කෙළ, සොටු සහ ලිංගික ශ්‍රාවයන් හරහා මන්කිපොක්ස් ශීඝ්‍රයෙන් පැතිරෙනවා

217

ඇඳුම්, ඇඳ ඇතිරිලි තුවාවලින් බෝවීම අඩුයි

ඇමෙරිකාවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්

ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයකින් වාර්තා වී ඇති මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ ආසාදනය කෙනකුගේ කෙළ, සොටු දියර ඇතුළු ශ්වසන තරල මෙන්ම ලිංගික ශ්‍රාවයන් හරහා ආසාදිතකුගෙන් වෙනත් අයට ශීඝ්‍රයෙන් පැතිර යන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති එම රෝගය පිළිබඳ නවතම මාර්ගෝපදේශ මාලාවේ සඳහන් කර තිබේ.

එම මාර්ගෝපදේශ මාලාවට අනුව මන්කිපොක්ස් ආසාදිතයකුගේ සමෙහි මතුවන පැල්ලම් සහ බිබිලිවල කබොළු ස්පර්ශ කිරීමෙන් මෙන්ම ආසාදිතයකු වැළැඳ ගැනීමෙන්, සිප ගැනීමෙන් හා සම්බාහනය (මසාජ්) කිරීමෙන් නිරෝගී අයකුට රෝගය වැළඳිය හැකිය. ආසාදිතයකුගේ මුහුණට මුහුණ ස්පර්ශ වන ඕනෑම අවස්ථාවකදී මන්කිපොක්ස් වෛරසය වෙනත් අයකුට පැතිර යා හැකි බව ද ඉකුත් ඔක්තෝබර් මස අග භාගයේදී නිකුත් කර ඇති එම මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

මෙම ආසාදනය ඉකුත් මැයි මාසයේ පැතිර යෑම ආරම්භ වීමෙන් පසු ආසාදිතයකු භාවිත කරන ඇඳුම්, ඇඳ ඇතිරිලි හා තුවා ස්පර්ශ කිරීමෙන් වෙනත් අයට ආසාදනය පැතිර යාහැකි බවට වෛද්‍යවරුන් පවසා තිබුණද ඒ අයුරින් මන්කිපොක්ස් ආසාදනය කෙනකුගෙන් තවත් අයකුට පැතිර යෑමේ හැකියාව අඩු බව රෝග පාලනය හා නිවාරණය පිළිබඳ මධ්‍යස්ථානය පවසයි.

මන්කිපොක්ස් ආසාදිතයකුට එම ආසාදනයේ රෝග ලක්ෂණ මතු වූ අවස්ථාවේ සිට රෝග ලක්ෂණ පහ වී සුවපත් වන තෙක්ම වෙනත් අයකුට ආසාදනය පැතිරවීමේ හැකියාව ඇති බව අනාවරණය වී තිබේ. එමෙන්ම ගැබිනි මවකට මන්කිපොක්ස් වෛරසය ආසාදනය වී ඇතිනම් ඇයගෙන් දරු කළලයට මෙන්ම අලුත උපදින දරුවාටද වෛරසය සම්ප්‍රේෂණය වන බව නවතම අධ්‍යයනවලදී අනාවරණය වී ඇත. මෙම තත්ත්වය හේතුවෙන් මන්කිපොක්ස් ආසාදිතයකු හා සමීපව කටයුතු කරන සහ කළ අය සෑම විටම දෑත් හොඳින් සබන් හෝ විෂබීජනාශක දියරයක් යොදාගෙන සෝදා පිරිසිදු කරගැනීම, හොඳින් නාසය හා මුඛය ආවරණය වන පරිදි මුහුණු ආවරණයක් හෙවත් මාස්ක් එකක් පැළඳීම යන සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළ යුතු බව වෛද්‍ය මතය වී තිබේ.

මන්කිපොක්ස් ආසාදනයේ රෝග ලක්ෂණ වනුයේ උණ, හිසරදය, මාංශ පේෂීන්ගේ වේදනාව, කොන්දේ රුදාව, වසා ගැටිතිවල ඉදිමීම හා ශරීරය පුරා බිබිලි මතු වීමයි. මෙම බිබිලි සති 2-3 කාලයක් පවතින බව හෙළි වී තිබේ.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ මිසුරි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ වර්තමානයේ මන්කිපොක්ස් ආසාදනයට ලබා දෙන එන්නත් හා ප්‍රතිකාර මඟහරිමින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතුළුවීමට මන්කිපොක්ස් වෛරසයේ නව ප්‍රභේදයන්ට හැකි වී ඇති බවයි. මෙය කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයන්ගේ හැසිරීමට සමාන බව පර්යේෂකයෝ පවසති. මේ වන විට ලොව පුරා රටවලින් මන්කිපොක්ස් ආසාදිතයන් 78,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ආසාදිතයන් 22 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව වාර්තා වී තිබේ.

එංගලන්තය ඇතුළු රටවල් මන්කිපොක්ස් ආසාදිතයකු හඳුනාගත් පසු එම ආසාදිතයාගේ සමීප ආශ්‍රිතයන් දින 21ක් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු යොදා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මෙම ආසාදනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම, ආසාදිතයන් හඳුනා ගැනීම ආසාදනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඇතුළු ආසාදනය පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳව ලොව පුරා බොහෝ රටවල් එතරම් අවධානයක් යොමු නොකිරීම නිසා සමාජය තුළ මන්කිපොක්ස් ආසාදිතයන් කොපමණ සංඛ්‍යාවක් සිටින්නේද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් ලබා ගැනීම වර්තමානයේ අසීරු වී තිබේ.
ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment