කොත්තු කනවද ගුටි කනවද

1015

ශ්‍රී ලංකාව ක්‍රිස්තු පූර්වේ සිටම ඉතා හොඳ සංචාරක ගමනාන්තයකි. පසුගිය අවුරුදු 3000ක පමණ කාලය තුළ මෙරටට පැමිණි කෝටි සංඛ්‍යාත විදේශීය සංචාරකයන්ගෙන් 15 දෙනෙක් පමණ ලංකාව ගැන ඉතා හොඳ විස්තර ලේඛන ගතකර ඇත. ෆාහියන් භික්‍ෂුව චීනයේ සිට මෙරටට පැමිණ අවුරුදු කිහිපයක් මෙහි ගතකර ලංකාව ගැන පොතක්ම ලීවේය. එසේම ඉබන් බතුතා මීගමුව සහ හලාවත අතර නැව් තොටකින් ලංකාවට ඇතුළු වී එකල ප්‍රෞඪ රාජ්‍යයක්ව පැවති ලංකාවේ ප්‍රාදේශීය රජවරුන් සෙට් කරගෙන ශ්‍රීපාදස්ථානයට සංචාරයක නිරත විය. ඉබන් බතුතා ශ්‍රීපාද සංචාරයේදී නිරත වන සමයේදී කඳු මුදුනට යෑම සඳහා ගල් පඩිපේළි නැග ඇතැම් තැන්වල යකඩ දම්වැල් සවිකර තිබූ අතර ඇතැම් තැන්වල බඩගාගෙන යෑමට සිදුව තිබිණි. ආපසු සිය උපන් රට වූ මොරොක්කෝවට ගිය ඉබන් බතුතා මීට සහශ්‍ර එකහමාරකට පමණ පෙර තිබූ ලංකාව ගැන ලියූ ලේඛනය ඉතා විසිතුරු ය.

හියුං සාන් නමැති භික්‍ෂුව දේශ සංචාරයේ යෙදෙන අතර ලංකාව කිට්ටුවටම වැඩම කර ඉන්දියානු වැසියන්ගෙන් තොරතුරු ලබාගෙන ලාංකික ජනයා ගැන අපූරු විස්තරයක් කළේය. රොබට් නොක්ස් සංචාරකයෙක් නොවේ. ඔහු මෙරටට ගසාගෙන පැමිණි බි්‍රතාන්‍ය නැවක සිටි වැසියෙකි. ඔහු සිරභාරයට ගත් රජතුමා දීර්ඝ කාලයක් මෙහි තබාගත්තේය. ලංකාවට එන විදේශ සංචාරකයන් ගැන ඔහුගේ පොතෙහි ද සඳහන් වෙයි. මෙවැනි දීර්ඝ ඉතිහාසයක් ඇති මේ රටේ සංචාරක කර්මාන්තය පසු කාලයේදී ලංකාවට වැඩිම විදේශ විනිමය ආදායමක් ගෙනෙන මූලාශ්‍රයක් බවට පත්විය. එහෙත් අවස්ථා ගණනාවකදීම අපේ සංචාරක කර්මාන්තයට බෝම්බ පහරවල් එල්ල විය. ඉන් පළමු වැන්න 81 ජූලි කලබලයයි. 88/89 භීෂණයේදී මෙරට සමූහ මිනීමැරුම් සිදුවන ආරංචියට විදේශීය සංචාරකයෝ බහුල වශයෙන් පැමිණ තරුණයන් සමග දැවෙන ටයර් ගොඩවල් දෙස බලාගෙන සිට පිංතූර ගත්හ. අපේ සංචාරක කර්මාන්තයට දෙවැනි බෝම්බය වදින්නේ පාස්කු ප්‍රහාරයෙනි. එදා යට ගිය මේ රටේ සංචාරක ව්‍යාපාරය යම්තම් ගොඩ එමින් සිටින්නේ දැන්ය. එසේ ගොඩ එනවා පමණක් නොව යුක්රේන් සහ රුසියන් සංචාරකයන් මේ දිනවල ලංකාවට පැමිණ දකුණු පළාතට ගොස් තෙමේම සංචාරක කර්මාන්තයේ යෙදෙති. ඔවුන් බෙල්ලෙන් අල්ලා ඉවතට විසි කළ හැකි නමුත් මේ දිනවල පිටරටවල් සමග තරහ වීම එතරම් හොඳ නැති බැවින්දෝ ඩයනා ගමගේ හැර ආණ්ඩුවේ කිසි කෙනෙක් මේ තත්ත්වයට ඇඟිලි ගසන්නේ නැත. ඉහතින් අප සඳහන් කරන්නේ අපේ මුඛ්‍ය ලියවිල්ල සඳහා වූ පූර්විකාවකි. අපේ මුඛ්‍ය ලියවිල්ල මෙතැනින් පටන් ගනිමු.

මේ මොහොතේ මේ රටේ ජන මතය හැඩගැස්වීමටත් සත්‍ය හෙළිකිරීමටත්, බොරුව පැතිරවීමටත් ඇති හොඳම මාධ්‍ය සමාජ මාධ්‍ය වේ. කිසිදු පාලනයකින් තොරව දිවයන සමාජ මාධ්‍යවල හැප්පී ඇඟ තුවාල කර නොගැනීම මහජනතාවගේ වගකීම වේ. තමන්ගේ පරිස්සම තමන් බලාගත යුතුය යනුවෙන් මීට අවුරුදු 40කට පමණ පෙර ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා කළ ප්‍රකාශයේ ප්‍රායෝගික පැත්තක් ඇති බව අපට පිළිගැනීමට සිදුවේ. අපේ සමාජ මාධ්‍ය තුළ කිසියම් ප්‍රගතිශීලී මෙහෙවරක යෙදීමට උත්සාහ කරන සේපාල අමරසිංහ නමැති ජනප්‍රිය යූටියුබ්කාරයා (පත්තරකාරයා හා සමාන වචනයකි.) පසුගියදා ඉතා වැදගත් යූටියුබ් වැඩසටහනක් ප්‍රචාරය කළේය. සේපාල අමරසිංහගේ මාධ්‍ය භාවිතය ගැන අප තුළ එහෙමට එකඟත්වයක් නැත. එහෙත් තම චැනලය හරහා කුණුහරුප නොකීම ගැන අපි ඔහුට ගරු කරමු. දැන් අප කියන්නට යන්නේ පසුගියදාක ඔහු ප්‍රචාරය කළ සුවිශේෂ යූටියුබ් වැඩසටහන ගැනය. කළුතරදී සහ අලුත්කඩේදී විදේශීය සංචාරකයන් මුහුණ දුන් නීච සිදුවීම් දෙකක් ගැන ඔහු මෙහිදී සඳහන් කරයි. කළුතර සිද්ධිය මෙසේය. නේපාල් නමැති සංචාරක බ්‍රෝකර් කෙනක් (ඇතැම් තැනකදී මේ අය පිම්පියන් ලෙස ද හැඳින්විය හැකිය.) සංචාරකයකු සමග කළුතර හෝටලයකට යයි. එහිදී උළුඳු වඩයක් කා ප්ලේන්ටියක් බීමට ඔහුට සිදුවෙයි. කැෂියර් කූඩුවේ ඉන්න එකා ඒ සඳහා රුපියල් දාහක් ඉල්ලයි. විදේශ සංචාරකයා ද බූරුවකු නොවන බැවින් ප්ලේන්ටියක් හා වඩයක් කීයක් විය හැකි දැයි අසල්වැසියන්ගේ විපරම් කර බලයි. ඒ අනුව ඒ සඳහා රු.150කට වඩා වැය නොවන බව දැනගන්නට සංචාරකයාට අවස්ථාව ලැබේ. අන්තිමේදී කැෂියර් සමග වාද කිරීමෙන් පසු ඔහුට රුපියල් 600 ක් පමණක් ඉතිරි මුදල් ලැබේ. ප්ලේන්ටියට සහ උළුඳු වඩේට රුපියල් 400ක් අයකර ගන්නා ලදි. ලංකාවේ කෑම මේ තරමට මිල නැත. තරු පහේ හෝටලයකින් වඩේ දෙකක් කා ප්ලේන්ටියක් බිව්වොත් රුපියල් 600කින් වැඩේ ෂේප් කරගත හැකිය. මෙවැනි අධික මුදලක් අයකිරීමෙන් පසු එයින් කොටසක් කඩේ මුදලාලි සංචාරක බ්‍රෝකර්ට ගෙවයි. දැන් අලුත්කඩේ සිද්ධිය දෙස බලමු. අලුත්කඩේ රෑ කඩේකින් කොත්තු රොටියක් ගැන විමසා බලන විදේශික සංචාරකයකුට එහි මිල රුපියල් 1900ක් බව හෝටල් අයිතිකරු විසින් දන්වනු ලැබේ. මෙය වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා විදේශිකයා කොත්තු ගසන ළමයාගෙන් එහි මිල විමසයි. එයින් කෝපයට පත්වන කඩේ අයිතිකාර රාසික් නමැත්තා විශාල තර්ජනයක් කර විදේශිකයා එළවා දමයි. ලංකාවේ හොඳම කොත්තු කඩේ වුවද චිකන් චීස් කොත්තුවක් රුපියල් 1200 ඉක්මවන්නේ නැත. ඇතැම් කඩවල මේ කොත්තුව තුන් දෙනකුට පමණ අනුභව කළ හැකිය. පෙර කී සිද්ධියට අදාළ වීඩියෝව දෙස බැලීමේදී අපට පෙනී යන්නේ තව පොඩ්ඩක් එහා මෙහා වූයේ නම් විදේශීය සංචාරකයා කොත්තු වෙනුවට ගුටි කන බවය. රාසික් නමැති මේ පුද්ගලයා සහ නේපාල් නමැති සංචාරක බ්‍රෝකර් සම්බන්ධයෙන් සියලු වීඩියෝ අන්තර්ජාලයේ ඇති බැවින් ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට හැකිය. හැබැයි මෙවැනි විටෙක පොලිසිය කියන්නේ පැමිණිල්ලක් නැතිව ක්‍රියාත්මක වීමට තමන්ට නොහැකි බවය. එබැවින් අන්තර්ජාලයෙන් පෙන්වන විවිධ අසාධාරණ නිරීක්‍ෂණය කර අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාවලියක් ඇතිකරන මෙන් අපි පොලිසියෙන් ඉල්ලමු. රාසික් වැනි පුද්ගලයන් අලුත්කඩේ “කොත්තු චණ්ඩි” පන්තියේ අය වීමට පුළුවන. එහෙත් ගහට ගහක් මොරටුවේදී හමු වූ විට දෙකම දැති කියතට දමා ඉරණ බැවින් රාසික්ලාගේ ඉරණම තීරණය වන මොහොත සෙවීමට බැරිය.

advertistmentadvertistment
advertistmentadvertistment