කොටි කටෙන් ගැලවී ඇවිත් අලින්ට කොටුවී ජීවත්වන මිනිසුන් වෙසෙන ගමක්

277

රාත‍්‍රී කාලයේ අහර සොයා යන වන අලින් එකසිය පණහක් පමණ දිනපතා පැමිණෙන ගම්මානයක් වෙතැයි යමෙක් කිවහොත් ඇතැම්විට කෙනෙකු පුදුමයට පත්වනු නොඅනුමානය. එහෙත් එය මුසාවක් නොව සැබෑවක් බව කියන්නේ කටුක දිවි පෙවෙතක උරුමකරුවන්ව දිවි ගෙවන ඒ ගම්මානයේ වැසියන්ය. ඉඟිනියාගම යනුවෙන් හැඳින්වෙන මේ ගම පිහිටා ඇත්තේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් තිරප්පනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේයි. ඒ නවය ප‍්‍රධාන මාර්ගයේ කැකිරාව පැත්තේ සිට අනුරාධපුරය දෙසට ගමන් ගන්නා විට හමුවන තිරප්පනේ නගරයෙන් වම්පසට තිබෙන පාරේ කිලෝ මීටර් 05ක් පමණ ගියතැන පුංචිකුලම වැව හමුවේ. අප මෙහි සඳහන් කරන ඉඟිනියාගම දිස්වන්නේ ඒ වෑකන්ද ඔස්සේ වැටී තිබෙන පටු දුෂ්කර මාර්ගයේ කිලෝ මීටර් එකහමාරක් පමණ දුරිනි.

මානා පඳුරුවලින් වැසීගත් විශාල ප‍්‍රදේශය ඉමක් නොපෙනෙන තරම්ය. එම කටුක, දුෂ්කර ගම්මානයේ තැන තැන ඉදිවූ කුඩා පැල්පත් සහ කටුමැටි ගෙවල් සමූහයකි. ඒවායේ මිනිසුන් ජීවත් වන්නේද පවා බැලූ බැල්මට සැක සිතෙන තරම්ය. එහි වෙසෙන ජනයා කිසිවෙකුත් තිර රැකියාවක් හෝ ස්ථිර ආදායම් මාර්ගයකට හිමිකම් නොකියන අතර බොහෝ දෙනා එදිනෙදා වේල සරිකර ගන්නේ කාගේ හෝ කුලී වැඩක නිරතව ලබන සුළු වැටුපක් නැතිනම් වැවකට බැස මාළු කූරියෙකු අල්ලාගෙන විකුණා ලබන සොච්චම් මුදලකින් බව ඒ ගම් වැසියෝ කීහ.

ඉඟිනියාගම ගම්මානයේ මෙම ජනාවාස ඇතිවී මේ වනවිට වසර 20ක් වැනි කාලයක් බව ගම්මුන් අප සමඟ කීහ. එම ජනයාගෙන් පිරිසක් අවට ගම්මානවලින් විකාශනයවූ අනු පවුල්වල සාමාජිකයින් බවද කියති. වැඩි පිරිසක් මෙහි පදිංචියට එන්නට පෙර ජීවත්ව ඇත්තේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ නැෙඟනහිර මායිමේ පිහිටි වැලිඔය ප‍්‍රදේශයේ බවද දැන ගන්නට ලැබිණි. දශක තුකට වැඩි කාලයක් අප රට වෙලාගෙන තිබූ රුදුරු කොටි ත‍්‍රස්තවාදයෙන් දැඩි ලෙස බැටකෑ ජනයා විසූ ගම්මාන අතර වැලිඔයද ඉදිරියෙනි. අඳුරු රැයේ ගම්වැද නිරායුද කිරි දරුවන්, ගැබිණි මව්වරුන් ඇතුළු අහිංසක වැසියන් වෙඩි තබා, කපා කොටා අමු අමුවේ මරාදැමූ කොටින්ගේ ම්ලේච්ච ක‍්‍රියා එහි අරුම නොවීය. එම සැහැසි ක‍්‍රියා උත්සන්න වෙද්දී ගම්බිම් අත්හැර දමා පවුල් පිටින් ආරක්‍ෂිත ස්ථාන කරා පියමංකල දෛවෝපගත චාරිකාව එකල එතරම් ආගන්තුක කාරණයක් නොවුණි. ඒ අනුව එම කලාපයේ බොහෝ ගම්මානවල වැසියන් මෙන් කොටින්ගේ මරු කටින් ගැලවී ජීවිත බේරා ගැනීමේ අරමුණින් පැමිණි පිරිස් අතර තමන්ද රැගෙන ආවේ ඇඳිවත පමණක් යැයි ගම්වැසියෝ කීහ. එලෙස පැමිණ මෙහි හිස්ව පැවැති රජයේ ඉඩම්වල පැල්පත් තනාගෙන පදිංචිවූ බවද ගම්මුන් පවසති. එදා කොටින්ගෙන් බේරී ජීවිත ආරක්‍ෂාව පතා පැමිණි තමන්ට දැන් ජීවත් වන්නට සිදුව ඇත්තේ වන අලින්ට කොටුවී එම හිරිහැරවලට මැදිව බව ඔවුහු කියා සිටියහ.

ජන ජීවිත නඟාසිටුවීම සඳහා රටේ සිදුවන සංවර්ධන කාර්යයන් පිළිබඳව අපට බොහෝ විට අසන්නට ලැබෙන නමුත් ඒ කිසිවක් මෙතෙක් මේ ගමට ලැබී ඇති බවක් පෙනෙන්නට නැත. ආර්ථික වශයෙන් දිළිඳු පවුල් සඳහා රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාරය පවා මේ ගමේ වැසියන්ට හිමිව ඇත්තේ පවුල් හතරකට බව ගම්වැසියන් අපට කීහ.

කොටි කටෙන් ගැලවී ඇවිත් අලින්ට කොටුවී ජීවත්වන මිනිසුන් වෙසෙන ගමක්

ඉඟිනියාගම ගම්මානයේ වැසියන්ගේ දුක්ගැනවිලි මුලින්ම අපට පැවැසූ හතළිස් හැවිරිදි තිදරු මවක වන ආර්. එම්. ධම්මිකා කුමාරී මහත්මිය ‘‘අපි මේ ගමේ පදිංචියට ඇවිල්ලා අවුරුදු විස්සකට වැඩියි. ආවදා ඉඳලා අලින්ගේ හිරිහැර. හැමදාම හවස පහ, හය වෙනකොට අලි ගමට එනවා. ඒ නිසා කිසිම බෝගයක් වගා කරගන්න බෑ. අලි විනාශ කරනවා. අලි 150ක විතර රංචුවක් ඉන්නේ. සමහරදාට අලි 50ක් 60ක්. අපිට ඒ අලි එලව ගන්න බෑ. තියෙන දෙයක් කාලා යනකම් අපි බලාගෙන ඉන්නවා. මේ ගමට ලයිට් වතුර කිසිම දෙයක් නෑ. ගමට එන්න පාරක් නෑ. මෙහෙම ගමක් තියෙනවද කියලා සමහර රජයේ නිලධාරීන් මැති ඇමැතිවරු දන්නෙත් නැතුව ඇති. අපිට ඡන්දෙ තියෙනවා. ඒ හින්දා ඡන්දෙ කාලෙට ගොඩ දෙනෙක් ඇවිල්ලා කියනවා ගමට ලයිට් දෙනවා, වතුර දෙනවා කියලා. ඒ පොරොන්දු විතරයි. මෙතෙක් කිසිම දෙයක් ලැබිලා නෑ. පදිංචිවෙලා ඉන්න කිසිම කෙනෙකුට ස්ථිර ආදායම් මාර්ගයක් නෑ. කුලී වැඩ තමා කරන්නේ. ඒවත් හැමදාම නෑ. සමහරු වැවට ගිහිල්ලා මාළු අල්ලලා විකුණනවා. එහෙම තමා ජීවත්වෙන්නේ. ගමේ පවුල් හතරකට විතරයි සමෘද්ධි සහනාධාරය තියෙන්නේ. වෙන කිසිම කෙනෙකුට නෑ.’’

ඉඟිනියාගම වෙසෙන 23 හැවිරිදි එක්දරු පියෙකු වන රුමේෂ් තරිඳු පැවැසුවේ මෙවැනි අදහසකි.

‘‘අපේ ගමට ලයිට් තිබුණා නම් රෑට අලි ගම්වදින එක ටිකක් හරි අඩුවේවි. එහෙම නම් වනජීවී එකෙන් හරි අලි වැටක් හදලා මේ හිරිහැර අඩු කරයි කියලා හිතනවා. දැන් රෑට අලි ඇවිල්ලා ඇෙඟ් හැප්පුනාටවත් පේන්නේ නෑ. අපි කුප්පි ලාම්පු එළියෙන් තමයි අලියා දකින්නේ. කිසිම බෝගයක් වගා කරන්න බෑ. අලි ඇවිල්ලා කාලා විනාශ කරලා යනවා. අපිට ජීවත් වෙන්න විදියක් නෑ. මම දැන් කරන්නේ වැවේ ගිහිල්ලා මාළු අල්ලන එක. මේ පොඩි වැව්වල මාළු නෑ. නාච්චාදූව වැවට තමා යන්නේ. ඒකෙනුත් ලොකු ආදායමක් නෑ. දවසකට රුපියල් 600ක් 700ක් ලැබෙනවා. සමහර දවස්වලට ඊටත් වඩා අඩුයි. හාල් කිලෝ එකක් දැන් රුපියල් 140යි. අනෙක් බඩු බාහිරාදිය හැමදේමත් මිල වැඩියි. දවසේ ආදායමෙන් එදිනෙදා ජීවත් වෙන්නත් මදි. මේ ඉඩම්වල ඕනම දෙයක් වගා කරන්න පුළුවන්. මේ අලි හිරිහැර නැත්තනම්. ගමේ කෙනෙකුට රෑක ලෙඩක් හැදුනොත් ඉස්පිරිතාලෙකට ගෙනිය ගන්න විදියක් නෑ. ත‍්‍රීවීල් එකක්වත් එන්නේ නෑ. අලි ඉන්න හින්දා බයේ.’’

ඉඟිනියාගමදී අපට මුණගැසුණු කේ. මුතුමැණිකා 68 මහත්මිය ගම්වැසියන් මුහුණදෙන දුෂ්කරතා අප හමුවේ මෙලෙස පැවැසුවාය.

‘‘අපිට තියෙන ලොකු ප‍්‍රශ්නය තමයි ජීවත් වෙන්න මාර්ගයක් නැතිකම. ගමේ කිසිම කෙනෙකුට හරිහමන් විදියේ ආදායමක් නෑ. අපි ගොවිතැන් බත් කරලා ජීවත් වෙච්චි උදවිය. නමුත් ගොවිතැන් කරන්න විදියක් නෑ. අලින්ගේ හිරිහැර හින්දා. මේ ඉඩම් තිබුණට වැඩක් නෑ. ගහක් කොලක් වවාගන්න බෑ. රෑට අලි ඇවිල්ලා කාලා යනවා. අපි පුදුම බයකින් ජීවත් වෙන්නේ. අලි රංචු පිටින් එන්නේ. ඒ හින්දා ගොවිතැන් අත්හැරලා තියෙන්නේ. සමහරු කුලී වැඩට යනවා. තවත් අය මාළු අල්ලලා ජීවත් වෙනවා. ඒවයින් ඉතින් ලොකු ආදායමක් නෑ. එදිනෙදා ජීවත් වෙන්නවත් සෑහෙන්නේ නෑ. හැමෝටම එහෙම තමා. අඩුම තරමින් මේ ගමට එන්න පාරක් තරම නෑ. බලන්න මේවයේ අලි නාවන වළවල් හැදිලා. අපි ඉතින් මේ අවනඩු කාට කියන්නදරෑ’’

කලා බලලූ වැව් ඉස්මත්තේ සහ සෙසු වනාන්තරවල වෙසෙන විශාල අලි රංචු මේ වනවිට දැඩි ආහාර හිඟයකට මුහුණපා සිටින බව ප‍්‍රකට කාරණයෙකි. වනපෙතේ පවතින කෑම අහේනිය පිරිමසා ගන්නට රාත‍්‍රී කාලයේදී අසල පිහිටි ගම්මානවලට සේන්දුවීමට වන අලි පුරුදුවී සිටිනුයේ කලෙක පටන්ය. තිරප්පනේ ඉඟිනියාගම වැසියන්ටද බොහෝවිට මුහුණපෑමට සිදුව ඇත්තේ එම වන අලින්ගෙන් එල්ලවන බලපෑම් වියහැකි යැයි අප අනුමාන කළෙමු. එහෙත් මේ ගමේ වැසියන්ට එම කාරණය මූලික නමුදු තවත් ඊට නොදෙවෙනි ප‍්‍රශ්න රාශියක්ද තිබෙන බැව් ඔවුන් සමඟ කළ කථා බහේදී පැහැදිලි විය.

ඉඟිනියාගම පදිංචි පණස් හැවිරිදි එම්. එච්. ඉලංගසිංහ මහතා සිය දුක්ගැනවිලි අප හමුවේ තැබුවේ මේ අන්දමටය.

‘‘මේ ඉන්න හැමෝම රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචිවෙලා ඉන්නේ. ඒ හින්දා කිසිම කෙනෙකුට මේ ඉඩම්වලට වාර්ෂික බලපත‍්‍රයක් තරමවත් නෑ. ඉඩමට නීත්‍යානුකූල අයිතියක් නැති හින්දා තවත් බොහොමයක් දේවල් අපිට නෑ. වැඩි දෙනෙක් ජීවත් වෙන්නේ ඒ කාලේ තාවකාලිකව හදාගත්තු කටුමැටි ගෙවල්වල. නමුත් ස්ථිර ගෙයක් හදාගන්න පුළුවන් කමක් නෑ. වෙන ගම්වල අයට නිවාස ආධාර එහෙම ලැබෙනවා. නමුත් අපිට ඒ කිසිම දෙයක් නෑ. අඩුම තරමින් වැසිකිළියක් හදාගන්න තරමවත් ආධාරයක් අපිට නෑ. මේ ගමේ තමන්ගේ කියලා වැසිකිළියක් තියෙන අය ඉන්නේ හතර දෙනයි. අනෙක් හැමෝම වගේ කැලේට තමා වැසිකිළි යන්නේ. ඒ වගේම ගමට ලයිට් තියෙනවා නම් මොනවා හරි ස්වයං රැකියාවක්වත් කරන්න තිබුණා. බොන්න වතුර ටික පවා ගේන්න අපි කිලෝ මීටර් එකහමාරක් විතර දුර යනවා. කලින් නම් සමහරු අනුන්ගේ කුඹුරු අඳේට වගා කළා. නමුත් දැන් පොහොර නැති නිසා ඒක කරන්නත් නෑ. ඒ නිසා දැන් ජීවත් වෙන්න මාර්ගයක් අපිට ඇත්තෙම නෑ. ඒ නිසා අපි රජයෙන් ඉල්ලන්නේ අපිට ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් හදලා දෙන්න. රජයෙන් ලබාදෙන සහනාධාර කිසිම දෙයක් අපිට ලැබෙන්නේ නෑ. ඒ දේවල් අපි වගේ අයටත් දෙන්න කියලයි. අපිට මේ ගමට තියෙන එකම සම්පත මේ පුංචිකුලම වැව විතරයි. දැන් ඒකත් ජපන් ජබර වලින් වැහිලා. වතුර ටිකක් නාගන්න හරි අපිට පිහිටට තියෙන්නේ එච්චරයි. විශේෂයෙන්ම මේ අලි හිරිහැර වළක්වලා විදුලිය. වතුර වගේ පොදු පහසුකම් අපිට ලබලා දුන්නොත් අපිට ඒ ඇති. නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. කලින් ජීවත්වුනු ගම්වලින් පිටවෙලා අපි ආවේ මරබයේ ජීවත් වෙන්න බැරුවයි. ඒ කොටින්ගේ හිරිහැර හින්දා. දැනුත් අපි මරබයේ ඉන්නේ අලින්ගේ හිරිහැර නිසා.’’

රුදුරු කොටි ත‍්‍රස්තවාදය හේතුවෙන් මෙරට ජන ජීවිත බොහෝ සෙයින් අඩාලවූ බව ප‍්‍රකට කරුණකි. එකල දරුණු ලෙස කොටින්ගෙන් බැටකෑ ගම්බිම්වල ජනයාට ලැබිය යුතු පොදු පහසුකම් අදට ද නොලැබ මුහුණපෑමට සිදුව ඇති දුෂ්කරතා එමට බවද නොරහසකි. එකල කොටි හිරිහැර ඉවසාගත නොහැකිව ගම්බිම් අතැර වැලිඔය ප‍්‍රදේශයේ සිට අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් තිරප්පනේ ඉඟිනියාගමට පැමිණ මේ පිරිසද අත්විඳින පහසුකමක් නොමැති බව ඔවුන්ගේ කඳුළු කථාවෙන් මනාව පැහැදිලිවෙයි. ඒ ජන ජීවිත මේ අන්දමට දුක් උහුලන්නේ වසර 20කට වැඩි කාලයක පටන් බව කියති. අඩුම තරමින් ගමට විදුලිය සහ බීමට අවැසි ජලය හෝ ලබා දෙන්නැයි වගකිවයුත්තන් වෙතින් අයැද සිටින මිනිසුන් බොහෝ දෙනෙකු අපට එහිදී මුණ ගැසුණි. ඒ අඩුව සපුරා දෙන්නට නොහැකිවීම ගැන පළාතේ දේශපාලන බලපුළුවන් කාරයින් මෙන්ම වගකිවයුතු රජයේ නිලධාරීන්ද ලැජ්ජාවට පත්විය යුතු නොවේදැයි අප අමුතුවෙන් ඇසිය යුතු නැත.

මේ ගම්මානයේ වැසියන් මුහුණදෙන බරපතළ ගැටලූව ලෙස පෙන්වා දෙන්නේ දිනපතාම පාහේ රාත‍්‍රී කාලයට ගම්වදින වන අලි රංචුලින් සිදුවන හිරිහැරයි. ඒ වන අලි පැමිණ වගාවන් වනසා දමන හෙයින් වගා කළ හැකි ගොඩ බෝග වර්ග බොහොමයක් ඇතත් තමන් දැන් කිසිවක් වගා නොකරන බව කීහ. කුප්පි ලාම්පු එළියෙන් අඳුර නසනා තම ගම්මානයට විදුලිය පහසුකම් ඇත්නම් ගමට පැමිණෙන වන අලින් පළවා හැරීමටද පහසුවනු ඇති බව ඇතැමුන් පෙන්වා දුන් කරුණකි. අඩු ආදායම් ඇති පවුල්වලට රජයෙන් ලබාදෙන සමෘද්ධි ප‍්‍රතිලාභ හෝ වෙනත් දීමනා ආදියටද මොවුහු හිමිකම් නොකියන පිරිසක් බව කියැවුණු අතර නිවසක් තනා ගන්නට ආධාර මුදලක් තබා වැසිකිළි ආධාරයක් වත් ලැබී නැති බවද කියති. එනිසාම තමන්ගේ කියා වැසිකිළියක් නොමැති කමින් එම කාර්යය උදෙසා අසල පිහිටි වනපෙතම පරිහරණය බව කීවේ එම ගම්මානයේ වැසියන්මය. එදිනෙදා වේල සරිකර ගන්නට විඳිනා දුක් ගැහැට ඇතුළුව අප‍්‍රමාණ කටුක දිවිපෙවෙත එහි වෙසෙන සැමදෙනා නොඅඩුව අත්විඳිනා හෙයින් සංවර්ධනයේ හිණිපෙතේ රට තිබෙන තැන කොතැනද යන්න පැහැදිලි කරගැනීමට මේ මිණුම්දඬු හොඳටම ප‍්‍රමාණවත්වනු ඇතිය යන්න අපටද හැඟීගිය කාරණයෙකි.

කරුණාරත්න ගමගේ

advertistmentadvertistment