කොච්චර ඇල්ලුවත් ලංකාවට කුඩු නැව් එනවා!

412

එන ක්‍රමය මෙන්න……

සීමාවට ඇතුළු වන්නේ ඉන්දීය මුර සංචාරක නෞකා එහා මෙහා වීමෙන් පසුවය

මත්ද්‍රව්‍ය ත්‍රිකෝණයේ කොතැනක ගියත් ලංකාව මර්මස්ථානයක්!

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඍජු අධික්‍ෂණය යටතේ මෙරට තුළ බන්ධනාගාරගතව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් බූස්ස බන්ධනාගාරයේ විශේෂිත ලෙස රඳවා තැබීමට ඉකුත් කාලයේ පියවර ගනු ලැබීය.

එහි අරමුණ වී තිබුණේ විශේෂයෙන් රට තුළ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරමට තිත තැබීමය. එහෙත් අද එම වැඩපිළිවෙළ සාර්ථක වී තිබේද?

අප ඒ විමසීම මේ මොහොතේ සිදු කරනුයේ එමඟින් රට තුළ ක්‍රියාත්මක හෙරොයින් ජාවාරමට පැහැදිලි බලපෑමක් සිදුව තිබෙන බවක් පෙනෙන්නට නොමැති බැවිනි. රට පුරා ක්‍රියාත්මක මත්කුඩු ජාවාරමේ විවිධ ජාල පිළිබඳ අවධානය යොමු කිරීමේදී පැහැදිලිවම පෙනී යන සත්‍ය වන්නේ ඒ සියල්ල සුපුරුදුව ක්‍රියාමත්කව ඇතැයි යන්නය.

ග්‍රෑන්ඩ්පාස්, මට්ටක්කුලිය, තොටලඟ, මාලිගාවත්ත, මරදාන, වත්තල, ජාඇල, මීගමුව, පෑලියගොඩ, කැලණිය, කිරිබත්ගොඩ, බියගම, වැල්ලම්පිටිය, අංගොඩ, කඩුවෙල, ගොතටුව, බොරැල්ල, රාජගිරිය, අතුරුගිරිය, මහරගම, දෙහිවල, ගල්කිස්ස, මොරටුව ආදී ලෙසින් වූ කුඩු ජාවාරමට නමගිය ප්‍රදේශ ගෙන බැලීමේදී එය මැනවින් තහවුරු වන්නකි.

මහා පරිමාණ ජාවාරමුන් විශේෂිත සිරකුටිවල රඳවා සිටියදී එවැන්නක් සිදුවන්නේ කෙසේද? මෙම තත්ත්වයට බලපානු ලබන එක් හේතුවක් වී තිබෙන්නේ ගාල්ල බූස්ස බන්ධනාගාරයද මේ වන විට විශේෂිත තැනින් ගිලිහී මෙරට අනෙකුත් බන්ධනාගාර මෙන්ම සාමාන්‍ය තත්ත්වයට ඇද වැටී තිබීමය.

බූස්ස බන්ධනාගාරයේ ජංගම දුරකථන නැහැ. එය දැඩි රැකවල් මැද ක්‍රියාත්මක වන්නේ යැයි ලෙසින් කවුරුන් කුමක් කීවත් දැන් බූස්ස බන්ධනාගාරයේ තත්ත්වය බොහෝ වෙනස්ය. ඒ බව අපට තහවුරු කර සඳහන් කරනු ලැබුවේ බූස්සේ රඳවා සිටියදී මීට මාසයකට පමණ ඉහතදී ඇපමත නිදහස්ව පැමිණි රැඳවියකු විසිනි.

‘මොන පිස්සුද සර්. බූස්සේ ඉඳන් තමයි දැන් හොඳටම ගේම ගහන්නේ. ඒකේ ඉන්න සමහරු ගහන ගේම් එක සුපිරි. ඕනෑම පැත්තක එයාට ඉන්නේ එකම එක කස්ටමර් කෙනෙක් විතරයි. ඒ පැත්තේ කුඩු බිස්නස් කරන කවුරු හිටියත් ඒ කස්ටර්මර්ට ඇරෙන්න වෙන කාටවත් බඩු දෙන්නේ නැහැ. සමහර විට එහෙම බඩු දෙන කෙනා සීන් එකේ කවදාවත් හිටිය නැති අලුත්ම එකෙක්. ඒ විදහට ගේම ගහන්නේ එතකොට කාටවත් වෙන්නේ මොකක්ද කියල හොයා ගන්න බැරි නිසා’

ඔහු බූස්සේ කතාව අපට කීවේ එලෙසිනි. ඔහු කියන පරිදි බූස්ස බන්ධනාගාරයේ සිට මහා පරිමාණයෙන් කුඩු ජාවාරමේ යෙදෙන අයද සිටිති. අරුම පුදුම ලෙස රාත්‍රි දහය දොළහ වන විට ක්‍රියාත්මක වන ජංගම දුරකථනවල තිරයෙන් දිස්වන එළිද දැන් බූස්ස බන්ධනාගාරය තුළ විහිදෙමින් තිබේ.

කොච්චර ඇල්ලුවත් ලංකාවට කුඩු නැව් එනවා!
මුහුදු මාර්ගය

ආරක්‍ෂක අංශ උපරිම වෙර යොදා ක්‍රියාත්මක වෙද්දීත් අදටත් මෙරට කුඩු ජාවාරම ඇත්තේ එතැනය. මේ අතරේ ඉකුත් සතියේ දකුණු මුහුදු තීරය ඔස්සේ බහුදින ධීවර යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබූ තවත් කුඩු කිලෝග්‍රෑම් තුන්සියයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය.

පොලිස් විශේෂ කාර්ය බළකායට සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබී තිබුණු තොරතුරකට අනුව සිදු කෙරුණු ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම ධීවර යාත්‍රාව කොටු කර ගැනීමට හැකිවී තිබිණි.

පසුව පොලිසිය සඳහන් කළ පරිදි මේ වන විට ඩුබායිහි රැඳී සිටින මාතර රං මල්ලී නමැත්තකු විසින් රුපියල් මිලියන හයදහසකටත් අධික වටිනාකමක් ඇති එකී මත්කුඩු තොගය මෙරටට එවා තිබුණි. මේ රන් මල්ලී යනු මැතකදී මෙරට සිට ඩුබායි රාජ්‍යයට පැන
ගිය අයෙකි.

මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ හෙතෙම මෙරට ප්‍රකට කුඩු ජාවාරම්කරුවකු වන මිදිගම නඳුන් චින්තකගේ සමීපතම ගෝලයකු බව පොලිසිය සඳහන් කරයි. පොලිසිය පවසන පරිදි රං මල්ලී ඩුබායි රාජ්‍යයට පැන ගොස් ඇත්තේ නඳුන් චින්තකගේ කුඩු ජාවාරම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්ව තිබියදීය.

අන් මල්ලී එවන ලද මෙම මත්කුඩු තොගය මෙරටදී භාර ගැනීමට නියමිතව සිටියේ මාතර දික්වැල්ලේ පදිංචි පටබැඳිගේ දිස්මිකා වරුණි නොහොත් දිස්මිකා අක්කා නමැති කාන්තාවකි.

මෙවැනි මහා පරිමාණ කුඩු ජාවාරමකට මෙරට කාන්තාවක් එක්වූ ප්‍රථම අවස්ථාව ලෙස එය ඉතිහාසගත වේ. කෙසේ වෙතත් මෙම වැටලීමේදී අදාළ බහුදින යාත්‍රාවෙන් ගෙන එන මත්කුඩු තොගය මුහුදේදීම බෙදා හැරීම සඳහා යොදවා තිබූ ඩිංගි බෝටුවක් සමඟ සැකකරුවන් දෙදෙනකු හා දිස්මිකා අක්කාවද කොටු කර ගැනීමට පොලිසිය හා නාවික හමුදාව සමත් විය. ඔවුන් කොටු කර ගනු ලැබුවේ මාතර නිල්වැල්ල ප්‍රදේශයේදීය.

මුහුදු මාර්ග ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබූ බහුදින යාත්‍රාවක් සහ එයට සම්බන්ධ ගොඩබිමේ සිටි ජාවාරම්කාරියක හා අනෙකුත් සැකකරුවන් ඇතුළු සියලු දෙනා එකවර පොලිස් අත්අඩංගුට ගත් පළමු අවස්ථාවද මෙය වේ. මෙහිදී අදාළ මත්කුඩු තොගය රැගෙන ආ බහුදින ධීවර යාත්‍රවේ සිටි හය දෙනකු ද අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් මාතර දෙවුන්දර ප්‍රදේශයේ පපදිංචි ඩබ්. ඒ. ප්‍රභාත්, සරත් උපාලි, කමල් සමීර, රංගේ ගුණපාල, ප්‍රශාන්ත ගලප්පත්ති සහ මහේෂ් රංගන නමැත්තන් බවටද හඳුනාගෙන තිබිණි.

නාවික හමුදාවට අයත් වික්‍රම නෞකාව මගින් මෙම බහුදින යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබුණේ රාවණා ප්‍රදීපාගාරයේ සිට කිලෝ මීටර් 18ක් පමණ දුරින් වූ දකුණු මුහුදදේ යාත්‍රා කරමින් තිබියදීය.

නාවික හමුදාව සහ පොලිසිය සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ මෙම යාත්‍රාව ඒ අන්දමට කොටුකර ගත් කීවෙනි යාත්‍රාවදැයි අපි නොදනිමු.

නාවික හමුදාව සඳහන් කරනු ලැබුවේ මෙම 2022 වසරේ මේ දක්වා පමණක් නාවික හමුදා බුද්ධි නිලධාරීන් සම්බන්ධ වෙමින් සිදු කළ මෙවැනි මෙහෙයුම් මගින් රුපියල් බිලියන 22.5 කට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොග අත්අඩංගුවට ගත් බවය. රටේ තරුණ පරපුර අපාගත කරමින් ක්‍රියාත්මක මෙරට කුඩු ජාවාරමට අනුව නම් එම ප්‍රමාණය අතිවිශාලය. මුළු රටම විනාශ කළ හැකි තරමේ මෙතරම් දැවැන්ත කුඩු තොගයක් වසරක් ගෙවී යෑමටත් පෙර අත්අඩංගුවට ගත හැකි වන පරිදි මුහුදු මාර්ග ඔස්සේ කුඩු ජාවාරමුන් මෙකී කුඩු තොග මෙරටට ගෙන එනු ලබන්නේ කෙසේ කොතැනක සිටද?

කොච්චර ඇල්ලුවත් ලංකාවට කුඩු නැව් එනවා!
කලකට ඉහතදී මුහුදේදී අල්ලාගත් මත්ද්‍රව්‍ය තොගයක්

ලොව හෙරොයින් නිෂ්පාදනයේ රන් ත්‍රිකෝණය ලෙස හඳුනාගෙන තිබෙන්නේ තායිලන්තය, බුරුමය සහ ලාඕසය යන රටවලට මැදිවූ භූමියකි. එසේම හෙරොයින් නිෂ්පාදනයේ රන් චන්ද්‍රවංකය ලෙස ප්‍රකටව ඇත්තේ පාකිස්තානය, ඉරානය සහ ඇෆ්ගිනිස්ථානය යන රටවලට මැදිව පිහිටා ඇති බිම්කඩකි. ලොව පුරා බෙදා හැරෙන හෙරොයින් මත්කුඩු අතරින් වැඩිම මත්කුඩු ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙනුයේ මෙම භූමීන් කේන්ද්‍රීයවය. මේ අතරින් ශ්‍රී ලංකාවට මුහුද මාර්ග ඔස්සේ වැඩි වශයෙන්ම ළඟා වන්නේ රන් චන්ද්‍රවංකයේ නිෂ්පාදිත මත්කුඩු තොගය.

මෙහිදී සිදුවන්නේ ඇෆ්ගනිස්ථාන් සහ ඉරාන දේශසීමා ආශ්‍රිත ප්‍රදේශයන්හි සිට ජාත්‍යන්තර මට්ටමේ පාකිස්තාන් ජාවාරම්කරුවන් විසින් මිලදී ගන්නා කුඩු තොග පාකිස්තාන දේශසීමාවට සමීපයේම ඇති ඉරාන වරායකදී නැව්ගත කර බෙදා හැරීමය.

ශ්‍රී ලංකාවෙන් කුඩු රැගෙන ඒම සඳහා යන බහුදින ධීවර යාත්‍රාවලට මාලදිවයින සහ ඉන්දීය මුහුදු තීරයේදී කුඩු තොග පැටවෙන්නේ එසේ ඉරනයේ සිට ඉරාන ධජය යටතේ පැමිණෙන හෙරොයින් තොග පටවා ගත් නෞකා මගිනි. එය සිදු කෙරෙන්නේ රන් මල්ලිලා වැනි මෙරට ජාවාරම්කරුවන් ඉහත කී පාකිස්තාන ජාවාරමුන්ට ලබා දෙන ඇනවුම් අනුවය.

පාකිස්තානයේ ඇති වරායන් මඟහැර යමින් ජාවාරම්කරුවන් මෙහිදී ඉරාන වරායන් වෙත යොමුවීමට සහ ඉරාන නෞකා මගින් මත්කුඩු තොග ප්‍රවාහනය කිරීමට බලපාන ප්‍රබල හෙතුවක්ද ඇත.

එය වන්නේ පාකිස්තාන් වරායන්හි සිට ඉන්දීය සාගරයට පිවිසෙන නෞකා ඇතුළු සියල්ල කෙරෙහි ඉන්දීය ආරක්‍ෂක අංශ ඇස ප්‍රබලව යොමුවීමය. එම තත්ත්වය මඟහැර යෑම සඳහා ජාවාරම්කරුවෝ මෙහිදී ඉරාන සීමාව යොදා ගැනීමට පෙළඹී සිටිති. මේ අන්දමට මාලදිවයිනත් ඉන්දියාවත් අතර මුහුදු සීමාවේදී මෙසේ මත්කුඩු තොග ශ්‍රී ලංකාවෙන් යන බහුදින යාත්‍රාවලට පටවනු ලැබුවද එය සෑම විටෙකම සිදු නොවන්නකි. ජාවාරම්කරුවන් එලෙස ක්‍රියාත්මක වීමටද කාලයක් සහ වෙලාවක් ඇත. ඒ කාලය කුමක්ද? මාලදිවයින සහ ඉන්දීය මුහුදු සීමාවේ අඛණ්ඩව සතියක් පුරා ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකාවක් මුර සංචාරයේ යෙදී ආරක්‍ෂිත පියවරක් ලෙස සිදු කෙරෙන්නකි.

මෙසේ ක්‍රියාත්මක එක් නෞකාවක් සතියක කාලය නිමකර පිටත්ව යද්දී තවත් නෞකාවක් එම සීමාවට ළඟා වීම සිදුවේ. ඉරාන් පාකිස්තාන ජාවාරම්කරුවන් ඉරාන නෞකා මගින් ගෙන එනු ලබන මත්කුඩු තොග මාලදිවයින මුහුදු සීමාව දකවා පහළට රැගෙන එනු ලබන්නේ එම ක්‍රියාවලිය සිදුවන පැය කිහිපයක කාලසීමාව තුළදීය. ඒ වන විට මෙරට කුඩු ජාවාරමුන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකාවෙන් බහුදින යාත්‍රාවල සිටින ධීවරයෝ ඉරාන නෞකාවෙන් කුඩු තොග වහා ලබා ගැනීමට සැදී පැහැද සිටිති. මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට කුඩු තොග ළඟා වන්නේ එසේය. එලෙස කුඩු තොග බෙදා හැරීමෙන් පසු ඒවා රැගෙන එන ඉරාන නෞකාවල සිටින්නෝ යළි වහා ඉන්දීය මුහුදු සීමාවෙන් පිටතට යෑමට කටයුතු කරති.

නැවතත් ඔවුන් එම සීමාවට ඇතුළු වන්නේ ඉන්දීය මුර සංචාරක නෞකා එහා මෙහා වීමෙන් පසුව පමණි. ලැබෙන ඇනවුම් අනුව බෙදා හැරීම සඳහා මේ අන්දමට ක්‍රියාත්මක වන ඉරාන නෞකාවක් සාමාන්‍යයෙන් දින කිහිපයක කාලයක් ඒ අන්දමට ඉරාන මුහුදු සීමාවේ සිට ඉන්දීය මාලදිවයින් සීමාවටත් යළි ඉරාන සීමවටත් ගමන කරයි.

ඒ ගමන නිමා වන්නේ නෞකාවේ වූ මත් කුඩු තොග අවසන් වීමෙනි. මේ අන්දමට මුහුදු මාර්ගයෙන් සිදු කෙරෙන මත්කුඩු ජාවාරමට අනුව ඉන්දීය මාලදිවයින් සීමාව පසුකර ජාත්‍යන්තර මුහුදු තීරය දක්වා ගොස් ඉතාහාසයේ ප්‍රථම වරට මත්කුඩු තොග බෙදා හරිමින් තිබූ ඉරාන නෞකාවක් අත්අඩංගුවට ගනු ලැබුවේ මේ වන විට පොලිස් පුස්තකාලයේ සේවය කරනු ලබන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව ඇතුළු කණ්ඩායමකි.

එහිදී පාකිස්තාන් ජාතිකයකු, සිංගප්පූරු පොලිසියේ රාජකාරි කළ නිලධාරියකු සහ අල්කයිඩා සංවිධානයේ ප්‍රබලයකුගේ පුතුන් දෙදෙනකු සමඟ ඉරාන ජාතිකයන් දස දෙනකු අත්අඩංගුවට ගැනීමට රංගජීව ඇතුළු කණ්ඩායම සමත්විය.

ඉකුත් 2016 වසරේදී සිදු කෙරුණු එකී මෙහෙයුමේදී නාවක හමුදා නිලධාරීන්ගේ සහායද ඔවුන්ට ලැබිණි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්කුඩු ජාලයේ කේන්ද්‍රීය රාජ්‍යයක් බවට පත් කරමින් අද මේ අන්දමට මෙරටට මත්කුඩු තොග පොම්ප කරනුයේ මිදුගම නඳුන් චින්ත්ක පමණක්ද? නැත. එකී ජාලය ඉතාම සුවිසාලය. මුල් කාලයේ මෙරට දකුණේ මත් කුඩු ලෝලීන් අතර ප්‍රකටව තිබුණේ එල්ටීටීඊ සංවිධනය මගින් බෙදා හරිනු ලබන මත්කුඩු තොගය. මුහුදු කොටින් විසින් ඉන්දියාවේ නිෂ්පාදිත මත්කුඩු තොග එසේ බෙදාහරිනු ලැබීය.

කාලයක් පුරා ක්‍රියාත්මක වූ එල්ටීටීඊයේ එම ක්‍රමවේදය වෙනසකට ලක් කරමින් පාකිස්ථානය හරහා මෙරටට කුඩු පොම්ප කිරීම අරඹනු ලැබුවේ කිඹුලා ඇළේ ගුණා, පූකුටි කන්නා, රූබන්, අන්නසි මොරිල්, මොහොමඩ් සිද්ධික්, සහ වෙළේ සුදාය. මෙකී නම් වලින් කියැවෙන පුද්ගලයන් අතරින් ඇතැමුන් දැන් සියල්ල අතහැර දමා සිල් සමාදන් වී තිබෙන බවක් සමහරු සිතනවා විය හැකිය. එහෙත් සැබෑව වන්නේ ඒ සියල්ලෝ සුපුරුදු ලෙසම රට වැනසීම සිදු කරතියි යන්නය.

මිදිගම නඳුන් චින්තක පමනක් නොව. මේ නම් අතරට අලුතින් එක්වූ බොහෝ නාමයන් රැසක්ම මේ වන විට මෙරට තුළ බිහිවී අවසන්ය. ඇතැම් තැන්වල වගකිවයුතු නිලධාරීන්ගේ ආශීර්වාදයෙන් විරාජමානව වැජඹෙන්නෝද මේ අතර ඇත.

ඔවුහු කවුරහුද? ඒ පිළිබඳ දැන සිටින්නේ කවුද? මේ රටේ වැඩ සිද්ධවන අන්දමට නඳුන් චින්තකලා තව තවත් බිහි වීම මිස කිසිදාක එහි නිමාවක් නම් නොවන බව අවසන් වශයෙන් කැට තබා කිවයුතුව ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment