කේ. ජයතිලක නවකතාකරුවා අතික්‍රමණය කළ චින්තනය

194

කේ. ජයතිලක නම් වූ කෘතහස්ත ලේඛකයාගේ 96 වන ජන්ම දිනය යෙදී ඇත්තේ ජූනි 27 දාට ය. ‘පුංචි පැළේ ගස වෙනා’ නම් වූ සිය ස්වයං චරිතාපදානයෙන් කේ. ජයතිලකයන් කියා සිටින්නේ ‘නූතන සිංහල ලේඛකයන් අතර මා තරම් පහළින් ආරම්භ කළ වෙනත් ලේඛකයකු ඇතැයි නොසිතමි’ කියා ය. ඒ නිසාම ඉදිරිපත් වූ බාධකයන් මධ්‍යයයේ තමා ගමන් කළ අයුරු සිහි කරන කේ. ජයතිලකයන් වැඩිදුරටත් පවසන්නේ ‘ඉතා හෙමින් පැමිණි මේ ගමන තවමත් යන්නේ හෙමිහිට’ යනුවෙනි.

කේ. ජයතිලකයන්ගේ මේ හිමින් ගමන දෙස නිවී සැනසිල්ලේ බලා සිට, ඒ සාහිත්‍ය මෙහෙවර ඔස්සේ ඔහුගේ චින්තන ප්‍රභාව හඳුනාගැනීමට යොමු වූ කිසිවකු පිළිබඳව අපට මතක් කරගත හැකි නැත. මේ රටේ විද්වතුන්, විචාරකයන් මෙන් ම පාඨකයන් ද කේ. ජයතිලක හඳුනා සිටින්නේ ප්‍රවීණ නවකතාකරුවකු ලෙස ය. එහෙත් කේ. ජයතිලක යැයි කියන්නේ මේ රටේ ජීවත් වූ හා ජීවත්වන සිය ගණනක් වූ නවකතාකරුවන් අතරින් එක් නවකතාකරුවෙකු පමණක් ද? අපගේ පෞද්ගලික අදහසට අනුව නම් කේ. ජයතිලක යැයි කියන්නේ ලංකාවේ බිහිවූ දුර්ලභ ගණයේ චින්තකයකුට ය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව යැයි කියන්නේ චින්තකයන්ගේ නිජබිමකට නොවේ. බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවේ උපත ලැබුවේ ය, යන මතවාදය ද තරමක් දුරට සැකසංකා උපදවා ඇත්තේ ද ඒ අනුව ය. මෑත භාගයේ මේ රටේ උපන් චින්තකයකු ලෙස ඇතැමුන් හඳුන්වන්නේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් නම් වූ ශාස්ත්‍රවන්තයාය. කෙසේ වුව ද ලංකාවට කිසි අඩුවක් නැත්තේ උගතුන්ගෙන්, විද්වතුන්ගෙන් ය. විවිධ විද්වතුන් විසින් විවිධ විෂය යටතේ පළකරනු ලැබූ ශාස්ත්‍රීය ග්‍රන්ථවල, ලිපිලේඛනවල හිඟයක් ද අපට නැත. මෙහිදී අප කියන්නට උත්සාහ කරන්නේ ඒවා නොවැදගත් වන බවක් නොවේ. එහෙත් ඒ බොහොමයක බහුල වශයෙන් අන්තර්ගතව ඇති දත්ත, සිද්ධාන්ත වර්තමාන පාඨකයාට අන්තර්ජාලයේ බොත්තමක් එබූ පමණින් ලබා ගැනීමේ අපහසුවක් ඇත්තේ ද නැත. නව ප්‍රවාදයක්, නව දර්ශනයක්, නව විමර්ශනයක් ඒවායින් ඉදිරිපත් වී ඇති අවස්ථා අතිශයින් දුර්ලභ වන බව ය, අපගේ අදහස වන්නේ.

අලුත් අදහස්, අලුත් ප්‍රවාද එළිදැක්වූ මේ රටේ විද්වතුන් දෙපළක් ලෙස මේ මොහොතේ අප ගේ මතකයට නැගෙන්නේ මහාචාර්ය නලීන් ද සිල්වා සහ මහාචාර්ය අර්ජුන පරාක්‍රම ය. විවාදාපන්න වුණ ද, මතගැටුම්වලට තුඩු දුන්න ද ඒවායේ කිසියම් නවතාවක් පැවතුණේ ය. ඒ අතර නව මානයකින්, විමර්ශනාත්මක දෘෂ්ටියකින් බුද්ධ චරිතය එළිදැක්වූ විද්වතා ලෙස මෙහිදී අපට සිහිවන්නේ මහාචාර්ය සුචරිත ගම්ලතුන් ය. ගම්ලතුන්ගේ බුද්ධ චරිතය පාඨකයා කියවූයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ වරින් වර කියවූ (ප්‍රකාශයට පත් වූ) බුද්ධ චරිත ගණනාවක නොවූ අලුත් කමකිනි. එවැනි නැවුම් සුවඳක් මේ රටේ බිහිවන ශාස්ත්‍රීය ග්‍රන්ථවලින් නික්මෙන්නේ කලාතුරකිනි.

කේ. ජයතිලක නවකතාකරුවා අතික්‍රමණය කළ චින්තනය

කේ. ජයතිලකයන් විශේෂිත යැයි අපට හැඟෙන්නේ මෙතැනදී ය. ජයතිලකයන්ගේ ඇතැම් අදහස් විවාදාපන්න ය. එහෙත් ඒවා වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අලුත් ය; පාඨකයාට නව මානයක් පෙන්වාදෙනසුලු ය. මේ අපූර්වත්වය අප දුටුවේ ජයතිලකයන්ගේ නවකතාවලින්, කෙටිකතාවලින් නොවන බවත් මේ රටේ විශිෂ්ටතම නවකතාකරුවා කේ. ජයතිලක යැයි කියන්නට අප ඉක්මන් නොවන බවත් ඒ සමගම සඳහන් කළ යුතුව තිබේ. ‘චරිත තුනක්’, ‘රාජපක්ෂ වලව්ව’ වැනි අපූරු නිර්මාණ ද ඒ නවකතා අතරේ තිබුණ මුත්, කේ. ජයතිලක චින්තනයේ මුවහත ඉස්මතු වී පෙනුණේ ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේදී (අවසාන අවුරුදු දහයේදී) එළිදුටු තරමක් ආන්දෝලනාත්මක පොත් කිහිපයකිනි යි අපි සිතමු. එහෙත් ඒවා නවකතා හෝ කෙටිකතා නොවේ. ‘දර්ශනවාද අසබඩින්’, ‘බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට’, ‘සිංහලයේ ආරම්භය හා අවසානය’, ‘මනස තුළින් නිර්මාණයට’, ‘පියාඹන සිතුවිලි’ වැනි ප්‍රබන්ධ සාහිත්‍යයට අයත් නොවන ඒ පොත් කිහිපය මෙන් ම ‘කුදුගොත් රචනා’, ‘අත්පසුරු’, ‘සංකල්පන’ හා ‘නිරිබත’ වැනි අමුතුම මාදිලියේ කුඩා පොත් විශේෂය ද ජයතිලක චින්තනයේ විශිෂ්ට ප්‍රතිඵල ලෙසිනි අප හඳුනාගන්නේ. මේ පොත්වල ලියැවී ඇති ඇතැම් අදහස් අතිශයින් නැවුම් ය. ඒ තරමට ම විවාදාපන්න ය. ඉතිහාසයේ පටන්ම උත්කර්ෂයට නැගුණු, සම්භාවනාවට පත් වූ පුද්ගල චරිත, දේශපාලන දර්ශන, ප්‍රවාද උඩුයටිකුරු කර බලන්නට කේ. ජයතිලකයෝ මෙහිදී යොමුවෙති. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්, කාර්ල්මාක්ස්, චාර්ල්ස් ඩාවින් මෙන් ම ග්‍රීසියේ මහා දාර්ශනිකයා ලෙස පිළිගැනෙන සොක්‍රටීස් ද එහිදී ජයතිලකයන්ගේ විමර්ශනයට ලක්වේ. සොක්‍රටීස්ගේ සෞන්දර්ය චින්තනය ගැන ජයතිලකයක් ප්‍රශ්න කරන්නේ ‘දර්ශනවාද අසබඩින්’ නම් වූ කෘතියෙනි.

ලෝකයේ ශ්‍රේෂ්ඨම ගණයේ දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් මුළුමනින්ම වැරදි යැයි අප අදහස් කරනුයේ සෞන්දර්ය පිළිබඳව ඔහු පවසන කරුණු සම්බන්ධයෙනි. ඔහු කියන අන්දමට කවියා නියෝජනය කරන්නේ නැත්නම් අභියාචනා කරන්නේ මිනිසාගේ තාර්කික ගුණයට නොව අතාර්කික ගුණයට ය. ඔහු අනුකරණය කරන්නේ ශක්තිමත් බුද්ධිමතා නොව දුර්වල මුග්ධයා ය. කලාව ඉතාම යහපත් පුද්ගලයා පවා දූෂණය කරයි. ඒ ඔහුගේ උසස් ගුණවලට වඩා පහත් ගුණ දිරිගැන්වීමෙනි. කලාව නිසැකයෙන්ම ආකර්ෂණීය විෂයක් නිසා මෙහි ප්‍රතිඵල වඩාත් භයානක ය. සත්ගුණ ගවේෂණයෙහි යෙදෙන පුද්ගලයා මේ ගැන විශේෂයෙන් පරෙස්සම් විය යුතු ය.

මිනිසාගේ භාව ශක්තිය සොක්‍රටීස් තේරුම්ගෙන ඇති සැටි වැරදි බව මින් පෙනී යයි. භාව යනු මනුෂ්‍යයාගේ අවියෝජනීය ලක්ෂණයකි. ඔහු තුළ පහසුවෙන් කලබල වී එන චංචල භාව මෙන් ම බුද්ධියට ඉතා ආසන්න සන්සුන් නිසංසල භාව ද පවතී. (දර්ශනවාද අසබඩින් – 109 පිටුව)

ලෝකයේ බොහෝ මිනිසුන්ට, විශේෂයෙන් නිර්ධනීන්ට වශීකරණයක් වැනි වූ මාක්ස්වාදය නමැති දේශපාලන දර්ශනය සම්බන්ධයෙන් කේ. ජයතිලකයන් පවසන කතාව ද තරමක් අසාමාන්‍යය ය. මාක්ස්වාදය පිළිබඳ මේ තර්කය ජයතිලකයන් මතුකරන්නේ ‘පුංචි පුංචි නුවණිනා’ නම් වූ කෘතියෙනි.

මෙතෙක් ලෝකයේ කොතැනකවත් ගොවි කම්කරු රාජ්‍යයක් පහළ වී නැත. එවැන්නක් කවදාවත් පහළ වෙතියි ද මම නම් නොසිතමි. යම් හෙයකින් එවැන්නක් ඇති වුවහොත් එය සමාජයේ මහත්ම අභාග්‍යයකි. ආවේගයෙන් විනා බුද්ධියෙන් ක්‍රියා කරන කොටස් කම්කරුවන් අතර විරල ය. ගොවියෝ නම් ආවේගශීලි ද නොවෙති. ගොවියා හෝ කම්කරුවා බුද්ධියෙන් ක්‍රියා කිරීම ආරම්භ වූ විට ඔහු ගොවියෙකු හෝ කම්කරුවෙකු වීම නවතී.
(පුංචි පුංචි නුවණිනා – 184 පිටුව)

කේ. ජයතිලකයන්ගේ බෙහෙවින්ම ආන්දෝලනාත්මක කෘතිය බවට පත් වූයේ ‘බුද්ධ චරිතයෙන් බුද්ධ චරිතයට’ නම් වූ ග්‍රන්ථයයි. ඒ පිළිබඳ විරෝධාකල්ප එළිදැක්වූවෝ ද බොහෝ වෙති. එහෙත් මේ කෘතියෙන් ජයතිලකයන් යම් ප්‍රහාරයක් එල්ල කළේ නම් ඒ බුදුදහමට හෝ බුදුන් වහන්සේට හෝ නොව බුද්ධ චරිතයට හා බුද්ධාගමට ය. බුදුදහම හා බුද්ධාගම පිළිබඳ ජයතිලක චින්තනය ඉතා සූක්ෂ්ම ලෙස අර්ථගැන්වී ඇත්තේ ‘අත්පසුරු’ කෘතියේ එන එක් හුරුබුහුටි ගද්‍ය පාඨයකිනි. එය නම් කොට ඇත්තේ ද ‘බුදුදහම’ ලෙසිනි.

උල්පත් සංකීර්ණය වටා
විවිධ ප්‍රමාණයේ ළිං රාශියක් ඇත.
ඉතා උණු, ඇල් මැරුණ, සීතලම සීතල
ළිං එහි ඇත.

සමහරක් කුණු කසළින් පිරී තිබේ.
අටුවා, ටීකා, ටිප්පණි, පරිකථා, ගැටපද
ලෙස ඒවා නම් කොට ඇත.
ඒ මැද, සම ශිතෝෂ්ණ අමා පැන් පිරි
පුංචිම පුංචි ළිඳක් ඇත.

(අත්පසුරු – 59 පිටුව)

බුද්ධාගම සම්බන්ධයෙන් ජයතිලකයන්ට එල්ල වූ යම් යම් චෝදනාවලට තරමක් සරල පිළිතුරක් සැපයෙන්නේ ඔහුගේ ‘පියාඹන සිතුවිලි’ නම් වූ කෘතියෙනි.

කුමක් ලියුවත් කියුවත් මේ ලේඛකයාගේ අවංක අචල විශ්වාසය ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ආගම් කතුවරයා බුදුන් වහන්සේය යනු ය. සත්‍යය සොයා සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළ උන් වහන්සේ අවසානයේදී එක් සත්‍යයක් නොව ආර්ය හෙවත් උතුම් වූ සත්‍යයන් සතරක්ම සොයා ගත් සේක. ඒ දුඃඛ, සමුදය, නිරෝධ හා මාර්ග යන සත්‍යයන් ය. මෙයින් මිනිසාට විමුක්තිය හෙවත් නිර්වාණය ලබා ගත හැක්කේ අවසානයට කියූ මාර්ග සත්‍යය අනුගමනය කිරීමෙනි. ඒ මාර්ග සත්‍යය අවස්ථා අටකින් යුක්ත ය. ඒවා සම්මා දිට්ඨඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යනුවෙන් දැක්වේ. මේ සියල්ල මෙහි දක්නා ලැබෙන නමුත් ඒ ‘සම්මා’ යන ස්වර්ණමය අකුරු තුනෙන් තොරව ය.

මෙය අද ලක් ජීවිතයෙන් කොතරම් භයානක ලෙස බැහැර වී ගොස් ඇත් ද යතහොත් ඒ සියල්ලෙහි අවසාන ඉලක්කය වූ නිර්වාණය ලබා ගැනීමේ පෙරහැරෙහි ද අවසානයට ගමන් කරනු ඇත්තේ වර්තමාන ශ්‍රී ලංකාවෙහි සිංහල බෞද්ධ ජනතාව ය.

බරපතළ සමාජ අර්බුදයකට අද දවසේ මුහුණ පා සිටින මේ රටේ ජනතාව මේවා අවශෝෂණය කරගත යුතු වන්නේ යහපත් සිහිකල්පනාවෙන් යුතුවය. සම්‍යක් ස්මෘති යැයි කියන්නේ සම්මා සතියට ය. සම්‍යක් ඥාන යැයි කියන්නේ චතුර් මාර්ගය අවබෝධ කළ යහපත් නුවණට ය. මේ වචන මේ රටේ ජනතාවට ආගන්තුක ද නැත. එහෙත්…? ජයතිලකයන් පවසන පරිදි මේ රටේ දෘෂ්ටි තිබේ; සංකල්ප ද තිබේ; වචන හා කර්මාන්ත ද තිබේ. නැත්තේ ස්වර්ණමය අකුරු තුන ය. ‘සම්මා’ යනු එයයි.

කැත්ලීන් ජයවර්ධන
[email protected]

කේ. ජයතිලක නවකතාකරුවා අතික්‍රමණය කළ චින්තනය

advertistmentadvertistment
advertistmentadvertistment