කොත්තු රොටි සත්තමේ ව්‍යාපාරිකයාට ඇප

474

කොළඹ, අලුත්කඩේ අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ ආහාර අලෙවි සැලක දී විදේශීය ජාතිකයකුට රුපියල් 1900කට කොත්තු රොටියක් අලෙවි කිරීමට යෑමේදී එය ලබාගැනීම ප්‍රතික්‍ෂේප කිරීමේ දී එම විදේශීය ජාතිකයාට බැණ තර්ජනය කර පලවා හරින ලදැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අලෙවි සැලේ හිමිකරු අලුත්කඩේ අංක 4 මහෙස්ත්‍රාත් අධිකරණයට ඊයේ (17දා) ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් පනස් දහසක ශරීර ඇප මත මුදාහැරි බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

මෙලෙස ශරීර ඇප මත මුදාහැරුණු ව්‍යාපාරිකයාට සෑම ඉරිදා දිනකම පෙරවරු 9.00-12.00 ත් අතර කාලයේදී කොළඹ කෙසෙල්වත්ත පොලිසියට පැමිණ අත්සන් කළ යුතු බවට ද ඔහුට අධිකරණයෙන් නියෝග කර තිබේ.

මෙලෙස ශරීර ඇප මත මුදාහැර ඇත්තේ 50 හැවිරිදි ආහාර අලෙවි සැල් හිමියකු බවද පොලිසිය පවසයි.

මෙම සිද්ධියට මුහුණ පා තිබුණේ ඇමෙරිකානු ජාතිකයෙක් බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුජිත් ප්‍රියන්ත මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

ඊයේ (17දා) දින ආපනශාලා හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයුරු.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment