කොන්ක්‍රීට් වත්තක තැම්බෙන පරම්පරා හතරක්…

152

කොන්ක්‍රීට් වත්තෙ බොහෝ නිවාස එක කාමරයයි පස් හයදෙනා නිදාගන්නෙ එක ගොඩේ…

නිවාස හතළිස් ගාණක් තුළ පවුල් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වෙනවා…

ඉස්සර මහා විශාල කොන්ක්‍රීට් වැඩපළක් තිබිලා තියෙනවා…

අතපය දිගහැරලා ජීවත් වෙන්න ඉඩකඩ නැති වුණාට දැන් අපි මේ ජීවිතවලට හුරුවෙලා…

කොන්ක්‍රීට් වත්තක තැම්බෙන පරම්පරා හතරක්…

කුණු ඇළකට මායිම් වෙච්ච කුඩා ගමකට අපි ගියෙමු. ඒ ගම කොන්ක්‍රීට් වත්තය. ඡන්ද නාම ලේඛනයේ සඳහන් ආකාරයට 270 වත්තය. ලිපිනය 270, දෙමටගොඩ, කොළඹ 09 ය. බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ මස් මඩුව ආසන්නයෙන් කුණු ඇළට සමාන්තරව වමට වැටුණු මාර්ගයේ මීටර් පන්සීයක් පමණ ඉදිරියට ගමන් කරන විට කොන්ක්‍රීට් වත්තට යනෙන කොන්ක්‍රීට් පාර හමුවේ. වත්තට පිවිසුමේ කොට්ටම්බ ගස් සෙවණ යට පුංචි පෙට්ටි කඩයකි. බංකු ලෑල්ලක් මත තලෙළු, මහත තාරුණ්‍ය වියපත් වූ මිනිසෙක් ඇන තියාගෙන සිටී. කොන්ක්‍රීට් වත්තේ කතාවට ප්‍රවේශයක් ලබාගැනීමේ අටියෙන් මම ඔහුට කෙටි පැනයක් යොමු කළෙමි.

මේ ඇළ කොහේට වෙනකම් ගලනවද?

“ඈතින් ඇවිත් තවත් ඈතකට යනවා…” හිටි පියවරේම ඔහු කෙටියෙන් පිළිතුරු දුන්නේය.

“වේගය පාලනය කරගන්න බැරි වෙච්ච ත්‍රීවීල්, යතුරුපැදි කිහිපයක්ම මේ ඇළට වැටිලා තියෙනවා. පැති බැමි කොන්ක්‍රීට් නිසා වැටුණු කෙනෙකුට ගොඩ එන්නත් හරිම අසීරුයි. ගොඩ එනකොට කුණු පෙවිලා බාගෙට මැරිලා. නැති නම් වෛද්‍යවරුන්ටත් හොයාගන්න බැරි ලෙඩක් ඇඟට ඇතුළුවෙලා. ඒ තරම් මේ ඇළ කුණු ජරාවක්…” නෙළුම් කලුන යට නොදකින පැත්ත විවර කිරීමට අපට මඟපෙන්වන්නෙක් වී සිටින සුනිල් මහතා එසේ කියනවිට කමල් බෝගොඩ විවිධ කෝණයන් ඔස්සේ කුණු ඇළ කැමරා කාචයේ හසු කර ගන්නා අයුරු මම දුටිමි. එහෙත් තවත් ඇළ අසළ රැඳීමට නොහැක. කුණු දියෙන් උපදින දුඟදට ඉහ මොළ රත් වී තෝන්තු වෙන තරම්ය.

පෙට්ටි කඩය අසළින් වමට හැරුණු අපි කොන්ක්‍රීට් මාර්ගය ඔස්සේ වත්ත තුළට ගමන් කළෙමු. එම මාර්ගයේ වම් පැත්තෙ, කොන්ක්‍රීට් වත්තේ ඉදිරිපස ඈතට විහිදෙන උස මහා තාප්පයකින් වෙන් කර ඇත. කොන්ක්‍රීට් මාර්ගයේ දකුණු පස දිගට යාව පිහිටි නිවාස ගොඩකි. සෙමෙන් ඉදිරියට ගිය අපි වත්තේ පොදු වැසිකිළි පේළිය අසළ නතර වීමු. වැසිකිළි පේළියම ජරාජීර්ණ වී ඇති සැටි පෙනේ. වැසිකිළි පේළියට ඉහළින් කොන්ක්‍රීට් තට්ටුවක් මත අලුතින් කාමර කෑල්ලක් ඉදිකරන අයුරු ද පෙනේ. සිමෙන්ති
ගඩොලෙන් බැඳ ඇති ඒ කාමර කෑල්ල අනවසර ඉදිකිරීමකි. ඒ ගැන සොයාබලා නීතිය ක්‍රියාත්මක කරවීම කොළඹ නගර සභාවේ වගකීමකි.

වැසිකිළි පේළිය අසළ කාමරයක් ඉදිරිපිට දර ලිප කමල් ඡායාරූපගත කරන මොහොතේ මගේ දෙනෙත් දසත විපරම් කළේය. වැසිකිළි පේළියට ඉදිරිපිට පුංචි කාමරයක උළුවස්ස මත සිටගෙන අප දෙසට අත වනන දැරිවියක් අසල දුවන දෙනෙත් නතර විය. අප සිටි තැන සිට පියවර කිහිපයකි. ඇය අසල දෙපා ද නතර විය.

කොන්ක්‍රීට් වත්තක තැම්බෙන පරම්පරා හතරක්…

‘කොහොමද දුව…’ මම ඇයට ළං වෙමි.

යාන්තමට දොර රෙද්ද ඈත් කර මුහුණ පමණක් එළියට දමා සිටින ඇයගෙන් ප්‍රතිචාරයක් නොලැබිණි. එහෙත් මගේ කටහඬට වැඩිහිටි කාන්තාවක් දොර රෙද්ද තරමක් ඈත් කළාය.

‘දුවට කතා කරන්න බෑ. උපතින්ම ගොළුයි. දැන් අවුරුදු දාහතරක් වෙනවා. මේ දෙන්නා නිවුන්නු…” සිමෙන්ති පොළොවේ එරමිණියා ගොතාගෙන රූපවාහිනිය නරඹමින් සිටි තවත් දැරිවියක් පෙන්නා ඇය එසේ කීවාය. ඒ අසලම කුඩා මෙට්ටයක් මත දිගා වී තවත් දැරිවියක් රූපවාහිනියේ විකාශනය වන දෙමළ චිත්‍රපටයක් නරඹති. ඒ අසලම මක්‍ද්fක්‍දාක්කා අලයක් සහ කපා ගත් අල කෑලි කිහිපයක් ඇතිළියක තිබේ.

“දවල්ට මක්‍ද්fක්‍දාක්ක ටිකක් තම්බන්න හැදුවේ…” මක්‍ද්fක්‍දාක්කා අල අසල අපේ දෑස් නතර වී සිටින අයුරු දැක ඇය එසේ කීවාය. ඒ වචන දෙසවනේ රැඳෙන විට මගේ දෑස් අත බැඳි ඔරලෝසුව දෙස බැලිනි. වේලාව සවස 3.00 ය.

‘මක්‍ද්fක්‍දාක්කා තම්බන්නෙ හවසට කන්නද…’ නිරායාසයෙන්ම මගේ මුවින් එසේ පැනයක් යොමු විය.

“නෑ… දවල්ට කන්න. උයාගන්න ගෑස් නෑ. ලාම්පුතෙල් නෑ. වැඩිපුර හදන්නෙ රයිස් කුකර් එකේ තම්බන්න පුළුවන් කෑම ජාති විතරයි…” මගේ දෑස් නළල් තලයේ නතර විය. අප අතර නිහඬතාවය රජයන්න විය.

“අපි මේ ගෙදර ඉන්නෙ කුලියට. මාසෙකට රුපියල් දහදාහක් දෙන්න ඕනෑ. අවුරුදු පහළොවක් තිස්සේ කුලියට ජීවත් වෙන්නෙ..” කාමරය තුළ තවත් හොඳින් අපට දැක බලාගැනීමට ඇය දොර රෙද්ද සම්පූර්ණයෙන්ම ඈත් කළාය. අඩි දහයයි දහයේ කාමරයකි. පුංචි මුළුතැන් ගෙයක් සහ ඊට යාව වැසිකිළියක් තිබේ. නිදාගැනීමට, ඇඳන්, අසුන් ගැනීමට පුටු ඒ නිවස තුළ නැත.

