කේවට්ට ලේකම් සංකටය

176

ඉක්බිති එක් දිනෙක මඤ්ඤංලන්ත මහරජාණෝ සිය නිවස්නයෙහි සිට රජසබය වෙත පැමිණෙනුයේ දියවනා හොය මහා ද්වාරය අසලින් රථයෙන් බැස රථයෙහි බැඳි ස්වේත වර්ණ ජවාධික ෙසෙන්ධවයන් දෙදෙනගේ හිස් පිරිමැද උනට සෙනෙහෙ පා උන් විවේක ගන්වන ලෙස රථාචාර්යයාට අණ කොට දොරටුපාලයන්ගේ ආචාර නොදුටු සේ මහ දොරටුවෙන් ඇතුල්වැ හොය මත්තෙන් වූ ඒදණ්ඩ තරණය කරමින් දියවනා හොය පිස එන මඳනලින් වූ සිසිලසෙන් ගත දාහය නිවා ඒදඬු මධ්‍යයෙහි මඳක් නැවතී ඈත බලනුයේ තුමූ ආරක්ඛ ලේකමුන් කල දියවනා හොය ඉවුරෙහි තනවන ලද්දා වූ සිරුරු සුව මංතීරු දිගේ ශරීර සුව පිණිසැ සක්මන් කරනා තුරුණු මහලූ ස්තී‍්‍ර පුරුෂයන්ගේ දර්ශනය දැකැ එකල්හි තුමූ විසින් කරන ලද්දා වූ නුවරාලංකාර මෙහෙය සිහිව මුවගට මන්දස්මිතයක් නැගී වහා එය සඟවා මෙකල්හි එබඳු සේ මෙහෙ කෙරුම් අසමර්ථව ගියේ මන්දැයි කල්පනායෙන් ඒදඬු තරණය නිම කොට ඉදිරි අංගනය දිගේ විත් මකර තොරණ පාමුලින් ආරම්භ වන්නා වූ රජසබ මහ පියගැටපෙළ නගිනාහ. සිරිත් සේ පිටගැට මත්තෙහි හා දෙපස වූ වට කුලූනු පාමුල කල්මරනා කේවට්ට කැළ දෙස නෙතඟින් බැලූ රජතුමා උන් ගණනකට නොගෙන ආ වේගයෙන්මැ පියගැට නැගැ මධ්‍ය ශාලාවට පිවිස මැටි ඇමැටි ම`ඩුල්ල රැස්ව හිඳිනා රැස්වුම් ගෘහය වෙත ඇතුළු වන්නාහ. තුමූ එන සුනංගුවෙන් කිසිදු ඵලයක් නොමැති සම්පප‍්‍රලාප දොඩමින් හිඳ තුමූ දුටු සැණින් හුනස්නෙන් නැගී සිටිනා මැටි ඇමැටීන් සුඟ දෙස නොසතුටෙන් නෙතඟ බැල්මක් හෙළුෑ රජ්ජුරුවෝ රජසබයෙහි බොහෝ අසුන් හිස්වැ පවත්නා බැව් දැකැ,”සභිකයනි, අනෙක් මැටි ඇමැටීන් කොහිදැ? උන් තවම සබයට පැමිණ නොමැත්තේ උනට රජුටත් උසින් රාජකාරි වෙත්දැ? කලට වේලාවට පැමිණීමට උනට උගැන්විය යුත්තේදැ?’’යි නැග එනා කොවින් අසනාහ. එකල්හි සභික රැළ තරගයට මෙන් මුහුණු සඟවා ගැනුමට වලි කනුයේ එක් සභිකයකු ඇඹැරෙමින් හා අපාසුවෙන් නැගිට, ”බයබෝයි ස්වාමීනී, උන් සැම වසරාවසාන විවේකය පිණිස විදෙසගතවයැ,’’යි කියනායැ. එබස් ඇසූ රජ්ජුරුවෝ, ”එම්බල අමනයෙනි, ආහාරපානාදී අතවැසි දෑ ගෙන්වුමටවත් නොහැකි සේ විදෙස කහවනු මහා හිඟයක් තිබියදී ආහාර හිඟයෙන් වැසියන් බෝ පීඩායෙන් සිටියදී උන් කුටුම්භ පිටින්මැ මෙසේ නිස්කාරණයේ විදෙස කහවනු වැය කෙරෙමින් කෙළි ගමන්හි යෙදුම යහපතදැ?’’යි කෝපයෙන් අසනාහ. එකල්හි අරතාපල, ලූහුනු හා මිරිච ඇමැටියා වූ හූව දිසාවේ රස ඉන්දරයා වහා නැගිට, ”ස්වාමීනී, එකී විදෙස කහවනු පැනය ඇත්තේ මහා භාණ්ඩාගාරයේ හා ශාකා භාණ්ඩාගාරයන්හියැ. අපට නොවන්නේයැ. එබැවින් මුළු රජසබයම විදෙසගත වුවද පැනයක් නොමැත්තේයැ.’’යි පවසා යළි හිඳ ගත් කල්හි අසල වූ සභිකයකු උහු කනට කොට, ”තෙල අසූචි යාත‍්‍රා වන්දි කහවනු ගෙවූ සැණින් තොපටද විදෙසගත වියහැකි නොවේදැ’’යි කෝචොක හඬින් රහසින් අසන්නේයැ.

රජ්ජුරුවෝද උහු දෙස අප‍්‍රසන්නව බලා, ”තොප දන්නා විනිම උලව්වක් නොමැත්තේයැ.,’’යි කියා කහවනු ඇමැට්ටාගෙන් අසනු පිණිසැ උහු අසුන දෙස බැලූ කල්හි එකී අසුනද හිස්වැ ඇති බැව් දැකැ, උහුදැ අමරික්ඛ දේශය බලා ගොස් ඇති නියා සිහිවැ පෙර කහවනු ඇමැට්ටාව සිටි යුවරජුගේ අදහස් කෙසේදැයි විමසනු වස් උහු අසුන දෙස බලනාහ. එකී අසුනදැ හිස්වැ ඇති බැව් දැකැ අන්ද මන්දවැ වටපිට බලනුයේ එක් විපස් සභිකයකු නැගිට, ”කළබල වන්නට නොවුවමනායැ රජතුමනි, යුවරජාණන් වහන්සේ මෙකී වෑසනයෙන් රට මුදා ගැනුම් පිණිසැ දෙවියන් යැදුමට දඹදිව් දේශය බලා ගොස් ඇත්තේයැ. එතුමනට තනි බැවින් කුටුම්භයද එතුමන් සමඟ ගොස් ඇත්තේයැ. ආපසු පැමිණි වහාම රට කිරියෙන් හා පැණියෙන් ඉතිරී යනු ඇත්තේයැ. එකල්හි විදෙස ක්ෂීර පිෂ්ඨයදැ ඇවැසි නොවන්නේයැ. ඒ ආකාරයෙන් බොහෝ විදෙස කහවනුද ඉතිරි කළ හැක්කේයැ. අහෝ එතුමන් රටවැස්සන් වෙනුයෙන් කෙතරම් ගැහැට විඳිත්දැ’’යි කියනායැ. එකී සභිකයා තුමුනට කෝචොක වදන් තෙපලද්දැයි විචිකිච්ඡායෙන් රජ්ජුරුවෝ එබසට මුවින් නොබැන කතාව වෙනතක යැවුම සුදුසු යැයි හැඟී, ”සභිකයෙනි, කෙසේද රටතොට අභිනව තතු?’’ යැයි අසනායැ. එකල්හි කේවට්ට රැළ අතුරින් එක් වෙදැදුරු කේවට්ටයකු නැගිට, ”රජතුමනි, තෙල ගොයිතැන් ඇමැතෑංස ලේකමා වහා පලවා හැරිය යුත්තේයැ.’’යි කියනායැ. එවදන් ඇසූ රජු මවිතවැ, ”ඒ කුමක් හෙයින්දැ? මෙකී සුළු කල තුළ ලේකමුන් කී දෙනකු පලවා හැරියේදැ’’යි අසනාහ. ”එසේයැ ස්වාමීනී, මුහු සමග සතරක් වන්නේයැ. අප දෙන්නා වූ උවදෙසට ඉහළින් යන්නා වූ උන් අපට ඇවැසි නොමැත්තේයැ.’’යි වෙද කේවට්ටයා කී කල්හි රජ්ජුරුවෝ, ”එසේදැ, උහු කුමක් කොට ඇත්තේදැ?’’යි ඇසූ පැනයට කේවට්ටයා, ”රජතුමනි නොබෝ කලෙකින් අප රට මහා සාගතයකින් පෙළෙනු ඇත්තේයැයි මුහු මැදි වැද්දන් හමුවේ කියා ඇත්තේයැ.’’යි පිළිවදන් බඳනායැ. ”එකී අනාවැකිය සත්‍යයක්දැ කේවට්ටය? එකී ලේකමා වනාහී ගොයිතැන් විෂයෙහි වෙසෙස් දැනුමක් ඇති මහා ඇදුරෙක් නොවේදැ? මා විසින් උහු එකී පදවියට පත් කරන ලද්දේ එනිසායැ’’යි රජු කී කල්හි කේවට්ටයා, ”ඒ කෙසේ වුව රජතුමනි උන් කළයුත්තේ අප දෙනා උවදෙස් යැ. උහු වෙසෙස් දැනුම අපට ඇවැසි පමණට වඩා වැඩි සේ පෙනෙනායැ.’’යි කියනායැ. රජ්ජුරුවෝද වෙද කේවට්ටයා දෙස බලාගෙනමැ සිටිනුයේ උහු තවදුරටත්, ”රජතුමනි, අප තනනුයේ රට වැසියන් වක්ක ගඞ්ඩ රෝගයෙන් මුදා ගැනුමටයැ.,’’යි කී කල්හි විපස් සභිකයා නැගිට,”කේවට්ටය, තොපගේ උවදෙස යහපත් වුවද එකවරමැ එකී මෙහෙය කළ නොහැක්කේ යැයි තොපට නොවැටහේදැ?’’යි ඇසූ කල්හි වෙද කේවට්ටයා, ”තොපගේ අදහස් අපට නොවුවමනායැ. රටවැස්සන් සාගතයෙන් මිය ගියද උන් වක්ක ගඞ්ඩ රෝගයෙන් මුදා ගැනුම අප කාරිය වන්නේයැ’’යි කියනායැ. ගිලනා මියගියද උදරය ශුද්ධව ඇත්තේයැ යන උපමාව ජන වැහැරට එක් වූයේ ඉන් පසුව බැව් හුදී ජනයින් මින් දත යුත්තේයැ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment