සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය
අඩුකරන ලද නව බස් ගාස්තු ලේඛනය ප්‍රදර්ශනය නොකර මගී ජනතාවගෙන් හිතූ හිතූ ගමන් ගාස්තු අය කරමින් බොහෝ බස්රථ කොන්දොස්තරවරුන් මගී ජනතාව දැඩි ලෙස පීඩාවට පත්කරන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා ‘දිවයින’ට ඊයේ (29 දා) පැවසීය.
නව බස් ගාස්තු ලේඛනය බස්රථ තුළ ප්‍රදර්ශනය නොකරන බස්රථ සේවකයන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග නොගැනීම ගැන බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට තම අප්‍රසාදය පළ කර සිටින බවද හෙතෙම කීය.
ඩීසල් මිල අඩුවීම අනුව බස් ගාස්තුව අඩු කළද බොහෝ පෞද්ගලික බස්රථවල එම බස් ගාස්තු අඩුවීමේ වාසිය ලබානොදෙන බවට ලංකාවේ හතරදිග් භාගයේම සිටින මගී ජනතාව දැනුම් දුන් බවද හේ සඳහන් කළේය.
විශේෂයෙන් රුපියල් 40කට පැවැති අවම බස් ගාස්තුව රුපියල් 2.00කින් අඩු වුවත් එම ගාස්තු අඩු නොකර බොහෝ කොන්දොස්තරවරුන් රුපියල් 40ම අයකරන බවද ඔහු චෝදනා කෙළේය.
අප මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.
බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධ ලේඛනය මගීන්ගේ දැන ගැනීමට බස්රථ තුළ ප්‍රදර්ශනය කිරීම අනිවාර්යයි. කව්රුහරි එහෙම ප්‍රදර්ශනය කරලා නැත්නම් 0112-860860ට පැමිණිලි කරන්න. මේ දවස්වල ඉන්ධන අර්බුදය නිසා මාර්ග පරීක්‍ෂකවරුන් ලංගම ඩිපෝ අසල පෞද්ගලික බස්රථවලට තෙල් ගහන තැන්වලට ගිහින් එතැන සිදුවෙන වැරදි සොයන්න. කොහොමත් මේ නව බස් ගාස්තු සංශෝධනය බස් රථවල අලවා නැත්නම් ඒ ගැන හොයන්න අගෝස්තු 01 වැනිදා ඉඳලා මාර්ග පරීක්‍ෂකවරුන් යොදවනවා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්