ජයවංශ සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම්

හිටපු මහ ඇමැති දෙසත් පොලිස් ඇස

සිඟිති සිටියේ ඉහවහා ගිය කෝපයෙන් යුතුවය. ඔහුගේ දෑස් ගිනි පුළුඟු මෙන් දිදුලන්නට විය. පාලනය කරගත නොහැකි කෝපයෙන් සිටි සිඟිතිගේ සිරුර ගැහෙන්නට විය.

“යකෝ උඹ මගේ කෙල්ලට පාරේ බැහැලා යන්න බැරි තැනට වැඩ සැලැස්සුවා. ඒකිගේ අනාගතේම විනාශ කරලා දැම්මා. මං කොහොමද සමාජයට මුහුණ දෙන්නෙ…”

සිඟිති කෝපයෙන් කෑගැසුවේය.

“අනේ මහත්තයා මේක ලොකු වැරදීමක්. එය වරද මගේ අතින් සිද්ධ වුණේ නැහැ. මං මේ කිසි දෙයක් දන්නෙ නැහැ. මට යන්න දෙන්න.”

සිඟිතිගේ තර්ජන ගර්ජන ඉදිරියේ බැගෑපත් වූ ජයවංශ හඬා වැටුණේය.

“මගේ කෙල්ලගේ බඩේ ඉන්න දරුවගෙ තාත්තා උඹ. දැන් වෙන කරන්න දෙයක් නැහැ. උඹ මගේ කෙල්ලව භාරගන්න ඕනෙ. ඒ විතරක් නෙවෙයි උඹලා දෙන්නව කසාද බන්දවලා මං උඹලව රට යවනවා. ලංකාවෙ උඹලට ඉන්න බැහැ.”

සිඟිති සිය අනාගත සැලසුම ගැන ජයවංශට කීවේය.

“මහත්තයට පිස්සු ද මං මොකට ද මේ කොහෙවත් යන කෙල්ලෙක් කසාද බඳින්නෙ. අනික මට දරුවෙක් එක්ක කෙල්ලෙක් භාරගන්න බැහැ. මේක කොහොමටවත් වෙන්නෙ නැහැ. මෙයා කොල්ලො කීදෙනෙක් ආශ්‍රය කළා ද?”

ජයවංශ සිඟිතිගේ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් කීවේය.

සිඟිතිගේ දියණිය 17 හැවිරිදි වියේ පසු වූ ළාබාල තරුණියකි. ඒ වනවිට ඇය මාස කීපයක ගැබිනියක ද වූවාය. සිඟිතිගේ දියණිය සහ ජයවංශ අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබූ නිසා ඔවුන් සැක කළේ දියණිය ගැබිනියක වූයේ ජයවංශ නිසා බවය. දාහත් හැවිරිදි දියණිය කියාසිටියේ ද ජයවංශ අතින් තමන්ට වරදක් වූ බවයි.

තම දියණියට සිදුවූ අතවරය පිළිබඳව විමසීමට සිඟිති විසින් ජයවංශයට සිය නිවසට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර තිබුණේ ඉකුත් අප්‍රේල් මස 22 වැනිදාය.

ජයවංශ එදින පෙරවරුවේ තම පෙම්වතියගේ නිවසට යන්නේ මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නා අටියෙනි.

එහෙත් අප්‍රේල් 22 වැනිදායින් පසුව සිඟිති පිළිබඳව කිසිදු තොරතුරක් දැනගන්නට තිබුණේ නැත. ජයවංශගේ මෑණියන් වන ඉන්ද්‍රානි විජේලතා එදිනම සවස කුලියාපිටිය පොලිසිය වෙත දිව එන්නේ තම පුත්‍රයා පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව කියමින්ය.

“අනේ සර් මගේ පුතා අහිංසකයෙක්. සිඟිති මහත්තයා පුතාට එන්න කියලා පණිවිඩයක් එවලා තිබුණා. එයා අද උදේම සිඟිති මහත්තයගේ ගෙදර ගියා. ඒත් දැන් එයාගෙන් කිසිම තොරතුරක් නැහැ. පුතාගේ ෆෝන් එක වැඩ කරන්නෙත් නැහැ. පුතාට මොකක් හරි කරදරයක් වෙලා ඇති. අනේ සර් අපට පිහිට වෙන්න”

ජයවංශගේ මවගේ පැමිණිල්ලට අනුව කුලියාපිටිය පොලිසිය එදිනම සිය විමර්ශන ආරම්භ කළේය.

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වජිර ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් මත සිඟිතිගේ නිවස පරීක්ෂා කිරීමට පොලිස් කණ්ඩායමක් පිටත් කරන ලදී.

එහෙත් ඒ වනවිටත් පොලිසිය ප්‍රමාද වැඩිය. සිඟිතිගේ නිවස දොරගුළු දමා තිබිණි. සිඟිතිවත් ඔහුගේ බිරිඳ හෝ දරුවන් දෙදෙනාවත් නිවසේ සිටියේ නැත.

“සර් මෙතැන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා. නැත්නම් මේ අය ගෙවල් දොරවල් අතහැරලා දාලා යන්නෙ නැහැනෙ.”

සිඟිතිගේ නිවස පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කළහ.

පසුදා වනවිට ජයවංශගේ අතුරුදන් වීම පිළිබඳ පුවත සියලුම මාධ්‍ය හරහා ප්‍රචාරය වන්නට පටන් ගත්තේ මුළු රටම ගිනිගත් සිද්ධියක් බවට පත් කරමින්ය. සිය පෙම්වතිය බැලීමට ඇගේ නිවසට ගිය තරුණයා අතුරුදන්වීමේ සිද්ධිය පිටුපස විශාල ඛේදවාචකයක් නිසැක වශයෙන් තිබෙනු ඇති බවට පොලිසිය ද සැක පහල කළහ. මේ සිද්ධිය මහත් ආන්දෝලනයකට ලක් වූ පුවතක් වූ නිසා රටේ සියලු දෙනාපාහේ අවධානය ඊට යොමු වී තිබුණේය.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වූ කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති සුදත් වෙදමුල්ල, කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ, සහකාර පොලිස් අධිකාරි වසන්ත හේරත් යන මහත්වරුන් කැඳවා ජයවංශගේ අතුරුදන් වීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමට උපදෙස් ලබාදුන්නේය.

කෙල්ලට බූට් එක තියපු කොල්ලව පනිරෙන්ඩාව වනයේදී අවසන් ගමන් යැවූ හැටි

පොලිසිය ඉක්මන් වුණොත් මේ කොල්ලගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙයි. ඒ නිසා අපි ස්පෙෂල් ටීම් කීපයක් දාලා මේ කොල්ලව කොහොම හරි හොයාගන්න බලමු.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිය උසස් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

අතුරුදන් වූ සිඟිති සහ පවුලේ සාමාජිකයන් සොයා පොලිස් කණ්ඩායම් කීපයක් ප්‍රදේශ පීරන්නට වූහ. එහෙත් ඔවුන් ආගිය ස්ථානයක් සොයාගැනීමට හැකි වුණේ නැත.

පොලිස් නිලධාරීන් ජයවංශගේ මවගෙන් සහ පවුලේ සාමාජිකයන් ගෙන් දිගින් දිගට ම ප්‍රශ්න කරමින් සැක කටයුතු හෝඩුවාවක් ලබාගන්නට උත්සාහ කළහ.

“ඔය සිඟිති කියන මිනිහගෙ දුව එක්ක අපේ කොල්ලගෙ සම්බන්ධයක් තිබුණා. ඒක ඇත්ත මහත්තයෝ. ඒත් ඌ ඒ කෙල්ලව අනාථ කළේ නැහැ. ඒක අපට විශ්වාසයි. උන් හැදුවෙ කෙල්ලව කොහොම හරි අපේ එකාගෙ ඇගේ ගහන්න.”

ජයවංශගේ මව හඬා වැටෙමින් කීවා ය. තරුණයා අතුරුදන් වී දින ගණනක් ගතවිය. එහෙත් කිසිදු තොරතුරක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබුණේ නැත. කුලියාපිටිය පොලිසිය කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් ඒ වනවිට ජයවංශ සොයා විමර්ශන පවත්වමින් සිටියහ.

සිඟිති යනු යහපත් කල්ක්‍රියාවකින් යුතුව කටයුතු කළ පුද්ගලයකු නොවෙයි. ඔහු කලක් වයඹ පළාත් සභාවේ හිටපු මහ ඇමති අතුල විජේසිංහ මහතාගේ රියැදුරු ලෙස කටයුතු කළේය. ඒ රැකියාව හරි හැටි නොකිරීම නිසා ඉන් ඉවත් වූ සිඟිති විවිධ රැකියාවල නිරත වුණේය.

නීති විරෝධී මත්පැත් පෙරීමේ ව්‍යාපාරය ද සිඟිති ජයටම කරගෙන ගියේය. සිඟිතිට ජයවංශ නැමැති තරුණයා දැන හඳුනාගන්නට ලැබෙන්නේ මේ නීති විරෝධී මත්පැන් ජාවාරම් සිදුකරගෙන ගිය කාල සීමාවේදීය. සිඟිතිගේ මහා පරිමාණ නීති විරෝධී මත්පැන් පෙරීමේ ජාවාරමට එක්වූ ජයවංශ හරි හරියට වැඩ කළේය. කොටින්ම මේ තරුණයා තම ජාවාරමට දෙවියන් විසින් දායාද කළ වස්තුවක් ලෙස සිඟිති දැක්කේය.

මේ කොල්ලා හොඳ වැඩකාරයෙක්. මගේ පිනට මූ මට හම්බ වුණේ. සිය නීති විරෝධී මත්පැන් ජාවාරම් සාර්ථකව කරගෙන ගියි සිඟිති ජයවංශගේ ආගමනය ගැන සිතා සිය දහස් වාරයක් සිඟිති සතුටු වුණේය.

ජයවංශ තරුණියන්ගේ සිත් වශී කරවනසුලු රූපයකට හිමිකම් ඇති කඩවසම් තරුණයකු විය. මේ කඩවසම් තරුණයා අමුසල්ලාලයකු බව සිඟිති දැන සිටියේ නැත.

දකින දකින තරුණියන් සහ රූමත් කාන්තාවන් සමග සම්බන්ධතා ගොඩනඟා ගැනීමට අතිදක්ෂයකු වූ ජයවංශ සිඟිතිගේ මත්පැන් ජාවාරම් සමඟ සම්බන්ධ වී සිටි කාලය පුරාවට තරුණ කාන්තාවන් කීපදෙනකුම ඇසුරු කළේය.

සිඟිතිගේ පවුලේ සමීපතම රූමත් කාන්තාවක් සමග අනියම් සම්බන්ධයක් ජයටම කරගෙන ගිය ජයවංශ ඉන් නොනැවතී සිඟිතිගේ දියණිය සමග ද සබඳතාවක් ගොඩනඟා ගත්තේය.

“මං කවදාහරි ඔයාව කසාද බඳිනවා. මේ ඇත්තමයි කියන්නෙ බබා. ඔයාගෙ වයස සම්පූර්ණ වුණාම අපි කසාද බඳිමු”

ජයවංශ සිඟිතිගේ වැඩිමහල් දියණිය රවටා ඇයට නොයෙකුත් බලාපොරොත්තු ලබාදී ඇගේ සිත දිනාත්තේය. ඒ වනවිට සිඟිතිගේ දියණිය යන්තම් 17 වැනි වියට පා තැබූ පාසල් යන වයසේ දැරියක වූවාය.

සිඟිතිගේ පවුලේ සමීපතම කාන්තාවක් සමග ජයවංශ පවත්වා ගෙන ගිය අනියම් සම්බන්ධය සැලවීමත් සමගම ඔහු කසිප්පු ව්‍යාපාරයෙන් ඈත් කිරීමට කටයුතු කළේය.

“උඹට මගේ ළඟ වැඩ කරන්න බැහැ. ගමේ උන් මට එක එක කතා කියනවා. උඹ මගේම නෑදෑයෝ වෙන ගෑනු එක්ක නටනවා කියලා මට කීපදෙනෙක්ම කිව්වා. ඒ නිසා උඹ වෙන තැනක රස්සාවක් හොයාගනින්. නැත්නම් මට මගේ නෑදෑයෝ වෙන ගෑනු පරිස්සම් කරගන්න බැරි වෙනවා.”

සිඟිති ජයවංශට අවවාද කර ඔහුව කසිප්පු ව්‍යාපාරයෙන් නෙරපා දැමුවේය. එහෙත් ඒ වනවිටත් ජයවංශ තම දියණිය ද අමාරුවේ දමා තිබෙන බව සිඟිති දැන සිටියේ නැත.

31 හැවිරිදි වියේ පසු වූ ජයවංශ ඒ වනවිට විවාහකයෙකි. ඒ බව සිඟිතිගේ දියණිය හෝ පවුලේ කිසිවකුත් දැන සිටියේ නැත. ජයවංශ හැසිරුණේ තමන් තවත් විවාහයට භාජනය නොවූ භද්‍ර යෞවනයකු බව පෙන්වමින්ය.

ඒ අතර ඊට පෙර ද ජයවංශ තවත් තරුණියක හා සබඳතාවක් පවත්වා ගෙන යමින් ඇය ද ගැබිනියක කර තිබිණි. ඒ තරුණියගේ දරු ගැබ විනාශ කර දැමීමට හොර රහසේ ම ජයවංශ කටයුතු කර තිබුණේය.

මේ ආකාරයට තරුණ කාන්තාවන් රැසක් අමාරුවේ දමා ඔවුන්ගේ ජීවිත විනාශ කරන අමුසල්ලාලයකු ලෙස ජයවංශ කටයුතු කර තිබුණේය.

කෙසේ වෙතත් තම දියණිය ජයවංශගේ අතවරයට ලක්ව ගැබිනියක වූ පුවත ඇසීමෙන් සිඟිති යක්ෂාරූඪ වූයේය. කොට්ටෝරුවා හැම ගසට ම කොටා කෙසෙල් ගසට කෙටූ දා සිදු වූ දෙයම ජයවංශට ද සිදු වුණේය.

සිඟිතිගේ දියණිය අමාරුවේ දැමීම තම ජීවිතය කෙළවර වන සිදුවීමට මඟපෑදුණු ඇතැයි ඔහු මොහොතකටවත් නොසිතන්නට ඇත.

දින සතිවලට පෙරළුණේය. ජයවංශ පිළිබඳ කිසිදු තොරතුරක් නැත. මුළු රට ම බලා සිටියේ ජයවංශට සිදුවූයේ කුමක්ද කියාය. පොලිසිය ද උභතෝකෝටික ප්‍රශ්න රැසකට මුහුණ දී සිටියේ ජයවංශ පිළිබඳව නොව සිඟිති පිළිබඳව කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිවය.

මේ අතර දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන කළ පොලිසිය වැලිමඩ කැප්පෙටිපොළ ප්‍රදේශයේ දී වඩු කාර්මිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.

මොවුන් දෙදෙනා කාලයක් තිස්සේ මාදම්පෙ ප්‍රදේශයේ වඩුමඩුවක සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකි. මොවුන් සිඟිති සහ ඔහුගේ මස්සිනා සමඟ සමීප සබඳතා පැවැත් වූවන් බව පොලිසිය හෙළි කරගත්තේය. වඩු කාර්මිකයන් දෙදෙනා ගෙන් පොලිසිය දිගින් දිගට ම ප්‍රශ්න කිරීම් කළහ.

“අනේ සර් ඔය කොල්ලට මොනවද වුණේ කියලා නම් අපි දන්නෙ නැහැ. හැබැයි ඌව සිඟිති මහත්තයගෙ ගෙදරට ගෙනාව වෙලාවෙ අපි දෙන්නා එහෙ හිටියා.

සිඟිති මහත්තයගෙ දුව මේ කොල්ලා නිසා ගැබිනියක් වෙලා හිටියේ. ඒකට මහත්තයා හිටියෙ හොඳටම තරහ ගිහින්. එයා කොල්ලට කිව්වා දුවව කසාඳ බඳින්න කියලා. ඌ ගත් කටටම බෑ කිව්වා. දරුවා උගේ නෙවෙයි කිව්වා.

හොඳටම තරහා ගිහින් මහත්තයා කොල්ලට ගැහුවා. පස්සෙ උගේ අත් කකුල් බැඳල දාලා වාහනේ දාගෙන මාදම්පෙ මහගෙදරට අරගෙන ගියා.

මහගෙදර ටොයිලට් එකේ කොල්ලව හිර කරලා දැම්මා. එතැනට එනකල් අපි සිඟිති මහත්තයට උදවු කළා. ඊට පස්සේ එයා කිව්වා අපට බස් එකේ නැඟලා වැලිමඩ යන්න කියලා. අපි දෙන්නා එදාම පිටත් වෙලා ආවා.”

වඩු කාර්මිකයන් දෙදෙනා සිදුවූ සියල්ල හෙළි කළෝය. සිඟිති සහ ඔහුගේ මස්සිනා ජයවංශගේ අතුරුදන් වීම පිටුපස සිටින බවට ඒ වනවිට තොරතුරු ලැබී තිබුණේය. එහෙත් සිටින ස්ථානයක් පිළිබඳව හෝ ඇසුරු කරන පුද්ගලයකු පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට හැකි වුණේ නැත.

කෙසේ වෙතත් සිඟිති ඔහුගේ බිරිඳ සහ මස්සිනා රටින් පලා යෑම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට පොලිසිය ඒ වනවිටත් කටයුතු කර තිබුණේය.

මේ අතර එක්තරා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු පොලිසියට දුරකථනයෙන් කතා කළේය.

“සිඟිති හෙට පොලිසියට භාර වෙනවා. ඒ නිසා එයාට මොකුත් කරදරයක් කරන්න එපා”

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කීම විශ්වාස කළ පොලිස් නිලධාරීන් පසුදා වනතුරු බලා සිටියහ.

ඒ වනවිට පොලිසිය වයඹ පළාතේ හිටපු මහ ඇමති නීතිඥ අතුල විජේසිංහ මහතාගෙන් ද මේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශ ලබාගෙන සිටියහ.

පොලිසිය එසේ කළේ සිඟිති අතුල විජේසිංහ මහතාගෙන් මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කළ බවට පොලිසියට තොරතුරු ලැබී තිබීම නිසාය.

ඔය මනුෂ්‍යයා කාලයක් මගේ ළඟ වැඩ කළා. මේ ප්‍රශ්නය ගැන මිනිහා මගෙන් නිසි උපදෙස් ලබා ගත්තා. මා නීති උපදෙස් දුන්නා මිනිහට. පොලිසියට භාරවෙලා මේ ප්‍රශ්නය බේරගන්න කියලා.

අතුල විජේසිංහ මහතා පොලිසිය හමුවේ එසේ ප්‍රකාශ කර තිබුණේය. කෙසේ වෙතත් ජයවංශගේ අතුරුදන් වීමට සම්බන්ධ වී සිටිනා පුද්ගලයන් ආරක්ෂා කිරීමට දේශපාලනඥයන් හිටපු උසස් පොලිස් නිලධාරීන් උත්සාහ කරමින් සිටින බව පොලිසිය ඒ වනවිට තේරුම් ගෙන සිටී.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දැනුම් දීම අනුව සිඟිති පසුදින පොලිසියට භාරවනු ඇතැයි විමර්ශන නිලධාරීන් විශ්වාස කළහ. එහෙත් සිදුවුණේ වෙනත් දෙයකි. සිඟිති සහ ඔහුගේ බිරිඳ කාටත් හොර රහසේ කුලියාපිටිය අධිකරණය වෙත නීතිඥවරුන් මාර්ගයෙන් භාර වූයේ පොලිස් නිලධාරීන් ද අන්දමන්ද කරමින්ය.

ජයවංශට මොකක්ද වුණේ කියලා දන්නේ සිඟිති. මිනිහා උසාවියට භාරවෙලා රිමාන්ඩ් වුණොත් අපිට මේ ගැන මිනිහ ගෙන් ප්‍රශ්න කරන්න වෙන්නෙ නෑනේ. ඒ නිසා අපි කොහොම හරි මිනිහා රිමාන්ඩ් වෙන එක නතර කරලා ඇප දිලා එළියට ගන්න ඕනේ. අපිට එතකොට පුළුවන් එයාව ආයෙත් ඇරස්ට් කරලා ප්‍රශ්න කරන්න.

විමර්ශනයට සම්බන්ධ වූ උසස් පොලිස් නිලධාරීන් සිඟිති අධිකරණය වෙත භාර වීම ගැන සාකච්ඡා කළේය.

අවසානයේ සිඟිති ජය ගත්තේය. ඔවුන් අධිකරණය ද නොමග යවා තිබුණේය. පොලිසිය සිඟිති බන්ධනාගාර ගත කිරීමට එරෙහිව කරුණු ඉදිරිපත් කළෝය. අධිකරණයෙන් සිඟිතිට සහ ඔහුගේ බිරිඳට ඇප ලබාදෙන්නේ පොලිසිය කළ ඉල්ලීම මතය.

එහෙත් ඇප කොන්දේසි හිතාමතාම කඩකිරීම නිසා සිඟිති සහ බිරිඳ බන්ධනාගාර ගත විය. පොලිසියේ සියලු සැලසුම් ව්‍යාර්ථ වන්නේ එය ආකාරයටය.

කෙල්ලට බූට් එක තියපු කොල්ලව පනිරෙන්ඩාව වනයේදී අවසන් ගමන් යැවූ හැටි

අපට දැන් ඉන්න එකම තුරුම්පුව සිඟිතිගේ මස්සිනා. මිනිහත් ඔය විදිහටම අධිකරණයට භාරවෙලා අධිකරණය නොමඟ යැව්වොත් අපට සිද්ධ වෙන්නේ උඩ බලාගෙන නිකන් ඉන්න. ඒ නිසා කොහොම හරි අපි මිනිහව ඇරස්ට් කරන්න ඕනේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති සුදත් වෙදමුල්ල, කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ සහකාර පොලිස් අධිකාරි වසන්ත හේරත් ඇතුළු උසස් නිලධාරීන් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළහ. ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් විසිදෙනකුට ආසන්න පිරිසක් කුලියාපිටිය ප්‍රදේශය පුරා යෙදවීමට කටයුතු කළහ.

මේ නිලධාරීන් බුලත්විට විකුණන්නන්, පරණ යකඩ එකතු කරන්නන්, හිඟන්නන් වෙළෙඳ සැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට පැමිණෙන පුද්ගලයන් ලෙස වෙස් මාරු කරගත් පොලිස් නිලධාරීන් නගරය පුරා සැරිසරන්නට වූහ.

මේ අතර කුලියාපිටිය අධිකරණය ආසන්නයේ ද සිවිල් පොලිස් නිලධාරීන් රාජකාරියට යෙද වූයේ සිඟිතිගේ මස්සිනා හොර රහසේම අධිකරණය වෙත භාර වීමට පැමිණිය හොත් ඊට පෙර ඔහු අත්අඩංගුවට ගැනීමේ සැලසුම් ඇතිවය.

පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කළ සැලසුම ඉතාම සාර්ථක විය. කුලියාපිටිය නගරයේ හෝටලයක් අසලට පැමිණ සිටි සිඟිතිගේ මස්සිනා අවසානයේ කොටුකර ගන්නට පොලිස් නිලධාරීන් සමත් වූහ.

වෙස් වලාගෙන සිටි කුලියාපිටිය කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති පුෂ්පික ගුණරත්න මහතා ඇතුළුව නිලධාරීන් විසින් සිඟිතිගේ මස්සිනා අත්අඩංගුවට ගන්නේ ඔහුටත් සිතා ගැනීමට නොහැකි ආකාරයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින්ය.

අත්අඩංගුවට ගත් සිඟිතිගේ මස්සිනා කුලියාපිටිය පොලිසිය වෙත රැගෙන ගොස් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ඇරඹූහ.

මුලදී පොලිසිය නොමඟ යැවීමට ගජබින්න ඇදබෑව ද තවදුරටත් සත්‍ය වසන් කිරීම කළ නොහැකි බව සිඟිතිගේ මස්සිනාට ම සිතුණේය.

අනේ සර් මට කරදර කරන්න එපා. සිද්ධවෙච්ච හැම දෙයක්ම මම කියන්නම්. සිඟිතිගේ මස්සිනා සිදු වූ සත්‍ය හෙළි කිරීමට පොරොන්දු වූයේය.

“සිඟිති කියන්නේ මගේ නෝනගේ අයියා. එයා මට හරියට උදව් කරලා තියනවා. අයියගෙ දුවට මෙහෙම කරදරයක් වෙලා තියනවා කියලා ආරංචි වුණාම මට වාවන්නේ නැතිව ගියා. සිඟිති අයියා මගෙන් උදව් ඉල්ලුවා. අපි උත්සාහ කළේ මේ කොල්ලට කොහොම හරි දුවව බන්දලා දීලා උන් දෙන්නවම රට යවන්න. ඒත් කොල්ල ඒකට කොහෙත්ම කැමති වුණේ නැහැ. සිඟිති අයියා හොඳටම තරහ ගිහින් හිටියේ. එයා මට කිව්වා මේකට මගේ දුව බඳින්න බැරිනම් මේකා ජීවත් වෙලා වැඩකුත් නැහැ කියලා. දුවට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ කියලා කිව්වා. මගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා වැලිමඩ. ඒ අය වඩුවැඩ කරන අය. මං උන් දෙන්නවත් ගෙන්න ගත්තා මේ වැඩේට. කොල්ලව අරගෙන යන්න මම වෑන් එකකුත් හයර් එකට ගත්තා. මේ ප්‍රශ්න කතා කරගන්න කියලා අපි කොල්ලව ගෙදරට ගෙන්න ගත්තා.

එදා සිඟිති අයියා හොඳටම තරහ ගිහින් හිටියේ. කොල්ලට එයා හොඳටම ගැහුවා. පස්සේ අපි උගේ අත්කකුල් ගැට ගහලා මාදම්පෙ පණිරෙණ්ඩාව කැලේට අරගෙන ගියා. මගේ යාළුවෝ දෙන්නයි සිඟිති අයියයි මමයි වෑන් එකේ ගියේ. කැලේට අරගෙන ගිහින් ලොකු මහෝගනී ගහක් යට කොල්ලව ගැට ගහලා, ඌට හොඳටම ගැහුවා. පස්සේ අත්දෙක බැඳලා තිබුණු ලණුව බෙල්ලට දාල බෙල්ල හිර කරලා කොල්ලව මැරුවා.

එහෙම කරලා අපි කට්ටිය ගෙදර ආවා. දුවට කරපු අසාධාරණයට එයා වෙනුවෙන් සාධාරණයක් කරන්න ලැබිච්ච එක ගැන සිඟිති අයියා හිටියේ හරි සතුටෙන්. සිදුවූ සියල්ල සිඟිතිගේ මස්සිනා එකින් එක විස්තර කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ජයවංශගේ සිරුර සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

මුලින් අත්අඩංගුවට ගත් වඩු කාර්මිකයන් දෙදෙනා ගජබින්න ඇදබා ඇති බව ඒ වනවිට හෙළි වී තිබුණේය. ඔවුන් කියා තිබුණේ මාදම්පෙ පිහිටි සිඟතිගේ මහගෙදරට ජයවංශ රැගෙන ගොස් ඔහු එහි සිරකර දමා තමන් පිටව ගිය බවයි. එහෙත් සඟිතිගේ මස්සිනාගේ ප්‍රකාශය අනුව වඩුකාර්මිකයන් දෙදෙනා ද මේ ඝාතනයට හවුල් වී ඇති බව හෙළි වී තිබුණේය.

සිඟිතිගේ මස්සිනා අත්අඩංගුවට ගැනීමට පෙර පොලිසිය මාදම්පෙ පණිරෙණ්ඩාව රක්ෂිතය පීරමින් ජයවංශගේ සිරුර සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. පොලිසිය එසේ කර තිබුණේ ජයවංශගේ ජංගම දුරකථනය මේ රක්ෂිත වනාන්තරය තුළට එනතුරුම ක්‍රියාත්මක වෙමින් තිබූ නිසාය.

එහෙත් විශාල වපසරියකින් යුත් පණිරෙණ්ඩාව රක්ෂිතය තුළ ජයවංශගේ සිරුර සෙවීමේ කටයුතු කළ නොහැකි වූ තැන පොලිස් නිලධාරීන් ඒ මෙහෙයුම අතහැර දමා තිබුණේය. එහෙත් අවසානයේදී පොලිසියට ජයවංශගේ සිරුර හමුවන්නේ ද මේ රක්ෂිත වනාන්තරය තුළ දීමය. කොල්ලව මරලා ආවට පස්සේ අපිට ලොකු බයක් දැනුණා. කරන්නේ මොනවද කියලා ප්ලෑන් කරගන්නවත් තරම් හොඳ මානසිකත්වයක් අපට තිබුණේ නැහැ.

සිඟිති අයියා කිව්වා අපි පුළුවන් තරම් ඉක්මනට ගෙවල් දොරවල් අත ඇරලා දාලා කොහේ හරි යමු කියලා. අතට අහුවෙච්ච ඇඳුම් පැලඳුම් වටිනා දේවල් අරගෙන අපි මීගමුව පැත්තෙ ගෙදරකට ආවා. එහෙ දවස් දෙක තුනක් ගත කළා. ඒ වෙනකොට කොල්ලගේ අතුරුදන් වීම ගැන මාධ්‍යවල ජයට ම තොරතුරු යන්න පටන් ගත්තා. අපි තවත් බය වුණා. සිඟිති අයියා කිව්වා අපි මේ පළාත්වල ඉන්න එක භයානකයි. කොහෙ හරි දුරකට ගිහින් හැංගිලා ඉමු කියලා.

අපි දන්න කෙනෙක් ඉන්නවා දිඹුලාගල පැත්තෙ. මෑන් නිධන් හාරන වැඩ කරන කෙනෙක්. කුලියට කාර් එකක් අරගෙන අපි කට්ටියම දිඹුලාගල ගිහින් හැංගිලා හිටියා. ඒත් සර් මේ විදිහට අපිට හැමදාම හැංගිලා ඉන්න බැහැ. කරපු අපරාධය වහගෙන ඉන්නත් බැහැ.

සඟිතිගේ මස්සිනා ජයවංශ ඝාතනයෙන් පසු සිදු වූ සියල්ල ද හෙළි කළේය.

කුලියාපිටිය පොලිසියේ විශේෂ කණ්ඩායමක් ජයවංශ ඝාතනයේ විමර්ශන කටයුතු දිගටම කරගෙන ගියහ. සිඟිතිගේ මස්සිනා සිදුවූ සියල්ල පාපොච්චාරණය කළ ද යම් යම් කරුණු ව්‍යාජ ඒවා බවට පොලිසිය සැක පහල කළහ. මේ අතර ජයවංශගේ මරණය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හලාවත අධිකරණ වෛi නිලධාරි වයි.එන්.ජී. ඉලංගරත්න බණ්ඩා මහතා විසින් සිදු කළේය.

මරණ පරීක්ෂණ වාර්තාවට අනුව මෙම ඝාතනය වෙනත් ස්ථානයක සිදුකර මාදම්පෙ පණිරෙණ්ඩාව රක්ෂිතයට

ගෙනැවිත් දමා ඇති බව සඳහන් විය.

ඒ අනුව පොලිසිය නැවතත් සිඟිතිගේ මස්සිනා ගෙන් ප්‍රශ්න කළේය.

“ඇත්ත කියපං නැත්නම් උඹ තවත් අමාරුවේ වැටෙනවා. කොල්ලව මැරුවෙ කොහෙදි ද? අපිව නිකං වටේ යවන්න හදන්න එපා.”

විමර්ශන නිලධාරීන් අඩි පොළොවේ

ගසමින් නැවතත් සිඟිතිගේ මස්සිනා ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. විමර්ශන කටයුතු අඩපණ කර තමන්ට වාසියක් ලබාගන්නට සිඟිතිගේ මස්සිනා ගත් උත්සාහය ව්‍යර්ථ විය.

“ඇත්තම කියන්නම් සර්. කොල්ලව අපි මැරුවේ මාදම්පෙ ගෙදර දී. හොඳටම ගහලා. බෙල්ල සිරකරලා ඌව මැරුවා. අන්තිමේදී අපි කට්ටිය කොල්ලගෙ බොඩි එක රක්ෂිතයට ගෙනැල්ලා දැම්මා. අපි කවදාවත් හිතුවේ නැහැ මේක අහුවෙයි කියලා.

සිඟිතිගේ මස්සිනා අවසානයේ සියලු සත්‍ය හෙළි කළේය. පොලිසියෙන් බේරී විමර්ශන අඩපණ කිරීමට සිතාගෙන හිතාමතාම බන්ධනාගාරගත වූ සිඟිති සහ ඔහුගේ බිරිඳ නැවත අධිකරණය වෙත ඉදිරිපත් කළහ.

ඔවුන් පොලිස් ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් නිලධාරීන් වෙත භාර ගැනීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කෙරිණි.

එමෙන්ම ජයවංශගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන්ට සහාය වීම සඳහා ගොඩපෙරකදෝරුකම් කළ ප්‍රදේශයේ දේශපාලනඥයන් කීපදෙනකුට සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකුට එරෙහිවද පොලිසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

සිඟිති නමැති අපරාධකරු බයට පලාගිය දේශපාලනඥයන්ට බැලමෙහෙවරකම් කරමින් උන්ගේ සහාය ලබාගෙන මිනීමැරුම යට ගැසීමට නොගත් උත්සාහයක් නැත.

සිඟිති මීට ටික කලකට උඩදී ප්‍රාදේශීය සභාව හරහා දේශපාලනයට සම්බන්ධ වීමට ද උත්සාහ කළ පුද්ගලයෙකි. එවැනි දේශපාලන පසුබිමක් තිබීම නිසා සිඟිති මේ තරුණයාගේ ඝාතනය යට ගැසීමට හැකිවනු ඇතැයි සිතන්නට ඇත.

එහෙත් පොලිසිය සිය රාජකාරිය අකුරටම ඉෂ්ට කිරීම නිසා කාලයේ වැලිතලාවෙන් වැසී යෑමට ගිය අබිරහස් සුලමුල හෙළි කරගෙන අපරාධකරුවන් නීතියේ රැහැනට නතු කරගැනීමට හැකි විය.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, නියෝජ්‍ය පොලිස්පති සුදත් වෙදමුල්ල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ ඇතුළු විමර්ශන නිලධාරීන්ගේ දක්ෂතාව සහ කැපවීම නිසා කිසිදු බලපෑමකට යට නොවී ජයවංශගේ ඝාතනයේ සුලමුල හෙළි කරගෙන අපරාධකාරයන් සියල්ල නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීම සැබැවින්ම ප්‍රශංසනීය ක්‍රියාවකි.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment