කොරෝනා වෛරසයේ මූලාශ‍්‍රය සෙවීම සඳහා නව කාර්යසාධන බළකායක්

160

ලොවටම බලවත් තර්ජනයක්ව පවතින කොරෝනා වෛරසයේ මූලාශ‍්‍රය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂඥයන් 26 දෙනෙකුගෙන් සමන්විත නව කාර්ය සාධන බළකායක් පත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පියවර ගෙන තිබේ.

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව රෝගකාරකවල (සගෝ) මූලාශ‍්‍රය පිළිබඳව සොයා බැලීම සඳහා වන විද්‍යාත්මක උපදේශක කණ්ඩායම නමින් පත් කර ඇති මෙම නව කාර්යසාධන බළකාය කොරෝනා වෛරසයේ මූලාශ‍්‍රයන් සොයා බැලීම සඳහා පවතින අවසන් අවස්ථාව වන බව එම සංවිධානය පවසයි. මෙම නව කාර්යසාධන බළකාය මගින් චීනයේ වූහාන් නගරයෙන් පැතිරීම ආරම්භ වූ කොරෝනා වෛරසය වූහාන් වෙළෙඳපළ හරහා සතුන්ගෙන් මිනිසාට වැළඳුනේද නැතහොත් රසායනාගාරයකින් කාන්දු වූයේද යන්න පිළිබඳව සොයා බැලෙනු ඇත. කොරෝනා වෛරසය රසායනාගාරයකින් කාන්දු වූයේ යැයි යන මතය චීනය විසින් දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කර තිබේ. ඉකුත් පෙබරවාරි මාසයේදී කොරෝනා වෛරසයේ මූලාශ‍්‍රයන් පිළිබඳව විමර්ශනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් විසින් චීනයට ගොස් සිදු කරන ලද විමර්ශනයෙන් අනතුරුව කොරෝනා වෛරසය නියත වශයෙන්ම වවුලන්ගෙන් පැමිණෙන්නට ඇති බවට වාර්තාවක් නිකුත් කළද එය තහවුරු කිරීම සඳහා තවදුරටත් විමර්ශනය කළ යුතු බව ප‍්‍රකාශ වී තිබිණි.

 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පත් කර ඇති නව කාර්ය සාධන බළකායට කලින් චීනයට ගොස් කොරෝනා වෛරසය පිළිබඳව විමර්ශනය කරන ලද ලෝක සෞඛ්‍ය සංවිධාන කණ්ඩායමේ සිටි විශේෂඥයන් 06 දෙනෙකු අයත් වන බව පවසා ඇති සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය ටෙඞ්රෝස් ඇඩනම් ගෙබ්‍රේයේසුස් වෛරසය පිළිබඳව මෙතෙක් සිදුකරන ලද විමර්ශනයන් අඩාල වූයේ චීනයේ විමර්ශනය සඳහා නව දත්ත අඩුවෙන් ලබා දීම හා ලබා දුන් දත්තවල විනිවිදභාවය අඩු වීම යන කරුණු නිසා බව අවධාරණය කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment