මාර්තු 2
මහගෙදර කතාන්දරයේ අනෙක් කතාව කෞතුකාගාරය පිහිටුවීම පිළිබඳ අන්දරය. අපි දන්නවා මාර්ටින් වික්‍රමසිංහයන් අභාවප්‍රාප්ත වෙන්නෙ 1976 දි. හරියටම කීවොත් 1976 ජූලි 23 වෙනිදා. ඔහුගේ අභාවයෙන් පස්සෙ ‘76 නොවැම්බර් මාසයේ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය පිහිටුවෙනවා. එදා එහි මුල්ම සාමාජිකයන් වෙන්නෙ වික්‍රමසිංහයන්ගේ බිරිඳ ප්‍රේමා වික්‍රමසිංහ මැතිණිය හා ඔවුන්ගේ දරුදැරියන්, වෛද්‍ය ගුණදාස අමරසේකර සහ ලේඛක ගුණසේන විතාන. ඔවුන් තමයි මෙහි ජන කෞතුකාගාරයක් ඉදිකරන්න පෙරට එන්නෙ. ඒත් එහි කටුගෙයක් ඉදිවන බව වික්‍රමසිංහයන් මියයන්න පෙර සිටම දැනගෙන ඉඳලා තියෙනවා. මොකද ඔහු සමුගන්න මාස දෙක තුනකට කලින් සංස්කෘතික අධ්‍යක්ෂවරයාට ලියූ අන්තිම කැමත්ත ප්‍රකාශ වන ලිපියේ මෙසේ සඳහන් කරනවා:
“මහත්මයාණෙනි,
“සංස්කෘතික අමාත්‍යාංශය විසින් මට දෙන ලද කොග්ගල මා උපන් බිම ඇසුරේ ගැමි කලා කටුගෙයක් හා පුස්තකාලයක් සහිත මධ්‍යස්ථානයක් පිහිටුවීමේ අදහසින් මගේ පුතුන් විසින් සම්පාදනය කරන ලද ට්‍රස්ට් ඔප්පුවක් මේ සමඟ ඔබ වෙත එවමි. මේ මධ්‍යස්ථානය සෑදීම, දියුණු කිරීම හා පවත්වාගෙන යෑම පිණිස සංස්කෘතික අමාත්‍යාංශයෙන් මුදලක්, උපකාරයක් බලාපොරොත්තු නොවේ. මේ ගැන ඔබ හමු වී කතාබහ කිරීමට මගේ පුතා එස්.කේ. වික්‍රමසිංහ හා ගුණසේන විතානද බලාපොරොත්තුවෙන් සිටිති.”
ඇයි මෙහි එදා ජන කෞතුකාගාරයක්ම පිහිටුවන්නෙ? වෙනත් යමක් ගොඩනඟන්න ඔවුන්ට හිතුණෙ නැද්ද මෙහි? ඇත්තටම ජන කෞතුකාගාර සංකල්පය මාර්ටින් වික්‍රමසිංහයන් තුළ කාලයක් තිස්සෙ පැවති අදහසක්. එක් පසෙකින් වික්‍රමසිංහයන් ජන සංස්කෘතිය යන්න කරළියට ගෙනා ලේඛකයා. ඔහු එම සංස්කෘතිය හැඳින්වූයේ නිර්මල ගැමි සංස්කෘතිය කියල. කිසිවකින් කිලිටි නොවූ යන අර්ථයෙන්. අනෙක් පසින් එදා ගැමියාගේ සරල දිවි පෙවෙත හා ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමය කෙරේ වික්‍රමසිංහයන්ගේ සිත මුළුමනින් ඇදී ගියා – අද වගේ එදා හැම දේම පිටරටින් එන තෙක් කටබලියාගෙන හිටියෙ නෑ ඔවුන්. මේ හේතු කොටගෙන වික්‍රමසිංහයන් යෝජනා කළේ මේ උත්කෘෂ්ට ගැමි ජනයාගේ සංස්කෘතිය අනාගතය වෙනුවෙන් රැකගත යුතුයි කියල. අනාගත පරපුරට එය දායාද කර දිය යුතුයි කියල. ඒ අදිටනින් තමයි එතුමන්ගේ අභාවයෙන් පස්සෙ භාරකාර මණ්ඩලය මූලික වී මේ ජන කෞතුකාගාරය ඉදිවන්නෙ. ඒ අනුව ‘77 එක්සත් ජාතික පක්ෂ රජයේ මුදල් ඇමතිවරයකු වූ ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමා අතින් මුල්ගල දැමී එය 1981 වසරේ විවෘත වෙනවා.
මාර්තු 3
මහගෙදර කතාවේ අපි දැනගත යුතු අපර කතාවකුත් තියෙනවා:
1942 වසරේ කඩා බිඳ හෙළන්න නොදී අර බි්‍රතාන්‍ය ජාතික ගුවන් හමුදා නිලධාරිනිය විසින් මහගෙදර බේරාගනු ලැබූවත් යුද්ධය ඉවර වුණාට පස්සෙ මහගෙදර හෝ එය පිහිටි මලලගම භූමිය හෝ ආණ්ඩුව ඒවායේ මුල් අයිතිකරුවන්ට නිදහස් කරන්නෙ නෑ. ‘48 නිදහසින් පසු සුද්දොත් රට හැර දාලා යනවා. ඒත් ඒවා නිදහස් වෙන්නෙ නෑ. මේ අතර තමාගේ නිවස තමාට ලබාදෙන්නැයි වික්‍රමසිංහයනුත් පැවති ආණ්ඩුවලින් නොයෙක්වර ඉල්ලා සිටිනවා. එයත් බීරි අලින්ට වීණා වාදනයක් පමණක් වෙනවා. අනෙක් අතට එදා ඉදිකරන්න ගත් ගුවන්තොටුපොළ සැබෑවට ඉදිවෙන්නෙත් මලලගම නෙවෙයි, හබරාදූවත් කොග්ගලත් අතර බිම් තීරුවේ – හබරාදූව නගරය පසුකරගෙන මාතර දිහාට යද්දි වම්පසින් අද අපට එය දකින්න පුළුවන්. මේ නිසා මහගෙදර නිදහස් කරනවා නම් එය ඉටු කරන්න ආණ්ඩුවට හොඳටම ඉඩප්‍රස්ථා තිබුණා. ඒත් එය වුණේ නෑ. ප්‍රතිඵලය අර සුදු නිලධාරිනිය 1945 දි යුද්ධය ඉවර වෙලා සිය රට බලා ගියාට පසු කොග්ගලත් මහගෙදරත් වල්බිහි වී යෑම. කොච්චර වල්බිහි වෙනවාද? ඇත්තටම පහු කාලයක එහි ගිය වික්‍රමසිංහයන්වත් ගේ ඇති තැන සොයාගන්න බැරි වෙනවා.

මහගේ සොයා ඔහු ගිය ගමන ගැන ඔහුගේ ‘කළුනික සෙවීම’ සංචාරක සටහන් කෘතියේ අපූරුවට සටහන් වෙනවා. ඒ වෙද්දි කොග්ගල පැවතුණේ හතරවටින් කටුකම්බි ගැසූ ඇවුරුණු ප්‍රදේශයක් හැටියට:
“අට අවුරුද්දක් පමණ මවගේ තුරුල්ලෙන් ඉවත් කරනු ලැබූ දරුවකු යළිත් මවගේ තුරුල්ල සොයා යන්නාක් මෙන් කොග්ගලට ගිය මා මුහුණ පෑයේ නොසිතූවකටය. දැන් කොග්ගලට ඇතුළු විය හැක්කේ අහස් නැව් දිවෙන මාවත නමින් හැඳින්වෙන සම තලය දෙපැත්තෙහි පිහිටි දොරටු දෙකකින් පමණි. මොටෝ රිය නවතා එයින් බැස දොරටුවක් කරා ගිය අප දෙස පළමුව උදාසීන බැල්මකින් බැලුවේ දොරටුව හරස් කොට බාන ලද උණ ගස ළඟ සිටි කොංඩයෙකි.
‘අපි ආවේ කොග්ගල බලන්ටයි!’
‘පර්මිට් එකක් ගෙනාවාද?’
‘පර්මිට් එකක්!’ (‘කළුනික සෙවීම’, පිටුව 7, 4 වෙනි මුද්‍රණය)
මේ විධියට දිගහැරෙන සිද්ධියේ අවසානය වෙන්නෙ වික්‍රමසිංහයන්ට කැලෑබද තැනක මෝටර් රිය නවත්වා හතරගාතෙන් ගොස් කම්බි වැටෙන් රිංගා කොග්ගල ගම්පියසට ඇතුල් වෙන්න. හැබැයි ඒ ගියත් ඔහුට මහගෙදරවත් ගමවත් සොයාගන්න බැරි වෙනවා. ඒ තරමටම මහගේත් අවටත් වල්බූටෑවෙන් වැහිලා.
කෙළවර වික්‍රමසිංහන්ට ආපසු මහගෙදර ලැබෙන්නෙ එය පවරාගෙන වසර 20 කට පස්සෙ. එනම් 1962 වසරේ. එය ඔහුට ලබාදෙන්න හිතමිතුරු ලේඛක ගුණසේන විතාන මහතාත් එකල සංස්කෘතික අධ්‍යක්ෂ වින්සන්ට් පණ්ඩිත මහතාත් විශාල වෙහෙසක් මහන්සි දරනවා.
කෙසේ වුව මහගේ ආපසු පවරද්දි සංස්කෘතික අමාත්‍යාංශය එය යම්කිසි අලුත්වැඩියාවකට ලක් කරන බවත් සඳහන් කරන්න ඕන. එහිදී බිත්තිවල කැඩුණු බිඳුණු තැන් පිළිසකර කරන අතර වහලය අලුතින් උළු සෙවිලි කරනවා – ඒ අලුත් උළුවලින් නොව අහලපහළින් සොයාගත් පරණ උළුවලින්. සොල්දරය, ජනෙල් – දොර පියන්, බරාඳයේ හා ප්‍රධාන සාලයේ ගෙබිම ආදියත් අලුත් අමුද්‍රව්‍යවලින් අලුත් කරනවා. ඒත් කිසිදු පිළිසකර කිරීමකින් තොරව තවමත් පැරණි හැටියටම ඇති තැනක් නම් ඇතුල් සාලයේ ඇති ගෙබිම. එහි ටයිල් කැට අතනින් මෙතනින් කැඩී බිඳී ගියත් ඒ එදා දැමූ – අවුරුදු සියවස් දෙකකට උඩදි දැමූ – ටයිල් කැටමයි. ඒවගේම ජනෙල් හා උළුවහු කඳන් ආදියත් පැරණි ඒවාමයි. අවුරුදු පහළොවක් කල් පාළුවට ගියත් සමස්තයක් වශයෙන් මහගේ ආරක්ෂා වෙලා පැවති කිව යුතුයි. 1962 වසරේ ගේ ආපසු බාරදෙද්දි තිබූ තත්ත්වය මහගේ ඉදිරිපස බිත්තියේ එල්ලා ඇති ඡායාරූපයෙන් දැක බලාගන්න පුළුවන්.
● රවීන්ද්‍ර විජේවර්ධන