කොරෝනා අහවර වෙන්නත් කලින්… මල්වඩම් නැතිවම අවසන් ගමන් යන මල් වෙළඳාම

419

* ඉස්සර එක දවසට මල්වඩම් 15-20 අලෙවි වුණා…
* ගුරු දිනයට, පෙම්වතුන්ගේ දිනය වගේ විශේෂ දිනවලට මල් තොග පිටින් අලෙවි වුණා…
* රසායනික පොහොර, තෙල් බෙහෙත් තහනමත් එක්ක මිනිස්සු මල් වගාවෙන්  ඈත් වෙලා…

ඇස්වාට්ටුව ඉදිරිපිට, ඞීන්ස් පාර නෙතට පි‍්‍රය උපදවන මාවතක් බව සැබෑය. ඒ මඟ දිගට, එක පෙළට ඇති මල් කඩවල විසිතුරු බව නිසාය. මංගල, අවමංගල ඕනෑම උත්සව කටයුත්තකට එම වෙළෙඳසැල්වල සුවඳ දෙන මල් තොග පිටින් තිබේ. එහෙත් පැතිර ගිය කොරෝනා වසංගතය හමුවේ ඒ මල් කඩ ද පර වී ඇති සැටි පෙනේ. එහෙයින් පරවුණු මල් ව්‍යාපාරයේ තතු විපරම් කිරීමට අපි එම මල් වෙළෙඳසැල්වලට ගියෙමු.

‘‘පහුගිය දවස්වල නම් බිස්නස් බින්දුවට ම වැටිලා තිබුණා. දැන් නම් බිස්නස් එක, දෙක එනවා…’’ අපේ කතාවට එසේ ප‍්‍රවේශයක් ලබා දුන්නේ දසුන්ය. ජයසිරි ෆ්ලෝරා වෙළෙඳසැලේ හිමිකරුය.

 ‘‘අපේ තාත්තා මේ බිස්නස් එක ආරම්භ කරලා තියෙන්නේ මීට අවුරුදු විසිපහකට කලින්. දැන් මටත් අවුරුදු හතළිස් දෙකක් වෙනවා. මම දන්න කාලයේ ඉඳලා මේ බිස්නස් එක ලොස් වුණාම තමයි. කොරෝනා වසංගතය පැතිරෙන්න ඉස්සර හොඳට බිස්නස් තිබුණා. මේ පුංචි කඬේ සේවකයෝ හතරදෙනෙක් වැඩ කළා. නුවරඑළිය, හපුතලේ, බදුල්ල, බණ්ඩාරවෙල ආදී ප‍්‍රදේශවලින් ඇති වෙන්න මල් තොගත් ආවා. දැන් බිස්නස් එකත් අඩු වෙලා. ඉස්සර වගේ මල් තොග එන්නෙත් නෑ. රසායනික පොහොර, කෘමි නාශක තහනමත් එක්ක මල් වගාකරුවොත් ප‍්‍රශ්න ගොඩක පැටලිලා ඉන්නවා. පුංචියට මල් වගා කරගෙන හිටිය මිනිස්සු දැන් වගාව අතහැරලා. මහා පරිමාණ වගාකරුවෝ මල්වල මිල වැඩි කරලා. අපිට ලැබෙන මල් ටිකෙත් මිල ගොඩක් වැඩියි. නිසි වේලාවට පොහොර, රසායනික බෙහෙත් නොයෙදීම නිසා ඉස්සරට වඩා දැන් මල්වල ගුණාත්මක තත්ත්වයත් අඩුයි. මල් කුඩා වෙලා. පාට අඩු වෙලා. මලේ සුන්දරත්වය ගොඩක්ම අඩු වෙලා. ඒ වගේම ඉස්සර අපි මල් ප‍්‍රවාහනය කළේ දුම්රියෙන්. තවම දුම්රිය වැඩ නැති නිසා මේ දවස්වල මල් තොග ප‍්‍රවාහනය කරන්නේ කුරිය සේවාව හරහා. ඒ අය මල් කිලෝ එකක් ප‍්‍රවාහනය කරන්න ලොකු ගාණක් ගන්නවා. රුපියල් එක්දහස් පන්සීයක මල් කූඩයක් කොළඹට ගෙන්න ගන්න, කුරිය සේවාවලට රුපියල් හයසීය පනහක් විතර ගෙවන්න ඕනෑ. අපිට ඒක ලොකු වියදමක්. ඒ වගේම මල්වඩම්, මල් බොකේ හදන්න ගන්න කම්බි ඇතුළු සියලූම භාණ්ඩවල මිල තිබුණට වඩා දෙගුණයකින් විතර වැඩි වෙලා. ඒ භාණ්ඩ, මල්වල මිල වැඩි වුණාට අපේ නිෂ්පාදනවල මිල වැඩි කරන්න බෑ. එහෙම කළොත් මේ තියෙන බිස්නස් එක තවත් වැටෙනවා. ඒ නිසා අදටත් අපි බඩු විකුණන්නේ පරණ මිල ගණන්වලට. නැති නම් මේ මල් කඬේම පර වෙලා යනවා…’’ මල් ව්‍යාපාරය ගැන දසුන් එසේ කතා කරනවිට, වෙළෙඳසැල පුරා තැන, තැන තිබූ විසිතුරු මල් තොග අතර මගේ දෙනෙත් දිව ගියේය. අවසානයේ ත‍්‍රිකෝණාකාර, උස මල්වඩමක් අසල දෙනෙත් නතර විය.

දැන් මල්වඩම්වල මිල ගණන් කොහොමද?

‘‘එක්දාහස් පන්සීයේ ඉඳලා ඉහළට පහළොස්දහස, විසිදහටත් තියෙනවා. ඩිසයින් එක දීලා තමන්ට අවශ්‍ය මුදලට හදාගන්නත් පුළුවන්. කොරෝනා එන්න ඉස්සෙල්ලා මල්වඩම්වලට හොඳ ඉල්ලූමක් තිබුණා. හුඟාක්ම අය අපිට ඩිසයින් එක දීලා, දාන්න ඕන මල් වර්ගය කියලා හදාගත්තා. දැන් ආයතනවලින් මල්වඩම් ගන්නවා හුඟක් අඩුයි. ඉඳහිට හරි මල්වඩමක් අරගෙන යන්නෙ මිය ගිය කෙනාගේ පවුල්වල ඥාතීන් විතරයි…’’ තරුණයන් තිදෙනෙක් පැමිණ මල්වඩම් අතගානවා දුටු දසුන් අසුනෙන් නැඟිට ඔවුන් සමීපයට ගියේය. වෙළෙඳාමක් සිද්ධවන ආකාරයේ වචන හුවමාරුවක් කනවැකුණු හෙයින් දසුන්ට සමුදී එම වෙළෙඳසැලෙන් තවත් මල් කඩයකට අපි ගියෙමු. ඒ ජයරත්න මල් වෙළෙඳසැලටය. එහි කළමනාකරු භානුක ද ව්‍යාපාරයේ කඩා වැටීම මුල සිටම අපට විස්තර කළේය. එහෙත් දසුන් විස්තර කළ කරුණු කාරණා ඉවත්කොට භානුක කියන කතාව අපි මෙසේ සටහන් තැබුවෙමු.

‘‘මැරුණු අයගේ අවසන් කටයුතු දවසෙන් කරන නිසා දැන් ගොඩක් දෙනෙක් මල්වඩම් අරගෙන යන්නේ නෑ. පළාත් අතර තවම සංචරණ සීමා, මළගෙදරකට සහභාගි විය හැකි පිරිස සීමිතයි. සමීපතම ඥාතීන් කිහිපදෙනෙක් එකතු වෙලා අවසන් කටයුතු කරනවා. ඒ වගේ තත්ත්වයක දවසට එක මල්වඩමක් විකුණුනත් අපි නම් සතුටු වෙනවා…’’ භානුකගේ කතාව සැබෑය. පවතින වසංගත තත්ත්වය සහ අධික ලෙස ඉහළ යන භාණ්ඩ මිල හමුවේ මිනිසුන්ට මල්වඩම් මිලදී ගැනීම කෙසේ වෙතත් සුදු කොඩි පේන බව නම් සැබෑය.

‘‘ඉස්සර එක දවසට මල්වඩම් පහළොව, විස්ස අලෙවි වුණා. මංගල උත්සවවලට මල් තොග අරගෙන ගියා. කාර්යාල සරසන්න දවස් තුනකට සැරයක් මල් අරගෙන ගියා. පෙම්වතුන්ගේ දිනයට, ගුරු දිනය වගේ විශේෂ දිනවලට ඉහළ මල් වෙළෙඳාමක් තිබුණා. දැන් අවුරුදු තුනකින් විතර විශේෂ දිනයක් හරියට සැමරුවේ නෑ. මේ විදිහට හරි මල් කඩ ඇරගෙන ඉන්න ලැබීම වාසනාවක්…’’ එම මල් වෙළෙඳසැල ඇතුළේ කුටියක කෙනෙක් මල්වඩමක් හදමින් සිටිනවා දුටු අපි භානුකගෙන් අවසරගෙන ඔහු සමීපයට ගියෙමු. ඔහු ද එම වෙළෙඳසැලේ ස්ථිර සේවකයෙකි. ඔහුගේ රාජකාරිය මල්වඩම්, මල්පොකුරු අලංකාර ලෙස සකස් කිරීමය. හේ රංජිත් ය.

අපට දැකගැනීමට අලූත්ම මල්වඩමක් සෑදීමට රංජිත් මැලි නොවිණි. උස ලී කෝටු රාමුවක් ගෙන එහි මුදුනේ තෙත බරිත ස්පොන්ච් කුට්ටියක් ඇණයකින් තද කළේය. අනතුරුව රිකිලි සහිත පුංචි කිතුල් කොළ අහුරක් ගෙන කලාවකට ස්පොන්ච් එක වටේට ගැසුවේය. ඒ අතරට කොළ, රිකිලි සහිත පාට, පාට මල් වර්ග කිහිපයක්ම ස්පොන්ච් එකට සවි කළේය.

‘‘මේ ස්පෝන්ච් එක තෙතයි. නිතරම තෙමන්න වුණත් පුළුවන්. තෙත ගතිය තියෙන නිසා මල් පර වෙන්නේ නැතිව සතියක් විතර තියාගන්න පුළුවන්. කම්බිවලින් බඳින්න අවශ්‍ය නැති නිසා වැඬේත් පහසුයි…’’ මල්වඩමක් හදන හැටි රංජිත් මුල සිට අපට විස්තර කරන්න පටන් ගත්තේය.

 මේ කිතුල් අත්තක් ඔයලා ගන්නේ කීයටද?

 ‘පුංචිම අත්තක් එකයි පනහයි. පුංචි අතු මල්වඩම වටේට ගහලා ලොකු අතු කිහිපයක් යට ඉඳන් උඩට ගහනවා. සාමාන්‍ය ලොකු කිතුල් අත්තක් රුපියල් දෙකක් විතර වෙනවා. දැන් අපි මේ හදන මල්වඩමට ඕකිඞ් මල් සීයක් විතර දානවා. ජර්බරා, ටයිග ලීලී, ක‍්‍රිෂාන්ති මම්, රෝස වගේ මල් වර්ග කිහිපයක්ම මල්වඩම්වලට දානවා. කිතුල් අතු අතරේ මල් රිකිලි ගහලා, සුපර් ඬේසියා, සයිප‍්‍රස් අතු රිකිලිවලින් හිඩැස් පුරවනවා. අවසානයේ අලංකාර මල්වඩමක් හදා ගන්නවා. ඉස්සර තිබුණු රවුම් මල්වඩම් දැන් නෑ. දැන් ගොඩක්ම යන්නේ මේ හදන උස ත‍්‍රිකෝණාකාර මල්වඩම. මේක නම් රුපියල් පන්දාහක් විතර වෙනවා. දැන් මල්වල මිලත් එක්ක ඒ ගාණටත් දෙන්නත් බෑ. ඒත් මේ පාර දිගට තියෙන කිසිම කඬේක මල් නිෂ්පාදනවල මිල වැඩි කරලා නෑ…’’ රංජිත් මල් වෙළෙඳාමේ ප‍්‍රවීණයෙකි. වසර විසිපහකටත් වැඩි පළපුරුද්දක් ඇති ඔහුට දැන් වයස අවුරුදු පනස් හතකි. තිදෙරු පියෙක් වන ඔහු ගනේමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

‘‘බිස්නස් අඩු වුණා කියලා අපිට ගෙවන පඩිය කැපුවේ නෑ. රට වහලා තිබුණු දවස්වලත් වෙනදා ගෙවපු පඩිය ඒ විදිහටම ගෙව්වා. ඒක අපිට විශාල පිහිටක් වුණා…’’ රංජිත් මල්වඩම් හැදීමට මෙන්ම කතාවට ද දක්‍ෂයෙකි. එහෙත් ඔහුට සමුදී අපි ඞීන්ස් පාරේ මල්කඩවල දැනට සිටින පරණ ව්‍යාපාරිකයකු හමුවට ගියෙමු. ඔහු කීර්ති රොද්‍රිගෝය.

‘‘මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් මට අවුරුදු හතළිහක ඉතිහාසයක් තියෙනවා. එක්දාහස් නවසිය පනස් ගණන්වල මගේ ගුරුතුමා තමයි මෙතැන මුල්ම මල් කඩය පටන් ගත්තේ. මම තමයි ඒ කඬේ ගෝලයා විදිහට වැඩ කළේ. අවුරුදු එකොළහක් වැඩ කළා. එදා ගෝල වැඬේ කරපු මට අද මගේම කියලා ගොඩනැඟිල්ලක් එක්ක මල් වෙළෙඳසැලක් තියෙනවා. සේවකයෝ පස්දෙනෙක් වැඩ කරනවා. මම ඒ දේවල් ගොඩනඟාගත්තේ මුල් සිඳගෙන නෙමෙයි. ගුරුතුමාගෙත් අශිර්වාදය ඇතිව. මගේ ව්‍යාපාර ජීවිතය ජයගන්න අඩිතාලම ගුරුතුමාගේ අශිර්වාදය. මුලින්ම මම මල් කඬේ පටන් ගත්තේ කඩ කාමරයක් කුලියට අරගෙන. ටිකෙන්, ටික ව්‍යාපාරය දියුණු කළා. මට ම කියලා කඩ කාමරයක් ගත්තා. දැන් ශක්තිමත් ව්‍යාපාරිකයෙක් විදිහට සමාජයට සේවය කරගෙන ජීවත් වෙනවා…’’

‘‘දැන් මේ කඩ පෙළේ මල්කඩ දොළහක් තියෙනවා. හැම කඩයකට ම එකම වගේ බිස්නස් තිබුණා. උදේට සෙනඟ පිරිලා. කොරෝනා තමයි මෙතැන පාළු කළේ. පරණ විදිහට බිස්නස් හැදෙන්න තවත් මාස ගාණක් යයි. ඒත් මේ වසංගතයේ හැසිරීමත් එක්ක ඒ ගැන විශ්වාසයෙන් කතා කරන්න බෑ…’’ ගෝලයකු සේ මල් කඬේක සේවයට පැමිණ උත්සාහයෙන් සහ කැපවීමෙන් ජීවිතය ජයගෙන සිටින කීර්ති ආදර්ශමත් චරිතයක් බව සැබෑය. එහෙත් කොරෝනා වසංගතය නැවත හිස එසැවීම සම්බන්ධයෙන් ඔහු සිටිනුයේ දෙගිඩියාවෙනි.

කොරෝනා අහවර වෙන්නත් කලින්... මල්වඩම් නැතිවම අවසන් ගමන් යන මල් වෙළඳාම

‘‘ඉදිරියට නම් කොරෝනා රැුලි පිට රැුලි ආවත් රට වහන්න නරකයි. එහෙම වුණොත් මේ රටේ මිනිස්සු මැරෙන්නෙ කොරෝනා හැදිලා නෙමෙයි කන්න නැතිව. මම නම් රට වහලා තිබුණු දවස්වලත් කඬේ ඇතුළේ ඉඳගෙන වැඩ කරලා කස්ටර්මස්ලාට බඩු දුන්නා…’’ ඒ කතා කළේ කීර්ති මහතාගේ වෙළෙඳසැලට යාබද මල් කඬේ හිමිකාරියයි. ඇය ලලිතා ය. ජීවිතයේ හැටඑක්වැනි විය පසුකරගෙන යන ඇයට ද මල් ව්‍යාපාරය සහ වෙළෙඳසැල උරුම වී ඇත්තේ පියාගෙන්ය.

‘‘දැන් මම මෙතැන මල් බිස්නස් එක පටන්ගෙන අවුරුදු දහයකට වැඩියි. මම ගොඩක්ම මල් දෙන්නෙ ඔෆිස්වලට. ප‍්‍රසිද්ධ බැංකු කිහිපයකට ම අපි මල් දෙනවා. ඒවා නොවරදාම දෙන්න ඕනෑ. බැංකුවලට, හොඳ ඔෆිස්වලට ගොඩක්ම ඉල්ලන්නේ ක‍්‍රිෂාන්ති මම්, ඕකිඞ් මල් වර්ග. ඒ මල් අත්තක් අපි විකුණන්නේ රුපියල් 80 යි, 90, 100 යි. අත්තේ තියෙන මල් ප‍්‍රමාණය අනුව මිල වෙනස් වෙනවා. ඒ වගේම මේ මලක් පර නොවී සතියකට වඩා තියාගන්න පුළුවන්. ජර්බරා මල්වලටත් හොඳ ඉල්ලූමක් තියෙනවා. ඒ මලක් අපි දෙන්නේ රුපියල් පනහයි. ටයිග ලීලී මල් ඉත්තක් මිල වැඩියි. වැඩි දවසක් තියාගන්නත් බෑ, පර වෙනවා. රෝස මලූත් වැඩි දවසක් තියාගන්න බෑ. හැබැයි ඒ මල් ලස්සනයි. තියාගන්න බැරි නිසා ඒ මල් වර්ගය ඔෆිස්වලින් ගන්නවා අඩුයි. සතියකට මල් ඉති දාහක් විතර අපි දුන්නා. දැන් නම් ටිකක් අඩුයි. මිලත් වැඩියි. ඒත් අපි දෙන ගාණ තවම වැඩි කළේ නෑ. ඒක තමයි දැන් අපිට තියෙන ගැටලූව. පහුගිය කාලේ මා ළඟ හතරදෙනෙක් වැඩ කළා. දැන් ඉන්නෙ එක්කෙනයි. සේවයකයෝ හතරදෙනෙක්ට පඩි ගෙවන්න තරම් දැන් ආදායමක් ලැබෙන්නේ නෑ…’’ විසිතුරු මල්වලින් පිරුණු පුංචි වෙළෙඳ කුටියෙන් සමුගත් අපි මල් තොග සහ සිල්ලරට අලෙවි කරන තවත් මල් කඬේකට ගියෙමු. ඒ ඇස්වාට්ටුව ඉදිරිපිට ආරම්භ වූ පළමු මල් කඩයටය. එක්දාහස් නවසිය පනස්ගණන්වල එම වෙළෙඳසැල ආරම්භකර තිබුණේ ගුණසේකර මුදාලිලාය. මේ වනවිට ගුණසේකර මහතාගේ පුතා සහ මුණුපුරා කරගෙන යන එම වෙළෙඳසැලේ ඉතිහාස කතාව මෙන්ම මල් වෙළෙඳාමේ හෙට දවස ගැන අපට විස්තර කළේ එමිල් ජයරත්නය. ඇස්වාට්ටුව ඉදිරිපිට ප‍්‍රථම මල් කඬේ අයිතිකරු ගුණසේකර මුදලාලිගේ පුතාය. මේ එමිල් කියන කතාවය.

‘‘අපේ ගම බණ්ඩාරවෙල. තාත්තාගේ ප‍්‍රධාන ව්‍යාපාරය වෙලා තිබුණේ බණ්ඩාරවෙලින් කොළඹට මල් ගෙන ඒම. ජයරත්න මල්ශාලා ඇතුළු ලංකාව පුරා ප‍්‍රධාන මල්ශාලාවලට මල් දීලා තියෙන්නේ අපේ තාත්තා. ඊට පස්සෙ තමයි මෙතැන කඩ කාමරයක් කුලියට අරගෙන මල් ව්‍යාපාරය පටන්ගෙන තියෙන්නේ. ව්‍යාපාරය ටික, ටික දියුණු කරගෙන කඩ කාමරයක් මිලට අරගෙන මහා පරිමාණයෙන්ම මල් බිස්නස් එක කරගෙන ගිහින් තියෙනවා. තාත්තා නැති වුණාට පස්සෙ ඒ ආකාරයෙන්ම අපිත් බිස්නස් එක කරගෙන ගියා. බණ්ඩාරවෙල තියෙන ලොකුම මල් කඬේ අපේ. පවුලම කරන්නේ මල් බිස්නස් එක. කොරෝනා වසංගතයත් එක්ක මල් තොග බිස්නස් එක ගොඩක්ම අඩු වුණා. තව ටික දවසක් යනකොට මල් බිස්නස් එක නම් හැදෙයි. ඒත් රසායනික පොහොර, තෙල් බෙහෙත් තහනමත් එක්ක මිනිස්සු මල් වගාවෙන් ඈත්වීම කර්මාන්තයට බරපතළ ගැටලූවක් වෙනවා…’’

‘‘මල්වලට බෙහෙත් ජාති ගොඩක් ගහන්න ඕනෑ. දැන් ඒ බෙහෙත් වර්ග අධික මිලයි. ඒ මිල ගණන්වලට බෙහෙත් ගහලා මල් විකුණන්න වෙන්නේ අස්ප ගණන්වලට. මිනිස්සු වැඩි මිලට මල් ගන්නේ නෑ. ඒ නිසා වගාකරුවෝ මල් වගාවෙන් ඈත් වෙනවා. දැනටත් වගාකරුවෝ විශාල පිරිසක් මල් වගාව අතහැරලා. තෙල්, බෙහෙත් යෙදීම අඩු නිසා වගා කරලා තියෙන ෆාම්වලත් ලැබෙන මල් අස්වැන්න අඩු වෙලා. ඉදිරියේදී තවත් මල් අස්වැන්න අඩු වෙනවා. ඉල්ලූමට සරිලන සැපයුමක් නැති වෙනකොට මල් මිල තවත් වැඩි වෙනවා. දැනටත් රෝස මලක් රුපියල් සීයක් විතර වෙනවා. හෙට, අනිද්දා වෙනකොට තව වැඩි වෙනවා. ඉදිරියේදී අපේ ව්‍යාපාරයට නපුරු කලදසාවක් උදා වෙන බව අපිට දැනෙනවා…’’

මල් ව්‍යාපාරයට පමණක් නොව වාර්තාවන කරුණු කාරණාවලට අනුව මුළු රටට ම නපුරු කලදසාවක් උදාවෙමින් තිබෙන බව පැහැදිලිය.

තරංග රත්නවීර
ඡායාරූප තුෂාර අතපත්තු

advertistmentadvertistment
advertistmentadvertistment