කොරෝනා මරණ අවම කර ගැනීම…

260

රට වසනවාද නැද්ද යන බරපතළ සාකච්ජාවක් දැන් සිදු වෙමින් තිබේ. රජය මේ ගැන මේ මොහොතේ බරපතළ ලෙස සලකා බලමින් සිටිනවා විය හැකිය. ආර්ථිකය සහ සෞඛ්‍ය තත්ත්වය යන දෙකම නොසලකා තීරණ ගත හැකි නොවේ. එහෙත් වසංගත තත්ත්වය පැතිර යෑමෙන් මේ අවස්ථාවේදී විශාල වශයෙන් මරණ ඉහළ යෑමේ අවධානමක් මතුව තිබේ. ඒ නිසා ජනතාවට මරණ වරෙන්තුවක් ලබා දී ආර්ථිකය බේරා ගත හැකි ද? මෙය බරපතළ ලෙස සිතා නිවැරදි තීන්දුවක් රජය විසින් වහාම ගත යුතුව තිබේ. නිවැරදි තීන්දුව වුවත් ප‍්‍රමාද වී ගැනීම පසු තැවීමට හේතුවක් විය හැකිය. දැනටමත් තත්ත්වය ඉතා නරක අතට පත්ව තිබෙන බව රහසක් නොවේ. ඒ නිසා අද බොහෝ දෙනකුට නිවසින් එළියට බැසීමට සිදුව තිබෙන්නේ මරණ බයෙනි. මෙය ජනයාට පරිස්සම් වෙන්න කියා උපදෙස් දීමෙන් පමණක් වලක්වා ගත හැකි ද නොවේ.

 මෙසේ රජය විසින් වසංගතය තවදුරටත් පැතිරීම පාලනය කිරීම සඳහා නිසි තීන්දු තීරණ නොගෙන මෙරට තුළ පවතින කොවිඞ් අර්බුදය තවදුරටත් වර්ධනය වුවහොත් එළඹෙන දෙසැම්බර් මාසය වනවිට මෙරට තුළ සිදුවිය හැකි මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවනු ඇති බව වොෂින්ටන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ සෞඛ්‍ය මිනුම් හා ඇගයීම් පිළිබඳ ආයතනය (IHME ආයතනය) විසින් පවසා ඇත. පවතින තත්ත්වය යටතේ මෙරට තුළ දිනකට සිදුවන මරණ සංඛ්‍යාව 156 ක් දක්වා පසුගියදා (11) ඉහළ ගියේය. එම වාර්තා දිගටම අලූත් විය හැකිය. මේ වසංගත තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් දිනකට සිදුවන මරණ ප‍්‍රමාණය 350ක් දක්වා ඉහළ යෑම සිදුවිය හැකි බව ද එම ආයතනය පෙන්වා දී ඇත. එම ආයතනය මේ දෙසැම්බර් මස පළමු වැනිදා වනවිට මෙරට තුළ සිදුවිය හැකි මරණ 12,603ක් බව ද පුරෝකථනය කර තිබේ. මේ තත්ත්වය තවදුරටත් පැවතීමෙන් එම මරණ සංඛ්‍යාව 22,000 දක්වා ද ඉහළ යා හැකි බවද එම ආයතනය සඳහන් කර තිබෙන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබේ. මෙරට සෞඛ්‍ය විශේෂඥයන් ද රට වැසීමේ ක‍්‍රියාමාර්ග අනුගමනය නොකිරීමෙන් තවදුරටත් මරණ ඉහළ යෑමට ඉඩ තිබෙන බව පවසා තිබේ. මේ නිසා කොරෝනාවෙන් වළක්වා ගත හැකිව තිබෙන මරණ ප‍්‍රමාණය වළක්වා ගත යුතුව තිබේ.

 මේ අතර පසුගිය අගෝස්තු 12 වැනිදා මෙරටින් වාර්තා වූ කොවිඞ් අසාදිතයන් ගණන 3,000කට වඩා ඉහළ ගියේය. එනම් 3,039 ක ආසාදිතයන් ප‍්‍රමාණයක් එදින වාර්තා විය. මේ අනුව මෙරට සමස්ත කොවිඞ් ආසාදිතයන් ගණන විශාල වශයෙන් ඉහළ යමින් තිබීම මරණ ප‍්‍රමාණය ඉහළ යෑමේ හැකියාව ඉහළ යෑමට තුඩු දෙන්නකි. වසංගතවේදීන් මේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ලබා දෙන තොරතුරු සහ ලබා දෙන පුරෝකථන, ඒ සම්බන්ධයෙන් වන කිසියම් බුද්ධි තොරතුරු ලෙස සැලකිය යුතුව තිබේ. පාස්කු ප‍්‍රහාරයේ බුද්ධි තොරතුරු නොසලකා හැරීම නිසා සිදු වූ මරණ අප අපරාධයක් ලෙස සලකන්නේ නම් රජය විසින් වසංගතය පාලනය කිරීමට නිසි පියවර

 නොගැනීම නිසා සිදුවන (වළක්වා ගත හැකිව තිබෙන) මරණ ගැන අප සැලකිය යුතු වන්නේ කෙසේ ද? ඒවා අනියම් මිනීමැරුම් ලෙස ද? ඒ නිසා මෙහි බරපතළ

 වගකීමක් මේ සම්බන්ධයෙන් රජයේ තීන්දු තීරණ ගන්නා අයට දැරීමට සිදු වනු ඇත.

 මිය යන මිනිසුන්ගේ ජීවිතවල වටිනාකම මුදලින් මැනිය නොහැකිය. මෙලෙස සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව කොරෝනා මර්ධනය කිරීමට නිසි සහ ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග නොගැනීමේ විපාක ලෙස ජනයාට කොරෝනාවෙන් මිය යන්නට සිදු වන තත්ත්වයක් නිර්මාණය වේ. ජනයාට ද සෞඛ්‍ය උපදෙස් සියයට සියයක් පිළිපැද ආරක්ෂිතව කටයුතු කිරීමේ වගකීම තිබේ. එහෙත් කෙතරම් උපදෙස් දුන්නත් ඒවා පිළිපදින්නේ නැතුව වගකීම් විරහිතව කටයුතු පිරිසක් ද සිටින නිසා මෙහිදී රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය වේ. දැනට ආරංචි අනුව රජය රට වසන්නේ නැතුව සංචරණ සීමා තවත් දැඩි කිරීමට පියවර ගැනීමට කටයුතු කරගෙන යයි. එහෙත් එම නව ක‍්‍රියාමාර්ග පවතින වසංගත තත්ත්වය තවදුරටත් පැතිරීම වලක්වා ගැනීම ප‍්‍රමාණවත් ක‍්‍රියාමාර්ග විය යුතු බවට අපි රජයට සිහිපත් කරමු. මේ වෛරසය පැතිරීම පාලනය කර ගැනීමට ප‍්‍රමාණවත් වන මට්ටමට කොරෝනා මර්ධන ක‍්‍රියාමාර්ග දැඩිව අනුගමනය කළ යුතුව තිබෙන බව සෞඛ්‍ය අංශ කරන යෝජනාව වී තිබේ. කොරෝනා පාලනය ගැන මුල සිටම තිබූ රජයේ අධිතක්සෙරුව තවදුරටත් රටටත්, ආර්ථිකයටත් ඉතා නරක තත්ත්වයක් උදා කළ හැකි අතර එය ඉතා අහිතකර බව රජයට සිහිපත් කළ යුතුව තිබේ. ඉතා අවදානම් වසංගත තත්ත්වය පාලනය වීමෙන් ආර්ථික කටයුතු වේගයෙන් නැවත පණ ගන්වා  ගැනීමට අවකාශ සැලසෙන බව ද කිව යුතුය.


ශ්‍යාම් නුවන් ගනේවත්ත
 [email protected]

advertistmentadvertistment
advertistmentadvertistment