කොවිඞ් අස්සේ වනාන්තර ටිකටත් විනකටීද..?

254

ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, ආර්. ඒ. ඒ. කේ. රණවක මහතා විසින් සියලූ දිස්ත‍්‍රික් ලේකම්වරුන් හා සියලූ ප‍්‍රාදේශීය ලේකම්වරුන් වෙත ”රජයේ ඉඩම් මැන වෙන් කිරීම” සඳහා වන චක‍්‍රලේඛයක් 2021 අගෝස්තු මස 6 වන දින අංක 02/2021 යටතේ නිකුත් කර තිබේ. මෙම චක‍්‍රලේඛය මගින් අවධානය යොමු කර ඇත්තේ ඉඩම් සංවර්ධන ආඥාපනතේ 8 වන වගන්තියට අනුව ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සාමාන්‍ය හා විශේෂ විධිවිධානවලට යටත්ව ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට රජයේ ඉඩම් විවිධ කාර්යන් සඳහා මැන වෙන් කරනු ලැබිය හැකි බැවින් විවිධ සංවර්ධන කටයුතු, ගම් පුළුල් කිරීම හා අනාගත සංවර්ධන කටයුතු සඳහා ආරක්ෂා කිරීමට ඉඩම් මැනීම් කර හඳුනා ගැනීමට කටයුතු කරන ලෙස ය.

 එම චක‍්‍රලේඛයේ විශේෂයෙන් සඳහන් කර ඇත්තේ වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ, ලේකම් විසින් නිකුත් කළ 2020 නොවැම්බර් මස 04 වන දින අංක ඵඋත්‍ක්‍/01/2020 දරන චක‍්‍රලේඛයේ සඳහන් පරිදි මීට ප‍්‍රථම ප‍්‍රකාශිත 1998.07.01 දින අංක 05/98 දරන, 2001.08.10 වන දින අංක 5/2001 දරන හා 2006.05.17 වන දින අංක 02/2006 දරන චක‍්‍රලේඛ ත‍්‍රිත්වය අවලංගු කර ඇති බැවින් වන සංරක්ෂණ ජනරාල්වරයා විසින් හා වනජීවී සංරක්ෂණ ජනරාල් විසින් ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර ඇති වනජීවී ප‍්‍රදේශ හැර අනෙක් රජයේ ඉඩම් ප‍්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත‍්‍රික් ලේකම්වරුන් භාරයේ තබා ගන්නා ලෙස ය.

 * සාවද්‍ය චක‍්‍රලේඛයක්

 මෙම චක‍්‍රලේඛය අධ්‍යයනය කර බැලීමේ දී පෙනී යන්නේ එහි සාවද්‍ය කරුණු ගණනාවක් අන්තර්ගත වන බව ය. වන සංරක්ෂණ හා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ පාලනය වන රක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබන්නේ 2009 අංක 65 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥාපනතට අනුව හා 2009 අංක 22 දරන පනතින් අවසන්වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව ය. එම රක්ෂිත ප‍්‍රදේශ ප‍්‍රකාශයට පත් කරනු ලබන්නේ අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ය. මෙම චක‍්‍රලේඛයේ සඳහන් පරිදි වන සංරක්ෂණ ජනරාල් හෝ වනජීවී සංරක්ෂණ ජනරාල් (අධ්‍යක්ෂ ජනරාල්* විසින් ප‍්‍රකාශිත කිසිදු රක්ෂිත ප‍්‍රදේශයක් නොමැත. ඒ අනුව මෙය ඉතා ම දෝෂ සහිත චක‍්‍රලේඛයක් බව පෙනී යයි.

 * වන සංරක්ෂණ ආඥාපනත  උල්ලංඝනය කිරීම

 මෙම චක‍්‍රලේඛයේ ප‍්‍රධාන නීති විරෝධී තත්ත්වය වන්නේ වන රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රදේශ හැර ඉතිරි ඉඩම් සංවර්ධන කටයුතු සඳහා, ගම් පුළුල් කිරීම සඳහා සහ අනාගත සංවර්ධන කටයුතු සඳහා මැනීම් කර ප‍්‍රාදේශීය ලේකම් හා දිස්ත‍්‍රික් ලේකම් භාරයේ තබා ගැනීමට නියෝග නිකුත් කිරීම ය. මෙය වන සංරක්ෂණ ආඥාපනත සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කිරීමකි. වන සංරක්ෂණ ආඥාපනතේ 20 වන වගන්තියට අනුව සංරක්ෂණ වනාන්තර, වන රක්ෂිත හා ගම්බද වනාන්තර ලෙස ප‍්‍රකාශයට පත් කළ වනාන්තර හැර රජයට අයත් සියලූ ම වනාන්තර මෙම වගන්තිය යටතේ පාලනය වේ. එම වනාන්තර ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර නොමැති අතර රජයේ ඉඩම්වල පිහිටි සියලූ ම වනාන්තර මෙම වගන්තියට යටත් වේ.

 පනතේ 20(1* වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක ගස් කැපීම, කැණීම් කටයුතු සිදු කිරීම, ගිනි තැබීම, වනාන්තර එළි කර වගා කිරීම, ස්ථිර හෝ තාවකාලික ඉදිකිරීම් සිදු කිරීම, පාරවල් සකස් කිරීම, මායිම් සලකුණු වෙනස් කිරීම යන සියලූ ක‍්‍රියා නීති විරෝධී වේ. මෙවන් නීති විරෝධී ක‍්‍රියාවකට මහෙස්ත‍්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු වන පුද්ගලයකු රුපියල් 5000 ත් 50,000 ත් අතර දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. ඊට

 අමතර ව වනාන්තරයට සිදු කරන ලද හානියට වන්දියක් ලෙස අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් විය යුතු ය. 20(2*(1* වගන්තියට අනුව රජයට අයත් වනාන්තරයක යම් වරදක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම දඬුවමට ම  යටත් කළ හැකි ය.

 05/98 හා 05/2001 අංක දරන චක‍්‍රලේඛ, අංක ඵඋත්‍ක්‍/01/2020 දරන චක‍්‍රලේඛය මගින් අහෝසි කරනු ලැබූව ද 2009 අංක 65 දරන පනතින් වන සංරක්ෂණ ආඥාපනත අවසන් වශයෙන් සංශෝධනය කිරීමේ දී මෙම චක‍්‍රලේඛ මගින් නෛතික ආවරණය ලබා දුන් සියලූ ම වනාන්තරවල ආරක්ෂාව පාර්ලිමේන්තුවෙන් සම්මත වූ මෙම පනතේ 20 වන වගන්තියට යටත් කර තිබිය දී චක‍්‍රලේඛයක් මගින් එම වනාන්තර වෙනත් ආයතනයකට පැවරීමේ කිසිදු නෛතික හැකියාවක් නොමැත. එමගින් සිදු කරන්නේ වන සංරක්ෂණ ආඥාපනත උල්ලංඝනය කිරීම පමණක් නොව රජයට අයත් වනාන්තර විනාශ කිරීමට ආධාර හා අනුබල ලබා දීමකි. මේ නිසා මෙම චක‍්‍රලේඛය නීති විරෝධී වේ.

 * ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම

 නීති විරෝධී ලෙස මෙම චක‍්‍රලේඛය ප‍්‍රකාශයට පත් කිරීමෙන් ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා සිදු කර ඇත්තේ නීතිය අතික‍්‍රමණය කිරීමකි. එපමණක් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කිරීමකි. ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ෙඡ්දයේ දැක්වෙන රාජ්‍ය ප‍්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14* ව්‍යවස්ථාවේ දැක්වෙන ලෙස ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය. ඒ වෙනුවට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මෙම චක‍්‍රලේඛය මගින් සිදු කර ඇත්තේ වනාන්තර විනාශ කොට ජනතාවගේ යහපැවැත්ම සම්පූර්ණයෙන් ම බිඳ දැමීමට කටයුතු කිරීම ය.

 රක්ෂිත ලෙස ප‍්‍රකාශයට පත් කර නොමැති රජයට අයත් බොහෝ වනාන්තර ප‍්‍රදේශ වැව් හා ජලාශවල ජල පෝෂක ප‍්‍රදේශ වේ. එපමණක් නොව මෙම වනාන්තර රක්ෂිත ප‍්‍රදේශ අතර සම්බන්ධතාවය ඇති කරන අලි – ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථාන වේ. මීට අමතර ව තෙත් කලාපයේ පිහිටි බොහෝ රජයට අයත් වනාන්තර ප‍්‍රදේශ තුළ මෙරටට ආවේණික හා වඳවීමේ තර්ජනයට දරුණු ලෙස මුහුණපා ඇති විශේෂ ජීවත් වේ. මෙම වනාන්තර සංවර්ධන කාර්යන් සඳහා භාවිතා කිරීමෙන් සිදු වන්නේ පානීය ජල අර්බුද හා කෘෂිකාර්මික වාරි ජල අර්බුද ඇති වීමෙන් ග‍්‍රාමීය ජනතාවගේ ජීවන පැවැත්ම බිඳ වැටීමයි. එපමණක් නොව අලි – මිනිස් ගැටුම වර්ධනය වීම හා තෙත් කලාපයේ ස්ථානීය ආවේණික ජීවී විශේෂ බොහොමයක් වඳ වී යෑම ද මෙමගින් සිදු වනු ඇත. රජයට අයත් වනාන්තර ඉඩම් ලෙස රක්ෂිත වනාන්තර වලින් පරිබාහිරව ප‍්‍රතිශතයක් ලෙස වැඩි ම භූමි ප‍්‍රමාණයක පැතිර ඇත්තේ කඩොලාන වනාන්තර යි. මෙම වනාන්තර තුළ නොගැඹුරු මුහුදේ මත්ස්‍ය විශේෂ, ඉස්සන් හා කකුළුවන් විශේෂ බෝවීම සිදු වේ. මීට අමතර ව කලපු ආශ‍්‍රිත සත්ත්ව විශේෂ සියල්ලේ ම බෝවීම සිදු වන්නේ කඩොලාන වනාන්තර තුළ ය. මේ නිසා මෙම චක‍්‍රලේඛයෙන් වැඩි ම හානිය කඩොලාන වනාන්තරවලට සිදු වීමට නියමිත අතර ඒ හේතුවෙන් කලපු හා සාගර ජීවීන්ගේ පැවැත්මට හා ධීවර කර්මාන්තයේ පැවැත්මට දරුණු බලපෑම් එල්ල වනු ඇත.

 * සෞභාග්‍යයේ දැක්ම උල්ලංඝනය කිරීම

 මෙවර ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ අට වන පරිච්ෙඡ්දයේ දැක්වෙන තිරසර පරිසර ප‍්‍රතිපත්තියක් කොටසෙහි සඳහන් කර ඇත්තේ ජාතික වන වැස්ම 30% ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවත්, ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කරන අතර හානියට ලක් වූ පරිසර පද්ධති ප‍්‍රතිස්ථාපනය කරන බවත්, මිනිසා මෙන් ම අනෙක් සත්ත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජය ක‍්‍රියා කරන බවත් ය. නමුත් මෙම චක‍්‍රලේඛයෙන් ඒ සියල්ල ම බිඳ දමා ඇත.

සජීව චාමිකර
 ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය

advertistmentadvertistment
advertistmentadvertistment