සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡා සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රධාන කොන්දේසි දෙකක් හේතුවෙන් ඉදිරියට පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
ජනාධිපතිවරණයෙන් පසුව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීම සඳහා සමගි ජනබලවේගය සමග සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්ම මහත්මීන් ඇතුළු නියෝජිත පිරිසක් නම් කරනු ලැබූහ.
මෙම කණ්ඩායම දැනට සජබ නියෝජිතයන් සමග සාකච්ඡා වට අටක් පමණ පවත්වා තිබෙන අතර එම සාකච්ඡාවලදී සජබ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු ප්‍රධාන කරුණු දෙකක් සාකච්ඡා ඉදිරියට ගෙන යෑම අසීරු කිරීමට හේතු වී ඇත.
ඉන් එක් ප්‍රධාන කාරණයක් වන්නේ සජබ ලකුණ වන ටෙලිෆෝනයෙන් ඉදිරි මැතිවරණවලට තරග කළ යුතු බවට ඉදිරිපත් වූ කොන්දේසියයි.
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව සන්ධානය තුළ නොසිටිය යුතු බවට සජබ පාර්ශ්වයෙන් කෙරුණු ඉල්ලීම ද සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට බලවත් බාධකයක් වී තිබේ.
පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ඡන්දවලින් බහුතරය පෞද්ගලිකවම ඔහුට ලැබුණු ඡන්ද ලෙස සැලකෙන බැවින් හිටපු ජනාධිපතිවරයා නැති දේශපාලන සන්ධානයකට කිසි ලෙසකින්වත් එකඟ වීමට නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ මතය වී තිබේ. වසර දෙකක් තුළ රටේ ආර්ථිකය ගොඩගනිමින් පරිණත දේශපාලන නායකත්වයක් පෙන්වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ සහාය ඉදිරි දේශපාලන කටයුතුවලදී අනිවාර්යයෙන්ම යොදාගත යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජිත පිරිස සජබ පාර්ශ්වයට සෘජුවම දැනුම් දී තිබේ.
සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති තවත් කොන්දේසියක් වන්නේ නව සන්ධානයේ නායකත්වය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පිරිනැමිය යුතු බවය. එම යෝජනාවට ද එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ගේ බලවත් විරෝධය එල්ල වී තිබේ.
ඇතිවී තිබෙන වාතාවරණය අනුව සජබ සහ එජාපය ඒකාබද්ධ වී නව පුළුල් දේශපාලන සන්ධානයක් ඇති කිරීමට ගෙන යන සාකච්ඡා තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි පසුබිමක් නිර්මාණය වී ඇතැයි එජාප ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.
නායකත්වය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් මේ වන විට පැන නොනැගී ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තොර නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම කිසිදු ප්‍රයෝජනයක් නැති කටයුත්තක් බව එජාප ජ්‍යෙෂ්ඨයා වැඩිදුරටත් සඳහන් කළේය.
චමින්ද සිල්වා