තමන් සැකකරුවකු බවට නම් කර මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවත්වාගෙන යන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් වංචාව සම්බන්ධයෙන් නඩු කටයුත්ත අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම මෙම මස 31 වැනිදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවීමට අභියාචනාධිකරණය ඊයේ (14දා) නියෝග කළේය.
එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහේන්ද්‍රන් යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලබන එම නඩුව සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකු පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කොට ඇති සහතිකය බලරහිත කරනා නියෝගයක් නිතුත් කරන ලෙසටත් පෙත්සම්කාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා එමඟින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි. මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය, පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් එම රීට් පෙත්සම ගොනු කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක
වෛද්‍ය සැපයුම් ලොක්කාගේ පෙත්සමත් මෙම 30 දින කැඳවයි
ඖෂධ වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම නඩුවේ දෙවන සැකකාර වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා විසින් ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විවාදය ලබන 30 වැනිදා පැවැත්වීමට අභියාචනාධිකරණය ඊයේ (14) නියම කළේය. එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න හා බී. ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන් හමුවේදී කැඳවිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවත් තමන් කටයුතු කරනු ලැබුවේ ඉහළින් ලැබුණ නියෝග අනුව බවත් සිය පෙත්සම මඟින් පෙන්වාදී තිබූ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා එබැවින් තමන්ව එම නඩුවේ සැකකරුවකු ලෙස නම් කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරිය ලබාදී ඇති නියෝගය බලරහිත කර තමා නඩු කටයුත්තෙන් මුදාහැරීමට නියෝගයක් කරනා ලෙසත් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි. ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා හා ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක