කෙහෙළිය අත්අඩංගුවට පත්වීම අත්තනෝමතික කැබිනට් ඇමැතිවරුන්ට හොඳ පාඩමක් – වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

79

ප්‍රශ්න සහගත හියුමන් ඉමියුනොග්ලොබින් ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම සියලු කැබිනට් ඇමැතිවරුන් ඉතා බරපතළ ලෙස කියවා ගත යුතු කරුණක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී. ජී. චමල් සංජීව මහතා සඳහන් කරයි.

කැබිනට් ඇමැතිවරයකු ලෙස අන්තනෝමතික ලෙස කටයුතු කළ නොහැකි බවත්, කැබිනට් මණ්ඩලය තමා කෙරෙහි දක්වන ලද විශ්වාසය ආරක්ෂා කර ගනිමින් සත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මහජනතාවගේ බදු මුදල් ජනතාවට උපරිම සේවයක් සැලසීමට භාවිතා කළයුතු බවත්, එම තත්ත්වයන් උල්ලංඝණය කරන ඕනෑම ඇමැතිවරයකු අධිකරණය හමුවට ගෙන ඒමට හැකියාව පවතින බව මෙම සිදුවීම හරහා සනාථ වී ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කර සිටී. ප්‍රමිතිගත තත්ත්වයන් යටතේ ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනය කරන විට එම එන්නත් කුප්පිවලට රුධිරය හරහා බෝවන රෝග ඇතුළත්වීම වැළැක්වීම සඳහා දියුණු තාක්ෂණ උපායන් භාවිතාකරන නමුත් නිසි පරිදි කර්මාන්ත ශාලාවක් හෝ පවත්වාගෙන යෑමකින් තොරව සේලයින් වැනි දියරයකට රුධිර ප්ලාස්මාව එකතු කොට සකස් කරන ලද මෙම ඉමියුනොග්ලොබියුලින් භාවිතා කළ පුද්ගලයන් තුන්දහසකට ආසන්න ප්‍රමාණයකට මේ වනවිට අත්ව ඇති තත්ත්වය පිළිබඳ පසු විපරම් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.

යම් ආකාරයකින් ටෙන්ඩරයේ සඳහන් පරිදි එන්නත් කුප්පි විසිදෙදහස් පන්සියයම භාවිතා කළේ නම් මෙරට තුළ ඒඩ්ස්, හෙපටයිටිස් පැතිර ගොස් අතිවිශාල ජන සමූල ඝාතනයක් සිදුවිය හැකිව තිබූ බවද සඳහන් කරන විශේෂඥ වෛද්‍යවරයා එයට හේතු වන්නේ අදාළ ඉමියුනොග්ලොබියුලින් සම්බන්ධ පරීක්‍ෂණවල දී නිසි පරිදි ගුණාත්මකභාවය පරීක්‍ෂා නොකිරීම බවද සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment