දකුණු ඉන්දියාවට අයත් කේරළ ප්‍රාන්තයේ දිස්ත්‍රික්කයක පැතිර ගිය මාරාන්තික ‘නිපා’ වෛරස් ආසාදනයේ පැතිරීම මේ වන විට පාලනය කර ඇති බව ප්‍රාන්තයේ සෞඛ්‍ය ඇමැතිනි විණා ජෝජ් විසින් නිවේදනය කර තිබේ. ඉකුත් සතියේ කේරළ ප්‍රාන්තයේ ‘කොසිකොඩේ’ දිස්ත්‍රික්කයේ පැතිරීම සිදු වූ ‘නිපා’ වෛරස් ආසාදනයට ගොදුරු වූ දෙදෙනකු මිය ගොස් තිබූ අතර එම ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන්ගේ සංඛ්‍යාව 1233 දෙනකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ඉන් 352 දෙනකු අධි අවදානම් ආශ්‍රිතයන්ගේ ලයිස්තුවේ සිටින බවද සෞඛ්‍ය ඇමැතිනිය සඳහන් කර තිබේ.
ඊයේ (18දා) වන විට ‘කොසිකොඩේ’ දිස්ත්‍රික්කයේ නිපා වෛරස් ආසාදනයේ ලක්ෂණ පෙන්නුම් කළ 27 දෙනකු රෝහල්ගත කර සිටි අතර පලතුරු වවුලන්ගේ මුත්‍රා සාම්පල 36ක් හා පේර හා පුවක් සාම්පල පරීක්ෂාව සඳහා යවා ඇති බවද කේරළ ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබිණි. මෙතෙක් සුව කිරීම සඳහා එන්නතක් සොයා ගෙන නොමැති මාරාන්තික වෛරස් ආසාදනයක් සේ සැලකෙන ‘නිපා’ වෛරස් ආසාදනයේ රෝග ලක්ෂණ වශයෙන් උණ, හිසරදය, කරකැවිල්ල, වමනය, දියරමය වශයෙන් මළපහ පිටවීම, ශ්වසන ආසාදනයන් හා මොළයේ ඉදිමීම හඳුනාගෙන තිබේ. මෙම වෛරසය ඌරන් හා පලතුරු වවුලන් හරහා මෙන්ම ආසාදිත පලතුරු හා ආහාර හරහා මිනිසාට සම්ප්‍රේෂණය වන බව වෛද්‍ය මතය වී තිබේ.
සංස්කරණය – ඒමන්ති මාරඹේ