කොතලාවල අධ්‍යාපන දැක්ම

485

අද වඩාත් ඇසෙන දේශපාලන නායකයකුගේ නමක් වේ නම් ඒ මෙයට වසර 70 කට පෙර මෙරට අගමැතිව සිටි ජෙනරල් ශී‍්‍රමත් ජෝන් කොතලාවලගේ නාමයය. මෙයට වඩාත්ම හේතු සාදකය වී ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ගැන රට තුළ පැනනැ`ගී ඇති විවාදාත්මක තත්ත්වයය. ලංකාව තුළ තමාට හිමි ඉතා මනරම් වූ නිවසත් මහා භූමි ප‍්‍රමාණයත් කොතලාවලයන් ලක් මවට පුදනුයේ ජාතික ආරක්ෂක පිඨයක් ඇති කිරීමටය. ඔහු කිසිම දිනක මෙවැනි උණුසුම් පරිසරයක් තම පරිත්‍යාගය සම්බන්ධව මතු වේ යැයි සිහිනෙන්වත් නොසිතන්නට ඇත. මන්ද ඔහු තරම් දුප්පත් දරුවනට ඉගැනීමට පාසල් සාදා දුන් දේශපාලන නායකයකු සොයා ගැනීමට අපහසු හෙයිනි. මේවායින් බොහෝමයකට තම පුද්ගලික ධනය යෙදූ බව වර්තමානයේ දන්නේ සීමා සිහිත පිරිසකැයි ස`දහන් කිරීම නිවැරදිය. එහෙයින් ඔහු අධ්‍යාපනය කෙරේ දැක් වූ දායකත්වය ගැන සටහනක් තැබීමට මෙය සුදුසුම කාලය වේ.

 කොතලාවල වටා තරම් සුන්දර කතා ගෙතුණු හා සැහැල්ලූවෙන් දිවි ගෙවූ සරල දේශපාලන නායකයකු සොයා ගැනීම අපහසුය. ඉතා ධනවත් පවුලක ඉපදී රටේ අගමැති පදවිය දක්වා ගිය ජෝන් කොතලාවල තම දේශපාලන සටන් බිම ලෙස තෝරා ගත්තේ කුරුණෑගලය. මෙයට හේතු වූයේ තම මව් පාර්ශ්වයෙන් ලැබූ මිනිරන් පතල් ඇතුළු ඔහුගේ විශාල වතු තිබුණේ කුරුණෑගලය. එහි වාසිය මත 1931 දී කුරුණෑගලින් මන්ත‍්‍රණ සභාවට තේරී යන කොතලාවල 1947 සිට 1960 දක්වාම දොඩම්ගස්ලන්ද ආසනය පාර්ලිමේන්තුව තුළ නියෝජනය කළේය. කොතලාවල කුරුණෑගල පාසල්වලට වැඩි අනුග‍්‍රහයක් දැක්වීමට මෙය හේතු සාධක විය.

කොතලාවල අධ්‍යාපන දැක්ම

කොතලාවලයන්ගේ තම පතල් හා වතු ආශ‍්‍රිතව එහි සේවකයන්ගේ දරුවන්ට යෑමට පාසල් හා පාසල් නොයන ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට පේෂකර්ම මධ්‍යස්ථාන ඇති කළේ පුද්ගලික මුදලිනි. පසුකාලීනව මේවා සියල්ල වතු බි`දවැටීම සමගම අභාවයට ගියේය. එදා වතු හිමියන් බොහෝ දෙනකුගේ සේවකයන්ගේ දරුවන් ගියේ රජය පවත්වා ගෙන ගිය පාසල් වලටය. වර්තමානයේ කුරුණෑගල දඹුලූ පාරේ පිහිටි සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය දොඩන්ගස්ලන්ද කොතලාවල මධ්‍ය මහා විද්‍යාලය ඉබ්බාගමුවේ මධ්‍ය මහා විද්‍යාලය මැල්සිරිපුර මැද මුල ද මැල් විද්‍යාලය ආදී විද්‍යාලයන් හි බිහිකිරීම හා එහි සංවර්ධන කටයුතුවල කොතලාවල පෙරමුණේ සිටියේය. අද දඹුලූ පාරේ පිහිටි සර් ජෝන් කොතලාවල මහා විද්‍යාලය 1947 දී ඇරඹි අතර එය ගොඩනැ`ගීමට බොහෝ සේ උපකාරයන් කළේය. 1970 ගණන්වල කොතලාවලයන්ට ගරු කිරීමක් ලෙස ඔහුගේ නම එම පාසලට යෙදීය. එසේම තම කොට්ඨාශයේ සියලූම පාසල්වල අවශ්‍යතාවයන්ට විශේෂයෙන් දොඩන්ගස්ලන්ද කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයට එදා ප‍්‍රධාන ගොඩනැ`ගිල්ල සැදීමට තම ධනයෙන් උදව් කළේය. විශ‍්‍රාමික සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයකු වූ මැල්සිරිපුර මැදමුල ද මැල් මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ඞී.එම්.ඞී. සෙනවිරත්න බණ්ඩා මහතා හා දොඩන්ගස්ලන්ද කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ඩබ්ලිව්. ඇම්. කරුණාරත්න මහතා අතීතයේ ඔවුන්ගේ වැඩිහිටියන් කොතලාවලගේ අධ්‍යාපනය න`ගාසිටුවීමේ කාර්යන් හි වූ සුන්දර තොරතුරු අප වෙත ලබා දුනි. ඒ තොරතුරු අතර කවදත් සුන්දර පරිසරයට ආදරය කළ කොතලාවල ඉබ්බාගමුවේ මධ්‍ය මහා විද්‍යාලය දැනට පවතින සථානයේම පාසල පිහිටු විය යුතු යැයි තීරණයද වේ.

 මෙම විශ‍්‍රාමික විදුහල්පතිවරුන් පවසන ආකාරයට වරක් කොතලාවල පාසල් සංවර්ධන කටයුතු සඳහා මුල්ගල් පනහක් එක දවසක් තුළ තබා ඇත. එයට සාක්‍ෂි දරන එකක් වනුයේ අදත් මැදමුල ද මැල් මහා විද්‍යාලයේ ඇති බුදු මැ`දුරයි. කොතලාවල කෙතරම් සූක්ෂමද කිවහොත් කුරුණෑගල පාසල් ගොඩනැ`ගිලි රජය හෝ වෙනත් අයෙක් සදන්නේ නම් තමා විසින් වහලය සාදා දෙන බවට සහතික විය. මෙයට හේතුව බොහෝ ගොඩනැ`ගිලි අතර ම`ග නතර වුවද වහලක් ගසා එය ප‍්‍රයෝජනයටගත හැකි නිසාය.

 පේරාදෙණි සරසවි ඉතිහාසය තුළ ජෝන් කොතලාවල නාමයට ලැබෙනුයේ සුවිශේෂ තැනකි. එදා කොතලාවලයන් නොසිටින්නට අද පේරාදෙණියෙන් පිට ස්ථානයක එම සරසවිය බිහිවීමට ඉඩ තිබුණි.

 ලෝකයේ විශ්වවිද්‍යාල අතර පේරාදෙණි සරසවියට හිමි වනුයේ සුවිශේෂී ස්ථානයකි. උසස් අධ්‍යාපනයට සුදුසු මනරම් පරිසරයක අපටම ආවේණික පොලොන්නරු යුගයේ ගෘහ නිර්මාණ ශිල්පය මත ගොඩනැෙ`ගන ගොඩනැ`ගිලි සමන්විත සියලූම විෂය පථයන් වසා සිටින එකම නේවාසික සරසවිය පේරාදෙණි සරසවියය. මෙහි කිසිම තැනක වැටකින් වෙන් කළ මායිමක් නැත. එය නගරයෙකි. මෙවැනි ඔක්ස්ෆර්ඞ් හා කේම්බි‍්‍රජ් ස්වරූපයේ සරසවියක් බිහි කිරීම එතරම් පහසු කරුණක් නොවීය. එය ලංකාව ලත් භාග්‍යයකි. කොතලාවල අගමැති සමයේදීම එළිසබත් රැජින විසින් 1954 දී විවෘත වන පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලය බිහිවීම සුන්දර කතාවකි.

කොතලාවල අධ්‍යාපන දැක්ම

1900 ගණන්වල මුල් භාගයේ ලංකාවේ විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවය හ`දුනාගත් යටත් විජිත පාලකයන් ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විනිසුරු එම්.ටී. අක්බාර් යටතේ කමිටුවක් පත් කළ අතර එහි නිර්දේශයන් වූයේ කොළඹින් පිට නේවාසික පහසුකම් සහිත අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ඇති කිරීමටය. මේ සඳහා මධ්‍යම පළාතේ කොත්මලේ දුම්බර අරුප්පොල හා මහ නුවර තෝරා ගනු ලැබීය. බොහෝ අයගේ මතය වූයේ එය කොත්මලේ හෝ දුම්බර පිහිට විය යුතුය යන්නය. එයට අමතරව පේරාදෙණියේ තේ වගා කොට ලෝක යුද්ධයේදී ක`දවුරක් ලෙස පිහිටි හෙක්ටයාර් 700 පමන භූමිය කෙරේද අවදානය යොමු වී තිබුණි. මෙකළ රජයේ වැඩ ඇමැති වූයේ ජෝන් කොතලාවලය. බලවත් ඇමැතිවරයකු වූ කොතලාවලට මෙම සුන්දර සරසවිය බිහි කිරීමට අවශ්‍යය මුදල් වෙන් කර ගැනීම ගොඩනැ`ගීමේ වගකීම පැවරුනේ නිල බලයෙනි. භූමිය පරීක්ෂා කළ කොතලාවල මෙම විශ්වවිද්‍යාලය මෙහිම ඉදිකළ යුතු යැයි තරයේ ප‍්‍රකාශ කොට තීරණය කළේය. කොතලාවලගේ මෙම තීරණයට සහය දුන්නේ ඞී.ආර්. විජේවර්ධනයන්ය. කොතලාවලගේ ජීවිතයේ අවසාන කාලයේ ඔහු හා සම්මුඛ සාකච්ඡාවක් කළ ජී. ඇම්. සේනාරත්න පවසා සිටියේ පේරාදෙණි සරසවිය ගොඩනැ`ගීමට ලෝක ප‍්‍රකට ඇබර් කෝම්බිගේ සේවය කොතලාවලට ලබා දුන්නේ ඞී. ආර්. විජේවර්ධන බවය.

 රත්මලානත් කොතලාවලත් එකිනෙකට බැඳි නම් දෙකකි. වර්තමානයේ රත්මලානෙහි යම් දියුණුවක් වේ නම් එහි පසුබිම සම්පූර්ණයෙන්ම ගොඩනැ`ගුවේ ජෝන් කොතලාවලය.

 රත්මල් යායක් ලෙස හැඳින්වූ රත්මලානේ එදා ජනාවාසව තිබුණේ ඉතා සීමා සහිත ප‍්‍රදේශයකි. ගල්කිස්ස ආසන්න ප‍්‍රදේශයත් ගාලූ පාරේ බෙලෙක්කඬේ හා මුහුදුබඩ ප‍්‍රදේශයන් ජනයා පදිංචිව සිටි අතර ඉතිරි ප‍්‍රදේශ තුළ වූයේ 1934 ඇති කළ ගුවන් තොටුපළත් සිරිල් සොයිසාට අයත් සවුත් වෙස්ටර්න් ඩිපෝවත් රත්මල් කැලයත් ලේඩි කැතිරින්ගේ රබර් වතුත් අත්තිඩි වෙල් යායේ කොටසකුත්ය. 1927 වසරේ කොතලාවලයන් රත්මලානේ කඳවල වත්තේ පදිංචියට පැමිණීම එක්තරා අන්දමකින් රත්මලානේ මහා පෙරළියකට මඟ පැදීමකි. ඔහු 1936 සිට 1952 අගමැති වනතුරුම ගමනා ගමන කර්මාන්ත තැපැල් හා රජයේ වැඩ ඇමැති විය. අද මෙන් නොව එදා කැබිනෙට්ටුවේ සිටියේ 18 දෙනෙකි. වඩාත් පුළුල් විෂයන් කොතලාවල යටතේ විය. කොතලාවලයන්ගේ මුල්ම කාර්ය වූයේ අක්කර 56 ක පිහිටි දකුණු ආසියවේ විශාලම දුම්රිය වැඩපළ 1930 ගණන්වල අවසාන භාගයේ රත්මලානේ ඇති කිරීමය. නමුත් අක්කර 150 කට වැඩි ප‍්‍රදේශයක එය පැතුරුණි. සියලූම විධායක නිලධාරීන් ඇතුළු සේවකයන්ට අසලින්ම නිවාස සංකීරණයක් හා වෙනත් පහසුකම්ද දුනි. මෙසේ බිහි වූ උප නගරය කොතලාවල පුර ලෙස නම් විය. මෙහි පන්සල් දෙකක් ප‍්‍රජා ශාලාවක් තැපැල් කාර්යාලයක් බෙහෙත් ශාලාවක් ගොඩන`ගයි. රත්මලාන කෙසේ අලංකාර කළේද යත් පෙරාදෙණි උද්‍යානයේ හා සරසවියේ වැව් අලංකාර මල් සහිත රොබරෝෂියා ගස් පාර මැද සිටෙව්වේය. කොතලාවලගේ වැඩි අවධානය යොමු වූයේ සේවකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහාය. ඔහු ක‍්‍රීඩාංගණයටම මුහුණලා දුම්රියපළ පාරට මායිම්ව 10 වන පංතිය දක්වා ඇති පාසලක් සෑදීය. එය අද හ`දුන්වන්නේ කොතලාවලපුර මහා විද්‍යාලය ලෙසිනි.

 කොතලාවල රත්මලානේ කර්මාන්ත රාශියක් ඇති කළා පමනක් නොව වාරිමර්ග නිවසද ඇති කරයි. රත්මලාන අවට මහා පරිමාණ වැඩපළවල් බිහි වීම සමග ඒවාට අවශ්‍ය මානව සම්පත් බිහි කිරීමට ආයතන පිහිටු විය. කොතලාවලගේ ප‍්‍රයත්නයක අගනා ප‍්‍රතිඵලය වනුයේ බී.ටී.ටී.අයි. නම් තාක්ෂණික විද්‍යාලයක් බිහිවීමය. වර්තමානයේ එහි කොටසක් රත්මලානේ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බවට පත්ව ඇත.

 රත්මලානේ නව පාසල් ඇතිවීමට පෙර පැවතියේ පාසල හතරකි. හින්දු විද්‍යාලය, ශ‍්‍රී ධර්මාලෝක, ධර්මාරාම හා අත්තදස්සි පාසල්ය. දුප්පත් හා පහළ මධ්‍යම පංතියේ ළමයින්ගෙන් වැඩිම දෙනකු ගියේ මෙම පාසල් වලටය. ශ‍්‍රී ධර්මාලෝක, ශී‍්‍ර ධර්මාරාම හා අත්තදස්සි යන පාසල් තුනම පාලනය වූයේ රත්මලානේ පුරාණ රජමහා විහාරයෙනි. මෙහි අධිපතිව වැඩ විසුවේ කිරිවත්තුඩුවේ ඉන්්ද්‍රජෝතී නායක මහා හිමියන්ය. මෙම විහාරයේ ප‍්‍රධාන දායක වූයේ කොතලාවලය. ගරා වැටෙමින් පැවති මෙම පාසල් තුනම ඔහු තම පුද්ගලික වියදමින් දැකුම්කලූ පාසල් බවට පත් කළේය. මෙහිදී වැදගත් වන්නේ මෙකළ ඔහු දේශපාලනයෙන් සමුගෙන සිටීමය.

 ඉන්ද්‍රජෝතී මාහිමියන් විසින් කලක් ගුරුවරුන් තිදෙනකු යොදා අත්තදස්සි විද්‍යාලයේ රාත‍්‍රි ඉංග‍්‍රීසි පාසලක් පවත්වාගෙන යන ලදී. පාසල්වලට රජය උපකාර කළත් මෙය අමතර දෙයක් නිසා රජයේ සහයක් නොලැබුණි. එහි විදුලි බිල හා වෙනත් නඩත්තු වියදම් කොතලාවල දැරූ අතර සමහර මාසවල ගුරුවරුන්ට අවශ්‍ය දීමනා ගෙවීම්ද කොතලාවල දරන ලදී. වරක් කොතලාවල රත්මලානේ පුරාණ රජමහා විහාරයට යන විටක දහම් පාසලේ දරුවන් කුඩා විහාර ගෙයි වතාවත් කරණු දුටුවේය. මෙය දුටු කොතලාවල තම තනි වියදමින් මහා විහාර ගෙයක් සදා දෙන බවට පොරොන්දු විය. නා හිමියන්ගේ ඉල්ලීම වූයේ අපවත් වීමට පෙර එය නිම කරන ලෙසය. අද එම මහා විහාර ගෙය තුළ දහම් පාසලේ දරුවෝ අපහසුවෙන් තොරව වන්දනා කරති. දහම් පාසලක් පවත්වා ගෙන යෑම එතරම් වියදම් දැරීමට අවශ්‍ය නොවූවද කොතලාවල බංකු පුටු හා වෙනත් අවශ්‍ය දේ ගැන සොයා බැලීය. කොතලාවල අධ්‍යාපනයට පරිත්‍යාග කළ ඉඩම් ගැන බොහෝ දෙනා කතා කරන්නේ කඳවල වත්ත ගැන පමණි. පිලියන්දල මඩපාත කොතලාවලගේ මවගේ උපන් බිමය. ඔහුට  මවගෙන් උරුම වූ මඩපාත පිහිටි වටිනා ඉඩමක් එකළ තම ඥාති සොයුරු ඩඞ්ලි සේනානයකගේ රජයට 1966 පරිත්‍යාග කළේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනයටමය. 1979 බලයට පත් කොතලාවලගේ ඥාතියකු වූත් රජයේ ඇමැතිවරයකු වූ ධර්මසේන ආටිගලගේ මුල්වීමෙන් රජය විසින් එම භූමියේ පාසලක් ගොඩන`ගයි. එහි ප‍්‍රගතිය කොතලාවල නොදුටුවේ ඔහු මියගිය වසරේම එය විවෘත වීම නිසාය. අද දරුවන්ගේ දෑස් පාදන එම පාසල පිලියන්දල කොතලාවල මහා විද්‍යාලයයි.

 ජෝන් කොතලාවලගේ අධ්‍යාපනයට කළ අද්විතීය සේවය වූයේ වටිනාකම මැනිය නොහැකි කඳවල වත්ත නම් ලෝක ප‍්‍රසිද්ධ තම නිවස හා අක්කර 50 කට ආසන්න භූමිය ආරක්ෂක විද්‍යා පීඨයක් සඳහා තම මව් බිමට පරිත්‍යාග කිරීමය. 1920 ගණන්වල මුල් භාගයේ අක්කර 100 ක් වූ කඳවල වත්ත මිලදී ගත් කොතලාවල මහා මන්දිරයක් හා ගසින් මලින් මොනරුන් අලි මුවන් වැනි සතුන්ගෙන් පිරි උද්‍යානයක් පමනක් නොව වැවක්ද එහි ගොඩනැ`ගීය. සතුන් බලා ගන්නා සේවකයන් ඇතුළු කඳවල වලව්වට සේවය සැපයූ බොහෝ දෙනාට එහිම ජීවත් වීමට නිවාස හා වෙනත් පහසුකම්ද එහි තුළ විය. එහි සේවකයන්ගේ දරුවන් සියල්ලටම නිසි අධ්‍යාපනයක් ලබා දුනි. ඔවුන් බොහෝ දෙනා ගියේ ශී‍්‍ර ධර්මාරාම හා ධර්මාලෝක විද්‍යාලයන්ටය. කොතලාවලයන් මියයන්නට පෙර ඒ සියලූම දෙනාට ඉඩම් දී ඔවුන්ගේ අනාගතය සඳහා කටයුතු සම්පාදනය කළේය. කඳවල වත්තේ ඉතා සැහැල්ලූවෙන් ජීවත් වූ කොතලාවල තමා දැඩිව ආදරය කළ කඳවල වත්ත ජාතික ආරක්ෂක පීඨයකට පරිත්‍යාග කළේය. කොතලාවල තමා විසින්ම අනුගමනය කළ උපදේශය ”කවදත් මව් බිමයි’’ (For the Motherland Forever) යන පාඨය මෙම පීඨයේ තේමාව බවට පත් විය.

 මෙකළ පාලන බලයේ සිටියේ තම සමීප මිතුරකු හා දේශපාලන සඟයකුසේම ඥාතියකු වූ ජේ. ආර්. ජයවර්ධනයන්ය. 1977 ජයවර්ධන බලයට පැමිණ ටික කාලයකින් හමුදා නිලධාරීන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම අරමුණ කර ගත් ආරක්ෂක විද්‍යා පීඨයක අවශ්‍යතාවය ගැන දේශපාලන රඟම`ඩල තුළ කතාබහට ලක් වී තිබුණි. 1979 දී ආරක්ෂක බළකායන් මෙවැනි පීඨයක අවශ්‍යතාවය රජයට නිර්දේශ කළ බවක් ජෙනරල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියේද  ස`දහන් වේ. කොතලාවලගේ අභාවයේ හත් වන දින දානයට දින තුනකට පසු 1980 ඔක්තෝබර් 11 වන දින ජනාධිපති ජයවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් නිල වශයෙන් මෙම ආරක්ෂක පීඨය පිහිටුවන ලදී. නමුත් මෙහි ක‍්‍රියාකාරීත්වය ආරම්භ වනුයේ 1981 දීය. 1985 දී මෙය උපාධි පිරිනමන විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කරන ලදී. එදා සීමා සහිත විෂය මලාවකට සීමා වුවද වර්තමානයේ ආරක්ෂක හා ආරක්ෂක උපක‍්‍රමික පාඨමාලාවන්ට අමතරව විවිධ පීඨයන් යටතේ නීතිය ඉංජිනේරු පර්යේෂණ හා මානව සම්පත් පරිගණක පමනක් නොව වෛද්‍ය, සෞඛ්‍ය අනුබද්ධ විෂයන් යටතේ උසස් අධ්‍යාපනය ලබා දේ. පශ්චාත් උපාධි හා නිබන්ධන පර්යේෂණයන් සඳහාද පහසුකම් ඇත. ආරක්ෂක විශ්වවිද්‍යාලයක් ලෙස මෙහි පරිපාලන කටයුතු කරනුයේ හමුදාවන් හි ඉහළ නිලධාරි බහුතරයක මණ්ඩලයක් මගිනි.

 මෙම ජාතික වස්තුවක් බවට පත් වූ කොතලාවල ආරක්ෂක පීඨයේ මුල් යුගය ගැන සටහන් කරන මූලාශ‍්‍රයන් හි වැදගත් කරුණක් වන්නේ මෙය තුළින් අරමුණු වූයේ ජාතික ආරක්ෂක සේවයට අවශ්‍ය වෘත්තීමය මානව සම්පත් ගොඩනැ`ගීමය. මෙහි මුල්ම කාලයේ බ`දවා ගත් සීමා සහිත සිසුන්ට අධ්‍යාපනය ආහාර පාන නේවාසික පහසුකම් ඇතුළු සියලූම පහසුකම් නොමිලේ ලබාදී සුළු වැටුපක්ද දෙන ලදී. බොහෝ දුෂ්කර දුප්පත් දක්ෂ ළමුන් ලංකාවේ සිටින අතර ඔවුන්ගෙන් දක්ෂයන් කීප දෙනකු හ`දුනාගෙන ඉතාම සීමිතම සංඛ්‍යාවකට හෝ මෙම සරසවිය තුළ දොර ඇරනේනේ නම් අධ්‍යාපනයට යමක් කළ කොතලාවලගේ නාමය පමනක් නොව තීරණය ගනු ලබන අයගේද නම්ද ඉතිහාසය තුළ බැබළෙනු ඇත.

 පේරාදෙණි සරසවිය ගොඩනැ`ගීමේ කාර්යයේ මූලිකත්වය කොතලාවල ගන්නා අතර එකළ මහා ධනවතුන් වූ සර් ජේම්ස් පීරිස්, ඔබේසේකර, විජේවර්ධන, මාකස් ප‍්‍රනාන්දු ආදීන්ගේ ධන පරිත්‍යාගයෙන් එහි

 නේවාසිකාගාරයන් ගොඩනැගීමේ ක‍්‍රියාවලියක්ද සිදු විය. මෙම පසුබිම නිසාම ධනවත් ප‍්‍රභූන්ගේ දරුවන් ස`දහා කොම්පදෝරු ධනපති පංතිය විසින් මෙම සරසවිය ගොඩනැ`ගු බව සමහර පාර්ශ්වයන් එදා චෝදනා කළද 1950 ගණන්වල අවසානයේ සිට මෙම සරසවියේ වැඩිපුර ඉගැනුම ලැබූයේ දුප්පත් හෝ පහළ මධ්‍යම පංතියේ පවුල්වල දරුවන්ය.

 1956 සිට 1956 දක්වා අගමැති වූ කොතලාවල යටතේ එකළ රාජ්‍ය අරක්ෂක සේම විදේශ කටයුතු අමාත්‍යධුරද විය. 1956 මහ මැතිවරණයට පසු දින උදෑසන එකළ කැබිනට් ලේකම්ව සිටි විශිෂ්ඨ ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියකු වූ බර්නාඞ් පීරිස් කොතලාවලයන් හමුවීමට කඳවල වත්තට ගියේ බලය නව රජයට පැවරීම ගැන සකච්ඡුා කිරීමටය. ඒ යන විටත් සරමකින් හා බැනියමක් ඇ`ද සැහැල්ලූවෙන් සිටි කොතලාවල තම පුද්ගලික මුදලින් විදේශ අමාත්‍යාංශයේ සුළු සේවකයන්ට මුදල් ප‍්‍රධානයන් කිරීමට චෙක් පත් ලියමින් සිටියේය. පරාජයක පසු දින මොහු කෙතරම් සැහැල්ලූවෙන් සිටියේද යත් අනෙක් අමුත්තන්ට සේම ඔහු බර්නාඞ් පීරිස්ටද පළමුවෙන්ම කළේ මධුවිතක් පිලිගැන්වීමය. මෙය කොතලාවලයන් පොඩි මිනිසා කෙරේ දැක් වූ ආකල්පයට හොඳම නිදසුනකි. ජෝන් කොතලාවල මන්ත‍්‍රීවරයකු ඇමැතිවරයකු පමණක් නොව අගමැති ලෙසත් වැටුපක් ලැබුවද එහි කිසිවක් තම ප‍්‍රයෝජනයට නොගෙන ජනතාව ගේම ප‍්‍රයෝජනයට එය යෙදවීය. මෙම ලිපිය නිමාවට සුදුසුම වැකිය ඇත්තේ පී. ඇම්. සේනාරත්න ලියූ ”ජෝන් කොතලාවල සහ අගමැති පොරය’’ නම් කෘතිය තුළය.

 ”රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රීවරයකු වශයෙන් ඔහුට ලැබුනු වැටුප ඔහු ජනතාව වෙනුවෙන් වියදම් කළද කොතලාවල කිව්වේ එය එතරම් වැදගත් නොවන බවයි. එහෙත් ප‍්‍රදේශවාසීන් සැලකුවේ එය විශාල පරිත්‍යාගයක් හැටියටය.’’ (සර් ජෝන් කොතලාවල සහ අගමැති පොරය නම් කෘතිය  පිටුව 25)

 (ලේඛකයා – ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ විශ‍්‍රාමික විධායක නිලධාරියෙකි. [email protected])

 ආශි‍්‍රත ලේඛණ

 සර් ජෝන් කොතලාවල සහ අගමැති පොරය – පී. ඇම්. සේනාරත්න
University of Peradeniya: A treasure of beauty and wisdom –
 T.K.Premadasa Daily FT 8th May 2014
 Memories of a Cabinet Secretary – Bernard Pervival Peiris
 F.R. Senanayake – Jayasena Dahanayaka
 https://gyaanipedia.fandom.com/wiki/Sir_John_Kothalawala_Maha_
 Vidyalaya_(school)


පේ‍්‍රමදාස තෙලිකෝරල
කටුබැද්ද

කොතලාවල අධ්‍යාපන දැක්ම
advertistmentadvertistment
advertistmentadvertistment