කොමාන්ඩෝ රෙජිමේන්තුව හැදූ වීරයා මෙන්න… පළමු පැරෂුට් පැනීමත් කළේ ඔහු… කර්නල් සුනිල් පීරිස්

3833

කොමාන්ඩෝ රෙජිමේන්තුව අයත් වන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායන් ගණයටය. පුහුණුවේ සිට ම සාමාන්‍ය හමුදා යාන්ත‍්‍රණයකට එහා ගිය කොමාන්ඩෝ හුරුව, ශ‍්‍රී ලංකා හමුදාවේ සුවිශේෂ භූමිකාවක් අත්කර ගෙන සිටියි. කර්නල් සුනිල් පීරිස් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සුවිශේෂී වන්නේ මෙම සුවිශේෂී රෙජිමේන්තුව ආරම්භ කිරීම සඳහා ඔහු ලබාදුන් දායකත්වය සහ නායකත්වය හේතුවෙනි. ඔහුගේ යුද හමුදා ජීවිතයේ අත්දැකීම් ලංකා යුද ඉතිහාසයේ පරිච්ෙඡ්දයක් වන්නා සේම දේශපාලන අතපෙවීම් නොඉවසීම හේතුවෙන් තම හමුදා ජීවිතය වේලාසනින්ම නිමාකර ගැනීමට ඔහුට සිදුවීම එක්තරා ඛේදජනක කතාවක් වේ.

commando2

 
 විශ‍්‍රාමික ජීවිතයේදී වුව ද ක‍්‍රියාකාරීව ඔහු තවමත් යෞවනයෙකු සේ කටයුතු කරන බව කිවහැකිය. ඔහු හමුදා ජීවිතය පටන් ගත් තැනින්ම අපි කතාව ආරම්භ කළෙමු.
 
 ‘‘1967 පළවූ ගැසට් නිවේදනය අනුව තමයි මම යුද හමුදාවට බැදුණේ. මම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබලා තමයි එතකොට හිටියේ. මම ගෙදරට පවා මේ ගැන කිව්වේ නැහැ. මේ ගැන දැනගෙන හිටියේ මගේ ඉස්කොලෙ කෙඩෙට් නිලධාරිතුමා සහ යහළුවෝ තමයි.
 
 පුහුණුවීම් ලැබුවාට පසුව සාමාන්‍ය හමුදා කටයුතු අතරේ මට මුහුණ දෙන්න වුණ පළමුවැනි අත්දැකීම තමයි හැත්තෑ එකේ කැරැල්ල. ඒ සඳහා මාව යැව්වේ බළංගොඩ ප‍්‍රදේශයට. අපි මේ කැරලිකරුවන් දිහා බලනකොට කියන්න පුළුවන් දේ තමයි, ඒ අය බොහොම ප‍්‍රාථමික සටන්කරුවන් පිරිසක් කියන ඒක. ඒ කුඩා කුඩා මාමයිට් කුප්පි වගේ බෝම්බ හදාගෙන ගල්කටස් තුවක්කු තියාගෙන තමයි ඒ අය කටයුතු කළේ, මේ පිරිසක් ගඟක් අසල රැස්වෙලා ඉන්න බව අපිට ආරංචි වුණහම, අපි රාත‍්‍රියේ ඒ ප‍්‍රදේශයට ගමන් කරලා මේ පිරිසම අත්අඩංගුවට ගත්තා. ඒ අය බොහොම මෝඩ විදිහට ගඟ මැද තිබ්බ දූපතක තමයි හිටියේ. ඒ කියන්නේ අපි යනකොටම ඒ අය කොටුවෙලා ඉවරයි. මේ දාහතරදෙනා අපි අත්අඩංගුවට අරගෙන ගෙනැල්ලා පොලිසියට භාර දුන්නා. ඒ අයව පෝල්ස් කුඩුවේ දාලා අපි අපේ කඳවුරට ගියා. පහුවදා බලනකොට පොලිසිය විසින් මේ අය දාහතර දෙනාම මරලා දාලා. මේ කටයුත්ත මට ඉවසා ගන්න බැරිවුණා. අපි අත්අඩංගුවට ගත්ත තරුණයන් එහෙම මරා දාන්නේ කොහොමද කියන කේන්තිය මට ආවා. මම පොලිසියට ඇවිල්ලා, පොලිස් නිලධාරීන් සියලූදෙනා, ඒගොල්ලන්ගේ කූඩුවට දැම්මා. මේක ලොකු මතභේදයකට තුඩු දුන් කාරණයක් වුණා.
 
  මේකෙන් ටික කාලයක් ගතවෙනකොට පැවැති කැරලිකාර තත්ත්වය නිසා අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂාව වැඩි කරන්න රජය තීරණය කළා. ඒ සඳහා පොලිසියෙන් ලකී කොඩිතුවක්කු, සහ යුද හමුදාවෙන් මාව තෝරා ගත්තා. කොඩිතුවක්කු මහතා පසුව පොලිස්පතිධුරයටත් පත්වුණා. සිරිමාවෝ අගමැතිතුමිය ඉතාම ආදරයෙන් අපිට සැලකුවා. එක දවසක් මැතිනියට හග්ගල යන්න අවශ්‍ය වුණා. ඒ ප‍්‍රදේශයේ තිබෙන ගංගාවක බෝට්ටුවෙන් යන්නත් එතුමියට අවශ්‍ය වුණා, එතුමිය ඇතුළු පිරිස බෝට්ටුවෙන් යන්න පිටත් වෙනකොට බහින තොටුපළ දිශාවට මම ජීප් රථයෙන් ගියා. එකපාරට ම හග්ගල පාලම උඩට මම එනකොට, ඒක උඩ හිටපු උමතු වූ පුද්ගලයෙක් පාලම යටින් යන මැතිනිය සිටින බෝට්ටුවට පනිනවා මම දැක්කා. මේ රටේ අගමැතිතුමිය. එතුමියගේ ආරක්ෂාව භාරව ඉන්න මට මේ ගැන දෙපාරක් හිතන්න බැහැ. මමත් ඒ එක්කම ගඟට පැන්නා. බලනකොට අර පුද්ගලයා, මැතිනිය ඉන්න බෝට්ටුවටම පැනලා. මේ කාලය පහුවෙලා ජේ.ආර්.ජයවර්ධන මහතා රටේ අගමැති වෙනවා. එතකොට යුද හමුදාපති වුණේ ජෙනරාල් ඩෙනිස් පෙරේරා මහතා. එක දවසක් උදෑසන යුද හමුදාපතිතුමා මට කතා කරලා අගමැතිතුමා හමුවෙන්න සූදානම් වෙන්න කිව්වා. යුද හමුදාපතිතුමා මාව හොඳට දැනගෙන හිටියා. මම පුහුණු වෙන කාලයේ එතුමා තමයි අපේ පුහුණු අණදෙන නිලධාරිතුමා. මොකක්ද මම කරපු වරද කියලා මම විහිළුවට වගේ යුද හමුදාපතිතුමාගෙන් ඇහැව්වා. ” අපි ඉක්මනට යං’’ කියලා එතුමා මාවත් එක්කගෙන, අගමැතිතුමා මුණගැහෙන්න ගියා. මට දෙන්න පුළුවන් හොඳම ආචාරය මම අගමැතිතුමාට දුන්නා. ඒ යනකොට අගමැති ලේකම් ජී.වී.පී. සමරසිංහ, ඩබ්ලිව්.එම්.පී.බී. මැණික්දිවෙල, ආරක්ෂක ලේකම් ජෙනරාල් සේපාල ආටිගල, කැප්ටන් රඛිත වික‍්‍රමනායක එහෙම එතැන හිටියා. ”අපි එයාර් ලංකා කියලා ගුවන් සේවයක් අලූතින් ආරම්භ කරනවා, ඒ ගුවන් යානා සඳහා ආරක්ෂාව ලබා දෙන්න, ඒ කියන්නේ යම් පැහැර ගැනීමක්, පහරදීමක් වුණොත් , ප‍්‍රාණ ඇපකරුවන් මුදාගන්න අපිට අලූත් හමුදා අංශයක් ඕනේ. ඒක කරන්න පුළුවන් ද ” කියලා අගමැතිතුමා මගෙන් ඇහැව්වා. මේක අහපු ගමන් මගේ උගුර කට වේළිලා ගියා. මම තිගැස්සුණා. මේක පිහිටුවන්න වසර තුනක කාලයක් මට දෙනවා කිව්වා. මේ සඳහා විශේෂ පුහුණුවීම් කණ්ඩායමක් හදන්න කිව්වා, අපි රට යවලා පුහුණුව දෙන්නම් කිව්වා. අවශ්‍ය නම් පිටරට අය මෙහෙට ගෙනැල්ලා පුහුණුව දෙන්නම් කිව්වා. ඕනෑ කරන ඕනෑ දෙයක් දෙන්නම් කියලා කිව්වා. පැය විසිහතරක් තුළ මගේ කැමැත්තත් අකමැත්ත දෙන්න කිව්වා.
 
 මගේ හීනයක් හැබෑ වුණා වගේ මට දැනුණා. මම අභියෝගය භාරගන්න කැමැතියි වුණා. මේක කරන්නේ කොහොමද කියලා මම කල්පනා කළා. ඒ අනුව මම විශේෂ ආකෘතියක් අනුව මෙම ඒකකය නිර්මාණය කළා. 1972 වසරේදී මම පාකිස්තාන් හමුදාවේ කොමාන්ඩෝ භටයන් සමග පුහුණුවකට එකතු වුණා. ඒ අත්දැකීමත් මට තිබුණා. එහෙම තමයි කොමාන්ඩෝ රෙජිමේන්තුව ආරම්භ කළේ. මේ තැනදී මම සියලූ සැලසුම් සකස් කළා කියලා මම නිහතමානීව කියන්න කැමැතියි. ’’
 
 කොමාන්ඩෝ බළසේනාවේ ආදර්ශ පාඨය වන නොහැක්කක් නොමැත. යන්නේ සිට එහි සියලූ සැලසුම් සකස් කරන ලද්දේ කර්නල් සුනිල් පීරිස් විසිනි.
 
 ” මගේ අදහස් අනුව අපේම පිරිස තමයි මේ ලාංඡුන ආදිය සියල්ල සකස් කළේ. මම මේ පුහුණුවීම් සඳහා තෝරා ගත්තේ දියතලාව. ඊට පස්සේ මම පුහුණුකරුවන් තෝරා ගත්තා. මේ තමයි ලෝකයේ අද්විතීය හමුදාවක් නිර්මාණය කිරීමේ පදනම. කොමාන්ඩෝ කියන වචනය එතකොට තිබ්බේ නැහැ. ඒ වෙලාවේ කිව්වේ විශේෂ බළකායක් කියලා. මෙතැනදී ශාරීරික කියන මට්ටම පමණක් නෙමෙයි, මානසික මට්ටමත් වුවමනායි. මේ සඳහා මගේ යෝජනාව වුණේ හැම රෙජිමේන්තුවකින්ම පිරිස් මේ සඳහා බඳවා ගැනීමයි. ඒ ගැන මම යුද හමුදාපතිට ගිහිල්ලා කිව්වා. මගේ සැලසුම බලපු හමුදාවේ බොහෝ දෙනෙක් මේක හරියන්නේ නැති වැඩක් කිව්වා. දවස් තිස් හතරක මෙතරම් බැ?රුම් පුහුණුවක් මිනිහෙක්ට කරන්න බැහැ කියලා තමයි බොහෝ දෙනා කිව්වේ.
 
 මට සෙනඟ එවන්නත් බොහෝ දෙනා කැමැති වුණේ නැහැ. දවස් තිස් හතරට දවස් තුනයි විවේකය. දවසට පැය හතරෙන් විවේකය පැය හතරයි. තමන්ගේ ආයුධයක දූවිලි බින්දුවක් තියෙන්න බැහැ. දවසකට දුවන්න විශාල දුරක් තියෙනවා. මුලින් කිලෝ මීටර් නවයක්. ඒක අන්තිමට තිස් පහක් දුවන්න වෙනවා. ඒ හැම වෙලාවේ ම කිලෝග‍්‍රෑම් 28ක් සමග තමන්ගේ අවිය අරගෙන යන්න ඕනේ. මේ පුහුණුවීම්වලදී සමහරු ඇදගෙන මැරිලා වැටිලා තියෙනවා.
 
 සියලූ සැලසුම් සකස් කරමින් අනතුරුව 1978 වර්ෂයේ පෙබරවාරි 13 දා උදෑසන නවමු විශේෂ බළඇණිය සඳහා පුහුණුව, එහි අණදෙන නිලධාරී සුනිල් පිරිස් ආරම්භ කළේය. සුන්දර දියතලාව ම මීදුමෙන් වැසී ගොස් තිබුණි. අරමුණට ජවය ගෙන දීම සඳහා කලින් සූදානම් කරන ලද බෝම්බ පිපිරීමකි. මීදුම සහ බෝම්බ දුම් රොටු අතරින්, ඇසෙනා ගාම්භීර හඬකි. ඒ අණදෙන නිලධාරී සුනිල් පීරිස්ගේ විධානයයි. පුහුණු භටයන්ට පෙනෙන්නේ දුම්වලා පමණි. නොපෙනෙන අණදෙන්නාගේ ඇසෙන හඬට කීකරුව නව රෙජිමේන්තුවේ පුහුණුව ආරම්භ විය.
 
 ” පුහුණුව දරාගන්න බැරිව පළමු දිනයේම දෙන්නෙක් පැනලා ගියා. ආත්ම ශක්තිය ඇති ඉතිරි පිරිස දැඩි පුහුණුව සඳහා උරදෙන්නට විය. ශරීරයේ ශක්තිය සහ මනසේ ශක්තිය දෙකම තුලතකර ගනිමින් අරමුණ සඳහා පුහුණුව ලබන්නට විය. අවසාන දින හත සඳහා අම්පාරට යායුතු විය. ඒ සඳහා කිලෝ මීටර් 160ක් සීගිරියට පයින්, කැලේ මැද්දෙන් යා යුතුය. මේ අපි හදන්නේ ප‍්‍රාණ ඇපකරුවන් නිදහස්කර ගන්නය.ි ඒ සඳහා සියලූදෙනා එක වගේ පුහුණුවක් තිබිය යුතු වෙනවා.
 
 මේ බළඇණිය සඳහා දෙවැනි කණ්ඩායම පුහුණුවට මම එක්සත් රාජධානියේ විශේෂ ක‍්‍රියාන්විත ඒකකයක් වන ස්පෙෂල් එයාර් සර්විස් රෙජිමේන්තුව සමග කතා කරලා, ඒ පුහුණුකරුවන් රැගෙන ආවා. මේ එස්.ඒ.එස්. භටයන් ප‍්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම සඳහා ලෝකයේම ප‍්‍රසිද්ධ වෙලා තිබ්බා. ඒ අය එන්ටබේ, ඉරාන තානාපති කාර්යාලය ආදී තැන්වල මෙවැනි විශේෂ මෙහෙයුම් සඳහා දායකවී අත්දැකීම් තිබුණු පිරිසක්. මේ එස් ඒ.එස්. ඒකකය පිහිටුවන ලද්දෙ, ඬේවිඞ් ස්ටර්ලින්, ඔහු අඩි හයයි අගල් තුනක් උස පුද්ගලයෙක්. 1985 වසරේදී ඔහු හමුවෙන්න මට අවස්ථාවත් ලැබුණා. මෙහෙම පුහුණුවීම් කරගෙන යනකොට මේ ඒකකයට නමක් ඕනේ. නිලය, වැටුප, ඇඳුම ආදිය මෙතැනදී නියමාකාරව සකස් කළ යුතු වුණා. මම මේ සඳහා කොමාන්ඩෝ කියන නම දැම්මා. මේකේ තේරුම කම් ඇන්ඞ් ඩු කියන එක. ඒ කියන්නේ සියල්ල කළ හැකි පුද්ගලයෙක්. මේ අය ගමේදී පවා සුවිශේෂ පුද්ගලයෝ වුණා.
 
 මේ සුවිශේෂත්වය වන්නේ ආයුධය පමණක් නොව, තමන්ගේ මනස ද අදාළ ඉලක්කය සඳහා සූදානම් කරවීමයි.
 
commando3 ” ඒක වෙලාවක අපි ගනේමුල්ල කඳවුරේ ඉන්න කොට, පළාතේ මන්ත‍්‍රීවරයා හොඳටම බීමත්ව එයාගේ වාහනයෙන් ආවා. ඔහුගේ රියැදුරාත් බිමත්ව හිටියේ. අපේ බැරියර් එක කඩාගෙන මේ වහනය ගියා. ගනේමුල්ල කඳවුර තියෙන ඉඩමත් මේ මන්ත‍්‍රීවරයාගේ. අපේ පිරිස මේ මන්ත‍්‍රීවරයාට වෙඩි තිබ්බා. මමත් එතැනට ආවා. ඒ මන්ත‍්‍රීවරයා මැරෙන්නේ නැතුව බේරිලා හිටියා. මම ඒ වෙඩි තිබ්බ පුද්ගලයාගේ පටි ගැලෙව්වා. මම එයාට කිව්වේ, උඹ උණ්ඩ අටක් මේකට නාස්ති කරලා තිබ්බා. මම මේකට දෙන්නේ එක උණ්ඩයයි. එක උණ්ඩයෙන් මැරෙන්න වෙඩි තියන්න ඕනේ. මම උඹගේ පුහුණුවට වෙඩි උණ්ඩ අටසීයක් පුහුණුව සඳහා දීලා තියෙනවා. එහෙම කළේ අවස්ථාව ආවහම එක උණ්ඩයෙන් මරන්න ඕනේ. අපි හැදුවේ විනය. මෙතැන විනය කියන්නේ, වමට හැරෙන්න කිව්වහම වමට හැරෙන එකට නෙමෙයි.
 
 කවුරුත් නැති අවස්ථාවකදී නිවැරැද්ද තෝරාගෙන එය ඉටු කිරීමයි. තමන්ව සුපරීක්ෂක නොවන තැනකදී නිවැරදිම තීන්දුව ගන්න ඕනේ. ඕනෑම කොමාන්ඩෝ කෙනෙකුට අපේ අවි ගබඩාවෙන් ඕනෑම අවියක් ගන්න පුළුවන්. ඒක පුළුවන් කොමාන්ඩෝ කෙනෙකුට විතරයි. අපේ තේමා පාඨය ‘නොහැක්කක් නොමැත යන්නයි.’ මම මේ සඳහා මම ගියේ මගේ පාසල් ගුරුවරයා වන අරිසෙන් අහුබුදු මහතා ගාවට ගියා. මම පාසලෙන් අස්වෙලා යනකොට එතුමාට මම ගිහිල්ලා කිව්වා. එතුමා මට කිව්වේ ”දරුවා වැටුණත් නැඟිටිව්… වැටී වැටී නැඟිටිව්… කියලා කිව්වා. මම එතුමාට ගිහිල්ලා කිව්වහම එතුමා නොහැක්කක් නොමැත, කියන පාඨයට අවසර දුන්නා. මේ රෙජිමේන්තුවේ පිරිසට විශේෂ හැඳින්වීමක් අවශ්‍ය වුණා. මෙරුන් බෙරේ ඒක, කැමර්ෆලාජ් ඇඳුම, අපේ බූට් දෙක මේ සියල්ල වෙනස්ම අනන්‍යතාවයක්. අපි තමයි මුලින්ම ලංකාවේ පැරෂුට් පැන්නේ. මට කියන්න පුළුවන් මම තමයි මුලින්ම ලංකාවේ පැරෂුට් එකෙන් පැන්නේ කියලා.
 
 ඔහුගේ වීර භූමිකාව ශ‍්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ අමරණීය වී හමාරය. ඒ වීර වික‍්‍රමාන්විත කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පියා ඔහුය. එවැනි සේවයක් ඉටු කළ ඔහු හමුදාවෙන් හිටි හැටියේ සමුගන්නේය.
 
 ” එක දවසක් මම උදේ කඳවුරේ ඉන්නකොට පාන්දර පහමාරට විතර, මට දුරකථන ඇමතුමක් ආවා. ඒ කෝල් එක ආවේ දේශපාලන ප‍්‍රභූවරයෙකුගෙන්. ” මම බස් එකක විසිහය දෙනෙක් එවලා තියෙනවා. කරන්න ඕනේ දේ දන්නවාද?’’ ” ඒ අය එව්වේ වත්ත ශුද්ධ කරන්නද?’’ සිය පණිවිඩය තේරුම් ගන්නවා වෙනුවට උපහාසයෙන් මම අහපු ඒක ගැන එයා කුපිත වෙලා මට බනින්න පටන් ගත්තා. එයා මට කිව්වේ ඒ පිරිස මරලා දාන්න කියලා. මට ඒ වගේ දෙයක් කියන්න මම මිනීමරුවෙක්ද? මට එයා එක්ක උපන් කෝපය කියන්න බැහැ. මගේ ඇෙඟ් ලේ රත් වුණා. මම දන්න හැම ඉංග‍්‍රීසි කුණුහරුපයෙන්ම එයාට බැන්නා. සංවාදය ඉවර වෙනකොට මගේ භාර්යාව ඇහැව්වා ”මොකද ’ කියලා ”උදේ කෑම ලැහැස්ති කරන්න කියලා මම උත්තර දුන්නා මිසක් වෙන කිසි දෙයක් කියන්න ගියේ නැහැ. කෑම කාපු ගමන් මම යුද හමුදාපති නලින් සෙනෙවිරත්න හමුවෙන්න ගියා. වෙනදා ඒ වෙලාවට එන්නේ නැති යුද හමුදාපතිවරයා එදා ඇවිල්ලා හිටියා. මම සිද්ධිය කියලා, යුද හමුදාවෙන් අස්වෙන්න අවශ්‍ය ලියුම හමුදාපතිතුමාට භාර දුන්නා. එයා මාව රඳවා ගන්න කතා කළා. වෙනත් ස්ථානයක් ලබාදෙන්නම්, හමුදාවේ ඉන්න කියලා, ඉල්ලීමක් කළා. මම එකඟ වුණේම නැහැ. පසුව ජනාධිපතිතුමා හමුවෙන්න අපි දෙන්නා ගියා. එදා වසර දහයකට පෙර කොමාන්ඩෝ බළකාය පටන් ගන්න, යුද හමුදාපතිවරයා සමග ජනාධිපති හමුවෙන්න ගිය පාරේම, මම, අද හමුදාපති එක්ක ජනාධිපති හමුවෙන්න යනකොට මට සියලූදේවල් මැවෙන්න පටන් ගත්තා. (මේ අවස්ථාවේදී ඔහුගේ දෑසට යන්තම් කඳුළු උනන බව පෙනී යයි) ජනාධිපතිතුමා මගේ ලියුම දිහා විනාඩි පහක් විතර බලලා, කල්පනා කළා. මේක කරන්න ඕනේ ද කියලා ඇහැව්වා. පැවැති තත්ත්වය අනුව එතුමාටත් කරන්න දෙයක් නැහැ. මට හමුදාවේ හොඳ අනාගතයක් තිබුණා. ඒත් ඒ සියල්ල විනාඩි පහකින් ඉවර වුණා. ඒ වීරයෙකුගේ කතාවේ, කඳුළු කතාවය.
 
 ඒ සමග ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වෙන්න පටන් ගත්තේය. වයස අවුරුදු තිස් නවයකදී ඔහු වැනි අසම සම විරුවෙකුට හමුදාව අතහැර දමන්නට ඔහුට සිදු විය. දිනක් රාත‍්‍රියේ ඔහු නිවසේ නිදන කාමරයේ සිටියදී, නාඳුනන තුවක්කුකරුවෙකු, ඔහුට වෙඩි තැබුවේය. ඒ වෙඩිල්ලෙන් ඔහු බේරුණේ වෙඩික්කරුවා ඈත සිට ඉලක්කය ගන්නා බව දුටු ඔහුගේ ආදරණීය භාර්යාව වහාම විදුලි ලාම්පුව නිවා දැමීම නිසාය. එවැනිම තර්ජනයක් සහිතව දිනක් ජීප් රථයකින් පැමිණි පිරිසක් ඔහුගේ ගේට්ටුව කඩා ඔහු මරා දමන්නට තැත් කළේය.
 
ඔහුගේ මේ සියලූ කතා තව නොබෝ දිනයකින් ග‍්‍රන්ථයක් ලෙස පළවීමට නියමිතය. ඔහු අප සමග පැවසූ තවත් කතා ගණනාවක් දිවයින ඔන් ලයින් යූ ටියුබ් නාළිකාවේ පළවේ. අප දන්නා සමාචාරයෙන් ඔහුට සමුදුන්නේ, වීරත්වය සමග හදකම්පා වූ ශෝකයක් ද සහිතවය. 

– මනෝජ් අබයදීර 

advertistmentadvertistment
advertistmentadvertistment