කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුව මේ වෙලාවේ වැඩ කළ යුතුයි…පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක

204

කොතලාවල පනත කල් දාපු එක වැරදියි

කතාකළ යුතු අය කට හොල්ලන්නෙ නෑ..!

ප‍්‍රශ්නය – කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා එම පනත, එහි වලංගුභාවය මෙන්ම ඉතිහාසය ගැන ඔබ තරම් හොඳට දන්න කෙනෙක් මේ ආණ්ඩුව ඇතුළේ තවත් නැහැ. හැබැයි ඔබ වන් අය දැන් මේ ගැන කතාවක් වත් නෑ..?

පිළිතුර – ඔබ මේ ප‍්‍රස්තුතය මේ විදියට මතු කරපු එකට මම කැමතියි. අර මොකද මම කතා කරන්නේ නැත්තෙ මට ඊට අවස්ථාවක් ලැබුණේ නැති නිසා මිස කතා කරන්න බැරි නිසා නෙවෙයි. මම පහුගිය විවාදයේ දී කතා කරන්න වෙලාවක් ඉල්ලූවා. මට විනාඩි 8ක් දුන්නා. එතනදී මම උපරිමයෙන් කතා කළා. හැබැයි ඉතින් ඒක නෙවෙයිනේ මෙතන තියෙන ප‍්‍රශ්නේ…

ප‍්‍රශ්නය – එහෙනම් මොකක්ද මෙතන තියන ප‍්‍රශ්නේ..?

පිළිතුර – මේක ගැන මේ වෙලාවේ කතා කළ යුතු අය මේ ආණ්ඩුවේ ඉන්නවා. ඒ අය කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නෑ නේ. කවුරුවත් මේ ගැන හරි උත්තරයක් දෙන්නෙ නෑ. ඒ විතරක් නෙවෙයි. අධ්‍යාපන බලධාරීන් කිසිම කෙනෙක් මෙතන තියෙන ප‍්‍රශ්නය හරි හැටි තේරුම් අරන් වැඩ කරන බවක් පේන්නේ නෑ… මම කියන්නේ ආණ්ඩුව මේ පනත කල් දාපු එක වැරදියි. ආණ්ඩුව මේකෙදී පස්ස ගහන්න ඕනේ නෑ. කොන්ද කෙලින් තියාගෙන ආණ්ඩුව මේ වෙලාවේ වැඩ කළ යුතුයි. මේ වෙලාවේ පසු බහින්න කිසිම හේතුවක් නෑ.

ප‍්‍රශ්නය – නමුත් ආණ්ඩුව පනත හකුළා ගත්තා නේ… ඇයි එහෙම වුණේ උද්ඝෝෂණවලට බය වුණා වත්ද..?

පිළිතුර – මම කියන්නම්. මේක ආරක්ෂක විශ්වවිද්‍යාලයක් විදිහට පටන් ගත්තේ අසූ එකේ දී ජේ. ආර්.ගේ කාලේ. අසූ අටේ දී මේක විශ්වවිද්‍යාලයක් කළා. මම උසස් අධ්‍යාපන ඇමැති වෙලා ඉඳිද්දී මෙතන වෛද්‍ය පීඨයක් පටන් ගත්තා. ඒකට වෛද්‍යවරු විරුද්ධ වුණා. වෛද්‍ය සභාවත් විරුද්ධ වුණා. අපි ඔවුන් එක්ක කතා බහ කළා. විශේෂයෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇවිල්ල ප‍්‍රශ්නය හොඳින් අවබෝධ කරන් කතා කළා. අපි දෙගොල්ලන්ට එකඟ වෙන්න බැරි තැන් අපි පනත ඇතුලෙ වෙනස් කළා. එහෙම කරලා තමයි එතෙන්ට අනුමැතිය ගත්තේ. පනත සංශෝධනය කරලා වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තා.

ප‍්‍රශ්නය – හරි ඉතින්… වෛද්‍ය විද්‍යාලයකුත් තියෙනවා. දැන් මේ කොරෝනා කලබල අස්සේ, රටේ අවුල් වියවුල් අතරේ මේ වගේ පනතක් ගෙනල්ලා අනවශ්‍ය ගාලගෝට්ටියක්, අනවශ්‍ය හිරිහැරයක් ජනතාව මත පැටෙව්වා කියලා හිතෙන්නේ නැද්ද..?

පිළිතුර – නෑ නෑ… මෙතන ඇති ගාලගෝට්ටියක් නෑ. හරි කෙනෙක් හරි වෙලාවේ හරි උත්තරයක් දෙන්නෙ නැති නිසානේ මේ ප‍්‍රශ්නේ මතු වෙලා තියෙන්නේ. මෙතන කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මේ පනත ගෙනල්ලා ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ මූලිකම කාරණා දෙකයි. ඔය මූලික කාරණා දෙක විතරමයි. ඔය අනිත් විරෝධතා එල්ල වෙන කරුණු තියෙනවා නේද…? ඒ කාරණා එකකටවත් කිසිම පදනමක් නෑ. ඒ මොකද ඒ සමහරක් ඒවා සාවද්‍ය චෝදනා. තවත් සමහර චෝදනා තියෙනවා ඒව දැනටමත් කෙරෙනවා.

ප‍්‍රශ්නය – මොනවද දැනටමත් කෙරෙන්නේ..?

පිළිතුර – ඊට කලින් මම පැහැදිලි කරන්නම් කෝ මේ පනතෙන් බලාපොරොත්තු වන මූලික කාරණා දෙක මොනවද කියලා…

1976 දී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පනත ගෙනාවේ මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ. ඒ පනතේ වගන්තියක් තිබුන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පනතට, ඒ කිව්වේ යූ. ජී. සී. පනතට යටත් නොවන කිසිදු ආයතනයකට ‘‘විශ්වවිද්‍යාලය” කියන යෙදුම පාවිච්චි කරන්න බැහැ කියලා. ඒ වගන්තිය තවමත් තියෙනවා. නමුත් අද වන විට විශ්වවිද්‍යාලය කියන නම පාවිච්චි කරන ආයතන බර ගාණක් තියෙනවා.

සාගර විශ්වවිද්‍යාලය කියලා එකක් තියෙනවා. හරිත විශ්වවිද්‍යාලය කියලා තව එකක් තියෙනවා. පාලි හා බෞද්ධ විශ්විද්‍යාලය කියලා තවත් එකක් තියෙනවා. එන්. අයි. බී. එම්. එක තියෙනවා. මේ විදියට ආයතන පහළොවක් විතර අද රටේ තියනවා විශ්වවිද්‍යාලය කියලා නම පාවිච්චි කරන. අන්න ඒ අතරින් එකක් විතරයි මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියලා කියන්නේ.

ඉතින් මෙන්න මේ පනතෙන් වෙන පළමුවෙනි කාරණාව තමයි විශ්වවිද්‍යාලය කියන නම පාවිච්චි කිරීමේ අයිතිය පනතකින් කොතලාවල විශ්වවිද්‍යාලයට අරගන්න එක. දෙවෙනි එක තමයි විශ්වවිද්‍යාලයක් කියන නම පාවිච්චි කළාට විශ්වවිද්‍යාල පද්ධතියක තිබිය යුතු දැනට මේ කොතලාවල එක ඇතුලේ නොතිබෙන ආයතනික ව්‍යූහය සකස් කර ගැනීම…

ප‍්‍රශ්නය – ආයතනික ව්‍යුහය කියලා කිව්වේ…? හරියට පැහැදිලි වුණේ නෑ.

පිළිතුර – ඒ කිව්වේ විශ්වවිද්‍යාලයක ප‍්‍රතිපත්ති තීන්දු කරන මහාධිකාරී මණ්ඩලය කියලා එකක් තියෙනවා. මේ පනතෙන් ඒක හදනවා. අධ්‍යාපනය පිළිබඳ තීන්දු තීරණ ගන්න සෙනෙට් එකක් හදනවා. පීඨ පිළිබඳ තීන්දු ගන්න පීඨ මණ්ඩල හදනවා. දෙපාර්තමේන්තුවල වැඩ කරන්න දෙපාර්තමේන්තු කමිටු හදනවා.

බලන්න කොච්චර සරල ද කියලා. ඔන්න ඔය කාරණා දෙක විතරමයි මේ පනත මගින් කෙරෙන්නේ. වෙන ඔය කියන කිසිම බිබික්කමක් ඔය පනතින් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් එහෙව් එකේ මේක ජනතාවට තේරුම් බේරුම් කරලා දීලා මේක කරගන්න බැරිද. මොන එකකටද පස්ස ගැහුවේ.

ප‍්‍රශ්නය – පනත මගින් විශ්වවිද්‍යාලයක තියෙන ස්වාධීනත්ව බලය අරන් හොර රහසේ උපාධි දෙන ‘උපාධි කඩයක්‘ දායි කියලා තමයි චෝදනාව..?

පිළිතුර – ඒක කරනවා නම් ඉතින් දැනුත් කරන්න බැරියැ. මොකක්ද තියෙන බාධාව කියන්නකො. ඒකට ඔය පනතක් සම්මත කරගන්න ඕන නෑ. ඕවා බොරු චෝදනා.

අපි හොඳටම දන්නවා කොතලාවල එක දැනටත් ශිෂ්‍යයෝ ඇතුළත් කර ගන්නේ පුළුවන් තරම් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව දෙන සීමා මායිම් ඇතුලේ ඉඳගෙනයි. සාමාන්‍ය පෙළ හරියට නැති, උසස් පෙළ හරියට නැති කිසිම කෙනෙක් ඇතුළු කර ගන්නේ නැහැ. මෙම විශ්වවිද්‍යාල වලට ළමයි ඇතුල් කර ගන්නකොට අපේ රටේ ත‍්‍රිවිධ හමුදාවට හා පොලිසියට අවශ්‍ය වෛද්‍යවරු ටික ඉංජිනේරුවන් ටික හදාගන්න මූලිකත්වය දෙනවා තමයි. ඒ හැරුණාම මේකට අපි යම්කිසි ප‍්‍රමාණයක් සිවිල් දරුවෝ බඳව ගත්තා.

ප‍්‍රශ්නය – සිවිල් දරුවන් බඳවා ගැනීමේ දී අනුගමනය කරපු පදනම මොකක්ද..? ආරම්භයේ පටන්ම සිවිල් අය ගත්තද..?

පිළිතුර – මට ඇහුණා කවුදෝ කියනවා මුලදි ගත්තෙ නැහැ කියලා… ඒක වැරදියි.. අපි මුල පටන්ම සිවිල් දරුවො ගත්තා. උදාහරණයක් වශයෙන් සයිටම් එකට ප‍්‍රශ්නේ ආපු වෙලාවේ එතන හිටපු ළමයිනුත් අපි ඇතුළත් කළේ කොතලාවල එකටනේ. මෙතන ආරක්ෂක අංශවල ළමයිනුත් ඉන්නවා. සිවිල් ශිෂ්‍ය ශිෂ්‍යාවෝත් ඉන්නවා. ඒ වගේම විදේශීය ළමයිනුත් ඉන්නවා. විදේශීය ළමයි 200ක් විතර ඉන්නවා.

ප‍්‍රශ්නය – පනත සම්මත වුණොත් මෙහි ශාඛා රටපුරා හැදෙයි කියලත් විවේචනයක් තියෙන බව පේනවා..?

පිළිතුර – හදයි… ඔව් ඉතින් මොකද වෙන්නේ… ශාඛා හදන එක නරකද..? ශාඛා හදන්න ඔය පනතම ගේන්න ඕන නැහැ. දැනටමත් ඒ වැඬේ එන්. එස්. බී. එම්. එකටත් පුළුවන්. එන්. අයි. බී. එම්. එකටත් පුළුවන්. මාලබේ තියෙන ස්ලිට් එකටත් පුළුවන්. සාගර විශ්වවිද්‍යාලයටත් පුළුවන්. දළදා මාලිගාව යටතේ තියන සීබා එකටත් කරන්න පුළුවන්. ඉතිං කොතලාවල එකට විතරක් ඇයි බැරි. දැනටමත් ඒක කරන්න බැරි නෑ. මම උපාධි ප‍්‍රදානය කරන්න බලය දීපු පුද්ගලික විශ්වවිද්‍යාල 15 ට ම ශාඛා හදන්න පුළුවන්. මහා හොල්මන් තර්ක. ඒ ගොල්ලන්ගේ තව මොනාහරි තියෙනවද වෝදනා…

ප‍්‍රශ්නය – ඔව් තියනවා. විශ්වවිද්‍යාල පද්ධතියම මිලිටරිකරණය කරන්න ආණ්ඩුවට ලොකු සැලැස්මක් තියෙනවා කියලත් කියනවා..?

පිළිතුර – මිලිටරිකරණය නේද… මම දුක් වෙනවා ඔය තර්කය ගේන ආචාර්ය මහාචාර්යවරුන් ගැන. ඇත්තටම එතුමන්ලා පව්… ඔය කියන ගුරු මෑණිවරු පියවරු හරි පව්. මං ඒගොල්ලන්ගෙන් එකම එක ප‍්‍රශ්නයක් අහන්නම්. මට කියන්න බලන්න ලෝකයේ දියුණු වෙන හා දියුණු මොන රටේ ද ආරක්ෂක විශ්වවිද්‍යාලයක් නැත්තෙ කියලා.

ඇමෙරිකාව ගන්නකෝ. ලොකුම ආර්ථිකය තියෙන රටනේ. ගිය අවුරුද්දෙත් දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ටි‍්‍රලියන 20.7 යි. එහි ආරක්ෂක විශ්වවිද්‍යාල තුනක් තියෙනවා හමුදා තුනට. ලෝකයේ දියුණුම විශාලම විශ්වවිද්‍යාල තුනක්. ලොව තියන දියුණුම ගුවන් යානා තාක්ෂණ විශ්වවිද්‍යාලය වන එම්බ්‍රේඩින් විශ්වවිද්‍යාලය තියෙන්නෙ එහේ. ප‍්‍රාන්ත 15ක ශාඛා පහළොවක් තියෙනවා. ගුවන් හමුදාවටයි අයිති. ගුවන් හමුදාවට අවශ්‍ය ගුවන් කාර්මික විද්‍යාව හදාරන ඉංජිනේරුවන්ට අමතරව සිවිල් ශිෂ්‍යයන් හා විදේශීය ශිෂ්‍යයන් දහස් ගාණක් ඉන්නවා. ඉන්දියාවේ ශිෂ්‍යයෝ විතරක් හත් අටසීයක් ඉගෙනගන්නවා. ලංකාවේ සිටියොත් පස් හය දෙනෙක් ඉන්නවා.

එතකොට ඉන්දියාව ගන්නකෝ. ඉන්දියාවටත් ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයක් තියනවා. එහි ශාඛා කීපයකුත් තියෙනවා. 66% ක් විතර හමුදාවල අය ඉන්නේ. 33%ක් සිවිල්. 10% විතරම විදේශීය අය. එතකොට පකිස්ථානයේත් ඇමෙරිකාවේ වගේම තමයි. ආරක්ෂක විශ්වවිද්‍යාල තුනක්. කොහෙද නැත්තෙ කියන්නකො. චීනයේ තියෙනවා. එංගලන්තෙ තියනවා. සිංගප්පූරුව ගන්නකො නිදහස් රටක්නේ. සිංගප්පූරුවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සෑම සිංගප්පූරු පුරවැසියෙක්ම ශාරීරික දුබලතා නොමැතිනම් අනිවාර්යයෙන්ම වසර දෙකක හමුදා සේවයක් සම්පූර්ණ කළ යුතුමයි. එතකොට ජපානයේ… ජපානයෙ සීමාව වසරයි. ඒ කියන්නේ ඒ රටවල්වල විශ්වවිද්‍යාල අධ්‍යාපනය මිලිටරිකරණය වෙලා කියන එකද.

මම මගේ කාලේ ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් මේක අත්හදා බලන්න උත්සාහයක් ගත්තා. මසක නායකත්ව පුහුණුවක් දුන්නා. ඒකට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු හයක් දැම්මා. ලෝකය ගැන අවබෝධයක් ඇති ශිරාණි බණ්ඩාරනායක මැතිනිය ඒ නඩු හයම අල්ලලා විසි කරලා දැම්මා.

ප‍්‍රශ්නය – ඔය පනත ඔය විදියටම ගෙනාවා කියලා කියනවානේ යහපාලන ආණ්ඩුව. එදා විපක්ෂයේ හිටපු මේ පිලේ අය ඊට විරුද්ධ වුණාලූ. එදා විරුද්ධ වුණ ඔවුන් අද මේ පනත ගේනවා… මොකක්ද මේ විහිළුව..?

පිළිතුර – ඔය කියන කාරණාව ගැන මට නිච්චි නෑ. හැබැයි මට මෙහෙම අත්දැකීමක් තියෙනවා.

සයිටම් එක හෙවත් මාලඹේ වෛද්‍ය විද්‍යාලය පටන් ගත්තෙ මහින්ද ජනාධිපතිතුමාගේ කාලයේ මම අධ්‍යාපන ඇමැති වෙලා ඉන්නකොට. ඉතා හොඳින් ක‍්‍රියාත්මක වුණා. පළමු බැච් එක උපාධිය අරන් පිට වුණා. නමුත් එදා සිටි මෙඩිකල් කවුන්සිල් (medical council) එක ඒ උපාධිය පිළිගත්තෙ නෑ.

ඒ වුණාට මෙඩිකල් කවුන්සිලයේ තීන්දුව සෞඛ්‍ය ඇමැතිට පුළුවන්කම තිබුණා නිශේධනය කරන්න. එහෙම නිශේධනය කරපු සෞඛ්‍ය ඇමැතිවරු තමයි රේණුකා හේරත්, ඒ. සී. එස්. හමීඞ්, ෆවුසි කියල කියන්නේ. ඒ වෙනකොට රනිල් අගමැති. රාජිත සෞඛ්‍ය ඇමැති. ඇත්ත වශයෙන්ම රාජිත ඇමැතිතුමා මෙඩිකල් කවුන්සිලයේ තීන්දුව නිශේධනය කරන්න සූදානම් වුණා. ඒ වෙලාවේ ඒ වැඬේ කාලා දැම්මේ රනිල් වික‍්‍රමසිංහ.

රනිල් කිව්වා… රාජිත අපි ඔය වැඬේ ඇෙඟ් ගා ගන්න නරකයි. ඕක අපි උසාවියට භාර දෙමු කියලා. උසාවිය අවුරුදු ගාණක් නඩුව ඇද ඇද ඉන්න කොට එවකට විරුද්ධ පක්ෂයේ හිටපු අපේ අයත් සයිටම් එකට විරුද්ධ වුණා. සයිටම් එක ආරම්භ කළෙත් අපි. අන්තිමට විපක්ෂයේ ඉන්නකොට විරුද්ධ වුණා. ඕක ඉතින් දේශපාලනයේ හැටිනේ. ඒක නිසා ගිය ආණ්ඩුව කාලේ විරුද්ධ වෙලා මේ ආණ්ඩුව කාලේ එම පනත ගේනවයි කියන එක ගැන මම පුදුම වෙන්නේ නෑ.

හැබැයි මම එකක් කියන්න ඕන. සයිටම් එක කිසිම විටෙක විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ තීන්දුවලට පිටින් ශිෂ්‍යයෝ ගත්තෙ නෑ. ඒ කාලේ මුලතිව් කිලිනොච්චි වගේ දිස්ත‍්‍රික්කවලින් එස් තුනටත් ශිෂ්‍යයෝ මෙඩිකල් ගියා. හැබැයි සයිටම් එක අවම වශයෙන් සී දෙකක් බැලූවා.

ඉස්සර කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, මහනුවර වගේ පළාත් වල ඒ 3ක් අරගෙනත් මෙඩිකල් යන්න බැරුව හිටපු ළමයි තමයි සයිටම් ගියේ. ඉතින් ඒක අසාධාරණ ද. ඒ 3 අරගෙනත් යන්න බැරි ළමයින්ට සාධාරණයක් වීම කොච්චර දෙයක් ද. එබඳු අය සිය දෙනකුට මහින්ද මහත්තයා ශිෂ්‍යත්ව පවා එදා දුන්නා.

ප‍්‍රශ්නය – ඔච්චර සාධාරණ හේතු තියාගෙනත් පනත දිනන්න පුළුවන් වෙලා තිබියදීත් ඇයි මේක අකුල ගත්තේ… ගුරුවරුන්ගේ උද්ඝෝෂණයට වත් බය වුණාද..?

පිළිතුර – නෑ නෑ නෑ… ආණ්ඩුව ඔය එකකටවත් බය වුණා නෙවෙයි.. ඇත්තටම ආණ්ඩුවේ සමහර අය මේකෙ වටිනාකම තේරුම් ගත්තෙ නැහැ. ඒකයි වුණේ. ගුරුවරු වුණත් මේකේ වටිනාකම තේරුම් අරන් නෙවෙයිනේ මේක සටන් පාඨයක් කරගත්තෙ.

ගිහින් ගුරුවරුන්ගෙන් අහන්නකො ඇයි කොතලාවල එකෙන් උපාධි දෙනවට විරුද්ධ කියලා. එන්. එස්. බී. එම්. එකෙන් දෙනවා. එන්. අයි. බී. එම්. එකෙන් දෙනවා. ස්ලිට් එකෙන් උපාධි දෙනවා. ඒවත් රජයේ විශ්වවිද්‍යාල. ඇයි ඒවට කිසිම විරෝධයක් නොපෙන්නා මේ වෙලාවේ කොතලාවල පනතට විතරක් විරුද්ධ වුණේ කියලා අහන්නකෝ. අද ස්ලිට් එකේ විතරක් 14,000ක් ඉගෙන ගන්නවා. 600ක් විදේශීය ශිෂ්‍යයෝ. ඒකෙන් මහා විශාල මුදල් සම්භාරයක් පිටරට යන එක නතර කරනවා විතරක් නෙවෙයි. පිටරටිනුත් මහා විශාල මුදල් සම්භාරයක් රටට ගේනවා. ඕව රටේ මිනිස්සු දන්නෙත් නෑ. සමහර දේශපාලනඥයෝ දන්නෙත් නෑ. ඒකයි මේ වෙලා තියෙන්නේ.

සාකච්ඡා කළේ
බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment