුවමනයි. නමුත් තවම ලැබිල තියෙන්නෙ හයදාහයි.’’

දැන් අපේ ආණ්ඩුවේ පොහොර ආයතන දෙකේම කට්ටිය මෙතන ඉන්නවනේ. කියන්න බලන්න ඕගොල්ලා කොච්චර විතර කාබනික පෝර නිෂ්පාදනය කරලා තියෙනවද කියලා.‘‘ජනාධිපතිවරයා විමසුවේ රජයේ පෝර ආයතන දෙකේ නිලධාරීන්ගෙනි.

‘‘මේ වෙනකොට සර් අපි නිෂ්පාදනය කරලා තියෙන පොහොර පැකට් එකක් රුපියල් පනහ ගානේ තමයි අලෙවි කරන්නේ.’’ ආදී වශයෙන් සභාපතිවරයා වෙන මොනවාදෝ යාන් හෑල්ලක් කියන්නට පටන් ගත්තේය.

‘‘ඔය මොනවද. ඉස්සරවෙලා මම අහපු ප‍්‍රශ්න තේරුම් අරගෙන අහපු ප‍්‍රශ්නෙට උත්තර දෙන්න පුරුදු වෙන්න. මම ඇහුවෙ කොච්චර පොහොර නිෂ්පාදනය කරලා තියෙනවද කියලයි.’’ ජනාධිපතිවරයා එය කීවේ අවවාදාත්මක ස්වරයකිනි.

‘‘අපි ළඟ ටොන් 100ක් විතර ඇති සර්.’’

‘‘ටොන් 100ක් විතර. තමුන්නාන්සේ හරියට සූදානම් වෙලා ඇවිල්ලා නෑ මේ රස්සාවට. සභාපතිවරයා දන්නේ නැහැ ආයතනයේ නිෂ්පාදන ධාරිතාව කොච්චරද කියලා. එතකොට කවුද මේවා දැනන් ඉන්නේ. මමද දැනගෙන ඉන්න ඕන. මේ විදිහට ඕගොල්ලො කොහොමද ආයතනයක් නඩත්තු කරන්නේ.’’ ජනාධිපතිවරයා ඉතා දැඩි ලෙස ඔහුට අවවාද කරමින් එළියට ගොස් හරියට ගණන් මිනුම් අසාගෙන නැවත පැමිණ උත්තර දෙන මෙන් කීවේය.

‘‘අමාත්‍යාංශයකට ලේකම්වරයෙක් පත් කරන්නේ මොකටද. ලේකම් අමාත්‍යවරයා වෙනුවට ඒ වැඩටික කරන්න ඕන. අමාත්‍යාංශයේ ලේකම්වරයා හරියට සංඛ්‍යාලේඛන ටිකවත් කියන්න දැනගෙන ඉන්න ඕන. කන්නයට අවශ්‍ය පෝර කොච්චරද කියලා ඇහුවම කාටවත් බෑ උත්තර දෙන්න. මොකක්ද මේක. කන්නයකට අවශ්‍ය පොහොර මොනවද. හදාගන්න පුළුවන් තරම කොච්චරද. ඒව හදන්නේ කොහොමද. මේවා ඕගොල්ලො කරන්නෙ නැත්නම් කවුද කරන්නේ’’

ඇති වී තිබෙන උණුසුම් පාලනය කර කරගන්නට ජනාධිපතිවරයා අනිත් පැත්ත හැරී වෙනත් ප‍්‍රශ්නයක් ඇසුවේය.

‘‘දැන් මොකක්ද අම්පාරේ තියෙන ප‍්‍රශ්නය. අම්පාරෙ තත්ත්වය මොකක්ද. කෝ ඔයගොල්ලා කියන්න..’’ අම්පාර වෙනුවෙන් කතා කරන්නට ඉදිරිපත් වූයේ කාන්තාවකි.

‘‘අම්පාර දිස්ත‍්‍රික්කය පුරාම අපි අක්කර 88,840 ක් වවලා තියනවා සර්. අම්පාරේ නම් අපිට ඔය කියන තරම් ගැටලූවක් නැහැ සර්. අපි ගොවියෝ ටික හොඳින් කළමනාකරණය කරලා උපදෙස් දීලා වවන්න යොමුකරලා තියෙනවා’’ ඒ කාන්තාව ඉතා බුද්ධිමත්ව උත්තර දුන්නේ යළිත් වචනයක් අහන්නට ඉඩ නොතබාය. ජනාධිපතිවරයා ඉන් පසුව විමසුවේ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ තත්ත්වය
ගැනයි. මඩකලපු නියෝජිතයා අවුලක් කරගත්තේ මෙසේය.

‘‘අපිටත් ප‍්‍රශ්නයක් නැහැ. සර් කාබනික පෝර ටික ලැබිලා තියෙනවා. අපි වී වලට නිසි යෙදවුම් කරලා තියෙනවා. එළවළු වගාවත් නිසි පරිදි ක‍්‍රියාත්මක වෙනවා. ඇමැතිතුමා කියපු විදිහට. සර්.’’

‘‘ඇමැතිතුමා කියපු විදියට ඕනි නැහැ. ඇමැති තුමා කියපු විදියට ඔයා කතා කරන්න ඕනේ නෑ. ඔයා කතා කරන්න ඔයාට දැනෙන විදිහට. ඇමැතිතුමා කියපු එක මටත් ඇහුණා නේ. ‘‘ජනාධිපතිවරයා හතර වටේටම තරමක් දැඩි ස්වරයක සිට කතාබහ කරන ආකාරය පෙනී ගියේය.

‘‘කවුරුවත් මෙතන බොරු කියන්න එන්න එපා. ඇත්ත තත්ත්වෙ කතා කරන්න. කතා කරන්න බය වෙන්නත් එපා. අපිව සතුටු කරන්න බොරු කියන්න හදන්න එපා. එතකොට වෙන්නේ අපේ සැලසුම් අවුල් වෙන එක.’’

‘‘අපි මේ ඇත්තම කියන්නේ සර්. අපේ පැත්තෙ කාබනික ගොවිතැන් හොඳින් කෙරෙනවා. අපිට ප‍්‍රශ්න නැහැ. මේ වතාවේ වගාවේ යම් යම් ප‍්‍රශ්න මතු වුණත් ලබන වතාව වෙනකොට අපිට ඒ සියලූ වැරදි හදාගෙන සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඉන් පසුව ජනාධිපතිවරයා විමසා සිටියේ බඩ ඉරිගු වගාවේ යෙදවුම් ගැනය. වල්නාශක කෘමිනාශක කොපමණ බඩ ඉරිගු වගාව සඳහා මෙවර අවශ්‍ය වේ දැයි ඔහු නිශ්චිතවම අසා සිටියේය.. පොහොර හා කෘමිනාශක නිෂ්පාදන සමාගමකින් පැමිණ සිටි නියෝජිතයෙක් තමන් විසින් සොයා ගන්නා ලද බඩඉරි`ගු වලට අවශ්‍ය වල්නාශක හා දිලීර නාශක නිමැවුම් කීපයක් ගැන විස්තර කරන්නට පටන් ගත්තේය.

‘‘මම කියන්නේ මේකයි. අපි කරන්න යන්නේ මොකද්ද කියන එක මේ මහ පොළොවට දැනුනේ නෑ. නිලධාරීන් ඒ වැඬේ හරියට කරේ නෑ. හුඟක් අය මට ඇවිල්ල කියන තොරතුරු බොරු. මම අනුරාධපුර ගිහිල්ලා හැමතැනම ඇවිද්දා. මම හොයලා බැලූවා. කෝ කොහේද මේගොල්ලන් කාබනික වගාව කරලා තියෙන්නෙ කියලා. මම ඇත්ත තත්ත්වෙ දැක්කා. ඒ වුණාට නිලධාරීන් ඒවා නෙවෙයි කිව්වේ. මෙතන ඇවිත් බොරු කිව්වා. අපේ ඉන්න සමහර නිලධාරීන් රසායන පොහොර ගෙන්වන සමාගම්වලට සම්බන්ධයි. ඒවායෙන් උදව් උපකාර ලබනවා දීමනා ලබනවා. මම දන්නව සමහර නිලධාරීන් පදින කාර් එක අරන් දීලා කියන්නෙත් පොහොර සමාගම්. මම කියන්නේ මෙච්චරයි. මේ වැඬේ අවංකව කරන්න පුළුවන් අය ඉන්නවනම් මෙතන ඉන්න. බැරි අය ඉන්නවනම් කරුණාකරලා අපිට මේ වැඬේ කරගන්න දීලා යන්න. මම මේ හැමෝටම තමයි කියන්නේ.‘‘ ජනාධිපතිවරයාගේ මේ දැඩි ප‍්‍රකාශ නිසා බොහෝ නිලධාරීන්ට කට උත්තර නැති විය.

‘‘කාබනික කෘෂිකර්මය කියන්නේ මේ මගේ හිතුවක්කාර වැඩක් නෙවෙයි. මේක රටට අවශ්‍ය දෙයක්. මේක රටට ලබා දෙනවා කියලා මම දීපු පොරොන්දුවක්. මම ඒක මගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයටත් ඇතුල් කළා. මට මේ වැඬේ හරියට කරන්න ඕන. කාබනික වගාව පිළිබඳ රජයේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තියේ කිසිදු වෙනසක් ඇති කරන්න මට අවශ්‍ය නෑ. යම් යම් වගාවන් වලට යම් යම් ප‍්‍රමාණ වලින් යම් යම් වෙනත් පොහොර වර්ග අවශ්‍යයි කියලා මම පිළිගන්නවා. අවශ්‍ය පරීක්ෂණ කරලා අපිට ඒ සඳහා අවශ්‍ය පරිමාණ ලබාදෙන්න. ඒවාට අද අදාළ අවශ්‍ය කරනවා කසාය රසායනික පෝර යම් යම් පොහොර යම් යම් ප‍්‍රමාණ වලින් ගෙවන්න අපි පුද්ගලික අංශයට අවස්ථාව ලබා දෙමු. හැබැයි මතක තියාගන්න පුද්ගලික අංශය විසින් ගෙන්වන රසායනික පොහොර ඇටයකටවත් රජයේ සහනාධාරය ලැබෙන්නේ නැහැ. සහනාධාර අපි නිසැකවම ලබාදෙන්නේ කාබනික කෘෂිකර්මයට යොමු වුණු අයට විතරයි.

හැබැයි මේක විකල්පයක්. එක පැත්තකින් කොවිඞ් ආවා. අනිත් පැත්තෙන් වර්ෂාව ජල ගැලීම් ආවා. රටේ දරුණු ස්වභාවිකව විපත් ඇති වුණා. එම තත්ත්වය මත වගාබිම් විනාශ වෙලා අපේ වගාවන් නැතිවෙලා ගියා. ආහාර මිල ගණන් ඉහළ ගියා. මෙන්න මේ තත්ත්වය සමනය කරගන්න ඇති කරපු සහනනදායී පිළිවෙතක් විතරයි අපි රසායනික පොහොර වෙන්න දීපු මෙය අවස්ථාව. එහෙම නැතුව අපි ආරම්භ කරපු වැඩපිළිවෙළ කිසිම ආකාරයකින් වෙනස් කරන්නවත් රජයේ ප‍්‍රතිපත්තිය මාරු කරන්න වත් මගේ සූදානමක් නෑ. අන්න ඒක හොඳට මතක තියාගෙන වැඩ කරන්න.’’

ජනාධිපතිවරයා මෙම රැස්වීම් ඉතා ඉක්මනින් අවසන් කළේය. එය ඉතා දැඩි ප‍්‍රකාශ නිකුත් කළ ඉතා උණුසුම් රැස්වීමක් වූයෙන් බොහෝ දෙනකු අපහසුතාවට පත්ව සිටියහ. බොහෝ දෙනකු සිටියේ කල්පනාකාරීවය. වෙනදා ළෙන්ගතුව සිනහවෙමින් කතාබස් කරන මිතුරන් සමග වත් කතාවක් බහක් නැතුව සමහර නිලධාරීන් නිහඬවම පිටත්ව ගියහ.

විපක්ෂය හිතන හැටි
ඇමැති ලන්සා කියයි

අඟහරුවාදා සවස අයවැය ඡන්ද විමසීම ආසන්න වෙද්දී ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලූ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණ තිබුණේ නැත. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා, ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා හා කාංචන විජේසේකර අමාත්‍යවරයා නොපැමිණි මන්ත‍්‍රීවරු කවුදැයි සොයා බලමින් ඒ ඒ මන්ත‍්‍රීවරුන්ට දුරකථනයෙන් ඇමතීය.

‘‘මන්ත‍්‍රීතුමා, කොහෙද ඉන්නේ. ළඟද. හරි හරි.. කොහෙද කියලා බැලූවේ ” ඒ වන විටත් මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුව ආසන්නයේ වූහ.

සියලූ මන්ත‍්‍රීවරුන් අයවැය ගණන් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සිටීම එදින වැදගත් කාරණයක් විය.

මේ වන විට ආණ්ඩුව සතු තුනෙන් දෙකේ බහුතරය ආණ්ඩුවට අහිමිව ඇතැයි විපක්ෂය ගෙන යන ප‍්‍රචාරයට ප‍්‍රතිචාර දක්වන්න මෙය සුදුසුම අවස්ථාව ලෙස මන්ත‍්‍රීවරුන් කල්පනා කළේය. විශේෂ අවස්ථාවල ගම්පහ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරු සමග සාකච්ඡා කිරීම ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ ක‍්‍රමවේදයයි. එදිනත් ඡන්ද විමසීමේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් ඔවුහු සාකච්ඡා කළහ.

ඒ සාකච්ඡාව අතරතුර නිමල් ලංසා ඇමැතිවරයා” විපක්ෂය හිතන් ඉන්නේ ආණ්ඩුව ඇතුළේ අර්බුද තියෙනවා කියලා”

‘‘ඔව්.. ඔව්.. ආණ්ඩුවේ සහයෝගය පෙන්නන්න පුළුවන් හොඳම අවස්ථාව මේක තමයි” සහන් ප‍්‍රදීප් කීවේය.

‘‘ඔය වගේ කතා මටත් ආරංචි වුණා” කෝකිලා මන්ත‍්‍රීවරියද තමන්ට ලැබුණු ආරංචි කීවාය.

‘‘ඔය අපිට එන ආරංචි හදන්නෙත් විපක්ෂයමයි.

ඒගොල්ලන්ට ඕනේ ආණ්ඩුවට බහුතරයක් නැති බව ජනතාවට ඒත්තු ගන්වන්න.” ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා කීවේය.

‘‘එයාලා හදන කටකථා තමයි අපිටත් එන්නේ. ඔහොම තමයි ඒගොල්ලො ජනමතය වෙනස් කරන්න උත්සාහ කරන්නේ” නැවතත් නිමල් ලංසා කීවේය.

මෙවර අයවැයෙන් සංචාරක ව්‍යාපාරයට කිසිදු සහනයක් ලබා දී නොමැති බව බොහෝ අය පවසයි. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන යම් යම් ප‍්‍රචාර හේතුවෙන් ක්ෂේත‍්‍රයේ නියුක්තිකයන් අතර ඒ පිළිබඳව කසු කුසුවක් ඇති විය. මෙය සංචාරක අමාත්‍යවරයා ගේද කන වැකිනි. අයවැයෙන් නොකීවද සංචාරක ක්ෂේත‍්‍රයට දී ඇති සහන තමා දැන සිටීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව තීරණය කළ අමාත්‍යවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මහ බැංකු අධිපතිවරයාගෙන් වේලාවක් ඉල්ලා සිටියේය. ඒ සඳහා ඉකුත් බදාදා දිනය වෙන්විය. ‘‘සංචාරක ව්‍යාපාරය කඩා වැටිල තියෙන මේ වෙලාවේ අයවැයෙන් සංචාරක කර්මාන්තය නොසලකා හැරලා කියලා චෝදනාවක් එල්ල වෙනවා” ඇමැතිවරයා කතාව ආරම්භ කළේය.

‘‘ප‍්‍රසන්න ඒ ගැන ඇත්ත නැත්ත දන්නවානේ”

‘‘කොවිඞ් ආපු වෙලාවෙ ඉඳල ක්‍ෂේත‍්‍රයට දීපු සහන දිගටම දෙනවා. ඒත් යන ආරංචි එක්ක මම දැනගෙන හිටියට විතරක් බැහැ වගේ. ක්ෂේත‍්‍රයේ අයගේ ප‍්‍රශ්න ටිකක් තියෙනවා. ඒවාට විසඳුම් ඕනි වෙනවා”

‘‘ඔව් අපි ඒ ප‍්‍රශ්න විසඳන්න ඕනේ. මේක අමාරු අවස්ථාවක්”

‘‘ලීසිං කොම්පැනිවලින් වාරික අයකිරීම් ප‍්‍රශ්න තියෙනවා. ගෙවන්න තියෙන වාරිකවලට අමතරව ගෙවන්න කියනවාලූ. උදාහරණයක් විදිහට 60,000

ගෙවන්න තිබුණු අයට ප‍්‍රමාද ගාස්තු එකතු කරලා 100,000ක් ගෙවන්න කියනවාලූ. මේ වෙලාවේ ඒක මිනිස්සුන්ට කරන අසාධාරණයක්”

‘‘එහෙම වෙන්න විදිහක් නෑ. අපි කියලා තියෙන්නේ එහෙම කරන්නේ කියලා නෙමේ”

‘‘ඒ වුණාට වෙන්නේ ඒකනෙ” අමාත්‍යවරයා කීය.

‘‘ඒ වගේ ප‍්‍රශ්න හොයල බලලා වාර්තා කරන්න. ඒ මිනිස්සුන්ට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්න බැහැ”

‘‘සමහර මිනිස්සු ලීසිං ඇරියස් කරන් තියෙන්නෙ පාස්කු ප‍්‍රහාරයටත් කලින්. එතකොට ඒ අයගේ ඇරියස් ඒ කාලේ මේ සහනයට අදාළ නැහැ කියන කාරණය තමයි මේ ලීසිං කම්පැනි අවධාරණය කරන්නේ”

‘‘එහෙම වෙන්න පුළුවන් ඒ වුණත් මේ වෙලාවේ සංචාරක ව්‍යාපාරයේ ඉන්න අය දැඩි අපහසුතාවක ඉන්නේ”

‘‘සංචාරක ව්‍යාපාරය යළි හිස ඔසවන තෙක් මේ සහන ටික දීර්ඝ කරන්න පුළුවන් නම් හොඳයි අධිපතිතුමා”

‘‘ඒ ගැන අපි අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ ගැන අවශ්‍ය පියවර ගන්නවා”

ප‍්‍රසන්නගේ වැඩ ගැන
අගමැතිත් දන්නවාලූ

ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කිරීම 25 දා අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගි වන ලෙස අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ‘‘වැඩ වැඩි වෙලාවක්. ඒත් ප‍්‍රසන්නට බැහැ කියන්නේ කොහොමද” කියමින් අග‍්‍රාමාත්‍යවරයා ආරාධනය පිළිගත්තේය.

‘‘මට එක පැයක් දෙන්න අගමැතිතුමා. මම වැඬේ පැයෙන් ඉවර කරනවා.”

‘‘ප‍්‍රසන්න ගැන මම දන්නව නේ” අගමැතිවරයා කීය.

උත්සව සංවිධායක කමිටුව ඇමැති ප‍්‍රසන්න රණතුංග අමාත්‍යවරයා” හරි අමාරුවෙන් අගමැතිතුමාගෙන් පැයක කාලයක් ගත්තේ. මම වැඬේ පැයෙන් ඉවර කරන්න පොරොන්දු වුණා. උත්සවයේ කතා කෙටි කරන්න. අවශ්‍යම කතා දාන්න. මට කතා දාන්න එපා” කාලය කළමනාකරණය කිරීම සඳහා කළ හැකි උචිතම තීරණය ගනිමින් ඇමැතිවරයා කතාව ප‍්‍රතික්ෂේප කළේය.

ඒ අනුව බොහෝ දෙනෙක් කතා කිරීමේ අදහස අත් හැරීය. පොරොන්දු වූ පරිදි පැයක කාලයක් ඇතුළත අග‍්‍රාමාත්‍යවරයා නිදහස් කිරීම අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව විය. අග‍්‍රාමාත්‍යවරයා පැමිණ සමරු ඵලකය විවෘත කිරීමෙන් පසුව උත්සවය ඇරඹිනි. උත්සවය අවසන් වන තෙක් අමාත්‍යවරයා නිතරම සිය ඔරලෝසුව දෙස බැලීය. හරියටම පැයෙන් උත්සවය අවසන් විය.

‘‘අගමැතිතුමා හරියටම පැයයි වැඬේට ගියේ”

‘‘ප‍්‍රසන්න ගැන මම දන්නවනේ” කී අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රසන්න ඇමැතිතුමගේ පිටට තට්ටුවක් දමමින් සූදානම් කර තිබූ තේ මේසය වෙත ගියේය.

ආරාධිතයන් තේ බොන අතරේ ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා විය.

‘‘කොරෝනා කියල වැඩ නතර කළා නම් අද මේවා විවෘත කරන්න පුළුවන් වෙනවද. මොන ප‍්‍රශ්න ආවත් රටක සංවර්ධන කටයුතු නතර වෙන්න හොඳ නැහැ. මේවා අනාගතයට කරන ආයෝජන” අගමැතිවරයා කීවේය.

‘‘අගමැතිතුමා කිව්ව විදියට මම ඒ වැඩ දිගටම කළා. ඒකට අපේ කම්කරුවාගේ ඉඳලා ඉහළට යනකල් හැම නිලධාරියෙක්ම කැප වුණා” අමාත්‍යවරයා කීවේය.

‘‘හරි දිනේට මේ වැඩ ඉදිරියට අරන් ගියා නම් මෙහෙම වෙන්නෙ නැහැ. මේ වෙනකොට රටට හොඳ ආදායමක් ගලා එන තැනක් වෙන්න තිබුණා”

‘‘නෙලූම් මලේ හැඩයත් ප‍්‍රශ්නයක් කර ගත්තනේ” ප‍්‍රසන්න රණතුංග ඇමැතිවරයා සිනාසෙමින් කී විට” නෙලූම් කොළේ කෑව කියලා රටට මොනවද ලැබුණේ. ඒකට විතරක් මොන තරම් නාස්තියක් කළාද. මේවා රටේ සල්ලි” යි අගමැතිවරයා කීවේ පහුගිය රජයේ නිසි දැක්මක් නැති වැඩපිළිවෙළ නිසා රට ආපස්සට ගිය ආකාරය ද සිහිපත් කරමිනි.

අය වැය විවාද අස්සෙ
එළවළු ගැන වාදයක්…

කෘෂිකර්ම නිලධාරින් ජනපතිටත් බොරු කියලා

පසුගිය සතියේ අයවැය විවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කාලය වෙන් වී තිබුණත් වෙන වෙන වෙන වාද විවාද ද ඇති නොවුණාම නොවේ. අය-වැයට අදාළ නොවුණත් ඒ සමහර ඒවා උණුසුම් වාද විවාද විය. තවත් ඒවා හාස්‍යජනක විය. ඒ අතර කළහකාරී ගැටුම්කාරී අවසානයකින් කෙළවර වූ ගැටුම් ද නොතිබුණාම නොවේ.

එබඳු එක් වාදයක් සිදුවූයේ මාතලේ සජබෙ මන්ත‍්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය හා ආණ්ඩු පක්ෂයේ තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රීවරයා අතරයි.

තිස්ස කුට්ටිආරච්චි යනු ආණ්ඩුවේ ඕනෑම ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් විටෙක බෙල්ල දෙන්නටත් තවත් විටෙක අඩ කොටයක් ලෙස ක‍්‍රියා කරන්නටත් ඕනෑම වෙලාවක සූදානම් කට සැර මන්ත‍්‍රීවරයෙකි. මේ නිසාම ඔහුට විපක්ෂයේ පමණක් නොව ආණ්ඩු පක්ෂයේ තරහකාරයෝ නම් සිටියහ.

පසුගිය දිනක රෝහිණී කවිරත්න මන්ත‍්‍රීතුමිය මේ රටේ එළවළු මිල ඉහළ යෑම ගැන ගෘහණියක් ලෙස තමා දකින ආකාරය ගැන විග‍්‍රහයක් කරමින් ආණ්ඩු පක්ෂයට බරපතළ චෝදනා එල්ල කරන්නට පටන් ගත්තාය. පසුගිය දිනවල රටේ තිබුණු අයහපත් කාලගුණික තත්ත්වය නිසා වගාබිම් වතුරට යට වීමෙන් හා විනාශ වීමෙන් ඇතිවූ එළවළු හිඟයත් සමග එළවළු මිල නම් කොතනත් ඉහළ ගොස් තිබූ බව රහසක් නොවීය. ඇය එහිදී ඒ ස්වභාවික විපත් පවා විග‍්‍රහ කළේ ආණ්ඩු පක්ෂයේ වැරදි හැටියට ය. මේ අවස්ථාවේ තිස්ස කුට්ටිආරච්චි ඇයගේ කතාවට උත්තර දෙන්නට වූයේ ඔහුට ගැළපෙන වෙනත් ප‍්‍රවේශයක සිටය. පසුගිය කාලයේ දෙල්කඳ පොළේ එළවළු හෝ මාළු විකුණන කට වාචාල වෙළෙන්දෙකු එළවළු හා පලා වර්ගවල නම් කීපයක් කියමින් කාන්තාවන්ට අපහාස වන ලෙස භාෂාව හසුරවන්නා සේ තිස්ස කුට්ටිආරච්චිද රෝහිණී කවිරත්න ට උත්තර දුන්නේය. එම කතාබහ ඒ මොහොතේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ට රසවත් සංවාදයක් වුවත් පසුව ඒ ගැන විවිධ විවේචන මතුවිය. රෝහිණී කවිරත්න මේ ප‍්‍රශ්නයට නිකං බලා සිටියේ නැත. ඇය මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් දෙපැත්තේම සිටින කාන්තා මන්ත‍්‍රීවරියන් සමග සාකච්ඡා කළාය.

විපක්ෂයේ කෙනෙක් ඔයගොල්ලන්ට මේ වගේ අපහාස කළා නම් ඔයගොල්ල මොකද කියන්නේ. තත්ත්වය තේරුම්ගත් සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ, ඩයනා ගමගේ, ගීතා කුමාරසිංහ වැනි මන්ත‍්‍රීවරියෝද රෝහිනී සමග එකඟ වූහ. ඊට පසු දිනක සබාගැබේදී මෙම ප‍්‍රශ්නය විවාදයට ගැනිණ. ඒ වන විට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත‍්‍රීතුමා ද මේ සම්බන්ධයෙන් තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙස කථානායකවරයාට ලිඛිත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි. කථානායකවරයා මේ පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් කරමින් පසුගිය 24 වැනිදා තිස්ස කුට්ටිආරච්චි මන්ත‍්‍රීවරයාට අවවාද කළේය. එබඳු ප‍්‍රකාශයන් තමන් කළ බැවින් ඒ පිළිබඳ කනගාටුව පළ කරන්නයි යෝජනාවක්ද කර සිටියේය. මෙම ප‍්‍රශ්නය සම්බන්ධයෙන් තලතා අතුකෝරාල මන්ත‍්‍රීවරිය ද පාර්ලිමේන්තුවේ විරෝධය ප‍්‍රකාශ කරමින් කතා කළාය. කථානායකවරයා තිස්ස කුට්ටිආරච්චිට අවවාද කළත් එම අවවාද පිළිනොගනිමින් ඔහු වැඩිදුරටත් කරුණු දක්වන්නට පටන් ගත්තේය.

‘‘මම එතුමියට අපහාසයක් කරලා තියෙනවා නම් මම අපහාස කරපු වචනය මොකක්ද කියලා කියන්න. මම කිව්වේ එළවළු කීපයක නම් කීපයක් විතරයි. ඒකෙන් කොහොමද අපහාසයක් වෙන්නේ. තිස්ස කුට්ටිආරච්චි තර්ක කළේය. බැලූ බැල්මට එම තර්කය වරදක් නැතත් වම්බටු පතෝල පලා වැනි ආහාර ද්‍රව්‍යවල නම් මතක් කරමින් කාන්තාවන්ට කරන අපහාසයක් ගැන බොහෝ මන්ත‍්‍රීවරු කරුණු දැන සිටියහ. ඒ නිසා කිසිවෙකුගෙන් තිස්ස කුට්ටිආරච්චිට නම් සමාවක් නොවීය.

‘‘මම කිව්වේ අසභ්‍ය වචන නම් මීට කලින් වතාවක් රංජන් රාමනායක මන්ත‍්‍රීතුමාත් එක්ක වාදෙක පැටලිලා හිරුණිකා මැතිනිය කියපු වචන මොනවද.

මේ කවුරුවත් ඒවා හෙළා දැක්කාද. එදා හිරුණිකා කිව්වා මගේ ෆ‍්‍රන්ට් සයිඞ් එකයි බැක්සයිඞ් එකයි දෙකම දෙන්නෙ මගේ මහත්තයාට විතරයි කියලා. එයා ඒ කතා කරපු වචන ගැන මේගොල්ලන්ට ඇහිලා නැද්ද. ඒවා ඇහුනෙ නැති මේ කට්ටිය මම එළවළු ගැන කතා කරපු එක ඇහිලා. මම වල් නැහැ. මගේ කතාව වල් විදිහට තේරුම් ගත්තොත් තමයි වල්. තිස්ස දිගින් දිගටම කියන්නට විය. අජිත් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කළේය. ඒ අතර මේ ප‍්‍රශ්නය අතින් පයින් විසඳා ගන්නටද මන්ත‍්‍රීවරු දෙන්නෙක් ඉදිරිපත් වූහ. ඒ පසුගිය දිනවල සමගි ජන බලවේගයෙන් අස් වන්නට පවා තීරණය කර ඇතැයි කියා කතාවක් පැතිර ගිය හේෂා විතානගේ හා චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරුය. සභා ගැබ මැදට පැමිණ කෑගැසූ දෙදෙනාට පහර දෙන්නට තිස්ස කුට්ටිආරච්චි ද පැමිණෙන්නට දැඟලූවත් දිනේෂ් ගුණවර්ධන මැදිහත් වී මැදිහත්වී ඔහු පසෙකට තල්ලූ කර හැරියේය. සජිත් පේ‍්‍රමදාස මැදිහත්වී තමන්ගේ ගෝලයෝ දෙන්නා ආපසු හරවා නොහැරියේ නම් ලොකු ගාලගෝට්ටියක් ඇති වන්නට ද ඉඩ තිබිණි. බුද්ධික පතිරණ මන්ත‍්‍රීවරයාද මෙහිදී බුද්ධිමත්ව කටයුතු කළේය. මේ සියල්ල අවසාන වී ලද විවේකයකදී තලතා අතුකෝරාල මන්ත‍්‍රීවරියට රනිල් මුහුණට මුහුණ මුණ ගැසුණි. දෙදෙනා අතර කතාබහ විනාඩි 15කටත් වඩා වැඩිවිය. රනිල් මොන මොනවාදෝ කියන විට ඇය අවධානයෙන් යුතුව අසා සිටින බවක් පිටස්තරයන්ට අවබෝධ විය. ඉන්පසුව රනිල් වික‍්‍රමසිංහ සමග සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර මන්ත‍්‍රීවරයා අද හුදෙකලාව කතා කරන අයුරු දැකගත හැකි විය. රනිල් වික‍්‍රමසිංහ මේ දිනවල සජබයේ මන්ත‍්‍රීවරුන් එක එක්කෙනා වෙන වෙනම මුණගැසෙමින් කතා කරන්නේ මොනවා ද කියා බොහෝ දෙනකුට කුතුහලයක් විය.

මැති සබේ පසුගිය දිනවල සිදු වූ සිදු වූ අවශේෂ වාද විවාද අතර රසායනික පෝර ප‍්‍රශ්නය ද සුළුපටු නොවීය. තමන් සිටියදී රසායනික පොහොර ඇටයක්වත් නැවත ගෙනෙන්නට ඉඩ දෙන්නේ නැතැයි කියමින් මහින්දානන්ද ඇමැතිවරයා මීට පෙර කර තිබූ ප‍්‍රකාශය අල්ලාගෙන ඔහුට එරෙහිව ගොඩනැගූ ප‍්‍රහාරයන් කිහිපයක් අපට පසුගිය සතියේ දැකගත හැකි විය.

පසුගිය සතියේ රසායනික පෝර ප‍්‍රශ්නය ගැන පාර්ලිමේන්තුවේ නොව මුළු රටේම දෙගිඩියාවක් ඇති විය. ඊට හේතුව වූයේ ආණ්ඩු පක්ෂයේ නිලධාරීන් හා දේශපාලනඥයන්ගේ එකිනෙකට පරස්පර විරෝධී මත කීපයක් පළ කිරීම ය. අමාත්‍යාංශ ලේකම්වරයා රසායනික ප‍්‍රහාර ගෙන්වන බව කීවේය. ඇමැතිවරයා ඒ කතාව බොරුවක් බව කීවේය. පාර්ලිමේන්තුවේදී විපක්ෂය අයවැය පසෙක දමා තර්ක කරන්නට වූයේ මෙම ප‍්‍රකාශයන් දෙකෙන් හරි එක කුමක්ද කියාය.

ආණ්ඩු පක්ෂයේ කිසිවෙකුටත් එම ප‍්‍රශ්නයට හරියාකාරව උත්තරයක් ගන්නට නොහැකි විය. අවසානයේ රසායනික පොහොර ගෙන්වන්නට පෞද්ගලික අංශයට අවසර දුන්නා යැයි තත්ත්වය පැහැදිලි කරන්නට මහින්දානන්දටම සිදුවිය. මේ අතර මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනෙන පාස්කු ප‍්‍රහාරය සම්බන්ධ පරීක්ෂණය ද පාර්ලිමේන්තුවේ කතාබහට මාතෘකාවක් විය. සිරිල් ගාමිණී පියතුමා ඔහු කරන ලදැයි කියන ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් කට උත්තරයක් ගැනීමට දිගින් දිගටම රහස් පොලිසියට කැඳවීමද විපක්ෂයට තවත් තුරුම්පුවක් වී තිබිණි.

ආණ්ඩුවෙන් වෙන්වෙන්න
ශ‍්‍රීලනිපයේ සැලැස්මක්

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තම දේශපාලන අභිමානය සම්බන්ධයෙන් පසුගිය සතියේ වෙනම කතිකාවත නිරතව සිටියහ. බොහෝ දේශපාලන නිරීක්ෂකයන් මත පළ කළ කාරණාව වූයේ ශ‍්‍රීලනිපය ළඟදීම ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිකම් වලින් වෙන් වී ස්වාධීන වන්නට පිඹුරුපත් සකසමින් සිටින බවය. මේ නිසා ආණ්ඩු පක්ෂයේ සමහර නායකයෝ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙස පසුගිය දිනවල සිට වපර ඇසින් බලන්නට වූහ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව නිදහස් පක්ෂය අභ්‍යන්තරයේද අනවරතයෙන් සාකච්ඡාවක් ඇතිව තිබිණි. පොදුවේ ආණ්ඩුව ඇතුළේ තම පක්ෂයට දක්වන නොසැලකිල්ල ගැන ශ‍්‍රීලනිප නායකයෝ බොහෝ දෙනකුට දැඩි කලකිරීමක් තිබිණි. මේ කලකිරීම වඩාත් තීව‍්‍ර වූ සිද්ධියක් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය බදාදා රාත‍්‍රියේ නව කැලණි පාලම විවෘත කරමින් කරනු ලැබූ විශේෂ කතාවයි.

බොහෝ දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දුන්නේ මෙම කතාව තුළින් ජනාධිපතිවරයා පවා පවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට යම්කිසි රතු එළියක් පෙන්වා ඇති බවකි. පාස්කු ප‍්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනත් අගමැති රනිල් වික‍්‍රමසිංහත් ඍජුවම වගකිව යුතු බව මෙහිදී ජනාධිපතිවරයා පවා කියනු ලැබීය. මේ සිද්ධියට අදාළව පසුගිය බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී ද තවත් සිද්ධියක් ඇතිවිය. එදින පාර්ලිමේන්තුවේ කතාබහට ගැනුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳවය. එහෙත් මෛත‍්‍රිපාල සිරිසේන මහතා, ඔහුට චෝදනාවක් එල්ල කරමින් ඊට පෙර පැවැති විවාදයකදී මහින්දානන්ද අලූත්ගමගේ කරන ලද කතාවකට පිළිතුරු දෙන්නට මෙය අවස්ථාවක් කර ගත්තේය.

‘‘කෘෂිකර්ම ඇමැතිතුමා සභාවේ කතාවක් කරන මට ලොකු අපහාසයක් කරල තියනවා. මම නිවසක් පාවිච්චි කරනවා කියලා කියපු කතාව සම්පූර්ණ අසත්‍යයක්.

පහුගිය අඟහරුවාදා ජනාධිපති වැය ශීර්ෂය වෙලාවේ කෘෂිකර්ම ඇමැතිවරයා කිව්වා හිටපු ජනාධිපති වාහන දෙසීයක් පාවිච්චි කළා කියලා. මට වෙන් කරලා තිබුණේ වාහන හතරයි. මම රුපියල් බිලියන 3.2 වෙන් කරගෙන මුදල් විනාශ කළා කියලා කිව්වා. ඒ මුදල් වෙන් වෙලා තිබුණෙ මට නෙවෙයි. මගේ වැය ශීර්ෂය යටතේ තිබුණ වෙනම ව්‍යාපෘති හතරකට. ඒ ව්‍යාපෘති අද ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා එම මුදල අද අවශ්‍යත් නෑ. ආණ්ඩුවේ පාර්ශ්වකරුවෝ වෙලත් අපට මෙහෙම අවලාද නගන එක වැරදියි. ආණ්ඩුවේ ප‍්‍රධාන සංවිධායක තුමයි සභානායක තමයි මේ ගැන අවධානය යොමු කරන්න ඕන. මේ ආණ්ඩුවේ තුනෙන් දෙකක බලය රැඳිල තියෙන්නෙ අපේ මන්ත‍්‍රීවරු දාහතර දෙනෙක් නිසායි.”

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ එම ප‍්‍රකාශයට මහින්දානන්ද නැවත පිළිතුරු දෙන්න පටන් ගත්තේය. දුමින්ද දිසානායක මැතිතුමා මහින්දානන්දගෙන් අහලා තියෙනවා ඇයි ඔයා ඒ විදියට අපේ නායකතුමාට අපහාස කරන්නේ කියලා. ඒ වෙලාවේ මහින්දානන්ද කියලා තියෙනවා අපේ ලොක්කා නග්ගලා ගන්න ඕන හින්ද එහෙම කිව්වා කියලා. තමුන්නාන්සේලාගේ ලොක්කාව ඕන විදිහට නග්ග ගත්තට කමක් නෑ. හැබැයි ඒ අස්සෙ අපට අපහාස කරන්න එපා. මෛත‍්‍රිපාල සිරිසේනගේ පැත්තට කතා කරන්නට දයාසිරි ජයසේකර එකතුවීම තුළ තත්ත්වය තවත් උණුසුම් වූයේය.

‘‘අපිට ගැහුවොත් අපිත් ගහනවා…”

‘‘අපිට ගැහුවට නම් අපි ගහන්න යන්නේ නෑ… හැබැයි අපි ගහන්නේ වෙනස් විදියකට…” යනාදී වශයෙන් මේ විවාදය දිගින් දිගටම දික් ගැසෙන්නට විය. මහින්දානන්දලා මෛත‍්‍රීපාල ලා දයාසිරිලා වැනි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු මෙසේ කා කොටා ගැනීම තුළ සතුටට පත්ව ආස්වාදයෙන් බලා සිටින පිරිසක් ද පාර්ලිමේන්තුවේ සිටියහ. ඒ සමගි ජන ජනබලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණ මන්ත‍්‍රීවරුය.

‘‘ඔන්න දැක්කද. විපක්ෂයේ කාර්යභාරය කරන්න දැන් අපි ඕන නෑ. ආණ්ඩු පක්ෂයේම ඉන්න කණ්ඩායමක් දැන් විපක්ෂයේ කාර්යභාරය කරන්න පටන් අරන්. සමගි ජනබලවේගයේ මන්ත‍්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත‍්‍රීවරයෙකුට වදින්නට කීවේය.

‘‘එහෙම තමයි අපි. එතකොට විපක්ෂය නිෂ්ක‍්‍රීය වෙනවනේ නිකම්ම…” මන්ත‍්‍රීවරයාද ප‍්‍රති උත්තර දුන්නේය. දයාසිරි ජයසේකරලා මහින්දානන්දලා සභා ගැබේ කුණුහරුප කියාගත්තෙ නැතත් මොනර නැටුම් ආදී වෙන වෙන නැටුම් වර්ග ගැන නම් අදහස් හුවමාරු වූහ.

අයවැය අස්සේත්
සජිත් ගමේ ගිහින්

මේ අතරතුර සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස පසුගිය සතියේ කොපමණ වැඩ රාජකාරි මධ්‍යයේ වුවත් පක්ෂයේ ප‍්‍රවර්ධන වැඩකටයුතුවලට සම්බන්ධ වූයේය. එමඟින් ඔහු ගමින් ගමට දොරින් දොරට වැඩසටහනට සම්බන්ධ වන්නට පිටත්ව ගියේය. වැඩසටහන පසුගිය සතියේදී පැවැත්වුණේ දෙමටමල්ගම ප‍්‍රදේශයේදීය.

‘‘විපක්ෂනායකතුමනි, මේ ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන බොහෝ දෙනා සිටිනවා. කුඹුරුවට කිසිම පොහොරක් ලැබෙන්නේ නෑ. අඩුම තරමේ මේ අය කාබනික පොහොර දෙනවා කියලා කිව්වට කාබනික පොහොරවත් ලැබෙන්නේ නෑ’’ ගොවියෙක් කීවේ වගාවට කිසිම පොහොරක් නැති නිසා ඇතිවන ගැටලූ ගැනය.

‘‘මම ගියපු හැම තැනකින්ම මේ චෝදනාව ආවා. තියෙන සොච්චම් පොහොරෙත් මිල ඉහළ ගිහින්’’ සජිත් කීවේ ගොවි ජනතාවගේ පොහොර ගැටලූව විසඳීම සඳහා වන අරගලය කිසිම අයුරකින් නතර නොකරන බව අවධාරණය කරමිනි.‘‘අපි දුප්පත් මිනිස්සු. බඩු මිල අපිට දරාගන්න බෑ’’ කාන්තාවක් තමන්ගේ දුක කීවාය.

‘‘සතොසෙන් බඩු දෙන්නේ සීමිතව තමයි. සලාක යුගයක් නැවත ඇති කරන්න තමයි මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ. ජනතාවගේ අතේ සල්ලි නෑ. තියෙන සොච්චමට බඩු ගන්න බැරි තරමට මිල ඉහළ ගිහින්. ආණ්ඩුවට මේ ගැන කිසිම තැකීමක් නෑ’’ සජිත් ජනතාවගේ ගැටලූ ගැන වැඩිදුර තොරතුරු එක් කරගත්තේය. පසුගිය සතියේදී ග‍්‍රාම නිලධාරීන්ගේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ මෙතෙක් නොවිසඳී ඇති ගැටලූ විසඳා ගැනීම ගැන සාකච්ඡා කිරීමටය.

‘‘අපිට ගැටලූ බොහෝමයක් තිබෙනවා. සේවා ව්‍යවස්ථාවේ ප‍්‍රශ්න තියෙනවා. වැටුප් ප‍්‍රශ්න විසඳලා නැහැ’’ ග‍්‍රාම නිලධාරීහු පැවසූහ.

‘‘ග‍්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාව, වැටුප් ප‍්‍රශ්නය, ඇතුළු සියලූම ගැටලූවලට සමගි ජන බලවේගයෙ ආණ්ඩුවක් යටතේ විසඳුම් ලබාදෙනවා’’ සජිත් සහතිකයක් දුන්නේය. නගරයෙන් නගරයට, ගමින් ගමට, දොරින් දොරට වැඩසටහන ක‍්‍රියාත්මක කරමින් පසුගිය සතියේදීත් සජිත් තිස්සමහාරාමය වල්සපුගල, ලූණුගම්වෙහෙරට ගොස් තිබුණි. එහිදී සජිත් අවධානය යොමු කළේ පොහොර ගැටලූව ගැනය.

‘‘ආණ්ඩුව පොහොර ප‍්‍රශ්නයේදී දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ. රසායනකික පොහොර ගෙන්වීමට දැන් අවසර දෙනවා කියනවා. හැබැයි පොහොර සහනාධාරය නැති කරනවා. ඒ කියන්නේ අවුරුදු හැටක් තිස්සේ පැවති සහනාධාරයක් මේ ආණ්ඩුව කප්පාදු කරනවා’’ සජිත් තවත් අනාවරණයක් කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේදී කාන්තා මන්ත‍්‍රීවරියන්ට ලිංගික අඩන්තේට්ටම් කළ මන්ත‍්‍රීවරයා ගැනත් සජිත් දැඩි අවධානය යොමු කර තිබුණේය. පාර්ලිමේන්තුව තුළදී ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ඒ සඳහා සටන් කරන ලෙසට මන්ත‍්‍රීවරුන්ට උපදෙස් දුන් සජිත් අඛණ්ඩව මෙම සටන ඉදිරියට ගෙන යන ලෙසද උපදෙස් දුන්නේය.

‘‘කාන්තා හිංසනයට එරෙහි දිනය දවසේත් පාර්ලිමේන්තුවේදී කාන්තාවන්ට සිදුවන හිංසනයන් ගැන කතා කිරීමට අපිට සිදුවෙලා. ඒක කනගාටුදායක තත්ත්වයක්’’ සජිත් කීවේය.

එජාප නායකයෝත්
ගමින් ගමට ගිහින්

එක්සත් ජාතික පක්ෂ ප‍්‍රතිසංවිධාන වැඩසටහන මේ දිනවල දිවයින පුරා ක‍්‍රියාත්මක වන බැවින් නායකයා එහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලූවේය. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සති අන්තයේ මොණරාගල හා අම්පාර දිස්ත‍්‍රික්කවල සංචාරය කළ අතර එහිදී ඔහුට හිමිවූවේ උණුසුම් පිළිගැනීමකි. සභාපති වජිර අබේවර්ධන කළුතර හා හම්බන්තොට දිස්ත‍්‍රික්කයන් හි සංචාරය කළ අතර උප සභාපති සාගල රත්නායක මාතලේ හා නුවර දිස්ත‍්‍රික්කයන් හි සංචාරය කළෝය. නායක රනිල් දුරකථනයෙන් මේ සියලූ දෙනා හා සම්බන්ධ වෙමින් ප‍්‍රතිසංවිධාන කටයුතු ගැන සොයා බැලූවේය. ඔවුන් සියලූ දෙනාගෙන්ම නායකයාට දැනගන්නට ලැබුණේ පක්ෂයත් සමග එකතුවීමට අලූත් කණ්ඩායම් සම්බන්ධවෙමින් සිටිනා බවය. නියෝජ්‍ය නායක රුවන් දෙහිඅත්තකණ්ඩියට ගිය අවස්ථාවේ ආණ්ඩුවට සහාය දුන් පිරිස් පැමිණියේ ඔවුන්ට සිදුව ඇති අසාධාරණයන් ගැන කියා සිටීමටය. පොහොර ගැටලූව ඒ සැමට තිබූ ප‍්‍රධාන ගැටලූව වූහ. ‘‘එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු තිබෙන කාලයේ අපිට අපේ රැකියාව කරගන්න පුළුවන් වුණා. දැන් ඒකත් නෑ. අපි උපතින්ම එ.ජා.ප විරෝධීන් වුණත් මේ ආණ්ඩුව නිසා අපට ඒකත් වෙනස් කරගන්න වුණා.” පැමිණි පිරිස කීවේ එවැනි අදහසකි.

‘‘ජනතාවට දැන් ඇත්ත වැටහෙනවා. අපිට ඒ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන්.” නියෝජ්‍ය නායක රුවන් කීවේ සිනහසෙමිනි. එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන ආයතනවලට පත්ව වෙනත් කණ්ඩායම්වලට සහාය දුන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් 21 දෙනකු නැවත පක්ෂයට පැමිණියේ සභාපති වජිර අබේවර්ධනගේ හම්බන්තොට සංචාරය අතරතුරදීය. ඔවුන් සියලූ දෙනා වජිර හමුවේ කියා තිබුණේ එදා තමන් වැරදි තීන්දුවක් ගත් බව දැන් පැහැදිලි වන බවකි. නියෝජ්‍ය නායකයා, සභාපති හා උප සභාපති කොළඹ පැමිණි විගස ඉකුත් බදාදා නායක රනිල් වික‍්‍රමසිංහ හමුවූවේ කොළඹ පස් වන පටුමගේ පිහිටි ඔහුගේ නිවසේදීය. ඔවුන් සියලූ දෙනා දිස්ත‍්‍රික් ප‍්‍රගතිය ගැන සවිස්තර වාර්තාවක් ද නායකයා හමුවේ තැබීය. නායක රනිල් ද පසුගිය සතියේ දින දෙකක් පාර්ලිමේන්තුවට ගිය අතර ඔහුට උණුසුම් පිළිගැනීමක් ඇත්තේ නවක මන්ත‍්‍රීවරුන් අතරය. ඔවුන් බොහෝ දෙනකු සිය හිතවතුන් හා කියා තිබුණේ රනිල් වික‍්‍රමසිංහ සමග කතා කළවිට බොහෝ දේවල් ඉගෙන ගත හැකි බවකි.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment