කොරෝනා සහ වඳුරු උණ

582

කොරෝනා නැවත පැතිරීමත් Monkeypokx හෙවත් වඳුරු උණ ලංකාව දෙසට එබී බැලීමත් නිසා රටේ තිබෙන ප්‍රශ්න තවදුරටත් වර්චස්වීමට ඉඩ තිබේ. හැම දිනකම මේ තීරුව තුළින් අසුබ දේ පමණක් අප සාකච්ඡා කරතියි නොසිතන්න. දැනට මේ රටේ සාකච්ඡා කිරීමට ඉතිරිවී ඇත්තේ අසුබ දේම පමණි. ශුන්‍යතාවය නියෝජනය කරන නැත යන වචනය සමාජයේ හැම තැනකම දකින්නට ඇත. තෙල් නැත, ගෑස් නැත, කිරිපිටි නැත, සීනි නැත, හාල් නැත, බෙහෙත් නැත, දේශපාලනඥයන්ට කෑමට පුන්නක්කු නැත යනාදී වශයෙන් හැම තැනකම නැති බනේම පමණක්ම ඇසේ. මෙහිදී කිරිපිටි නැත, සීනි නැත, හාල් නැත යන කාරණා තුන ගැන පාඨකයා යම් ප්‍රමාණයකට විරෝධය පළකිරීමට ඉඩ තිබේ. ඉහත කී භාණ්ඩ වර්ග ඉතා වැඩි මිලට විකිණීමට ඇත. පාරිභෝගිකයාට කිසියම් භාණ්ඩයක් මිලදී ගැනීමට ශක්තියක් නොමැති නම් හෙවත් එම භාණ්ඩයේ මිල දැරීමට නොහැකි තරම් ඉහළ නම් එවැනි භාණ්ඩ හැඳින්වෙන්නේ ද නැති භාණ්ඩ ලෙසය. මෙය එක්සත් ජාතීන්ගේ නිර්ණායකයකි. එක්සත් ජාතීන්ට අනුව කුසගින්න යනුවෙන් හඳුන්වනු ලබන්නේ ආහාර සම්පූර්ණයෙන් නැතිව බඩ හිස්වීම නොවේ. පෝෂ්‍යදායක ආහාර නොලැබීම ද එක්සත් ජාතීන්ගේ නිර්ණායකයන්ට අනුව කුසගින්න ලෙස හඳුවන්වනු ලැබේ. පිදුරු හෝ පුන්නක්කු අනුභව කර බඩ පුරවාගැනීමෙන් වැඩක් නැත. කෙනකුට සිය පැවැත්ම සඳහා එදිනෙදා සමබල ආහාර වේලක් අවශ්‍යය. මේ ආකාරයෙන් බලනවිට රටේ විශාල ආර්ථික අර්බුදයක් ද දේශපාලන විසම්මුතියක් ද පවතින මෙවැනි අවස්ථාවක කොරෝනා යළි පැතිරීමත් වඳුරු උණ එබී බැලීමත් යන කාරණා දෙක කිසිසේත්ම සුළුකොට තැකිය යුතු නොවේ. ගෝඨාභය රාජපක්‍ෂගේ මුල් දේශපාලන වටය සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද්දේ කොරෝනා වසංගතය විසිනි. ඔහුගේ ඉතිරි හරිය ඔහුගේම මිතුරන් විසින් විනාශ කරන ලදී. රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනාධිපති පදවියට පත්වී ඇති මේ මොහොතේදී කොරෝනා වසංගතය සහ වඳුරු උණ ලිච්ඡවී රජවරුන්ගේ ක්‍රමයට සාම සම්මුතියකට පැමිණීම අන්තරාදායකය. ඒ නිසා ජනතාව සහ සෞඛ්‍ය අංශ නැවත වතාවත් කොරෝනා පාලනය කිරීම සම්බන්ධයෙන් වඩාත් උනන්දුවෙන් කටයුතු නොකොළොත් ගිය ආණ්ඩුවේ අන්තිම හරිය පුනරුච්ඡාරණය වීමට ඉඩ ඇත.

කොරෝනා සම්බන්ධයෙන් අපට අත්දැකීමක් තිබේ. මේ වනවිට මේ රටේ හයලක්‍ෂ හැටපන්දහසකට කොරෝනා වැළඳී ඇති අතර එයින් දාසය දහස් පන්සිය තිස්නවයක් මියගියහ. මේ ලෝක මට්ටමෙන් ගත් කල ලෝකවාසී ජනතාවගෙන් කෝටි පනස් හතකට වැළඳින. එයින් හත්ලක්‍ෂයක් පමණ මළහ. එම අනුපාතය හා සසඳන කල ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව වැඩිය. කොරෝනා ගැන දැනගත්තත් අපි වඳුරු උණ සම්බන්ධයෙන් නොදනිමු. වඳුරු උණ යනු පැපොල, සරම්ප, වසූරිය රෝග ඛාණ්ඩයේ එකක් වන නමුත් ඒ තුනටම වඩා මෘදු රෝගයකි. මෙය සාමාන්‍ය කෙනකුට වැළඳුනොත් මාරාන්තික වන්නේ නැත. එහෙත් දියවැඩියාව, හෘදයාබාධය හෝ වෙනත් නිදන්ගත රෝග සහිත කෙනකුට මේ රෝගය වැළඳුනොත් එම රෝගියාට සිදුවන්නේ තමන් කළ කී දේවල් අනුව අපායේ හෝ දෙව්ලොව ගැන බලාපොරොත්තු තබාගැනීමටය. වඳුරු උණ රෝගය මුලින්ම සොයාගනු ලබන්නේ එක්දහස් නවසිය හැත්ත ගණන්වලදීය. මෙය වඳුරන්ගෙන් බෝවෙන රෝගයක් ලෙස පිළිගනු ලැබේ. එය සැලකිල්ලට ගනිමින් මේ රටේ සිටින ඇතැම් මීහරකුන් රට පුරා සිටින වඳුරන් මැරීමට ඉඩ තිබේ. එවැනි ගොන් වැඩ කිරීමෙන් පළක් නැත. එසේ නම් කොරෝනා රෝගය මිනිසුන්ගෙන් බෝවන නිසා සකල මනුෂ්‍ය වර්ගයාම සමූල ඝාතනය කළ යුතුය. අපේ රටේ ජනයාට ප්‍රශ්න විසඳීම සඳහා ඉතා කෙටි ක්‍රම තිබේ. මේ කෙටි ක්‍රමවල විපාකය ඉතා දීර්ඝ බව සියලු දෙනාම මතක තබාගත යුතුය. වඳුරු උණ මෘදු රෝගයක් ලෙස අප සලකන්නේ ඇයි. පැපොල, වසූරිය, සරම්ප කාණ්ඩයේ රෝගයක් මෙන් එය විශාල සංකූලතා ඇතිකරන්නේ නැත. එමතුද නොව එය ඉතා වේගයෙන් බෝවන්නේ ද නැත. කොරෝනා යනු වඳුරු උණ වැනි කාරුණික රෝගයක් නොවේ. 2019 දී මේ වෛරසය චීනයෙන් මතුවී ස්වල්ප කාලයකට පසු වහ වහා පැතිරෙන්නට පටන්ගත් අතර අවුරුද්දක් යනවිට කෝටි පනහකට පමණ වැළඳින. කොරෝනාව කොතරම් වේගයෙන් පැතිර ගියේද යත් කොරෝනාවෙන් මියගිය අයගේ සිරුරු පිළිස්සීම සඳහා ආදාහනාගාරවල ඉඩකඩ පවා නැති විය. හැබැයි වඳුරු උණ මෘදු රෝගයක් කියා අප එය බෝකරගත යුතු නැත. එවැනි දේ සම්බන්ධයෙන් කල්තියා සූදානම් වීමක් පරීක්‍ෂාකාරී ලෙස හැසිරීමක් ලෙස කරන්නේ නම් මේ රෝගයෙන් බේරීමේ හැකියාව ජනතාවට ලැබේ. ඉන්දියාව යනු ඕනෑම රෝගයක් පැය 48 ක් තුළ ලක්‍ෂ ගණනකට වැළඳෙන රටකි. එහෙත් වඳුරු උණ රෝගය ඒ රටේ තවමත් වැළඳී ඇත්තේ සිව්දෙනකුට පමණි. කිසියම් රෝගයක් පැතිරීමට පටන්ගත් විට ඒ සම්බන්ධයෙන් අනියත බියක් පැතිරවීමේ සිරිතක් රටේ ඇත. එම භීතිය විකිණීමට හැකිය. කිසියම් ජනමාධ්‍යයක් එම භීතිය පතුරවනු ලබන්නේ නම් එම අවස්ථාව හඳුන්වනු ලබන්නේ Merchant of Fear හෙවත් භීතියේ වෙළෙන්ඳා යනුවෙනි.

කොරෝනාව යළි මේ රටේ හිස එසවීමට හේතු කිහිපයක් තිබේ. ඉන් පළමුවැන්න නම් මේ දිනවල හටගෙන තිබෙන ඉන්ධන හිඟයයි. ඉන්ධන හිඟය නිසා රථවාහනවල හිඟයක් පවතින බැවින් විශාල මගී තදබදයක් හටගෙන ඇත. මේ දිනවල දුම්රියකට නැග්ගොත් අල්ලාගෙන සිටීමට පොලු හෝ වෙනත් ආධාරක අවශ්‍ය නොවේ. දුම්රියට එකතුවී සිටින අතිවිශාල පිරිස නිසා පැක්වී ගමන් කිරීමේ අවස්ථාව මගියාට ලැබේ. මෙවැනි විටක මාස්ක් එකක් නොව කිහිපයක් දමාගෙන සිටියත් එකිනෙකා අතර වෛරස් හුවමාරුවක් හටගැනීම ඉතා ලෙහෙසිය. එසේම ඉන්ධන පෝලිම ද වෛරස් විමානයකි. මේ සියලු කරුණු සලකා රටත් ආර්ථිකයත් නැවත වනවීමෙන් වළක්වා ගනු පිණිස රජය මෙන්ම ජනතාව ද ආරක්‍ෂාකාරී ක්‍රියාමාර්ගවලට එළඹිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment