කේ.ඩී.යූ.එක යූ.ජී,සියේ සියළුම නීති අනුගමනය කරනවා…කේ.ඩි.යු.විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස්

100

* නිල ඇඳුම අනිවාර්යයි…එතකොට පන්ති බේදයක් නෑ

* විනය-කුසලතාව කොතලාවලදී අංක එක


අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 මාර්තු 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පිළිබඳව රට තුළ විශාල කතාබහක් මේ වන විට නිර්මාණයව තිබේ. බොහෝ අය චෝදනා කරන්නේ නිදහස් අධ්‍යාපනයට එමගින් වැට බැඳෙන බවත් උපාධි මුදලට විකිණෙන බවත්ය. මේ පිළිබඳ දැන කියා ගැනීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතාව මුණ ගැසුණෙමු. පහතින් පෙළ ගැසෙන්ේන් ඒ මහතා සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවයි…

ප‍්‍රශ්නය – කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතනය වසර 40 ක ඉතිහාසයකට හිමිකම් කියන්නක්. උපකුලපතිතුමා, ඒ පිළිබඳ කෙටි හැඳින්වීමක් සමග අප සාකච්ඡාවට අවතීරණ වෙමු.

පිළිතුර – ඔව් අප වසර 40ක කීර්තිමත්ම ඉතිහාසයකට හිමිකම් කියන ආයතනයක්. මෙම කොතලාවල ආරක්ෂක අභ්‍යාස ආයතනය පිහිටුවල තිබෙන්නේ 1981 අංක 68 දරන ශ‍්‍රීමත් ජෝන් කොතලාවල අභ්‍යාස ආයතන පනතෙන්. මේ ආයතනය පිහිටු වූ භූමිය සහ දේපළ ඒ සියල්ලම සර් ජෝන් කොතලාවල මහත්මයා විසින් ලබාදී තිබෙන්නෙ. නමුත් 1979 වසරේදී හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාට මෙම ආයතනය නිර්මාණය කිරීම සඳහා යෝජනාව ගෙන එනු ලැබ ඇත්තේ ජෙනරල් ඩෙනිස් පෙරේරා, බැසිල් ගුණසේකර, හැරී ගුණතිලක යන හමුදාපතිවරුන් තිදෙනා විසින්. මෙම සංකල්පය ලංකාවට පමණක් පොදු සංකල්පයක් නොවෙයි. එවකටත් ඔස්ටේ‍්‍රලියාවෙත් තිබුණ ආමි ෆෝසස් ඇකඩමි එකක්, ඉන්දියාවෙත් තිබුණ භෘ් කියල ඇකඩමි එකක්. මෙහි තිබෙන බොහෝ දේවල් ක‍්‍රියාත්මක වන්නෙ එංගලන්ත සංස්කෘතියත් එක්ක.

එහිදී මේ ඇකඩමියේදී සමත් වන ශිෂ්‍ය භටයන්ට උපාධියක් ලබාදෙන්නෙ නැහැ. අදටත් එංගලන්තයේ එය ලබා දෙන්නෙ නෑ. නමුත් 1980 වර්ෂය වන විට ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය වගේ රටවල්වල සමත්වන ශිෂ්‍යයන්ට උපාධියක් ලබා දෙනව. එම නිසා තමයි ලංකාවටත් මේ අවශ්‍යතාවය ඇතිවුණේ. 1981 වර්ෂයේ තමයි මෙහි මුල්ම පාඨමාලාව ආරම්භ කළේ. එදා සිට මේ පාඨමාලව සාර්ථකව සිදුවුණා. 1988 අංක 27 දරන සංශෝධන පනතින් මෙම ආයතනයට උපාධි පිරිනැමීමේ බලය ලබා දුන්න. ඉන් පසු 2007 අංක 50 දරන සර් ජෝන් ආරක්ෂක අභ්‍යාස පනතේ සංශෝධන පනතින් මෙය විශ්වවිද්‍යාලයක් බවට නම් කරනු ලැබුවා. නමුත් 2007 දී විශ්වවිද්‍යාලයක් බවට පත් වුණාට 2009 දක්වා මෙය පැවතුනෙ ඇකඩමි එකක තත්ත්වයට. 2009 දි තමයි මෙය විශ්වවිද්‍යාලයක් බවට පත්වෙන්නෙ.

ප‍්‍රශ්නය – හොඳයි, මේ වන විට මුළු රටම මෙම ආයතනය පිළිබඳ කතා වෙනවා. ඒ 2021 මාර්තු 26 වැනිදා අගමැතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත හේතුවෙන්. හදිස්සියේ මෙවැනි පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද..?

kdu2පිළිතුර – ඇත්තටම මෙම පනත් කෙටුම්පත කිසිම හදිසියකින් ඉදිරිපත් කළ එකක් නෙවෙයි. මෙය වසර 10ක් තිස්සේ සිදු වූ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක්. මෙම පනත පිළිබඳ 2010 වසරේ අභ්‍යන්තර කමිටුවක් මගින් නිර්දේශ ඉදිරිපත් කළා. ඉන් අනතුරුව 2012 වසරේ දෙසැම්බර් මස මෙය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. එය 2013 වසරේ නීතිපති දෙපාර්තමේන්තුව වෙතත් යොමු කර තිබෙනවා. 2013 වසරේ සිට 2017 වසර වන තෙක් සිව්වසරක් මෙය කෙටුම්පත් කර තිබෙනවා. එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූල ද යන්න විමසීම සඳහා නීතිපතිවරයා වෙත යොමු කර 2018 දී මුල් වතාවට මේ සඳහා නීතිපති අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව 2018 වසරේ මැයි මාසයේ මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. එවකට පැවති රජය ඒ සඳහා අකමැත්තක් පළ කළේ නැහැ. හිටපු ජනාධිපතිතුමන් විසින් මෙම පනත 2019 වසරේ පාර්ලිමේන්තුවට යොමු කරන ලෙස නියෝග කර තිබුණා. ආණ්ඩුව වෙනස් වීමත් සමග එම කටයුතු සිදු වුණේ නැහැ. එලෙස වසර දහයක් තිස්සේ පැමිණි ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් අනුව වත්මන් රජය මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එම නිසා මෙය කඩිමුඩියේ ගෙනා එකක් නෙවෙයි. කවුරුත් මේ ගැන දන්නේ නැහැ කියන්න බැහැ. මෙම පනත් කෙටුම්පත 2018 වසරේ සිට නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පාර්ලිමේන්තු වෙබ් පිටුවලට ඇතුළත් කර තිබෙනවා. ඕනෑම දෙයක් බලන්නේ සන්දර්භය තුළ බැවින් තමන්ට වාසිදායක මාවත වෙත යම් තත්ත්වයක් හරවා ගැනීමට තර්ක ගොඩ නැගීම තුළ මේ සඳහා විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ප‍්‍රශ්නය – නමුත් නව කෙටුම්පතේ අරමුණ ආරක්ෂක විශ්ව විද්‍යාලයක්, ජාතික විශ්වවිද්‍යාලයක් බවට පත් කර හමුදාවල නොවන අයවලූන්ට උපාධි විකිණීමට පසුබිම හදාගැනීමට කියලා තමයි චෝදනා එල්ල වන්නේ.

පිළිතුර – අප පනතේ 5 වැනි වගන්තියෙ සඳහන් වන කැඩෙට් නිලධාරීන්ට, රාජ්‍ය නිලධාරීන්ට සහ වෙනත් නිලධාරීන්ට අදාළ විය හැකි යම් විෂයන් සඳහා ශාස්ත‍්‍රීය අධ්‍යයනයන් සහ උපදෙස් ලබා දීම යන කොටස් තුන 1981 පනතෙත් සහ 1988 සංශෝධන පනතෙත් සඳහන් වෙල තිබෙනවා. නව පනතෙදි අපි ඇතුළත් කරල තිබෙන වෙනත් තැනැත්තන් වශයෙන් හඳුන්වන්නෙ මේ අයට අමතරව වෙනත් සිවිල් සිසුන් සහ විදේශීය සිසුන්. මෙහෙම ඇතුළත් කර ගැනීමට අපට හේතුවක් තියෙනව. විශේෂයෙන්ම අපි කොතලාවල ඇකඩමිය ඇති කළේ ත‍්‍රිවිධ හමුදාව අතර සුසංයෝගය, සහයෝගිතාවය, එකමුතුව ඇති කරන්න. අපට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි යුද්ධය වෙලාවෙදි ඒ අවශ්‍යතාවය අගනා අයුරින් ඉෂ්ට කරල අපිට මේ යුද්ධය දිනන්නත් අපිට මේක එක් කරුණක් වුණා. නමුත් අපිට යුද්ධය යන අතරවාරයේ සමහර තැන්වලදි දැකගන්නට ලැබුණේ සමහරක් අය අපිත් එක්ක ඒ සහයෝගය දැක්වුවෙ නැති බව. විශේෂයෙන්ම සිවිල් නිලධාරීන්. දියුණු රටවල සිවිල් මිල්ටරි කෝපරේෂන් කියල විෂයකුත් උගන්වනව හමුදා නිලධාරීන්ට. අපේ රටේ නම් මේකට කියන්නෙ මිල්ටරීකරණය කරනව කියලා. දේශපාලන අවශ්‍යතා මත ඒ වගේ අදහසක් සමාජගත කරන්න ඇතැමුන් උත්සාහ කරන නමුත් අපගේ පරමාර්ථය මිල්ටරීකරණය කිරීම නෙමෙයි. ඇත්තටම මිල්ටරීකරණය කරනව නම් 1981 පනතෙ සිටම අපට මිල්ටරීකරණය කරන්න තිබුණා නොවේද?.

අපගේ ප‍්‍රධානම පරමාර්ථය වන්නේ හමුදාවන් හා සිවිල් අයවලූන් අතර තිබෙන සහයෝගීතාවය ඇතිකිරීම පමණයි. ජාතික ආරක්ෂාවට බලපාන අවස්ථාවකදී ඇතුළු ඕනෑම හදිසි අවස්ථාවකදී සැමට එක්ව එකට වැඩ කළ හැකි වන්නේ ඒ තුළිනුයි. එයින් ලැබෙන ප‍්‍රතිඵල ඉතාමත් වැදගත්. අපි මේ සිවිල් සිසුන් පුහුණු කරන්න ගත්තෙ ඒ අරමුණ වෙනුවෙන්. අපේ තවත් පරමාර්ථයක් වන්නේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා පිරිස ඉහළ නංවා ගැනීම. ඇත්තටම උසස් පෙළ විභාගය සමත් සිසුන් විශාල පිරිසක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්න බැරිව සිටිනවා. එවැනි සිසුන්ට මේ තුළින් ඔවුන්ගේ කැමැත්ත පරිදි තමන් කැමැති විෂය පථයන් තෝරාගෙන යම්කිසි මුදලක් ගෙවා ඔවුන්ගේ පාඨමාලා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඔබගේ ප‍්‍රශ්නයට අවසාන වශයෙනුත් උත්තරයක් ලබා දෙනවා නම් මෙතන කිසිම ලෙසකවත් උපාධි විකුණන කඩයක් බිහිවන්නේ නැහැ.

ප‍්‍රශ්නය – මෙහි පාඨමාලාවන් සඳහා නිශ්චිත මුදලක් සඳහන් නොවන බව නැගෙන තවත් චෝදනාවක්.

පිළිතුර – පෞද්ගලික විශ්වවිද්‍යාල තිබෙනව, විශ්වවිද්‍යාල පද්ධතියෙම තිබෙන විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධ වුණු වෙනත් ආයතන සමග දෙන උපාධි තිබෙනව. සමහරක් අපේම රජයේ විශ්වවිද්‍යාලවල නමින්ම පුද්ගලික ආයතනයෙත් ඉගෙන ගන්න ළමයින්ට උපාධි දෙනව. ඒ හැම තැනකම මුදල් අයකරනව. එහිදී විශ්වවිද්‍යාලයටත් මුදල් ලැබෙනව. අපටත් මේ සිසුන් සඳහා විශාල මුදලක් වැය කරන්නට සිදුවෙනව. මේ ආයතනයේ දියුණුව සඳහත් විශාල මුදලක් වැය කරන්න සිදුවෙල තිබෙනව. නමුත් වෙනත් පෞද්ගලික ආයතනවල අය කරන මුදල් ප‍්‍රමාණ බැලූවහම ඊට වඩා අඩු ප‍්‍රමාණයක් තමයි අපි අය කරන්නෙ. විශේෂයෙන් අපේ රණවිරුවන්ටත් අවම සුදුසුකම් සපුරා තිබේ නම් ඔවුන්ටත් මෙම විශ්වවිද්‍යාලයට එන්න හැකියාව තිබෙනවා. එසේ තෝරාගන්නා ලද අයවලූන් සඳහා අපි 50% ක ශිෂ්‍යත්වයක් ලබල දෙනව. ඉංජිනේරු පීඨයට ඇතුළත් වන සිසුවකුට අපි 50% ක ශිෂ්‍යත්වයක් ලබා දෙනවා. මේ අනුව දක්ෂ ලෙස අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බොහෝ වෙලාවට 50% හෝ 75% දක්වා ශිෂ්‍යත්වයක් ලබාගන්න පුළුවන්. ඊට අමතරව හෙද, පරිපූරක අංශවල උපාධිධාරීන්ට නොමිලේත් උගන්වනව, අයකිරීමක් ඇතුවත් අපි උගන්වනව. අපි පුළුවන් තරම් උත්සහ කරන්නෙ මේ අවස්ථාව ලබාදී විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් කර ගැනීමේ ළමයි සංඛ්‍යාව වැඩි කර ගුණාත්මක භාවයෙන් උසස් උපාධියක් ලබාදෙන්න. මෙහි අපි ප‍්‍රමුඛත්වය දෙන්නෙ කැඩෙට්ස්ලට. හැබැයි මේ පහසුකම නෑ වෛද්‍ය පීඨයට. වෛද්‍ය පීඨයේ ඉන්නෙ කැඩෙට්ස්ල සහ විදේශීය සිසුන් පමණයි. ලංකාවේ විශ්වවිද්‍යාලයක් ගත්තොත් විදේශීය සිසුන් වැඩියෙන්ම සිටින්නේ කොතලාවල වෛද්‍ය පීඨයේ. යම්කිසි පීඨයක උපරිම සිසුන් සංඛ්‍යාව 150 ක් හිතමු. ඉන් 80 දෙනෙක් කැඩෙට්ස්ල නම් ඉතිරියට තමයි අපි අනෙක් සිසුන් ගන්නෙ. එය තීරණය වෙන්නෙ ආරක්ෂක හමුදාව විසින් ඉල්ලූම් කරන ලද සංඛ්‍යාව අනුවයි.

ප‍්‍රශ්නය – නව පනත මගින් අසූ එකේ පනත සහ සංශෝධන පනත් ඉවත් වන බව වාර්තා වනවා. ඒ වගේම 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතෙනුත් මෙය මිදෙන බව සඳහන්.

පිළිතුර – මෙම සංශෝධනයේ 2 වැනි වගන්තියේ සඳහන් වෙනව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුවද එය නොසලකා මින් මතුවට විශ්වවිද්‍යාලය යනුවෙන් සඳහන් කරනු ලබන ජෙනරල් සර් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනුවෙන් වූ විශ්වවිද්‍යාලයන් පිහිටුවනු ලැබිය යුතුය යන කාරණය. මේ අනුව තමයි භික්ෂු හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවල තියෙන්නෙ, භික්ෂු ශ‍්‍රාවක විශ්වවිද්‍යාලය පිහිටුවල තියෙන්නෙ, සාගර විශ්වවිද්‍යාලය පිහිටුවල තියෙන්නෙ, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිහිටුවල තියෙන්නෙ. අපි මේ 5 න් 1 ක් පමණයි. ලංකාවේ විශ්වවිද්‍යාල 5 න්ම මේ ආකාරයෙන් වෙනත් පනතක් මගින් ස්ථාපනය කරල තිබෙනවා.

ප‍්‍රශ්නය – මේ නව පනත හරහා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ නියාමනයෙන් කොතලාවල විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම ඉවත්වීමේ තත්ත්වයක් ඇති බව කියවෙන කාරණයක්.

පිළිතුර – එහෙම තත්ත්වයක් නැහැ. අපගේ සියලූම අධ්‍යයන කටයුතු විශ්වවිද්‍යාලයේ යූ. සී. ජී. එක (විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව) මගින් පනවා ඇති සියලූම නීති පද්ධති, ඒ සියල්ල එලෙසින්ම අනුගමනය කරනව.

ප‍්‍රශ්නය – සමහරු පවසන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාලයක් නොව රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයක් වගේ කියලා. එහි ඇති නිදහස සීමා වීම පිළිබඳව බොහෝ අය කතා වන කාරණයක්. නිදහසේ හිතන්න පුළුවන් පරිසරයක්, නිදහසේ කටයුතු කරන්න හැකි පරිසරයක්, නිදහසේ අදහස් ප‍්‍රකාශ කළ හැකි පරිසරයක් ඒ තුළ නැති බව කියවෙනවා.

පිළිතුර – සමහර කට්ටිය හිතන්නේ විශ්වවිද්‍යාලයක් කිව්වම උද්ඝෝෂණ කරන්න ඕන, වැඩ වර්ජන කරන්න ඕන, ළමයින් අවිනීත ලෙස හැසිරෙන්න ඕන කියලා. අපේ උසස් අධ්‍යාපනයේ නිදහස කියන්නෙ ඒක නෙමෙයි. අපේ විශ්වවිද්‍යාලයේ විනය උපරිමයෙන් තිබිය යුතු තැනක්. අපට ඕන විනයවත් හරවත්, ගුණවත් කුසලතාවෙන් පිරි දක්ෂ සිසු පරපුරක් රට වෙනුවෙන් බිහි කිරීමටයි. අපගේ විශ්වවිද්‍යාලයට එන සෑම ළමයෙක්ම උදේ 8.00 ට ඇතුළට එන්න ඕන. 2.15 වෙනකම් වැඩ කරන්න ඕන. ඒ කාලය ඇතුළත විශ්වවිද්‍යාලයෙන් පිටතට යන්න බැහැ. අපේ ළඟට එවන සෑම ළමයෙක් ගැනම විශාල වගකීමක් තිබෙනව. මෙතනට පැමිණියාට පසු වෙනත් කිසිදු ස්ථානයකට යන්න බැහැ. වෙන විශ්වවිද්‍යාලවල වගේ ලෙක්චර්ස් කට් කරන්න බැහැ. මුහුදු වෙරළට යන්න බැහැ. අනෙක තමයි දෙමව්පියන්ට මෙතනට ළමයව යොමුකළාට පසු සිතේ නිදහසින් ඉන්න පුළුවන් මගේ දරුව ඉන්නෙ ආරක්ෂක පරිසරයක් තුළ කියල දන්න නිසා. අනික තමයි විභාග සඳහා පෙනී සිටීමට සිසුන්ගේ පැමිණීම 80% ක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන.

ප‍්‍රශ්නය – නිදහසේ සිටිය යුතු විශ්වවිද්‍යාල ප‍්‍රජාව නිල ඇඳුමක් තුළ කොටු කිරීම කොතරම් දුරට සාධාරණ ද…?

kdu3පිළිතුර – ඇත්තටම මෙහි සිසු සිසුවියන්ට නිල ඇඳුමක් අනිවාර්යයි. එහි ලොකු තේරුමක් තිබෙනවා. මෙම විශ්වවිද්‍යාලය සඳහා පැමිණෙන්නේ එක් එක් ආර්ථික හැකියාවන් ඇති අය. ආර්ථික හැකියාවන් අනුව මෙහි බෙදීමක් තිබිය යුතු වන්නේ නැහැ. ඒ නිසා තමයි සැමට එක නිල ඇඳුමක් ලබාදෙන්නේ. මෙතෙන අපි සලකන්නේ සියලූ දෙනාටම එක සමානව.

මේ විශ්වවිද්‍යාල පනතෙ අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. විශ්වවිද්‍යාල පනතෙ කියන්නෙ ජෙනරල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යනුවෙන්. ඒ පනතින් බැහැ, වෙන කිසිම තැනක් පාලනය කරන්න. මේ පනතින් බැහැ, වෙන කිසිම විශ්වවිද්‍යාලයක් පාලනය කරන්න. අපගේ පාලක මණ්ඩලයට, උපකුලපතිවරයාට, සනාතන මණ්ඩලයට සෑම දේකටම වැඩ කරන්න පුළුවන් වෙන්නෙ මේ පනත මගින්. මෙම පනතින් සිදු කෙරෙන්නේ ඒ සඳහා බලයක් ලබා දීම පමණයි.

ප‍්‍රශ්නය – ඔබ සඳහන් කරන පරිදි මෙම පනත තුළින් උපාධි විකිණෙන්නේ නැහැ. වෙනත් විශ්වවිද්‍යාල බිහි වන්නේත් නැහැ. විශ්වවිද්‍යාල කොමිෂන් සභා පනත අතික‍්‍රමණය වන්නෙත් නැහැ. නමුත් රට තුළ මේ සඳහා බරපතළ විරෝධයක් තිබෙනවා. ගැටලූවක් නැත්නම් මේ තරම් විරෝධයක් එල්ල වන්නේ ඇයි..?

පිළිතුර – අපගේ පනතෙ ඇති කාරණා අනිත් විශ්වවිද්‍යාල පනත්වලත් තිබෙද්දි මේ සඳහා මෙතරම් විරෝධතාවක් ඉන්නේ ඇයි ද යන්න අපට හිතාගන්න බැහැ. ඇත්තටම ඇතැම් කාරණා දේශපාලනිකයි. ඒ සඳහා අප අදහස් දක්වන්න යන්නේ නැහැ. අප කරන්න යන්නෙ රටට අවැසි දෙයක් මිස උපාධි කළුකඩ බිහි කිරීමක් නෙවෙයි. මම හිතන විදිහට මේක මනඃකල්පිත විදිහට මිනිස්සු හිතනව. හොඳම උදාහරණය තමයි දැන් අවුරුදු 40 ක් තිස්සෙ අපි මේ මුල් පනතින් අපි පැමිණිල තිබෙනව. අපෙන් කිසිම අයෙක්ට හානියක් වෙලා තියෙනවද? මේ පනත පිළිබඳ දේශපාලන කෝණයෙන් සහ මනඃකල්පිත ලෙස බැලීම නතර කළොත් මෙහි හරය උකහා ගන්න සැමට පුළුවන්. කොතලාවල විශ්වවිද්‍යාලය කියන්නෙ කඩයක් නෙමෙයි. කවදාවත් කොතලාවල විශ්වවිද්‍යාලය කඩයක් වෙන්නෙ නැහැ. අපේ අරමුණ වෙන්නෙ විනයගරුක, ධනාත්මක සිතිවිලිවලින් පරිපූර්ණ වූ, සමබර වූ, රටට ආදරය කරන මිනිසෙක් බිහි කිරීමයි. රටෙන් තමාට නොව තමාගෙන් රටට ලැබිය යුතු දේ ගැන සිතන පරපුරක් වෙනුවෙනුයි අප කැපව කටයුතු කරන්නේ.


සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – කමල් වන්නිආරච්චි

advertistmentadvertistment