කෙටි ආයුෂ සහ දීර්ඝායුෂ

467

කොවිඞ්-19 වසංගතයෙන් නැතහොත් කොරෝනාවෙන් අසනීප වන සහ එයින් මියයන රෝගීන් සංඛ්‍යා වැඩි බව අසන්නට ලැබේ. අඩු වයසෙන් මියයන රෝගීනුත් ඒ අතර වේ. කෙනෙකු අඩු වයසෙන් මිය යන්නේ ඇයි? කෙනෙකුට බරපතළ අසනීප සෑදෙන්නේ ඇයි? බුදුදහම ඇසුරෙන් අපි ඒ පිළිබඳව විමසා බලමු.
 
 බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ, ජේතවන නම් අනේපිඬු සිටුවරයාගේ ආරාමයෙහි වැඩ වසන කල, තෝද්‍ය බ‍්‍රාහ්මණයාගේ පුත‍්‍ර සුභ නම් මානවකයාටත් මේ ප‍්‍රශ්න ඇති වූ බව ත‍්‍රිපිටකයෙහි සඳහන් වේ. සුභ මානවකයා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබඳව ඇසීය.
 
 ”ගෞතමයන් වහන්ස… ස්වල්ප ආයුෂ ඇති මනුෂ්‍යයන් දක්නට ලැබේ. දීර්ඝායුෂ ඇති මනුෂ්‍යයන් දක්නට ලැබේ. බොහෝ රෝගාබාධ ඇති මනුෂ්‍යයන් දක්නට ලැබේ. ස්වල්ප
 
 රෝගාබාධ ඇති මනුෂ්‍යයන් දක්නට ලැබේ… ගෞතමයන් වහන්ස, මිනිස්ව උපන්නා වූ මනුෂ්‍යයන්ගේ මෙසේ උස් පහත්කම් දක්නට ලැබේ. ඊට හේතු කවරේ ද? කරුණු කවරේ ද?”
 
 බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක:
 
 සතුන් මරන්නේ නම් අල්පායුෂ
 
 ”… මේ ලෝකයෙහි යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ රෞද්‍ර වූයේ, ලේ තැවරුණු අත් ඇත්තේ, නැසීමෙහි, වැනසීමෙහි යෙදුණේ, සියලූ‍ පණ ඇති සතුන් කෙරෙහි කරුණාව නැත්තේ, සතුන් මරන්නේ වේ ද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළා වූ, මෙසේ සමාදන් වූ, ඒ කර්මය හේතුකොටගෙන, කය බිඳී, මරණින් මතු, සැප රහිත, දුක ඇති, නොකැමැත්තෙන් වැටෙන්නා වූ නිරයෙහි උපදියි. ඉදින් කය බිඳී, මරණින් මතු, සැප රහිත, දුක ඇති, නොකැමැත්තෙන් වැටෙන්නා වූ නිරයෙහි නූපදී ද, මිනිසත් බවට පැමිණේ ද, යම් යම් තැනක පසුව උපදී ද, ස්වල්ප ආයුෂ ඇත්තෙක් වෙයි. … රෞද්‍ර වූයේ, ලේ තැවරුණු අත් ඇත්තේ, නැසීමෙහි, වැනසීමෙහි යෙදුණේ, සියලූ‍ පණ ඇති සතුන් කෙරෙහි කරුණාව නැත්තේ, සතුන් මරන්නේ වෙයි නම්, මේ පැවැත්ම අල්පායුෂ බව පිණිස පවත්නේ වෙයි.”
 
 කෙනෙකු අඩු වයසෙන් මිය යන්නේ ඇයි දැයි බුදුරජාණන් වහන්සේ එසේ පැහැදිලි කළ සේක.
 
 සතුන්ට හිංසා කරන්නේ නම් බොහෝ රෝග
 
 ”… මේ ලෝකයෙහි යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතෙන් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරන ස්වභාව ඇත්තේ ද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළා වූ, මෙසේ සමාදන් වූ, ඒ කර්මය හේතුකොටගෙන, කය බිඳී, මරණින් මතු, සැප රහිත, දුක ඇති, නොකැමැත්තෙන් වැටෙන්නා වූ නිරයෙහි උපදියි. ඉදින් කය බිඳී, මරණින් මතු, සැප රහිත, දුක ඇති, නොකැමැත්තෙන් වැටෙන්නා වූ නිරයෙහි නූපදී ද, මිනිසත් බවට පැමිණේ ද, යම් යම් තැනක පසුව උපදී ද, බොහෝ රෝග ඇත්තෙක් වෙයි. … අතෙන් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරන ස්වභාව ඇත්තේ වෙයි නම්, මේ පැවැත්ම බොහෝ රෝග සහිත වීම පිණිස පවත්නේ වෙයි.”
 
 කෙනෙකුට බොහෝ රෝගාබාධ ඇති වන්නේ මන්දැයි බුදුරජාණන් වහන්සේ එසේ පැහැදිලි කළ සේක.
 
 කෙනෙකුට දීර්ඝායුෂ ලැබෙන්නේ කෙසේ දැයි යන්න ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළෙසේක.
 
 සතුන් නොමරන්නේ නම් දීර්ඝායුෂ
 
 ”… මේ ලෝකයෙහි යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ප‍්‍රාණඝාතය අත්හැර ප‍්‍රාණඝාතයෙන් වැළකුණේ වේ ද, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාව ඇත්තේ, සියලූ‍ පණ ඇති සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වාසය කරයි ද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළා වූ, මෙසේ සමාදන් වූ, ඒ කර්මය හේතුකොටගෙන, කය බිඳී, මරණින් මතු, යහපත් ගති ඇති, ස්වර්ග ලෝකයෙහි උපදියි. ඉදින් කය බිඳී, මරණින් මතු, යහපත් ගති ඇති, ස්වර්ග ලෝකයෙහි නූපදී ද, මිනිසත් බවට පැමිණේ ද, යම් යම් තැනක පසුව උපදී ද, දීර්ඝායුෂ ඇත්තෙක් වේ. … ප‍්‍රාණඝාතය අත්හැර ප‍්‍රාණඝාතයෙන් වැළකුණේ වේ ද, බහා තබන ලද දඬු ඇත්තේ, බහා තබන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාව ඇත්තේ, සියලූ‍ පණ ඇති සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වාසය කරයි නම්, මේ පැවැත්ම දීර්ඝායුෂ පිණිස පවත්නේ වෙයි.”
 
 බොහෝ රෝගාබාධ ඇති කෙනකු නොවන්නේ කෙසේ දැයි යන්න ද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළසේක.
 
 සතුන්ට හිංසා නොකරන්නේ නම් ස්වල්ප රෝග
 
 ”… මේ ලෝකයෙහි යම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අතෙන් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරන ස්වභාව නැත්තේ ද, හෙතෙම මෙසේ සම්පූර්ණ කළා වූ, මෙසේ සමාදන් වූ, ඒ කර්මය හේතුකොටගෙන,
 
 කය බිඳී, මරණින් මතු, යහපත් ගති ඇති, ස්වර්ග ලෝකයෙහි උපදියි. ඉදින් කය බිඳී, මරණින් මතු, යහපත් ගති ඇති, ස්වර්ග ලෝකයෙහි නූපදී ද, මිනිසත් බවට පැමිණේ ද, යම් යම් තැනක පසුව උපදී ද, ස්වල්ප රෝග ඇත්තෙක් වේ. … අතෙන් හෝ කැටකින් හෝ දණ්ඩෙන් හෝ ආයුධයෙන් හෝ සතුන්ට හිංසා කරන ස්වභාව නැත්තේ නම්, මේ පැවැත්ම ස්වල්ප රෝග ඇති බව පිණිස පවත්නේ වෙයි.”
 
 ත‍්‍රිපිටකයෙහි මජ්ඣිමනිකායෙහි උපරිපණ්ණාසපාළියට අයත් 4. විභංග වර්ගයෙහි එන 5. චූලකම්ම විභංග සූත‍්‍රයෙහි ඇතුළත් ඉහත කරුණු පිළිබඳ ව අද අප කාගේත් අවධානය යොමු කරන්නේ නම් වැදගත් ය.
 
 එම නිසා කොවිඞ්-19 වසංගතය නැතහොත් කොරෝනාව සම්බන්ධයෙන් රජයේ නියමයන් සහ සෞඛ්‍ය අංශවලින් දෙනු ලබන උපදෙස් පිළිපදින අතර ම, අඩු වයසෙන් මියයෑම සහ බරපතළ අසනීප සෑදීම වළක්වා ගැනීමට සතුන් මැරීමෙන් සහ සතුන්ට හිංසා කිරීමෙන් වැළැකී, කොවිඞ්-19 වසංගතය නැතහොත් කොරෝනාව මේ ලෝකයෙන් දුරු වන සේ කටයුතු කිරීමට අපි අදිටන් කරගනිමු.
 
 විශ‍්‍රාමික අධ්‍යාපනඥ සහ භාවනා උපදේශක
 රෝහිත විජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment