කෙහෙළිය බන්ධනාගාරගත වීම ආරම්භයක් පමණක් ද?

1294

මේ රටේ කැබිනට් ඇමැතිවරයකු සිය ඇමැති ධුරය දරමින් සිටියදීම වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව පසුව උසාවියෙන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අපගේ දැනුම අනුව නම් එසේ සිදුව ඇත්තේ ප්‍රථම වතාවටය. තවමත් ඔහු අධිකරණයෙන් වරදකරුවකු වී නැති බැවින් අප මේ ගැන කතා කරන්නේ ඔහු ගැන මෙන්ම සෙසු සැකකරුවන් ගැනත් නිර්දොෂීභාවයේ පූර්ව නිගමනය සහිතව බව මූලික වශයෙන් කිව යුතුය. මේ රටේ වංචා හා දූෂණ තවත් ඕනෑ තරම් සිදුව තිබේ. ඒවායින් අනාවරණය වන්නේ ඉතා සුළු ප්‍රමාණයකි. ඒවායින් ද නීතිය ක්‍රියාත්මක වන්නේ කීයෙන් කීයට ද? මේ වංචා හා දූෂණ සම්බන්ධයෙන් හරිහැටි නීතිය ක්‍රියාත්මක වූවා නම් කිසිවිටෙකත් කෙහෙළිය කැබිනට් ඇමැතිවරයකු ලෙස සිය ඇමති ධුරය දරමින් සිටියදීම බන්ධනාගාරගත වන පළමුවැනියා වන්නේ නැත. ප්‍රමාද වී හෝ මෙවර නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පෙනේ. ඉතා පහසුවෙන් නොවුණත් විශාල බලපෑම් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස එය සිදුව ඇත. කෙසේ හෝ එය සතුටුදායක කරුණකි. මෙය එක අතකට හොඳ ආරම්භයක් විය හැකිය. ඒ සඳහා වෛද්‍ය චමල් සංජීව ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් විශාල අරගලයක් කළ බව ද අපට දැකගත හැකි විය. මෙය හොඳ පුර්වාදර්ශයක් වන අතරම කෙහෙළිය බන්ධනාගාරගත වීම එක් හුදෙකලා සිද්ධියක් පමණක් නොවී වංචා හා දූෂණවලට එරෙහිව සක්‍රීය ලෙස නීතිය ක්‍රියාත්මක වීමේ ආරම්භයක් වන්නේ නම් ඒ ගැන අපට වඩාත්ම සතුටු විය හැකිය.

කෙහෙළිය රඹුක්වැල්ල දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව කීවත් ඔහු සිටින්නේ රිමාන්ඩ් සිරමැදිරියක නොව බන්ධනාගාර රෝහලේය. සුපුරුදු පරිදි සිදුවෙන දේ මෙවරත් වී ඇත. එනම් වෛද්‍ය නිර්දේශ මත ඔහුව බන්ධනාගාර රෝහලට යවා ඇත. යම් යම් රෝගී තත්ත්වයන් මත බෙහෙත් ගනිමින් සිටීම සහ රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරු නිර්දේශ කිරීම එකක් නොව දෙකක් බව තේරුම් ගැනීමට මහ ලොකු වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් අවශ්‍ය නැත. කෙසේ හෝ මේ කියන වෛද්‍ය නිර්දේශ අනුව කෙළින්ම බන්ධනාගාර රෝහලට යෑමට කෙහෙළිය වාසනාවන්ත වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන, මාධ්‍යවේදී කල්ප ගුණරත්න සමග ඉකුත් දා කළ මාධ්‍ය සාකච්ඡාවේ දී පවසන පරිදි නම් මෙතන ප්‍රශ්නයක් තිබේ. එනම් යම් යම් රෝගී තත්ත්වයන් මත බෙහෙත් ගනිමින් සිටීම අනිවාර්යයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමට හේතුවක් නම් ඔහු පසුගිය කාලයේ ඇමැතිකම දැරුවේ කෙසේ ද යන්නත් ප්‍රශ්නයකි. ඔහු අත්අඩංගුවට පත්වන විට සිටියේත් පරිසර විෂය භාර කැබිනට් ඇමැතිවරයා ලෙසය. එසේම මේ ඇමැති මණ්ඩලයේ සිටින තවත් ඇමැතිවරු නොයෙකුත් රෝග තත්ත්වයන් සඳහා ඖෂධ ගනිමින් සිටිනවා විය හැකිය. එසේ නම් බන්ධනාගාරයේ වෛද්‍ය නිර්දේශ ලබාදෙන මේ ක්‍රමවේදය අනුව ඒ අයත් සිටිය යුත්තේ රෝහල්ගතව මිස ඇමැති ධුර දරමින් නොවේ. මේ නිසා අප සිතන්නේ මේ ගැනත් අධිකරණයේ අවධානය යොමු කරවිය යුතුව ඇති බවයි.

රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නා විට මෙන්ම පසුව උසාවියෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන විටත් කෙහෙළිය කැබිනට් අමාත්‍යවරයෙකි. ඔහුට එල්ල වී ඇති චෝදනා බරපතල ය. එහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුව ඇමැති ධුරයෙන් නෙරපා හැරියේ නැත. සිදු වූයේ රක්ෂිත බන්ධනාගාරගත වීමෙන් පසුව කෙහෙළිය රඹුක්වැල්ල විසින්ම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරීමයි. අප නම් සිතන්නේ මෙවන් බලවත් වංචාවක් සම්බන්ධයෙන් යම් ඇමැතිවරයකුට චෝදනා එල්ල වී නීතිමය ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසුව එවන් අයෙක් වහාම ඇමැති මණ්ඩලයෙන් ඉවත් කිරීම සුදුසු බවයි. නැතහොත් ඇමැති අනුහසින් නීතිමය ක්‍රියාවලියට හෝ සාක්ෂිවලට බලපෑම් කිරීමට ද ඉඩ ලැබිය හැකිය. හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහව නම් කැබිනට් සාමූහික වගකීම කඩ කිරීම මත ඔහුව වහාම ඇමැතිකමින් නෙරපන ලදී. එහෙත් මෙතන චෝදනාව ජනතා බදු මුදල් වංචා කිරීම සහ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් තොගයක් ලබා ගැනීමක් ගැනය. එසේ නම් මෙය මහජන බදු මුදල් කොල්ලකෑමක් පමණක් නොව රෝගීන්ගේ ජීවිත පවා අනතුරේ හෙළීමට කටයුතු කිරීමක් නොවේද?

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහ එන්නත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සැපයීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල අටවැනි සැකකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කෙහෙළිය රඹුක්වැල්ල ලබන 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය පසුගිය පෙබරවාරි 03 වැනිදා නියෝග කර තිබිණි. සිය සේවාදායකයා රෝග කීපයකින් පෙළෙන අයකු වන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදාහරින ලෙසට එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියත් සැකකරු රෝගී තත්ත්වයකින් පෙළෙන බව තම අධිකරණයට පෙනී නොයන බව පෙන්වා දෙමින් එම ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. සැකකරු ඇපමත මුදාහැරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බවද මහෙස්ත්‍රාත්වරිය පැවසුවාය. සැකකාර අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය අනුව එම නඩුවේ පළමුවන සැකකාර, ප්‍රමිතියෙන් තොර බෙහෙත් සැපයූ සමාගම් හිමිකරුට ප්‍රශ්නගත ඖෂධ සැපයීමට පසුබිම සැකසී ඇති බව පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි සහ පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැක්වූ කරුණු අනුව තම අධිකරණයට පෙනී යන්නේ යැයිද මහෙස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් පෙන්වා දී ඇත.

සිය සේවාදායකයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි සැකකාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. එහෙත් එවැනි නියෝගයක් තම අධිකරණයට නිකුත් කළ නොහැකි බවත් බන්ධනාගාර භාරයට පත්වන සැකකරුගේ රෝගී තත්ත්වයකට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ වගකීම බන්ධනාගාර පාලනාධිකාරිය සතු දෙයක් බවත් මහෙස්ත්‍රාත්වරිය පවසා ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. එකී ප්‍රමිතියෙන් තොර එන්නත් ලබාදුන් යම් රෝගියකු හෝ පිරිසක් අසාත්මිකතාවයට පත්වී ඇතිද යන කරුණු සම්බන්ධයෙන් මෙන්ම එකී එන්නත් එම රෝගීන්ට නියම කිරීමට සිදුවූ වෛද්‍යවරුන්ට එමඟින් යම්කිසි අපහසුතාවකට පත්වීමට සිදුවී ඇත්දැයි යන කරුණු සම්බන්ධයෙන්ද වෙන් වෙන්ව විමර්ශන සිදුකර තම අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එදින නියෝග කර ඇත. මේ සිද්ධිය ගැන තවදුරටත් අධිකරණ නියෝග මත විමර්ශන සිදුවීමට නියමිතය. ඒ නිසා මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු හා මෙයට සම්බන්ධ පුද්ගලයින් සිටී නම් ඒ ගැන ද ඉදිරියේ දී අනාවරණය වීමට ඉඩ තිබේ.

අධිකරණයේ නියෝගය මත විමර්ශනවලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පසුගිය පෙබරවාරි 02 වැනිදා පෙරවරුවේ පෙනී සිටි සැකකාර අමාත්‍යවරයාගෙන් පුරා පැය 10 කට අධික කාලයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් එදින රාත්‍රියේම ඔහුව අත්අඩංගුවට ගත්තේය. සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට පසුදින (03) උදේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු ලබාදුන් ප්‍රකාශ සහිත ඇමුණුම් 13 ක් අධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය එම සැකකරු එම විමර්ශනවල අටවැනි සැකකරු ලෙස නම් කිරීමට අවසර ඉල්ලා සිටියාය. එම අවසරය අධිකරණය විසින් ලබාදීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණය අමතමින් මෙසේ පවසා ඇත.

“මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව සාධාරණ සැකයක් මතුවීම නිසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම එතෙක් සිදුකළේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමෙන්. නමුත් මෙම සැකකරු රටේ විශාල ඖෂධ හිඟයක් පවතිනවා, එම ඖෂධ කඩිනමින් මිලදී නොගත්තොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ වන විට එතරම් ඖෂධ හිඟයක් නොතිබියදීත් ව්‍යාජ හිඟයක් මවා පාලා කැබිනට් මණ්ඩලයේ හෘද සාක්ෂිය ප්‍රකම්පනය කරලා තමයි ඔහු ඉදිරිපත් කළ කැබිනට් සංදේශ හතරට අනුමැතිය ලබාගෙන තිබෙන්නේ. ඖෂධ 82 ක දැඩි හිඟයක් පවතින බව 2022.09.06 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය මගින් පෙන්වා දී තිබුණත් ඒවා අත්‍යවශ්‍යම ද නැතිනම් ඉතා අත්‍යවශ්‍යම ද කියන එකවත් තමන් දන්නේ නැති බවයි සී.අයි.ඩී.ය ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ප්‍රකාශ කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම එහෙම දැඩි ඖෂධ හිඟයක් නොතිබූ බව විමර්ශන නිලධාරීන් කළ විමර්ශන අනුව පෙනී යනවා. හදිසි මිලදී ගැනීම් ලෙස පෙන්වා ප්‍රමිතියෙන් තොර එම ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා මූලිකම අඩිතාලම දමා ඇත්තේ සැකකාර මෙම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයායි. මේක සැලසුම්සහගත අපරාධයක්. රටේ ජනාධිපතිවරයා මෙම සැකකරුව සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කරලා තියෙන්නේ රටේ ජනතාව නිරෝගීව තැබීමේ අරමුණින්. ජනතාවගේ සෞඛ්‍ය සුබසිද්ධිය වෙනුවෙන්. ඒ බව ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කළ අවස්ථාවේදී ලිඛිතව සඳහන් කරලා තියෙනවා. එහෙම තියෙද්දී තමයි මේ අපරාධය කරලා තියෙන්නේ. මේක සුළු පටු අපරාධයක් නෙමෙයි. රටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීම අපි කිසිවකුට සුළුකොට තකන්න බැහැ.”

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයට පෙන්වා දී ඇති මේ කරුණු ඉතා බරපතලය. ඒ අනුව මේ කරුණු සත්‍ය නම් අපට හැඟෙන්නේ රටේ ජනයාගේ සුවතාව වෙනුවෙන් කටයුතු කළ යුතු සෞඛ්‍ය ඇමැතිවරයාම රෝගී ජනයාගේ ජීවිත අවදානමට හෙළීමට කටයුතු කර ඇති බවයි. සැකකරුට ඇප ඉල්ලා සිටීමේ දී රෝග කීපයකින් පෙළෙන අයකු බවට ද අධිකරණයට කරුණු කියා ඇත. එසේ රෝගී තත්ත්වයන්ට තමා ද බෙහෙත් බොමින් තවත් රෝගීන්ගේ සෞඛ්‍ය මෙසේ ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයීමට කටයුතු කිරීම මගින් අනතුරට පත් කිරීම කවර නම් අමනුස්සකමක් ද යන ප්‍රශ්නය මෙම නඩු විභාගයෙන් අනාවරණය වන කරුණු අනුව සාමාන්‍ය ජනයාට හැඟෙන දෙයක් නොවේ ද? එසේ නම් මෙය ආර්ථිකමය අපරාධයකට පමණක් සීමා කළ හැකි චෝදනාවක් පමණක් නොවන බව ද කිව යුතුය. විමර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකිවයුතු නිලධාරීන් ඇතුළු 16 දෙනකුගෙන් සටහන් කරගත් ප්‍රකාශ හා අනාවරණය කරගත් තොරතුරු අනුව මෙම සැකකරු එම අපරාධය සම්බන්ධයෙන් දැනුවත්ව තිබූ බවට අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ සාධාරණ සැකයක් මතුවීම නිසා අත්අඩංගුවට ගත් බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මෙම කැබිනට් පත්‍රිකාව සකස් කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදුන් උපදෙස් අනුව බවට ප්‍රකාශ ලබාදී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට සඳහන් කර ඇත. තවදුරටත් ඇය අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ මුදල් අමාත්‍යාංශය කිසිදු අවස්ථාවකදී ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ගෙන්වූ ඖෂධයකට වෙනත් අරමුදල්වලින් මුදල් ගෙවීමට අවසරය දී නොමැති බවත් ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ගෙවීම වරදක් බවත්ය.

සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ද ඔහු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කර තිබේ. සිවිල් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධාන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කියා ඇත්තේ එකී බාල එන්නත් හා ඖෂධ භාවිත කිරීම නිසා සිය ජීවිත අනතුරට ලක්වීමේ තර්ජනයට මුහුණ දුන් රෝගීන්ට මෙම සැකකරු ඇතුළු සැකකරුවන්ට එරෙහිව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ නීතිමය පියවර ගත හැකි බවයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ද අධිකරණයට කරුණු දක්වා ඇත. සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාව රක්ෂිත බන්ධනාගාර භාරයට පත් කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළේ මේ සියලු පාර්ශ්ව වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු දැක්වීම් සලකා බැලීමෙන් පසුවය.

පාර්ලිමේන්තුව හරහා ජනතාව විසින් පවරනු ලැබූ වගකීමෙන් හා වගවීමෙන් බේරී යෑමට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නොහැකි බවත් නඩුවට පාදක වූ අදාළ සිද්ධි දාමයට මුල්වී ඇත්තේ එම සැකකරු විසින් 2022.09.26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව බව තම අධිකරණයට පෙනී යන්නේ යැයි මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් නිකුත් කළ නියෝගය මගින් පෙන්වා දී ඇත. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගන්නා ඖෂධ සඳහා ඉන්දියානු ණය මුදලින් මුදල් ගෙවීමටත්, අනෙකුත් ඖෂධ මිලදී ගැනීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ මුදල් ගෙවීමටත් පමණක් 2022.11.02 වැනිදා මුදල් අමාත්‍යාංශය අනුමැතිය ලබාදී ඇතැයිද නියෝගය මගින් මහෙස්ත්‍රාත්වරිය පෙන්වා දී ඇති බව ද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ. මෙකී සියලු කරුණු සලකා බැලීමේදී අටවන සැකකරු ඇතුළු සැකකාර නිලධාරීන් ව්‍යාජ ද්‍රාවණයක් සකස් කිරීමට හා ඒවාට මුදල් ගෙවීමට එක්ව කුමන්ත්‍රණය කළ බව පෙනී යන බව ද එම නියෝගය මගින් පෙන්වා දී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com

advertistmentadvertistment
advertistmentadvertistment