“අපි පස්දෙනාම නිදාගන්නෙ මෙතැන. දැන් දුවලා ලොකු නිසා පස්දෙනෙකුට නිදාගන්නත් අමාරුයි. ඒත් ඉතිං මොනව කරන්නද? මේ වත්තේ සෑම ගෙයක්ම එක කෑල්ලයි. නිදන කාමර, මුළුතැන් ගෙවල් වෙනම නෑ. සමහර ගෙවල්වල ජීවත්වන සියලුම දෙනාට නිදාගන්න කාමර කෑල්ල මදි…” හේ රිම්ෂාය. වයස අවුරුදු 40 කි. ඇයගේ සැමියා නාට්ටාමි රස්සාව කරන්නෙකි. ඔහුට වයස අවුරුදු 41 කි. ආබාධිත දියණිය හැර අනෙක් දියණියන් දෙදෙනාම පාසල් අධ්‍යාපනය ලබන බවද, ගෙවල් කුලී ගෙවාගෙන පස්දෙනකුට ජීවත්වීමට සැමියා බර උස්සා උපයන සොච්චම ප්‍රමාණවත් නැති බව ද රිම්ෂා අප සමඟ පැවසුවාය. කඳුළු ජීවිත ගැන රිම්ෂා තවත් බොහෝ දේ අප සමඟ පැවසුවාය. එහෙත් එවැනි දිළිඳු පවුල් කොන්ක්‍රීට් වත්තේ තවත් බොහෝ ජීවත්වන බැවින් රිම්ෂලා ජීවත්වන කුලී කාමරය අසළින් අපි වත්ත ඇතුළටම ගමන් කළෙමු.

පෙනෙන ආකාරයට කොන්ක්‍රීට් වත්ත තීරුවකි. භූමි ප්‍රමාණය අක්කර එකහමාරකට වැඩි නැත. නිවාස හතළිස් ගාණක් තුළ පවුල් හැටකට ආසන්න සංඛ්‍යාවක් ජීවත්වන බව ප්‍රදේශවාසීන්ගේ අදහසය. පාසල් යන දරු, දැරියන් තිහකට ආසන්නය. එමෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජාතීන් සහෝදරත්වයෙන් ජීවත්වන බව ද එගම්වාසීහු සතුටින් කීහ. රජයේ රැකියා කරන අය මෙන්ම පෞද්ගලික ආයතනවල රැකියා කරන කිහිපදෙනෙක් හැරුණුකොට බහුතරය ජීවත් වනුයේ කුලී රස්සාවෙනි. මත්වතුර, මත්ද්‍රව්‍ය අඩුවක් නැති කොන්ක්‍රීට් වත්තේ තරුණ, වැඩිහිටි, මහලු පිරිමි සූර් වෙන්න මත් දියේ නාන බවද ඇතැම්හු මත්ද්‍රව්‍ය පාවිච්චි කර තැන, තැන මඟ දිගට තියෙන බංකු මත ගල් වී සිටින බව ද ප්‍රදේශවාසීයෙක් අපට කීවේය. රණ්ඩු සරුවල් අඩුවක් නැති කොන්ක්‍රීට් වත්ත පොලිසියට ද ආගන්තුක තැනක් නොවන බව වාර්තා වේ. වත්තේ තතු විමසමින් ඉදිරියට යන අපට වියපත් මිනිසෙක් හමු විය. කළු, මිටි, තරබාරු ඔහු පාර අද්දර බංකුවක් මත හිඳගෙන සිටියේය.

‘අද වැඩ නැද්ද…’ ඔහුව හොඳින් දැන හඳුනන අපගේ ගමන් සගයා සුනිල් ඔහු සමඟ කතාවට වැටිණි. හේ සන්දන් රාජ්ය. වයස අවුරුදු පනස් හතකි.

කොන්ක්‍රීට් වත්තක තැම්බෙන පරම්පරා හතරක්…

“මේ වත්තට කොන්ක්‍රීට් වත්ත කියන්නෙ ඇයි…” දෙදෙනාගේ කතාවට මම බාධා කළේය.

“මේ සම්පූර්ණ ඉඩම පාරුක් කියලා මහත්තයෙක්ගේ. ඉස්සර මේ වත්තේ විශාල කොන්ක්‍රීට් වැඩපළක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි කොන්ක්‍රීට් වත්ත කියලා නම පටබැඳිලා තියෙන්නෙ. පස්සෙ වත්ත කෑලි, කෑලිවලට විකුණලා. ටිකක් මිනිස්සුන්ට පදිංචි වෙන්න දුන්නා. එහෙම පදිංචි වෙච්ච අයගේ පවුල් ලොකු වෙලා පොඩි, පොඩියට කාමර කෑලි හදාගෙන ජීවත් වුණා. දැන් වත්ත මහා විශාලයි…”

“මේ මගේ උපන්ගම. තරුණ කාලෙ ඉඳලා කාලේ තැඹිලි විකිණීම. තැඹිලි වලු ගස්වලින් කපාගෙන ගෙනත් දෙමටගොඩ හන්දියෙ තියාගෙන බිස්නස් කළා. තැඹිලි ඇද්දෙ විල්බැරෝවේ. දැන් ගස් බඩ ගාන්න බෑ. කොලොස්ටරෝල්, දියවැඩියාව, පෙෂර් තුනම තියෙනවා. මේ වත්තේ අවුරුදු හතළිහට වැඩි හුඟ දෙනෙකුට ඔය ලෙඩ තුනම තියෙනවා. හරියට වසංගතයක් වගෙයි. දැනුත් මගේ වයිෆ් ඉස්පිරිතාලේ ක්ලිනික් එකට ගිහින්…” සන්දන් රාජ් වත්තෙ මිනිසුන්ගේ ලෙඩ ගැන කතා කරන විට වත්ත මැද තෙමහල් නිවසක් මගේ නෙත ගැටිණි. ඒ නිවසෙ බිත්ති දිගේ මල් වැල් එල්ලෙති. තෙවැනි මහලේ සරුවට හැදෙන පලතුරු පැළත් පෙනේ. පල පිරුණු මිරිස් ගස් ද පෙනේ. කොන්ක්‍රීට් වනාන්තරයක සරුවට හැදෙන ගහ කොළ දැකීම නෙතට රසදුනකි. එහෙයින් අපි එම නිවස සොයාගෙන වත්ත ඇතුළට ඇවිද ගියෙමු. වත්ත තුළට ගමන් කරන පාර අඩි දෙකකට වඩා පළල නැත. එක පැත්තක් මහා විශාල තාප්පයකට මායිම් වී ඇත. කොන්ක්‍රීට් වත්ත පැති තුනකින් මහා විශාල තාප්පවලින් වට වී ඇත. පෙනෙන ආකාරයට හිරගෙයක් වැනිය. නිවාස සිරිමැදිය වැනිය. වෙනසකට ඇත්තේ යකඩ කූරු සහිත යකඩ දොරවල් නොමැතිවීම පමණි. එහෙත් තෙමහල් නිවස මෙන්ම ඊට යාබද නිවාස දෙකක් විසල් යකඩ දොරවල්වලින් වසා තිබිණි. අපි පටු පාර මැද නතර වීමු. සුනිල් තෙමහල් නිවසෙ යකඩ දොරට තට්ටු කළේය.

හාන්සි පුටුවක් මත සැපට හිඳගෙන සිටි හැදි දැඩි පුරුෂයෙක් යකඩ දොර විවර කරගෙන අප ඉදිරියට පැමිණියේය. ඔහු සමඟ ප්‍රථමයෙන් කතාබහට වැටුණේ සුනිල්ය. හේ සරත්ය. වයස අවුරුදු හැටපහකි. ෆොන්ටේරා ආයතනයේ සේවය කර දැන් විශ්‍රාම සුවයෙන් කාලය ගත කරන හේ දෙදරු පියෙකි. පුතා තවම අධ්‍යාපනය ලබන අතර දියණිය විවාහ වී සිටින්නීය.

“ලැබිලා තියෙන විදිහට ලස්සනට ජීවත් වෙනවා. සම්පූර්ණ ගෙයි දිග අඩි විසිපහට අඩුයි. යටම තට්ටුවේ පුංචි සාලයක් එක්ක චූටි කුස්සියක් තියෙනවා. දෙවැනි, තෙවැනි තට්ටුවල නිදන කාමර දෙකක් තියෙනවා. බැල්කෙනි කෑලිවල, බිත්ති වටේට මල්, පලතුරු, එළවළු ගස්, වැල් පෝච්චිවල හිටවලා තියෙනවා. උඩම තට්ටුවේ දෙලුම් ගස්වල පුංචි ගෙඩිත් තියෙනවා. අනෝදා, ඇඹරැල්ලා, ඒවට වතුර දාලා සාත්තු කරනකොට දවස ගෙවෙනවා තේරෙන්නෙ නෑ…”

හිර වෙච්ච වතුවලින් ඈත් වෙලා නිදහසේ ජීවත් වෙන්න අදහසක් නැද්ද? මම ඔහුට පැනයක් යොමු කළෙමි.

“මේ මම උපන් ගෙදර. මවුපියන්ගෙන් ලැබුණු දේපළ. දැන් අපි මේ ජීවිතවලට හුරුවෙලා ඉන්නෙ. දරුවො දෙන්නත් මේ ජීවිතේට හුරුවෙලා. අතපය දිගහැරලා ජීවත් වෙන්න ඉඩකඩ නැති වුණාට මීටර් පනහක් දුරින් ප්‍රධාන පාර. සුපිරි වෙළෙඳසල්. රෝහල්. ජනප්‍රිය පාසල්. සියලු පහසුකම් අත ළඟ…” සරත්ගේ නිවස ඉදිරිපිට විසල් තාප්පයේ එල්ලුණු කුඩා ඉටි පෝච්චිවල මෑ කරල්, මිරිස් මෙන්ම තාප්පය දිගට පැෂන් වැලක් ද සරුවට හැදෙමින් තිබේ. එකට යාව, පෙළට පිහිටි සෑම නිවාසයක් ඉදිරිපිටම මිරිස්, එළවළු වගා කර තිබීම විශේෂත්වයකි. එමෙන්ම කොස්ඇට බැද දෙමටගොඩ හන්දියේ වෙළෙඳාම් කරන ව්‍යාපාරිකයෙක් ද කොන්ක්‍රීට් වත්තේදී අපට හමු විය. හේ කමල්ය. වයස අවුරුදු හතළිස් අටකි. දියණියන් දෙදෙනෙකුගේ පියෙකි. බිරිඳ සමඟ එකතුව ඔහු කවුරුත් නොකර වෙළෙඳාමක් කරගෙන යන්නේය.

“හොඳට බිස්නස් තියෙනවා. හැමදාම කිලෝ පහ, හයක කොස්ඇට බිස්නස් කරනවා. ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න කොස්ඇට බදින්න, ගබඩා කරලා තියාගන්න ඉඩ පහසුකම් නෑ. අපි වඩේත් බදිනවා. දැන් නම් කොච්චර බිස්නස් තිබුණත් මිරිස්, තුනපහ, ගෑස්, පොල්කටුවලට යන වියදම වැඩියි. ඒ නිසා අතට ඉතිරි වෙන්නෙ සොච්චමයි. ගෑස් නැතිව තිබුණු කාලෙ පොල්කටු අඟුරු ලිපක් හදාගෙන ඒකෙ තමයි කොස්ඇට, වඩේ බැදගත්තේ. ඊයේ තමයි ගෑස් එකක් ගත්තෙ…” කොස්ඇට බේසම් දෙක තැබූ විට කමල්ගේ කාමර කෑල්ල ඇහිරී ගොස්ය. ඔහු සමඟ අප කතා කළේ එළිපත්තේ ඉඳගෙනය. යහමින් ඉඩකඩ ඇත්නම් ව්‍යාපාරය තවත් දියුණු කරගන්නා බව ඔහුගේ වචනවල ගැබ් වී තිබිණි.

කමල් මෙන්ම ස්වයං රැකියාවක් කරගෙන යන තවත් කාන්තාවක් අසල නිවසක සිටින්නීය. ඇය කුසුමලතාය. වයස අවුරුදු හැටතුනකි. අවිවාහකය. ජීවත්වීම සඳහා ඇඳුම් මසන්නීය. බෝනික්කො හදන්නීය. පුංචි කාමරය තුළ අලංකාර බෝනික්කො කිහිපදෙනෙක්ම තබා තිබෙන අයුරු දැක එකක් මම අතට ගත්තෙමි.

මේ ටෙඩි බෙයාර් කීයද? පොලිතින්වලින් ආවරණය කරන ලද ටෙඩියෙක් පෙන්නා මම ඇසුවෙමි.

“450 යි. මෝස්තරය දීලා කවුරුහරි කිව්වොත් හදලා දෙන්න කියලා, හදලා දෙනවා. ඒ හැර මහ ලොකු බිස්නස් එකක් නෑ. මේ ගෙවල්වල විසිතුරු භාණ්ඩ තියන්න තියා ගෙදර සාමාජිකයන්ට ජීවත් වෙන්නත් මදි. අපිට ඕඩර් අරගෙන පිට මිනිස්සු මේ වතුවලට එන්නෙත් නෑ…” ඇයගේ මුව ද මැෂිමක් වැනිය. එක පිට එක වචන ගලන්නීය.

මේ වත්තේ කෙනෙක් මිය ගියවිට ගෙදරට ගේනවද? මම කතාව වෙනතකට යොමු කළෙමි.

“ගොඩක්ම අය ගෙවල්වලට ගේනවා. සමහර අය මල්ශාලාවල තියලා අවසන් කටයුතු කරනවා…” කුසුමලතා සමඟ කතාබහ කරමින් සිටින විට ඇඟ පුරා පච්ච ගැසූ කෙනෙක් අප අසලට පැමිණියේය. පපුවේ ‘රාජා’ එක අතක ‘මුරුගේස් අයියා’ අනෙක් අතේ තවත් පොඩි පච්චයකි. හැඩිදැඩි සිරුරේ පච්ච හොඳින් දිස් වී පෙනේ.

නම රාජා ද?

කොන්ක්‍රීට් වත්තක තැම්බෙන පරම්පරා හතරක්…

“නෑ… පපුවේ කොටලා තියෙන්නෙ පුතාගේ නම. අතේ කොටලා තියෙන්නෙ අයියගේ නම.

ජොබ් එකක් කරනවද?

“ඔව්… කර ගහන රස්සාව. ඒත් දැන් කරන්න බෑ. සුසුම්නාවේ ඕපරේෂන් එකක් කරලා ඉන්නෙ. දැන් මාව ජීවත් කරවන්නෙත් නෝනා. එයා පිරිසිදු කරන්නීයක්…” කතා සාගරය මැදින් කොන්ක්‍රීට් පාර දිගේ ඉදිරියට ඇවිද යන අපට පුංචි කොලු පැටියෙක් මුණගැසිණි.

පුතාගේ නම මොකක්ද?

“අභිෂේක්…” උස් පිළිතුරකි.

ඉස්කෝලෙ යනවා නේද?

“ඔව්… විපුලානන්ද විද්‍යාලයේ. 7 වසර පන්තියේ ඉගෙනගන්නෙ…” කටකාර අභිෂේක් ප්‍රශ්න අහන සුනංගුවට පිළිතුරු දෙන්නේය.

ඉස්කෝලෙදී මොනවද කරන ක්‍රීඩා…?

“මම කැමති ෆුට් බෝල් සෙල්ලම් කරන්න. අපි හවසට පිට්ටනියේ ෆුට් බෝල් සෙල්ලම් කරනවා…” අභිෂේක් පවුලේ බඩපිස්සාය. ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙකි. ඔහුගේ මව පෝලීයෝ රෝගයෙන් පීඩා විඳින්නීය.

කොන්ක්‍රීට් වත්තේ විඳවන මිනිසුන්ගේ දුක්ගැනවිලි එමටය. කතා කර ඉවර කළ නොහැකි තරම්ය. එහෙයින් අපි කොන්ක්‍රීට් වත්ත පසු කරගෙන කොන්ක්‍රිට් පාර දිගේ ඇවිදගෙන ඉදිරියට පැමිණ පරිප්පු වත්තේ නතර වීමු.

ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment