කොතලාවල පනතේ ඇත්ත සහ සැබෑ අධ්‍යාපනයට ප්‍රවේශය

394

ඊයේ පත‍්‍රයේ ඉතිරි කොටස

 * විසඳුම – අද ලෝකයට  ගැලපෙන හොඳ තෘතීයික අධ්‍යාපනයක්

 විවෘත ආර්ථික යුගයේ දී 1970/80 දශකවලට සාපේක්ෂව, ශ‍්‍රී ලංකාවේ සමාජයේ වෙනස්කම් රාශියක් සිදුවිය. ‌මධ්‍යම පංතියේ බොහෝ දෙනෙකුගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි විය. සමාජ ප‍්‍රශ්න වෙනස් විය. ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් විය. ජාත්‍යන්තරව ද මෙම කාලයේ දී අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෙනස්කම් රාශියක් සිදු විය. නවීන සංනිවේදන තාක්ෂණය නිසා ද අධ්‍යාපනික ක‍්‍රමවේදයන් ද උඩු යටිකුරු වී ඇත.

 උසස්පෙළ සමත්ව විශ්ව විද්‍යාල වරම් ලබාගත් දරුවන් 40,000 කට හා උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල වරම් ලබාගැනීමට නොහැකි වූ දරුවන් 150,000 කට එකවිට

 රැුකියා ලැබෙන විධිමත් තෘතීයික අධ්‍යාපනයක් ලබාදීම මඟින් පාසල් අධ්‍යාපනය ද ඇතුළුව අධ්‍යාපන ක්ෂෙත‍්‍රයේ ඇති ප‍්‍රශ්න සියල්ල විසඳිය හැකිය. එනම් උපාධිධාරීන්ගේ

 විරැුකියා ප‍්‍රශ්නය විසෙ​ඳන්නේ නම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව නොලද දරුවන් අතර ඇති සීතල යුද්ධය හෙවත් නිදහස් අධ්‍යාපනය රැුකගැනීමේ සටන ද ඉබේටම අවසන් වේ.

 එහිදී පහත සඳහන් කරුණු වෙත අවධානය යොමු කළ යුතුය.

 1. තිරසර යුගය ඉලක්ක කරගෙන

 අධ්‍යාපන පාඨමාලා ප‍්‍රතිසංවිධානය කිරීම

 පෙර පාසැල් අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා වූ විෂය මාලා, නවීන ලෝකයට ගැලපෙන සේ ප‍්‍රතිසංවිධානය විය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2015 දී තිරසර සංවර්ධන ඉලක්ක-17 ප‍්‍රකාශයට පත්කිරීමෙන් පසු තිරසර සංවර්ධනයට අනුකූල වන පරිදි අධ්‍යාපන පාඨමාලා සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංවිධානය විය යුතුය. එහිදී අවශ්‍ය වන්නේ නිර්මාණශීලී, විශ්ලේෂණ ගුණයෙන් පිරුණු, මුළුමහත් ජීවී ලෝකයා ගැන සිතා සංහිඳියාවෙන් කටයුතු කරන සැබෑ පුරවැසියන් පිරිසක් බිහිකර ගැනීමය. දේශන පැවැත්වීම හා කඩපාඩම් කරවීම ‌වෙනුවට, වර්තමාන ලෝකයේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඉදිරියෙන්ම සිටින රටවල්වල මෙන් දරුවන්ගේ සිත් ඇදගන්නා ක‍්‍රියාකාරකම් මතු කර ගත යුතුය. එමඟින් දරුවන් තුළ සැඟවී ඇති නිර්මාණශීලී හා විශ්ලේෂණශීලී හැකියාවන් යළිත් ඉස්මතු කරගැනීමට හැකිය.

 2. අධ්‍යාපනය සඳහා නවීන සංනිවේදන

 තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගැනීම

 සංනිවේදන තාක්ෂණය හරහා මුළුමහත් ලෝකයේ ම අධ්‍යාපනය ද දැවැන්ත ඉදිරි පිම්මක් පැන ඇත. එය කොවිඞ්-19 වසංගත තත්ත්වයන් යටතේ වේගවත් වී ඇත. දරුවන්ට ඉගෙනගැනීම සංනිවේදන තාක්ෂණයෙන් සිදු කළ හැකි බැවින්, දරුවන් පාසැල් පැමිණිය යුත්තේ සමූහ ක‍්‍රියාකාරකම් සඳහාය. ඒ සඳහා අවශ්‍ය වන්නේ සුදුසු ඊ-වේදිකා හා එම ඊ-වේදිකාවන් මනාලෙස හැසිරවිය හැකි පිරිසක්ය. සංනිවේදන තාක්ෂණය භාවිතයෙන් එක් එක් දරුවන් වෙන වෙනම අධීක්ෂණය කළ හැකි පසුවිපරම් ක‍්‍රියාකාරකම් රාශියක් ද භාවිත කළ හැක. දැනට තිබෙන රජයේ පාසැල් 10,000 ට, විශේෂයෙන්ම දුෂ්කර පාසැල්වලට නවීන ලෝකයට අනුරූප වන පරිදි නවීන සංනිවේදන උපකරණ සැපයිය යුතුවේ. මේ යුගයේ අවශ්‍ය වන්නේ ගුරුවරුන් නොවේ; ක‍්‍රියාකාරකම් සඳහා මඟ පෙන්වන්නන්ය. ගුරුවරුන්, මඟපෙන්වන්නන් බවට පුහුණු කිරීම ද දුරස්ථ සංනිවේදන තාක්ෂණයෙන් සිදු කළ හැකිය.

 3. රජයේ පාසැල් අතර ඇති විෂමතාව තුනීකිරීම

 ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ, පෙර පාසැල්වල පටන් විශ්ව විද්‍යාල දක්වා තියුණු තරඟයක් ඇත්තේ රජයේ පාසැල් අතර බරපතල විෂමතාවයක් ඇති නිසාය. 1 වසරට ජනප‍්‍රිය පාසැලකට සිය දරුවන් ඇතුළත් කරගැනීමට නොහැකි වුවහොත් 6 වසර ඉලක්ක කර 5 ශිෂ්‍යත්වය ඉහළින් සමත්කරගැනීමට දරණ උත්සාහය නිසා කුඩා දරුවන්ගේ ළමා කාලය, දෙමව්පියන් විසින් විනාශ කර දමනු ලැබේ. එම නිසා පාසැල් අතර විෂමතාව තුනීකිරීම අවශ්‍ය වේ. එමෙන්ම උසස් පෙළ සඳහා සාධාරණ ඉඩක් දරුවන්ට ලබාදීමට, ප‍්‍රාදේශීය වශයෙන් සැලසුමක් ඇතිව, පාසැල්වලට පහසුකම් සැලසීමත් අවශ්‍ය වේ. පාසැල් අතර විෂමතාව නැතිකරලීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වන්නේ පාසැල් සංවර්ධනයකිරීම සඳහා ආදි සිසුන්ගේ හා දෙමව්පියන්ගේ දැනට තිබෙන මැදිහත් වීම සම්පූර්ණයෙන්ම නවතාලීමයි. කිසියම් අයෙකුට අධ්‍යාපනයට සහයෝගයක් ලබාදීමට අවශ්‍ය නම් එය පොදුවේ පාසැල් පද්ධතිය සඳහා ලබාදෙන දායකත්වයක් ලෙස ලබා යුතුය. මීට විකල්පව ඉදිරිපත් වී ඇති තවත් යෝජනාවක් වන්නේ සෑම දිස්ත‍්‍රික්කයක්ම ආවරණය වන පරිදි, සියළු පාසැල් ජනප‍්‍රිය පාසැල්වල පරිශද බවට පත් කිරීමයි. එහිදී එක් එක් පරිශදයේ කළමනාකරණය වෙන වෙනම පැවතිය හැකි අතර ආදී සිසුන්ගෙන් ලැබෙන සම්පත් භාවිතකර පරිශදයේ දුර්වල පාසැල් ශක්තිමත් කළ හැකිය.

 4. උසස් පෙළ විෂය ධාරා ප‍්‍රතිසංවිධානය කිරීම

 අපොස සාමාන්‍ය පෙළ පාඨමාලාවල හොඳ පුරවැසියෙක් බිහිකිරීම සඳහා අවශ්‍ය මූලික අංග තිබෙන නමුත්, උසස් පෙළ සඳහා ඇති විෂය මාලා සම්පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් විය යුතුවේ. දියුණු අධ්‍යාපනයක මූලික හරය වන විවිධ විෂය ධාරා අතර හරස් පෝෂණයක් සිදුවීම සඳහා ඉඩකඩ ලැබෙන අයුරින් විෂය ධාරාවන් සම්මිශ‍්‍රණයවීම අවශ්‍ය වේ. විශේෂයෙන්ම මානව ශාස්ත‍්‍ර ධාරාවට පිවිසෙන දරුවන් හට අනාගතයේ දී රටට වඩා පුළුල් මෙහෙවරක් සිදු කළ හැකි විෂයයන් ද ඇතුළත් වන පරිදි එම ධාරාවේ පූර්ණ ප‍්‍රතිසංවිධානයක් කළ යුතුවේ. එමෙන්ම මානව ශාස්ත‍්‍ර විෂය ධාරාවට සීමා වී තිබෙන ඇතැම් විෂයයන්, අනෙක් විෂය ධාරා වලට ද ඇතුළත්කිරීම මඟින් විද්‍යාව ආදී වෙනත් විෂය ධාරාවන් වල අධ්‍යාපනය ලබන දරුවන්ගේ ගුණාත්මක මට්ටම ද ඉහළ නැංවිය හැකිය.

 5. විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා වෘත්තීය

 අධ්‍යාපනය සමිමිශ‍්‍රණය කිරීම

 තෘතීයික අධ්‍යාපනයේ කොටස් 2 කි: විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා වෘත්තීය පුහුණුවයි. රජයේ විශ්ව විද්‍යාලවලට එන බොහෝ සිසුන්ගේ චේතනාව, හොඳ වෘත්තීය පුහුණුවක් ලබාගෙන හොඳ

 රැුකියාවක් ලබාගැනීමයි. නමුත් ඔවුනට ලබාදෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයයි. වෘත්තීය පුහුණුවක් සැබැවින්ම ලැබෙන්නේ වෛද්‍ය විද්‍යාවේ දී පමණි. මෙම පටලැවිල්ල විසඳාගැනීම සඳහා දියුණු රටවල භාවිතකරන ක‍්‍රමවේදය නම් සිසුන්ට කැමති පරිදි වෘත්තීය අධ්‍යාපනය හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අතර මාරුවීමට ඉඩකඩ ලබාදීමයි. එමඟින් උපාධිධාරීන්ගේ රැුකියා විරහිතභාවය පිළිබඳ ගැටලූ‍ව විසඳා ගැනීමට හැකිවේ. එමෙන්ම දේශීය පුහුණු ශ‍්‍රමික වෙළඳපොළ වෙත පමණක් නොව විදේශීය පුහුණු ශ‍්‍රමික වෙළඳපොළ වෙත ද එම උපාධිධාරීන්ට පිවිසීමට හැකිවේ. තවද සමස්ත අධ්‍යාපනයේම අග‍්‍ර ඵලය වූ රජයේ උපාධිධාරීන්ට රැුකියා නොමැතිවීමට බලපාන තවත් ප‍්‍රධාන හේතුවක් වන, උගන්වන දේ යල්පැන ගොස් තිබීම ද වහාම වෙනස් විය යුතුය.

 6. රජයේ විශ්ව විද්‍යාලවල උපාධීධාරීන්ගේ

 අඩුපාඩුකම් සම්පූර්ණ කිරීම

 රජයේ විශ්ව විද්‍යාලවලින් පිටවන උපාධිධාරීන් දුර්වලවීමට බලපාන්නා වූ තවත් හේතුවක් නම් විශ්ව විද්‍යාලයට ඇතුළත් කරගැනීමේ දී භාවිතකරන දිස්ත‍්‍රික් කෝටා ක‍්‍රමය හා දුෂ්කර දිස්ත‍්‍රික් ක‍්‍රමයයි. අඩු පහසුකම් යටතේ ඉගෙනගන්නා දරුවන්ගේ යම් යම් අඩුපාඩු ඇත. තරඟය වැඩි දිස්ත‍්‍රික්කවල වාසය කරන, දුෂ්කර දිස්ත‍්‍රික්කවලට වඩා වැඩි ’ අගය ලැබූ සිසුන්, වෙනත් අධ්‍යාපන සුදුසුකම් ලබා රැුකියා වෙළඳපොලට පැමිණෙන විට, දුෂ්කර දිස්ත‍්‍රික්කවලින් බිහිවන උපාධිධාරීහු පසුපසට යති. එම නිසා එලෙස අඩු පාඩු සහිත විශ්ව විද්‍යාල වෙත පැමිණෙන දුෂ්කර දිස්ත‍්‍රික්කවලින් එන සිසුන් වෙනුවෙන් විශේෂ පාඨමාලා පවත්වා සියලූ‍ අඩුපාඩුකම් සම්පූර්ණ කරදීමට විශ්ව විද්‍යාල කටයුතු කළ යුතුය.

 7. ඉංග‍්‍රීසි භාෂාව ඉගැන්වීම

 උපාධිධාරීන්ට පුද්ගලික අංශයේ රැුකියාවලට යාමේදී අනෙක් අය සමඟ තරඟකිරීමට නොහැකි වී ඇති තවත් හේතුවක් නම් ඉංග‍්‍රීසි බස ප‍්‍රමාණවත් තරමින් නොදැනීමයි. උපාධිධාරීන්ට ඉංග‍්‍රීසි බසින් කතාකිරීමට නොහැකිවී ඇත්තේ ස්වභාෂා අධ්‍යාපනයේ අතුරු විපාකයක් ලෙසය. තුන වසරේ සිට උගන්වන ඉංග‍්‍රීසි විෂය මාලාවේ අන්තර්ගතයේ ගැටලූ‍වක් නැති බැවින් පාසැලේ ඉංග‍්‍රීසි භාෂාව උගන්වන ක‍්‍රමවේදය වෙනස්කිරීම මඟින් මෙම අභියෝගය පහසුවෙන් ජයගත හැකිය. එමෙන්ම විශ්ව විද්‍යාලවලදී උපාධි අපේක්ෂකයන් නිසි පරිදි පුහුණුකරන නව ඉංග‍්‍රීසි පාඨමාලාවන් හඳුන්වාදීම ද අත්‍යවශ්‍ය වේ.

 8. උසස්පෙළ ’ අගය මත සැමට තෘතීයික අධ්‍යාපනය ලබාදීම

 විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා උසස් පෙළ සමත්වුවද, ’ අගය මත නොමිලයේ උගන්වන රජයේ විශ්ව විද්‍යාලවලට තෝරා නොගත් දරුවන් 150,000 දෙනාටම විධිමත් ලෙස විශ්ව විද්‍යාල හෝ වෘත්තීය හෝ අධ්‍යාපනයක් ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක් රජයට තිබිය යුතුය. මේ සඳහා උසස්පෙළ ’ අගය මත පදනම්ව, සියලූ‍ම සිසුන් විශ්ව විද්‍යාල හා වෘත්තීය අධ්‍යාපන ආයතනවලට යොමුකිරීම සඳහා අධ්‍යාපන ආයතන පුළුල් කළ යුතු අතර විධිමත් ක‍්‍රමවේදයක් ද තිබිය යුතුය. දැනට රජය සතුව යම් වෘත්තීය අධ්‍යාපන වැඩපිළිවෙලක් තිබුණ ද බොහෝ සිසුන් උසස් පෙළින් පසු අතරමං වේ. ඒ නිසා ඊට මඟ පෙන්වන විධිමත් වෘත්තීය මාර්ගොපදේශන (ජ්රුැර ටමසා්බජැ* ක‍්‍රමවේදයක් ස්ථාපිත කර සිසුන්ට තමන්ගේ දක්ෂතාවය හා රුචිකත්වය මත, තමන්ට ගැලපෙන වෘත්තීය දහරාවක් හඳුනාගැනීම සඳහා සහය වියයුතුය. දේශීය හා ජාත්‍යන්තර පුහුණු ශ‍්‍රම වෙළඳපොළ වෙත උසස් පෙළ දක්වා උගත් දරුවන් හට පිවිසීමට හැකිවන්නේ එමඟිනි.

 9. සැමට නොමිලයේ අධ්‍යාපනය

 දරුවන්ට ලැබෙන අධ්‍යාපනය මත, අනාගතයේ දී රටේ වාසය කරන ජනතාවගේ දැනුම හා දැක්ම තීරණය වේ. එනිසා යහපත් පුරවැසියෙකු බිහි කිරීමේ රජයට පැවරී වගකීම, පුද්ගලික අංශයට පවරා ඉන් මිදීමට රජයට හැකියාවක් නැත. දරුවන්ගේ මූලික මිනිස් අවශ්‍යතාවයක් වූ අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරුකිරීම සඳහා නොමිලයේ අධ්‍යාපනය ලබාදීම රජයේ මූලික වගකීමකි. නොමිලයේ අධ්‍යාපනය සඳහා විශාල ආයෝජනයක් සිදු කළ යුතුය. අධ්‍යාපනය හොඳින් ඇති රටවල හොඳම වැටුප් ගෙවනු ලබන්නේ ගුරුවරුන්ට නිසා නඩත්තු වියදම ද වැඩිය. රජය විසින් අධ්‍යාපනයට හොඳින් වියදම් කළ යුතු අතර ඒ සඳහා මානව සම්පත් සංවර්ධනයෙන් වැඩියෙන්ම ප‍්‍රතිලාභ නෙළාගන්නා ආයතනවලින් බදු අය කළ යුතුය. නොඑසේනම් රජය එම ආයතන සක‍්‍රීයව අධ්‍යාපනයට සම්පත් සැපයීම සඳහා සම්බන්ධ කර ගත යුතුය.

 තෘතීය අධ්‍යාපනය නොමිලයේ ලබාදීම අවශ්‍ය නොවන අතර මුදල් ප‍්‍රශ්න ඇති සිසුන් හට ශිෂ්‍ය ණය ක‍්‍රමයක් සැකසීමෙන් හොඳ තෘතීය අධ්‍යාපනයක් ලබාදීමට හැකිවන අතර එම පිරිස රැුකියාවකට යොමුකිරීමේ වගකීම ද වක‍්‍රාකාරයෙන් රජයට පැවරේ.

 10. උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට හොඳ කළමනාකරණයක්

 ප‍්‍රධාන ප‍්‍රශ්නය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ හා රජයේ විශ්ව විද්‍යාලවල ඉතා දුර්වල කළමනාකරණයයි. එමෙන්ම සැමට තෘතීයික අධ්‍යාපනය ලබාදීමේ දී කළමනාකරණය සඳහා ද වෘත්තීය අධ්‍යාපනය සඳහා ද පුද්ගලික අංශයේ ද සක‍්‍රීය දායකත්වය ලබාගත හැකිය. පුද්ගලික ආයතන සතුව ඇති කර්මාන්තශාලා හා වෙනත් වෙළඳ ආයතන, වෘත්තීය පුහුණුව සඳහා විධිමත් ලෙස සම්බන්ධ කර ගත යුතුය.

 සමස්තයක් ලෙස ගත්විට රජය යටතේ ශ‍්‍රී ලංකාව උසස් අධ්‍යාපනය වැඩි දියුණුකිරීම සඳහා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ක‍්‍රියාවලිය සජීවීකරණය කර ප‍්‍රතිසංවිධානය කිරීම අනිවාර්යය වේ. එවිට පමණි දරුවන්ට උසස් අධ්‍යාපනයේ යෙදෙන්නට නිදහස ලැබෙනුයේ.

අශෝක අභයගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment