බුදුපිළිම වහන්සේ තෙනමක් විනාශ මුඛයට…
රන් පැහැති ලෝහමය බුද්ධ ප්‍රතිමාවකුත් සොයාගෙන…
දාගැබ මැද මහ වළක්…
2018 අවුරුද්දේ පුරාවිද්‍යා ගවේෂණයක් කරලා, ආරක්‍ෂාවට මුරකරුවොත් දාලා…
කැණීම්වලින් ප්‍රදර්ශනයට තැබිය හැකි පුරාවස්තු කිහිපයක් සොයාගෙන…
තල් අරඹේ සැඟවුණ අපේ උරුමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු තිදෙනෙක්, පුරාවිද්‍යා නිලධාරීන් කිහිපදෙනෙක් සහ බෞද්ධාලෝක පදනමේ සාමාජිකයන් සමග තල්අරඹ යට සිදු කර ගෙන යන පුරාවිද්‍යා ගවේෂණය නොමැකෙන මතකයකි. විශාල දැනුම් සම්භාරයක් එකතු වන සංචාරයකි. කිළිනොච්චි දිස්ත්‍රික්කයේ තවත් පුරාවිද්‍යා ස්ථාන රාශියක් ශේෂව තිබෙන බව වාර්තා වේ. එහෙත් මන්නාරම් දිස්ත්‍රික්කයේ බෞද්ධ ස්මාරක සහිත පුරාවිද්‍යා ස්ථාන බොහොමයක් තිබෙන බැවින් අපි මන්නාරම බලා පිටත් වුණෙමු.
වීදුරු කවුළුවෙන් ඈතට දිවෙන දෑස් ළඟට ගැනීමට ලෝභය. මාර්ගය දෙපස එතරම් සුන්දර ය. ගහ, කොළ පිරුණු වනපෙත්, ඒ වනපෙත්වලට මායිම්ව පිහිටි විසල් තණපිටි, පෑවිල්ලේ සැරට පාණ්ඩු පැහැ ගැන්වී තිබෙන තණ උලා කන ගව පට්ටි අතරින් මොහොතකට හෝ දෑස් ඈත් කිරීමට සිත් නොදේ. ඉඳහිට ඇස ගැටෙන ගම්මාන නම් නොදියුණු ය. නිවාස බොහොමයක් පැල්පත් ය. තෙත් බිම්, කලපු පසු කර ගෙන වේගයෙන් ධාවනය කරන වෑන් රථය සංගුපිඩ්ඩි පාලමට ආසන්න විය. අදහාගත නොහැකි තරම් ය. කිලාලි කලපුව මැදිකොට දිවෙන සංගුපිඩ්ඩි පාලම මතට දිස්වන අවට පරිසර චමත්කාරයට නෙත් වශී විය.
‘මල්ලි ටිකකට වාහනය නතර කරන්න…’ රියැදුරුගේ උර මතට වමත තැබෙනවිට මගේ මුව එසේ දෙඩවිණි. එසැණින් ක්‍රියාත්මක වූ රියැදුරු මල්ලී කලපුව මැද අවන්හලේ රථ ගාලට වෑන් රථය ගාල් කළේය.
මේක නම් පිස්සුවක්… පුදුම ලස්සනක් නේ? නීතිඥ සමිත් කල්හාර දෑස් නළල මත රඳවාගෙන මගේ උර මතට තට්ටුවක් දැමුවේ ය. කලපු දිය සිඹ හමා එන සීතල සුළං රැලි දැවටෙනවිට ගත, සිත කිතිකැවිණි. ගොම්මන් අඳුර මැද පාලම දෙපස උස කණු මත එල්ලුණු විදුලි පහන් එළි කලපු දියේ ගිලෙනවිට මැවෙන චමත්කාරය දෙස අපගේ සගයන් විශ්මයෙන් බලා සිටිති. යාපනය – කිළිනොච්චි දිස්ත්‍රික්කවල මායිමේ කිලාලි කලපුව මැදිකොට ඒ-32 මාර්ගයේ ඉදිකර ඇති සංගුපිඩ්ඩි පාලම ‘උතුර දකුණ යා කළ’ මිත්‍රත්වයේ පාලම ලෙස ද හඳුන්වනු ලැබේ. කලපුවක්, ගංගාවක් හරහා මෙරට ඉදි වී ඇති දිගම පාලම සංගුපිඩ්ඩි බවට විවාද නැත. යාපනයේ සුළං විදුලි බලාගාරයේ සිට අලිමංකඩ දක්වා විශාල වපසරියක් සංගුපිඩ්ඩි පාලම මතට දර්ශනය වන බව ද සැබෑය. ත්‍රස්තවාදී අරගල පැවැති කාලයේ නම් මෙවැනි සුන්දර පාලමක් නොතිබිණි. ඒ හේතුවෙන් මේ ප්‍රදේශය මුදාගැනීමට අපේ රණවිරුවන්ට එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් සමග දරුණු සටනක් කිරීමට ද සිදු විය. මේ නව පාලම නිර්මාණය කර ජනතා අයිතියට පත් කර ඇත්තේ 2011 වර්ෂයේ දීය.
‘මන්නාරම පාර හරිම ලස්සනයි. තව ගොඩක් ලස්සන තැන් බලාගන්න තියෙනවා. රෑ වෙන්න කලින් යමු…’ ඉතිහාසඥ සමීර ප්‍රසංගයන්ට උතුර, නැඟෙනහිර ප්‍රදේශ ගැන හොඳ අවබෝධයක් තිබේ. එහෙයින් ඔහුගේ දැනමුතුකම් අපේ කණ්ඩායමේ සාමාජිකයන් එක සිතින් පිළිගන්නේ ය. සංගුපිඩ්ඩි කලපුව පසු කර වේගයෙන් ධාවනය වූ වෑන් රථය විවිධ පරිසර පද්ධතීන් පසු කෙරිණි. වඩත්තලතිව් කලපුව පසු කරනවිට අවට තිත්ත කළුවරය. සුන්දර ස්ථාන දැක සිත පිරී පැවැතුණු හෙයින් ගතට මහන්සි නොදැනිණි. සුවදායක නින්දකින් පසු හිමිදිරියේ අවදි වූ අපි කෙසෙල් කොරටුවක් බවට පත් කර ගෙන සිටින ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයක් සොයාගෙන ගියෙමු.
එම පුරාවිද්‍යා ස්ථානය පිහිටා ඇත්තේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ, නානට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කට්කිඩන්දකුලම් ග්‍රාමනිලධාරී වසමේ මුරුන්කන්, කට්කිඩන්දකුලම් ගමේ ය. මන්නාරම – මැදවච්චිය මාර්ගයේ කට්කිඩන්දකුලම් මංසන්දියෙහි 59 වන කිලෝ මීටර් කණුව අසලින් මැදවච්චිය දෙසට ගමන් කරනවිට වම් පසට වැටී ඇති මාර්ගයේ මීටර් 200ක් පමණ දුරකින්, කට්කිඩන්දකුලම් පාසල අසලින් වම්පසට ඇති මාර්ගයේ මීටර් 100ක් පමණ දුරට ගමන් කරනවිට අදාළ පුරාවිද්‍යා ස්ථානය හමුවේ. කෙසෙල් කොරටුවකින් වසාගත් එම පුරාවිද්‍යා ස්ථානය ප්‍රදේශවාසීන් හඳුන්වනු ලබන්නේ ‘පන්සල් වත්ත’ නමිනි. කුඹුරු යාය අසලින් වෑන් රථයෙන් බැසගත් අප පොල්වත්තක් මැදින් ගොස් කෙසෙල් කොටුවට ඇතුළු වී මීටර් කිහිපයක් ඇවිද යනවිට උඩු බැලිව පෙරළී තිබෙන හිටි බුදු පිළිම වහන්සේනමක් දැකගැනීමට ලැබිණි. වයිරම සහිත කළු ගලකින් නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ බඳෙන් වෙන්ව කොටස් දෙකකට කැඩී තිබිණි. සිරස, දෑත් සහ පාද දැකගැනීමට ද නොලැබිණි. මන්නාරම කොටුව ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලයෙහි ප්‍රතිමාවකට අයත් පාද කොටස් සහිත පාෂාණමය නිර්මාණයක් තැන්පත් කොට තිබෙන බවත්, ඒ මේ ප්‍රතිමාවෙහි පාද විය හැකි බවට අනුමාන කරන බව ද සමීර ප්‍රසංග අප සමග පැවසුවේ ය. එම බුද්ධ ප්‍රතිමාව පරීක්‍ෂා කර ඈතට, මෑතට ඇවිදිනවිට නිරිත දිසාවට මීටර් 6ක් පමණ දුරකින් තවත් හිටි බුද්ධ ප්‍රතිමා දෙකකට අයත් අවශේෂ දැකගැනීමට ලැබිණි. එම බුදුපිළිම දෙකෙහි ද සිරස කොටස, පාද, දෑත් කොටස් නැත. සෙසු අවශේෂ කොටස් ද විනාශ වෙමින් තිබෙන අයුරු පෙනෙනවිට හදවත ඉකිබිඳිණි.
“මේ ප්‍රතිමා දෙකම නිර්මාණය කරලා තියෙන්නේ ස්ඵටික හුනුගලින්…” එකම ස්ථානයේ තිබුණු බුදුපිළිම අවශේෂ කොටස් පරීක්‍ෂා කරමින් සමීර ප්‍රසංග පැහැදිලි කළේය. එම ස්ඵටික හුනුගල් ප්‍රතිමා දෙකෙන් එක් ප්‍රතිමාවක් සිරස්ව බටහිර දෙසට මුහුණලා පොළොවෙහි සිටුවා ඇති අතර, එය උතුරු දෙසට තරමක් ආනතව පවතී. එම ප්‍රතිමාවේ තුනෙන් එකක පමණ ප්‍රමාණයක් භූ අභ්‍යන්තරයේ පවතින බව ද පෙනේ. එම පිළිම වහන්සේ ඉදිරිපස මෑත කාලයේ සිමෙන්තියෙන් ඉදිකරන ලද ආසනයක් පවතින අතර එහි ‘ශ්‍රී 1950’ ලෙස වර්ෂ සටහනක් ද තිබේ. අනෙක් ස්ඵටික හුනුගල් ප්‍රතිමාවෙහි පපුව කොටස සිටුවා තිබෙන ප්‍රතිමාව ඉදිරිපසින් පවතින අතර එහි යටි කොටස සිටුවා ඇති ප්‍රතිමාව පිටුපස තිබියදී කැණීමකින් සොයාගෙන ඇත. එම බුද්ධ ප්‍රතිමා වහන්සේ තෙනමට නැඟෙනහිර දෙසින් විශාල ගොඩැල්ලක් පවතින අතර ඒ මත හා අවට ගඩොල් කැබැලි බහුලව දැකගැනීමට තිබේ. ගොඩැල්ල වසාගෙන කටු පඳුරු වැවී තිබෙන බැවින් එය පරීක්‍ෂා කිරීම අසීරු විය. ගොඩැල්ලට සහ බුද්ධ ප්‍රතිමා වහන්සේට නිරිත දෙසින් මීටර් 50ක් පමණ දුරින් පිහිටි විසල් බෝ ගස වසර ගණනාවකට එහා ගිය පැරැණි බවක් විද්‍යාමාන වන බව ද සැබෑය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ කණ්ඩායමක් විසින් පසුගිය 2018 වර්ෂයේ දී මේ ස්ථානයේ ගවේෂණයක් සිදු කර ඇත. මන්නාරම ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය මගින් එම ස්ථානයට මුරකරුවන් ද යොදා ඇත. ඒ හැරුණුකොට වෙනත් පූර්ව පුරාවිද්‍යා කටයුත්තක් මේ ස්ථානයේ සිදු වූ බවට තොරතුරු අනාවරණය නොවේ. මේ ස්ථානයේ ආරක්‍ෂාවට යොදා ඇති මුරකරුවන් ඇහැටවත් දැකගැනීමට නොලැබීම අවාසනාවකි. එමෙන්ම මුරුන්කන් පුරාවිද්‍යා ස්ථානයේදී දැකගැනීමට ලැබෙන බෞද්ධ ස්මාරක අනුරාධපුර යුගයට අයත් ඒවා බව ඉතිහාසඥ සමීර ප්‍රසංග සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන අපට පැහැදිලි කළහ. එම පුරාවිද්‍යා ස්ථානයේ සිදු කරනු ලැබූ ගවේෂණයේදී තවත් බෞද්ධ ස්මාරක රාශියක් හමුවී ඇති බව ද ඔවුහු කීහ. පුරාවස්තු සෙවීමේ අරමුණින් හාරන ලද ස්ථාන රාශියක් ද එම ස්ථානයේදී දැකගැනීමට තිබෙන බව ඔවුහු පැවසූහ. එක් ස්ථානයක කේතුකාකාර ගඩොල් කැබැලි ගොඩක් පැවැති අතර එය හාරන ලද වළකින් ගොඩ දැමූ කොටස් එකතුවකින් සකස් වී ඇති බවත් එම ගොඩැලි සහිත ස්ථානය පුරාවිද්‍යා ගවේෂකයන් විසින් සම්පූර්ණයෙන් පාදාගෙන ඡායාරූප හා සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව ඉවත් කර ඇති බව ද වාර්තා වේ. පුරාවිද්‍යා කැණීම්වල දී උතුරු, දකුණු දිශානුගත බැම්මක් හමුවී ඇති බවත්, එය පැදීමේදී ගඩොල්වලට අමතරව කොරල් ගල් මද වශයෙන් ඉදිකිරීම් කටයුතුවලට යොදාගෙන තිබෙන බව ද තහවුරු වී ඇත. කැටයම් සහ බොරදම් සඳහා කොරල් ගල් බහුල වශයෙන් භාවිත කර ඇති බව ද තහවුරු වී තිබේ.
විසිරුණු ගඩොල් කැබැලි ඉවත් කිරීමේ දී පෙරළුණු බැමි කිහිපයක් හමුවී ඇත. එම බැමි පිටතට පෙරළී පැවැති අතර බැමිවල පිට පැත්තෙහි කැටයම් පැවැති බවට සාධක දැකගත හැකි බව ද වාර්තා වේ. කැණීම් මගින් අන්තරාලය, ගර්භ ගෘහය හා වංකමන පථයක් සහිත ගොඩනැඟිල්ලක අවශේෂ මතු කරගෙන ඇති අතර එහි ද්විතියික අවධියකට අයත් පිවිසුමක කණු පාදම් ගල් 10ක් හා පඩි ගලක් සොයාගෙන තිබිණි. එම කොටස් ගොඩනැඟිල්ලෙහි නැඟෙනහිර දෙසින් පවතින බවත් එම පිවිසුමේ වැඩ නිම නොකළ එකක් බවට
ගවේෂකයන් විසින් අනාවරණය කරගෙන තිබෙන බව ද වාර්තා වේ. කැණීම් මගින් මතු කරගත් ගොඩනැඟිල්ලෙහි බැමිවලට පිටතින් සෙ.මි.10ක් පමණ උපරිම ඝනත්වයකින් යුක්ත කළු පැහැති පාංශු ස්තරයක් පිහිටි බවත් එම ස්තරය තුළ තිබී පබළු වැනි ක්‍ෂුද්‍ර පුරාවස්තු සොයාගෙන ඇති බව ද වාර්තා වේ. එම ගොඩනැඟිලි පරිශ්‍රය තුළ තිබී රන් පැහැති ලෝහමය කුඩා බුදු පිළිමයක් ද සොයාගෙන තිබේ. කැණීම් මගින් මතු කරගත් ගොඩනැඟිල්ලේ පුරාවස්තු සොරුන් විසින් කපාගෙන ගොස් ඇති බවට සාධක හමුවී තිබේ. එම ගොඩනැඟිල්ල බෞද්ධ විහාරයක පිළිමය ගෙයක් ලෙස හඳුනාගැනීමට හැකි බවත් එහි කැණීමේදී ස්තර හතරක් සහ සන්සිද්ධි 30ක් සොයාගෙන ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන අප සමග පැවසීය. එම සන්සිද්ධි අතුරින් 08ක් ස්මාරක වන අතර 03ක් චංචල පුරාවස්තූන් ය. කැපුම් සහ පිරවුම් 13ක් හඳුනාගෙන ඇත. එම සන්සිද්ධීන් විවිධ අවධිවලට අයත් ඒවා බව ද තහවුරු වී ඇත.
මුරුන්කන් පුරාවිද්‍යා කැණීම්වලදී කාසි 03ක් සොයාගෙන ඇති අතර එක් කාසියක් 1929 වර්ෂයේ නිෂ්පාදනය කරන ලද සතයේ කාසියකි. දෙවැන්න පොලොන්නරු, දඹදෙණි යුගයට අයත් කාසියක් ලෙස හඳුනාගත හැකි කුඩා ප්‍රමාණයේ ලෝහ කැබැල්ලක් වන අතර තුන්වැන්න හඳුනාගත නොහැකි ලෙස ක්‍ෂය වී ඇත. එමෙන්ම කැණීමේදී විවිධ පාෂාණ කොටස් 13ක් සොයාගෙන ඇත. එම පාෂණ කොටස් අතර අර්ධ ගෝලාකාර නයිස් පාෂාණ කැබැලි 03ක් වේ. එම පාෂාණ කැබැලිවල සමතල මතුපිට සිනිඳු ස්වභාවයකින් ද යුක්තය. ඒවා ගඩොල් මතුපිට සමතල කිරීම සඳහා භාවිත කළ අත්ගල් විය හැකි බව ගවේෂකයන් අනුමාන කර ඇත. මකර රූපයකට සමීප කොරල් නිර්මාණයක් සොයාගෙන ඇති අතර එය ව්‍යුහාත්මක නිර්මාණයක කොටසක් බවට අනුමාන කෙරේ. එහි යටි පැත්තෙහි වෑද්දුම් සිදුරක් ද දැකගත හැකි බව වාර්තා වේ. එහෙයින් එය ප්‍රදර්ශනාත්මක මට්ටමේ පවතින පුරාවස්තුවක් බව ද සැලකේ. තවත් කොරල් ගල් නිර්මාණ 07ක් සොයාගැනීමෙන් තහවුරු වනුයේ අදාළ ගොඩනැඟිල්ලෙහි කැටයම් හා බොරදම් සඳහා කොරල් ගල් භාවිත කර ඇති බවය. පුරාවිද්‍යා කැණීම්වලින් විවිධ හැඩයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් යුත් ගඩොල් රාශියක් සොයාගෙන ඇති අතර පිළිස්සීමට පෙර හා පිළිස්සීමෙන් පසුව කැටයම් කරන ලද ගඩොල් ද ඒ අතර තිබුණු බව වාර්තා වේ.
එම ගොඩනැඟිල්ලෙහි පිටත බිත්තියෙහි සුවිශේෂී කැටයම් පැවැති බවට ඇති ප්‍රධානතම සාධකය වන්නේ විවිධ හැඩයන්ගෙන්, ප්‍රමාණයන්ගෙන් සහ කැටයමින් යුක්ත ගඩොල් සොයාගැනීම ය. එමෙන්ම එම කැණීමේදී විවිධ හැඩයන්ගෙන් යුතු පබළු 35ක් හමුවී ඇත. පාෂාණ, වීදුරු හා මැටි මාධ්‍යයන්ගෙන් එම පබළු නිර්මාණය කර ඇත. එම ගොඩනැඟිල්ල ඇසුරින් සොයාගත් තවත් පුරාවිද්‍යාත්ම සාධක රාශියක් වේ. කැණීමෙන් මතු කොටගත් ගොඩනැඟිල්ලෙහි පදනම අනුව එය ගෙඩිගේ සම්ප්‍රදායට අයත් පිළිම ගෙයක් බව ද තහවුරු වී ඇත. ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ප්‍රතිමා ගෘහයන්හි දැකගත හැකි ප්‍රධාන ලක්‍ෂණ වන අන්තරාලය, ගර්භ ගෘහය හා වංකමන පථය මෙම ගොඩනැඟිල්ලෙහි පැහැදිලිව හඳුනාගත හැකි අතර පළලින් වැඩි බිම් සහ පාංශු ස්තර තුළ පැවැති ගඩොල් ධාරිතාව ඉහළ අගයක් ගැනීම ද සාධක ලෙස දැකිය හැකිය. ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ගෘහයන්හි දැකගත හැකි ප්‍රධානතම ලක්‍ෂණයක් වන්නේ ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා භාවිත කරන ලද අමුද්‍රව්‍ය මගින්ම එහි වහලය ද නිර්මාණය කිරීමය. මේ පිළිම ගෙය ද එම ලක්‍ෂණවලින් සමන්විත ය. එහෙයින් මේ පිළිම ගෙය ගෙඩිගේ සම්ප්‍රදායට හාත් පසින්ම සමාන බව තහවුරු වී ඇත. එහෙත් කැණීම්වලින් මේ පිළිම ගෙය සොයාගැනීමට පෙර සිට මුරුන්කන් කට්කිඩන්දකුලම් පුරාවිද්‍යා ස්ථානය පැරැණි බෞද්ධ සිද්ධස්ථානයක් බව තහවුරු කරගැනීමට ඇවැසි බෞද්ධ ස්මාරක රාශියක් තිබිණි. කැණීම්වලින් මතු වූ ගොඩනැඟිල්ල පිළිම ගෙයක් බව තහවුරුවීමෙන් පුරාවිද්‍යාත්මකව ද මුරුන්කන් පුරාවිද්‍යා ස්ථානය ඉපැරැණි බෞද්ධ පුදබිමක් බව තහවුරු විය. ඒ ඓතිහාසික පුරාවිදු භූමිය කෙසෙල් වගාවකට බදු දී ඇත්තේ කවරහු ද යන්න ලබන සතියේ දී අපි විපරම් කර බලමු.
ඉතිරි කොටස ලබන සතියට
තරංග රත්නවීර