කොටකෙතන මවගේ සහ දුවගේ ඝාතකයා පෝරකේට – සිද්ධියට වසර 11ක්

410

ඇසින් දුටු සාක්‍ෂි නැතත් තීන්දුව පරිවේෂණීය සාක්‍ෂි මත
දූෂණ චෝදනාවෙන් විත්තිකරු නිදහස්
විත්තිකරු වසර 9ක්ම රිමාන්ඩ් භාරයේ
තීන්දුව පිටු 147 කින්

මෙයට වසර 11කට පමණ පෙර රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ පිහිටි නිවසකට රිංගා 63 හැවිරිදි මවක හා 32 හැවිරිදි දියණියක කඩුවකින් කපා කොටා මරා දැමීමේ චෝදනා දෙකට වරදකරු කරනු ලැබූ 44 හැවිරිදි තිදරු පියකුට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (19දා) මරණීය දණ්ඩනය නියම කළාය.

කොටකෙතන මවගේ සහ දුවගේ ඝාතකයා පෝරකේට - සිද්ධියට වසර 11ක්

ඇසින් දුටු සාක්‍ෂි කිසිවක් නැතත් ඉදිරිපත් වූ පරිවේෂණීය සාක්‍ෂි මත නීල් ලක්ෂ්මන් නමැති එම විත්තිකරු එකී ඝාතන සිදුකළ බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරිය මිනී මැරීමේ චෝදනාවට වරදකරු කර එම දඬුවම නියම කළාය. කෙසේ නමුත් විත්තිකරුට එරෙහිව නගා තිබූ 32 හැවිරිදි තරුණිය දූෂණය කිරීමේ චෝදනාවෙන් විත්තිකරු නිදහස් කිරීමට ද විනිසුරුවරිය නියෝග කළාය.

2012.7.19 වැනිදා රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී ලියනආරච්චිගේ ප්‍රේමවතී හේවාගමගේ (63) හා හේවගේ පුෂ්පකුමාරි (32) නමැති දෙදෙනා ඝාතනය කිරීම මෙන්ම දියණිය දූෂණය කිරීම යන චෝදනා යටතේ 2015 වසරේදී එම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

විත්තිකරු 2012.7.19 වැනිදා අලුයම තුනට පමණ එම නිවසට රහසිගතව ඇතුළුවී මවගේ හිසට කඩු ප්‍රහාර තුනක් එල්ල කොට ඇය මරාදමා දියණියගේ හිසට කඩු ප්‍රහාර 9ක් එල්ල කොට ඇය ද මරාදමා තිබිණි. එම ප්‍රදේශයේ සිදුවූ කාන්තා මරණ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය සැක සහිත පුද්ගලයන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. ඝාතනයට ලක්වූ 32 හැවිරිදි තරුණිය දූෂණයට ලක්වී ඇති බව අනාවරණය කරගත් විමර්ශන නිලධාරීන් විත්තිකරුගේ ශුක්‍රානු සාම්පල හා තරුණියගේ ශරීරයේ තිබූ ශුක්‍රානු සාම්පල ගෙන කැඳවූ ඩී.එන්.ඒ. වාර්තා සැසඳීම නිසා ඔහුට එරෙහිව ස්ත්‍රි දූෂණ චෝදනා ද නගා තිබිණි. කෙසේ නමුත් නඩු විභාගයෙන් අනතුරුව නිකුත් කළ තීන්දුව මගින් විනිසුරුවරිය පෙන්වා දුන්නේ එකී ලිංගික එක්වීම දෙදෙනාගේ කැමැත්ත අනුව සිදුවූයේ ද, නැතහොත් බලහත්කාරයෙන් සිදුවූයේ ද යන්න සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති නිසා විත්තිකරු ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදහස් කරන බවයි.

විත්තිකරු එම නිවසට ඇතුළු වූ බවට ඇසින් දුටු සාක්‍ෂි කිසිවක් නැතත් එකී ඩී.එන්.ඒ. වාර්තාව අනුව ලිංගික එක්වීමක් සිදුවී ඇති බව සනාථ වන බැවින් විත්තිකරු එකී මරණ සිදුවන අවස්ථාවේ එහි සිටි බවට තම අධිකරණයට පෙනී යන්නේ යැයි පුරා පැය 2 1/2ක් පමණ වැය කරමින් පිටු 147 ක්වූ තීන්දුව මගින් පෙන්වා දුන් විනිසුරුවරිය එම දඬුවම නියම කළාය.

එම කාන්තාවන් දෙදෙනා ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුරු මතට මෙට්ටයක් දමා ගිනිතබා තිබීම නිසා මළ සිරුරු දැඩි ලෙස පිලිස්සීමට ලක්වී තිබිණි. එකී මරණ ස්වභාවිකව ඇතිවූ ගිනිගැනීමක් නිසා සිදුවූ බව ඇඟවීමට විත්තිකරු එලෙස ක්‍රියාකර ඇති බවට විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබිණි.

2015 වසරේදී අත්අඩංගුවට ගත් විත්තිකරු ඊයේ මරණ දඬුවම නියම කරන තෙක්ම රක්‍ෂිත බන්ධනාගාර භාරයේ පසුවිය.

මරණ දඬුවම නියම කිරීමට පෙර නිදහසට කීමට කිසිවක් ඇති දැයි අධිකරණය විමසූ විට තමන් එම චෝදනාවට නිවැරදිකරු බව විත්තිකරු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූවාය.

ඒ. ජේ. ඒ. අබේනායක, ඕපනායක – ජයලත් එම්. විමලසේන, නිරෝෂන් සමරවීර – කහවත්ත, කේ. ඩී. ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment