කොම්පොස්ට් පොහොරක් විතරක් නොවේ… බෙහෙතක්…

332

* කොම්පෝස්ට් දියරයට දිලීර නාශක හැකියාවක් තිබෙනවා
 
 * ළපටි තක්කාලි පැළවල ප‍්‍රතිශක්තිය ඉහළට
 
 * ගොම පොහොර සමග සෑදූ කොම්පෝස්ට් වඩාත් හොඳයි
 
 මනා බෝග වර්ධනයක් සඳහා වූ පාංශු කාබනික ද්‍රව්‍ය ප‍්‍රතිශතය 5% ක් පමණ විය යුතු යැයි පර්යේෂණාත්මකව සොයාගෙන තිබේ. එහෙත් මේ වනවිට මෙරට බොහොමයක් ගොවිබිම්වල මෙය 0.5% ක් පමණ දක්වා පහළ බැස ඇති බව පස් පරීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. අවශ්‍ය ප‍්‍රමාණයට වඩා දසගුණයකින් පහළ බැසීම සුළුකොට තැකිය හැකි නොවන අතර එයට හේතු වූ කරුණු ගණනාවකි. අවිධිමත් පස පෙරළීම හා පාංශු සංරක්ෂණ ක‍්‍රමවේදයන් අතපසු කිරීම නිසා සිදුවූ සෝදාපාළුව ඒ අතරින් එකකි. තවතෙකක් වන්නේ කාබනික ද්‍රව්‍ය ටොන් 10 ක් වත් වසරකට වරක් හෙක්ටයාරයකට යොදන මෙන් කර ඇති නිර්දේශය ගොවීන් විසින් අමතක කිරීමයි. ඔවුන් වැඩි වැඩියෙන් රසායනික පොහොර වෙතට යොමුවීමත්, කාබනික ද්‍රව්‍ය සමග ගනුදෙනුව ශ‍්‍රමය හා කාලය වැයවෙන ව්‍යායාමයක් වීමත් නිසා මේ තත්ත්වය උදාවන්නට ඇත. කෙසේ නමුත් වර්තමාන වැඩසටහන් වලට අනුව රසායනික පොහොරවලින් බැහැරවීමටත්, කාබනික පොහොර වලට වැඩිපුර යොමුවීමටත් ගොවියාට සිදුවී තිබේ. වෙනදාට වඩා කොම්පෝස්ට් ගැන කතාකරනු ඇසෙන්නේ ඒ නිසාවෙනි. කොම්පෝස්ට් වශයෙන් අප හඳුන්වන්නේ අඩක් දිරවූ කාබනික ද්‍රව්‍යයන්ය. පසට යෙදූ පසු ජීර්ණයේ ඉතිරි කොටසත් සම්පූර්ණ වී ඒ මගින් ශාක වෙතට පෝෂණ පදාර්ථ නිකුත් කරනු ලබයි. මීට අමතරව කොම්පෝස්ට් පොහොර වල ඇති රෝග මර්දන හැකියාව ගැන කරන ලද පර්යේෂණාත්මක තහවුරු කිරීමක් ගැන අප මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. එය වඩාත් කාලෝචිත වන්නේ කෘෂිරසායනික ද්‍රව්‍ය භාවිතයටත් සීමා පැනවෙමින් තිබෙන නිසාය. ඇත්ත වශයෙන්ම මෙවන් පරිසර හිතකාමී විකල්ප වලට අප පුරුදු වන්නේ නම් අරමුණුගත ඉලක්කයන් කරා ළඟාවීම අපහසු වන්නේ නැත.

කොම්පොස්ට් පොහොරක් විතරක් නොවේ... බෙහෙතක්...


 
 තක්කාලි ගොවීනට මුහුණදීමට සිදුවෙන වගාවේ උපද්‍රව අතර අංගමාරය නමැති දිලීර රෝගය ප‍්‍රධාන තැනක් ගනී. අවස්ථා දෙකකදී තක්කාලි බෝගය මෙම රෝගයට හසුවන්නේය. ඒ පූර්ව අංගමාරය හා පශ්චම අංගමාරය යනුවෙනි. මේ ද්විත්වයම දිලීර රෝග වන අතර පූර්ව අංගමාරයේ ව්‍යාධිජනකයා වන්නේ ඕල්ටනේරියා සොලනයි (Alternaria solani) නමැති දිලීරයයි. මෙම රෝගී තත්ත්වය නිසා ශාකය නොමැරී තිබුණත් වර්ධනය දුර්වලවීමක් සිදුවෙන බැවින් අස්වැන්න අඩුවීමක් නම් සිදුවේ. රෝගය පස තුළින් හෝ රෝගකාරක සහිත බීජ හරහා පැමිණිය හැකිය. ආසාදිත ශාක අවශේෂයන් තුළ රෝගකාරක දිලීර කොටස් වසර තුනක් පමණ කාලයක් වුවත් නොනැසී තිබිය හැකි නිසා ඇතිවූ බරපතළ තත්ත්වය මත, වගාකරුවන් පෙරසිටම පුරුද්දක් ලෙස කරනු ලැබුවේ දිලීරනාශක භාවිතයෙන් මෙවැනි රෝග මර්දනය කිරීමයි. එසේ නමුත් කෘෂිරසායනික ද්‍රව්‍ය භාවිතයට වර්තමානයේ පනවා තිබෙන සීමා මායිම් නිසා ගොවීනට විකල්ප මර්දන පිළිවෙත් දැන හඳුනාගැනීමට අවශ්‍ය වී තිබේ. අනෙක් අතට රෝගකාරකයාගේ ප‍්‍රතිරෝධී දර්ශ බිහිවී, භාවිතයේ ඇති කෘෂිරසායන ද්‍රව්‍යයන් බල රහිත වී යෑම නිසා කෘෂිරසායනික ද්‍රව්‍ය භාවිතය තිරසාර විසඳුමක්ද නොවේ.

කොම්පොස්ට් පොහොරක් විතරක් නොවේ... බෙහෙතක්...

පරිසරයට රසායන ද්‍රව්‍ය නිදහස්වීම, ඉලක්කගත නොවන ජීවීන් විනාශවීම, ආහාරයත් සමග විෂ අවශේෂයන් මිනිසාගේ ශරීරයට ඇතුළුවීමේ හැකියාව යනාදිය මෙහි තවත් අතුරු හානිකර බලපෑම් කීපයකි. විකල්ප මර්දන පිළිවෙතක් සොයායෑමේදී පර්යේෂකයන් උපයෝගි කරගෙන ඇත්තේ කොම්පෝස්ට් පොහොර තුළ ඇති රෝග මර්දන හැකියාවයි. මේ මගින් රෝග මර්දනය කරනු ඇත්තේ බෝග ශාකයේ ස්වභාවික ප‍්‍රතිරෝධීතාව ඔසවා තැබීමෙන් නොහොත් පේ‍්‍රරණය කිරීමෙනි. අප අද දවසේ බහුලව කතාකරන ප‍්‍රතිශක්තිය යනුවෙන් හඳුන්වන්නේද මෙයමය. අතීතයේදී පවා කොම්පෝස්ට් හි ජලීය ද්‍රාවණයක් මේ සඳහා යොදාගෙන ඇති බවට සාක්ෂි තිබේ. මෙය පරීක්ෂා කිරීමට අවශ්‍ය විටදී නිරෝගී ශාකවලට කෘතිමව රෝග බෝකිරීමද සිදුකළ යුතුය. රෝගී තක්කාලි පත‍්‍ර අඹරා නිස්සාරකයක් ලබා ගනිමින්, පර්යේෂණයට අවශ්‍ය විටදී නිරෝගී පැළවලට රෝග බෝකිරීමට අවශ්‍යවෙන ද්‍රාවනය සාදාගෙන ඇත.
 
  කොම්පෝස්ට් හා ජලය 1:1 වශයෙන් මිශ‍්‍රකර හොඳින් කලතා, පොලිතීනයකින් භාජනය වසා සතියක් තබා, ද්‍රාවනය රෙදි කඩකින් පෙරාගෙන කොම්පෝස්ට් දියරය සාදාගනු ලැබේ. කුකුල් පොහොර පදනම් කොම්පෝස්ට් සහ ගොම පොහොර පදනම් කොම්පෝස්ට් වශයෙන් වර්ග දෙකකින් මෙම දියර පිළියෙල කරගත් බව පර්යේෂකයන් සඳහන් කර සිටී. එවැනිම තවත් දියර කට්ටලයක් සාදාගැනීමට භාවිතා කර ඇත්තේ ට‍්‍රයිකොඩර්මා විරිඬේ (Trichoderma viride) මුහුම එකතුකළ කොම්පෝස්ට් සාම්පලයකි. ට‍්‍රයිකොඩර්මා විරිඬේ යනු පාංශු දිලීරයක් වේ.
 
 කොම්පෝස්ට් හා ට‍්‍රයිකොඩර්මා මිශ‍්‍ර කිරීමෙන් පසු නියම තෙතමනය රැකෙන්නට ජලය දමා මාස දෙකක් පමණ කාලයක් දිලීර වර්ධනයට කාලය ලබාදෙමින්, කළු පොලිතීන් වලින් වසා බීජෞශනය කර, ඉහත සඳහන් කළ ආකාරයටම දියර සාදාගෙන ඇත.
 
 දැන් පර්යේෂණය සඳහා ද්‍රාවන වර්ග හතරක් තිබේ. ගොම/කොම්පෝස්ට්, කුකුළු පොහොර/කොම්පෝස්ට්, ට‍්‍රයිකොඩර්මා/ගොම/කොම්පෝස්ට් සහ ට‍්‍රයිකොඩර්මා/කුකුළු පොහොර/කොම්පෝස්ට් යනාදී වශයෙනි.
 
 ළපටි තක්කාලි ගස් සමූහයකට රෝගකාරක දිලීරයේ බීජානු බහුලව අන්තර්ගත ඉහත සඳහන් කළ ද්‍රාවණය ඉසීමෙන් එම ශාක රෝගයට නිරාවරණය කර ඇති අතර, ප‍්‍රතිකාර මෙහෙයුමද ඒ සමගම අරඹා තිබේ. එහිදී සිදුකර ඇත්තේ ඉහත සඳහන් ද්‍රාවන හතර වෙන වෙනම ශාක සමූහයන් වෙතට ‘ස්පේ‍්‍ර’ කිරීමයි. ලැබී ඇති ප‍්‍රතිඵල ආකාර්ෂණීය වේ. ඒ පිළිබඳව අදහස් දැක්වූයේ පර්යේෂණයේ ප‍්‍රධාන නියමුවා වූ දැනට කටුනායක ජාතික ශාක නිරෝධායන සේවයේ ප‍්‍රධානී අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික‍්‍රමආරච්චි ය.
 
 ”කුකුළු පොහොර පාදක කොම්පෝස්ට් දියරයට වඩා හොඳට ගොම පොහොර යොදා සෑදූ කොම්පෝස්ට් දියරයෙන් පූර්ව අංගමාරය පාලනය වුණා. මීටත් වඩා හොඳයි ට‍්‍රයිකොඩර්මා විරිඬේ (Trichoderma viride) මුහුම එකතුකර වඩාත් බලගැන්වූ කොම්පෝස්ට්. එයිනුත් ගොම-කොම්පෝස්ට් දියරය හා ට‍්‍රයිකොඩර්මා සහයෝගීතාවය වඩාත් ප‍්‍රබලයි. අන් ඒවාට සාපේක්ෂව 60% ක පමණ වැඩි පාලනයක් නිරීක්ෂණය වුණා. මෙම දියරය 1:1 පමණ තනුක කරලා වුණත් වගාවට යොදන්න පුළුවන්”
 
 අප පිවිසෙමින් සිටින්නේ රසායනික පොහොර, පළිබෝධනාශක ඇතුළු කෘෂිරසායන ද්‍රව්‍ය අතහරිනා යුගයකටය. එවන් ගොවිතැනක් වර්ණවත් කරන්නට සුදුසු අනාවරණයන් ගණනාවක් කෘෂි විද්වතුන් සතුව තිබේ. කඩිනමින් සමාජගත කළ යුතුවා පමණක් නොව ගොවි ක්ෂේත‍්‍රයේදී ප‍්‍රායෝගික අත්දැකීම් බවටද ඒවා පත්කළ යුතුය. කාබනික ගොවිතැනක් වෙතට යන මාවත හොඳින් එළිපෙහෙළි වන්නේ එවිටය.
 
 සනත් එම්. බණ්ඩාර
 [email protected]
 
 සංස්කරණය – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment