කොග්ගල දිනපොත – ගිංපතලියට මාරුවක්

267

2023 පෙබරවාරි 17

කිසි දෙයක් සම්පූර්ණ නැහැ. ලියන – කියවන දේවල්, විමසන – කථිකා කරන දේවල් විතරක් නෙවෙයි, අවසානය ඔන්න මෙන්න කියා ඇති අත්පිටපත් පවා එක පියවරක් ඉස්සරහට ගිහින් නැහැ. මේ අතරමඟ අත්හැරදැමූ කඩදාසි ගොඩවල් ඇවිස්සුවොත් කොපමණවත් රන්සුනු සොයාගත හැකි යැයි හැඟෙනවා. ඒත් ඊටද දෛවය ඉඩ දේද කියල සැකයි. කෝවිඩ් වසංගතයත් ආර්ථික පීඩනයත් හමුවේ ඇදවැටුණු ජීවිතය යළි නඟාසිටුවා ගැනීමට විකල්පයක් වෙත යන්න සිදු වෙලා තියෙන නිසා. මොකක්ද විකල්පය? විකල්පත් මේ කාලෙ අඩුයි. ඒත් යැපිය හැකි මට්ටමේ රස්සාවක් අවශ්‍යයි. කොහොම වුණත් අවසානයේ දශක දෙකහමාරක වෘත්තීය පත්‍ර කලා දිවියට තිත තියලා අලුත් තැනක වැඩ බාරගත්තා. තැන කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය. තනතුර උපදේශක. Curatorial Consultant. නව පත්වීම භාරගත්තේ එක් හේතුවක් නිසයි. කොග්ගල ජන
කෞතුකාගාරය කටුගෙයක් පමණක් නොව වික්‍රමසිංහයන්ගේ මහගෙදර පිහිටි භූමියයි.

මොනවාද මගේ රාජකාරි? ප්‍රධාන වශයෙන් කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ පිළිබඳ තොරතුරු එක්රැස් කර යාවත්කාලීන කිරීම, එහි වැඩිදියුණුවට කළ හැකි දෑ යෝජනා කිරීම, දෙස් විදෙස් නරඹන්නන් දැනුවත් කිරීම ආදිය. මගේ හුරුපුරුදු විෂය පථය නෙවෙයි මේ. මගේ විෂය පථය මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාර පරිපාලනය දන්නේද යන්නත් සැකයි. අඩු තරමින් මගේ තීරුවක්වත් කියවූ කෙනෙක් සිටියා නම්. ඒත් කමක් නෑ. ජීවිතය කියන්නෙ එහෙම තැනක් තමයි. එන ඕනම දේකට හැඩගැහෙන්න සිදු වෙනවා. ඒක තුන්වන ලෝකයේ ලේඛකයාගේ ඉරණම. ඉතින් අලුත් තැන අලුත් තත්ත්වයට හැඩගැහෙන්න මං උත්සාහ කරනවා.

පෙබරවාරි 20

අද විශේෂ දවසක්. අද මං මගේ නව වෘත්තියට පිවිසිලා සිව් මසක් ගත වෙනවා. ඊළඟට මගේ සැබෑ පත්‍ර කලා ජීවිතය ඇරඹුණු ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ වසර විස්සකට පසු අලුතින් තීරුවක් ලියනවා. 2003 වසරේ පළ වූ මගේ මුල් තීරුව – ‘පත්තරයක තත්පර අතර’ – පොතක් වශයෙන් එළි නොවූවත් හුඟ දෙනෙකුගෙන් ප්‍රතිචාර ලැබූ බව මතකයි. ඒ තීරුවට නම තැබුවේ ජයන්ත චන්ද්‍රසිරි. මගේ – දිනපතා දිවයිනේ – විශේෂාංග කතුවරයා. කසුරි (කරුණාදාස සූරියාරච්චි), දොඩං (චන්ද්‍රසිරි දොඩන්ගොඩ), සොලමන්ස් (අනුර සොලමන්ස්), මනෝජ් (මනෝජ් අබයදීර) වැනි සුන්දර පුවත්පත් කලාවේදීන් ඇසුරේ පළ වූ ඒ තීරුව සුහද හැඟීමක් ඇති කරනවා.

පෙබරවාරි 21

කොග්ගල කෞතුකාගාරයේ වැඩ බාර ගන්න එන්න කලින් මං මේ කටුගෙට එක් වරක් ඇවිත් තියෙනවා. ඒ, පවුලේ සාමාජිකයන් එක්ක මීට අවුරුදු තුන හතරකට පමණ පෙර. එදා වික්‍රමසිංහයන්ගේ මහගෙදරත් අවට පරිසරයත් දුටු මා කෙතරම් කුල්මත් වීද කියතොත් මහගෙදර තණබිස්ස මත සැතපී බොහෝ වේලා කල් ගත කළා මතකයි. හැබැයි මෙවර මගේ කොග්ගල ආගමනයට බලපෑ විශේෂ පුද්ගලයෙකු ගැන සඳහන් කළ යුතුයි. ඒ, වික්‍රමසිංහ පදනමේ දිගු කාලයක් සේවය කර දැන් විශ්‍රාමිකව සිටින, හිතමිතුරු ලේඛක දයාපාල ජයනෙත්ති. සමහරු කියනවා ජයනෙත්ති මහතාගේ නිර්මාණ ශක්තිය වෙන තැනක සිටියා නම් මීට වඩා මතු වෙන්න තිබුණා කියල. ඒත් මං එහෙම හිතන්නෙ නෑ.

කෙනෙකුගෙන් ලියවෙන දේ මොන තැනක හිටියත් එළියට එනවා. ශ්‍රේෂ්ඨ ඇමෙරිකානු නවකතාකරු විලියම් ෆෝක්නර් කියනවා හොඳ ලේඛකයාට ආර්ථික ශක්තිය යන්නවත් සාධකයක් නෙවෙයි කියල. කුමන තැනක සිටියත් කතාකරුවකුට නිර්මාණ බීජයක් ආවොත් ඇඟේ වහපු කුරුමිණියෙක් ඇඟෙන් ඉවතට ඇද දානවා වගේ ඔහුට කතාව එළියට දාන්න වෙනවා කියල. මට හිතෙන්නෙ ජයනෙත්ති නාමයත් වික්‍රමසිංහ පදනමත් එකිනෙක වෙන් කරන්න බැහැ. වික්‍රමසිංහන්ගේ ධරමාන කාලයේ අවසන් සමයේත් ඔහුගේ අත්පිටපත් සංස්කරණය කර තිබෙන්නේ ජයනෙත්ති මහතායි. හැබැයි තවත් ජයනෙත්ති කෙනෙක් කොග්ගල ජන කෞතුකාගාරයේ සේවය කරනවා. ඒ, ජේ. ජයනෙත්තියි. ඔහු විශ්‍රාම ගිය විදුහල්පතිවරයෙක්. ඒවගේම ප්‍රවීණ ශාස්ත්‍රීය ග්‍රන්ථ රචකයෙක්. ඇත්ත වශයෙන් ඔහු දයාපාල ජයනෙත්ති මහතාගේ පියාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයායි.

කොග්ගල දිනපොත - ගිංපතලියට මාරුවක්

පෙබරවාරි 22

කොග්ගල රස්සාව ඇරඹූ මුල් දිනයේම – 2022 ඔක්තෝබර් 20 දා – මගේ සිත්පැහැර ගත් දර්ශනයක් තිබෙනවා. ඒ, ගාලු – මාතර පාරෙන් කෞතුකාගාරය පිහිටි මලලගම ගම්මානයට පිවිසෙන තැන රේල් පාරේ හූ කියාගෙන ඇදෙන රේල්ලුව. සැබැවින්ම එය මට සිහිනැඟුවේ ‘ගම්පෙරළියේ’ තිස්ස බොනවිස්ටාවට ගිය, ජිනදාස සිංහලේ ගිය, කරෝලිස් ගම හැරදා ගිය රේල්ලුවමයි. නිමේෂ මාත්‍රයක සහානුභූතියකට පත් කළ ඒ දැකුම ඉන් පසු මට දිනපතාම අසන්න දකින්න ලැබීම මොන තරම් විස්මයක්ද! පීත්ත පටියක් සේ දිවෙන ගාලු – මාතර පාර, තරමක උස් ගොඩැල්ලක පිහිටි දුම්රිය මඟ, පස් කැපීමෙන් දෙපස හෑරුණු කුඩ මසුන් සහිත වතුර අගල්…. වික්‍රමසිංහයන් ‘ගම්පෙරළියේ’ මේ අපූරු දර්ශනය මෙසේ විස්තර කරනවා:

“කොග්ගල වූකලී එක් පැත්තකින් මුහුදින්ද අනික් පැත්තෙන් සුන්දර නදියකින්ද සීමා වුණු බිම් තීරයකි. පීත්ත පටියක් සේ දිවෙන ගාලු – මාතර පාරින් වෙන් කරනු ලැබූ මෙහි වෙරළබඩ වනාහි ගමෙහි සුලබ ගෙයක මිදුලට හෝ ආලින්දයට හෝ සම කළ යුත්තකි. ගාලු – මාතර පාර ළඟින්ම දිවෙන රේල් පාර පස් කන්දක් මතුයෙහි හොවන ලද පටන් ගැනීම හෝ කෙළවර හෝ නොදැක්ක හැකි හිණක් වැන්න. පස් ගොඩ ගැසීමෙන් තනන ලද රේල් පාර බිමින්ද මහපාරින්ද අඩි කීපයක් උස් වූවකි. පස් කැපීමෙන් හෑරුණු අගල් රේල් පාර දෙපැත්තෙහි තැනින් තැන දැක්ක හැකිය. බෝක්කුවක් අසල වන අගලක් ඇතැම් විට ඕලු, නෙළුම් හා මසුන්ද සහිත කුඩා විලක විලාසය ගනියි.”

වික්‍රමසිංහයන් විස්තර කරන කොග්ගල මලලගම පරිසරය, එහි කුරුලු කෙවිල්ලන්ගේ කූජන, ගිංපතලියේ මහගේ ආදිය ඇස දකින වාරයක් පාසා මා ඇඟ හිරිගඩු නංවමින් සිහි නඟන්නේ එකම එක් දෙයයි. මාර්ටින් වික්‍රමසිංහ, ඔහුගේ දෙමාපිය – සහෝදර සහෝදරියන් හා ගම්වාසීන් අද එහි නැති වුවත් අනික් හැම දේම එදා ලෙසටම එහි ජීවමානව ඇති බවයි. සැබැවින්ම යම් හෙයකින් කයිසාරුවත්තේ මුහන්දිරම්ලා, මාතර හාමිනේලා, පියල්ලා, නන්දලා, අනුලලා, තිස්සලා, බලදාසලා, කරෝලිස්ලා, කතිරිනාලා, සාදලා දාම් ලෑල්ලක ඉත්තන් මෙන් උඩින් අරන් මේ ගමේ තැබිය හැකි නම් අපට යළිත් වතාවක් එදා මලලගම, ගිංපතලියේ හැබෑ ලෝකය මැවිය දැකිය හැකි බවයි.

● රවීන්ද්‍ර විජේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment