රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගොඩනැඟිල්ලේ 6 වැනි මහලින් බිමට වැටී සහකාර කළමනාකාරවරියක් පෙරේදා (19 දා) මරුමුවට පත්වී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, ගාලූ පාරේ පදිංචිව සිටි වර්ෂහැන්නදිගේ චලනි එරන්දි සොයිසා (30) නමැති එක්දරු මවකි. මැය සැමියාගෙන් වෙන්වී සිටින බවත්, ඇයට දෙහැවිරිදි දරුවකු සිටින බවත් පොලිසිය කියයි.
මියගිය සහකාර කළමනාකාරවරිය අසනීප තත්ත්වයක් හේතුවෙන් නිවාඩු ලබා හිඳ පසුගියදා සේවයට පැමිණ ඇත. ඇය තම සේවා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් එම වෛද්‍ය පීඨයේ වෙනත් ස්ථානයක සේවය කිරීමට ස්ථාන මාරුවක් ඉල්ලා තිබේ. ඒ අනුව එම පාලනාධිකාරිය ඇගේ කැමැත්තට අනුව ස්ථාන මාරුවක් ලබාදී ඇත.
පසුව ඇය එම ස්ථාන මාරුව නැවත වෙනස්කර වෙනත් ස්ථානයකට මාරුවක් ඉල්ලා තිබේ. එයද ඉටුකරදීමට පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
මෙහිදී ඇගේ සේවය ඇගයීමේ ලිපියක්ද ලබාදීමට කැමැත්ත පළ කර තිබූ පාලනාධිකාරිය ඇගේ ස්ථාන මාරුව පිළිබඳව තවදුරටත් සලකා බලන ලෙසට උපදෙස් ලබාදී ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.
මැය කිසියම් සිත් තැවුලක් මත ඇතිවූ මානසික ආතතියක් හේතුවෙන් 6 වැනි මහලින් බිමට පැන සියදිවි නසා ගත්තේද? එසේත් නොමැතිනම් මැය එම මහලින් බිමට ඇද වැටී මියගියේද? යන්න සම්බන්ධයෙන් පොලිසිය පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ සිදුකරති.
මියගිය සහකාර කළමනාකාරවරියගේ මරණ පරීක්ෂණය ඊයේ (20 දා) කළුබෝවිල මහ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.
මේ පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. දිලීප පෙරේරා මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත සැරයන් සිල්වා වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා සහ ඇන්ටන් ප්‍රනාන්දු