කොවිඞ් තර්ජන මැද ඇරඹුන විශ්වයේ මහා ක්‍රීඩා සැණකෙලිය “ටෝකියෝ ඔලිම්පික් 2020”

263

නන්දජීව සූරියබණ්ඩාර

ඉතිහාසයේ පෙර නොවූ විරූ වසංගත තර්ජනය මැද වසරකට වැඩි කාලයක් කල් යමින් තිබූ විශ්වයේ මහා ක‍්‍රීඩා සැණකෙළිය 2021 ජූලි මස 23 වන දින ජපානයේ ටෝකියෝ නුවර ඔලිම්පික් ක‍්‍රීඩා සංකීර්ණයේදී නරඹන්නන්ගේ සහභාගීත්වයෙන් තොරව ඇරඹුනි. මේ ලිපිය ලියැවෙන්නේ ඒ වෙනුවෙනි.
 
 
 
 * ඔලිම්පික් උළෙලේ ආරම්භය
 
 පුරාණ ග‍්‍රීසිය ”පෞර රාජ්‍ය” (City states) 1000 කට අධික ප‍්‍රමාණයකින් සමන්විත විය. මෙම පෞර රාජ්‍යයන්හි වසන පිරිමින් වසරේ එක් දිනෙක ”ඔලිම්පස් කන්ද” පාමුල පිහිටි ”ඔලිම්පියා” නගරය වෙත එක් රැස්වී ආගමික චාරිත‍්‍රයක් ඉටුකරලීමට කටයුතු කළ අතර එය ග‍්‍රීක දෙවි දේවතාවුන්ගේ පියා ලෙස සැලකෙන සියුස් දෙවියන්” උදෙසා සිදුකෙරෙන්නක් විය. චාරිත‍්‍රයේ ප‍්‍රමුඛතම අංගයක් වූයේ මලල ක‍්‍රීඩා තරග පැවැත්වීමයි. මෙහි ආරම්භක උත්සවය ක‍්‍රිස්තු පූර්ව 776 සිදු කළ බව සැලකෙන අතර නව ක‍්‍රීඩා ඉසව් එක් වීමත් සමග ක‍්‍රිස්තූ පූර්ව 6 වන ශතවර්ෂයේදී එය දින තුනක් සහ ක‍්‍රි.පූ. 5 වන ශතවර්ෂයේදී දින 5ක් වශයෙන් දීර්ඝ කෙරෙන්නට ඇති බවට විශ්වාස කෙරේ. පසුව එය වසර හතරකට වරක් පැවැත්වෙන ක‍්‍රීඩා උත්සවයක් බවට පත් ව ඇතිි අතර ග‍්‍රීසිය රෝම අධිරාජ්‍යයේ පාලනයට යටත්වූ පසුවත් මෙම ක‍්‍රීඩා උළෙල අඛණ්ඩව පැවැත්වී ඇත. පුරාණ ඔලිම්පික් ක‍්‍රීඩා උත්සවයේ අවසන් උත්සවය රෝම අධිරාජයෙක් වූ පළමුවන ”තියෝඩෝසියුස්” ගේ පාලන කාලය වූ ක‍්‍රිස්තු වර්ෂ 393 දී පැවැත්වී තිබේ. මෙම ක‍්‍රීඩා තරග පෞර රාජ්‍යයන් තම ප‍්‍රතිවාදීන් කෙරේ ආධිපත්‍ය පැතිරවීම සඳහා භාවිතා කරන ලද උපක‍්‍රමික මෙවළමක් ලෙස සැලකුණ අතර තරග ජයග‍්‍රාහකයන් සඳහා ඔලිව් කොළවලින් තැනුන ඔටුනු ප‍්‍රදානය කර තිබේ. පුරාණ ඔලිම්පියා නගර මධ්‍යයේ ඉදිකර තිබුණ සියුස් දෙවියා වෙනුවෙන් කැප කෙරුණ දෙවොලේ රන් හා ඇත් දලවලින් නිම කළ සියුස්ගේ ප‍්‍රතිමාවක් තබා තිබුණ අතර ක‍්‍රීඩා උත්සවය අතර ගවයන් 100 දෙනෙකු සියුස් දෙවියන් වෙනුවෙන් පූජා කිරීම ආගමික චාරිත‍්‍රයක් ලෙසට සිදුකෙරුණි. මෙම දෙවොලේ තනා තිබුණු සියුස් ප‍්‍රතිමාව ”පුරාණ ලෝ්කයේ ලෝක පුදුම හතෙන්” එකක් ලෙස සැලකේ.
 
 * නූතන ඔලිම්පික් උළෙලේ පළමුවැන්න
 
 1896 අප්‍රෙල් 06 වන දින සිට 15 වන දින දක්වා ග‍්‍රීසියේ ඇතෑන්ස් නුවර ”පැනතෙනයික්” ක‍්‍රීඩාංගණයේ පැවැත්වුණ ගිම්හාන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නූතන ඉතිහාසයේ පළමු ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ලෙස සැලකෙන අතර එය නිල වශයෙන් හැඳින්වූයේ ”පළමු ඔලිම්පියාඞ් ක‍්‍රීඩා උළෙල” වශයෙනි. 1894 වසරේදී ”බාරෝන් පියරේ ද කව්බර්ටින්” නම් ප‍්‍රංශ ජාතික වංශාධිපතියකු පුරාණ ඔලිම්පික් උළෙලට සෑම අතින්ම සමාන ක‍්‍රීඩා උළෙලක් නැවත පැවැත්වීම පිළිබඳ අදහස පැරීසියේ පැවැති ජාත්‍යන්තර ක‍්‍රීඩාව පිළිබඳ සම්මන්ත‍්‍රණයකදී මුලින්ම ඉදිරිපත් කළ අතර ඔහුගේ උත්සාහය වූයේ 1900 වසරේදී එය තම රටවූ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමයි. රටවල් නවයක නියෝජිතයන් 79 දෙනෙක් ඒකමතිකව ඔහුගේ අදහස අනුමත කළෝය. ඉන් අනතුරුව ”ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව” ආරම්භ කරනු ලබයි. කෙසේ වෙතත් මෙම අදහසට ලොව පුරා රටවලින් ලැබුන උනන්දුවක් දක්වන සුළු සහයෝගය හේතුවෙන් ඉන් වසර දෙකක් ඉක්ම යන විට නූතන ඉතිහාසයේ පළමු ඔලිම්පික් උළෙල පැවැත්වීමට හැකියාව ලැබුණ අතර ඉතිහාස ගත ආරම්භයට ගරු කිරීමක් ලෙස මෙම උත්කර්ෂවත් ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයේ සත්කාරකත්වය ග‍්‍රීසියේ ”ඇතෑන්ස්” වෙත ප‍්‍රදානය කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කටයුතු කරන ලදි.
 
 රටවල් 14 කින් ක‍්‍රීඩකයන් 240 දෙනෙකු පළමු ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වූ අතර ඔවුන් ක‍්‍රීඩා 9 ක් වෙනුවෙන් වූ ඉසව් 43 ක් නියෝජනය කරන ලදි. සියලූ ක‍්‍රීඩකයන් පිරිමින් වූ අතර පළමු ස්ථානයට රිදී පදක්කමක් සහ දෙවන ජයග‍්‍රාහකයාට තඹ පදක්කමක් ප‍්‍රදානය කරන ලදි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පසුව මෙම පදක්කම් රන් සහ රිදී පදක්කම් බවට පරිවර්තනය කළ අතර තෙවැනි ස්ථානයට ලෝකඩ පදක්කමක් ප‍්‍රදානයට කටයුතු කරන ලදි. එක්සත් ජනපදය රන් පදක්කම් 12 ක් දිනාගනිමින් වැඩිම රන් පදක්කම් ප‍්‍රමාණයට හිමිකම් කිවු අතර ග‍්‍රීසිය රන් පදක්කම් 11 ක් ඇතුළු සමස්ත පදක්කම් 46 ක් ලබා ගනිමින් පළමු ඔලිම්පික් උළෙලේ වැඩිම පදක්කම් ප‍්‍රමාණය දිනාගත් රට බවට පත් විය.
 
 * ඔලිම්පික් සඳහා ”මැරතන්” තරග ඉසව්ව එක් කිරීම සහ දුර ප‍්‍රමිතිකරණය
 
 පුරාණ ඔලිම්පික් තරගවල ”මැරතන්” දිවීමේ ඉසව්වක් ඇතුළත් කර තිබුණේ නැත. ක‍්‍රිස්තු පූර්ව 490 දී ”පර්සියානු” හමුදාවන් ඇතෑන්ස් අසල වන මැරතන් නගරයට ගොඩබැස්ස විට සහාය ලබාදෙන මෙන් ”ස්පාටා” නගරයේ සිටින ග‍්‍රීක හමුදාවන් වෙත දැන්වීම පිණිස කිලෝමීටර් 149 ක දුරක් දින දෙකක් තුළ දිව ගිය ”ෆීඩිපියිඞ්ස්” නම් පණිවුඩකරු ඉන් අනතුරුව මැරතන් සටනේ ග‍්‍රීකයන්ගේ ජයග‍්‍රහණය දැන්වීම පිණිස මැරතන් සිට ඇතෑන්ස් වෙත කිලෝමීටර් 40 ක දුරක් දිවගොස් තිබේ. කෙසේ වෙතත් ”අප ජයගත්තා” යන පණිවුඩය ලබාදීමෙන් අනතුරුව අධික වෙහෙස සහ විජලනය හේතුවෙන් ඔහු මියගොස් ඇත. ඔහුගේ කැපවීම සිහිපත් කිරීම පිණිස 1896 ඔලිම්පික් තරගාවලියේදී පළමුවරට මැරතන් දුර දිවීමේ ඉසව්ව එක් කෙරුණේ කිලෝමීටර් 40 ක දුර ප‍්‍රමාණයක් සහිතවය. කෙසේ වෙතත් මෙම ඉසව්වේ සම්මත දුර ප‍්‍රමාණය සැතපුම් 26 කුත් යාර 385 ක් (කිලෝමීටර් 42.195) ලෙස ප‍්‍රමිතිකරණය කරන ලද්දේ 1908 ලන්ඩනයේ පැවැති 4 වන ඔලිම්පික් උත්සවයේදීය. එහි මැරතන් තරගයේ ආරම්භක රේඛාව ”වින්ඞ්සර් කාසල් මන්දිරය” ඉදිරියේ පැවැති අතර අවසන් රේඛාව ”වයිට්සිටි ක‍්‍රීඩාංගණයේ” ඇතුළත ධාවන තීරුවේ විය. මෙම ආරම්භක සහ අවසන් ස්ථාන අතර දුර වන සැතපුම් 26 කුත් යාර 385 ක දුර එතැන් පටන් මැරතන් ඉසව්වේ ප‍්‍රමිතිකරණ දුර වශයෙන් සැලකේ. ග‍්‍රීක ජාතික”ස්පිරිඩොන් ලූවී” පළමු මැරතන් තරගයේ රන් පදක්කම හිමිකර ගැනීම සුවිශේෂ සිදුවීමක් විය.
 
 * පළමුවන ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය
 
olympic3 1921 වර්ෂයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප‍්‍රංශයේ ”චාමොනික්ස්” හිදී 1924 වර්ෂයේ පැවැත්වීමට නියමිත ශීත සෘතු ක‍්‍රීඩා උළෙල සඳහා අනුග‍්‍රහය දැක්වීමට එකඟ විය. රටවල් 14 ක සහභාගීත්වයෙන් ක‍්‍රීඩා ඉසව් 16 ක් සඳහා ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් 258 දෙනෙක් සහභාගී වූ මෙම ක‍්‍රීඩා උළෙල 1921 ජනවාරි 25 වන දින සිට පෙබරවාරි 6 වන දින දක්වා අති සාර්ථක අන්දමින් පැවැත්වීමට හැකියාව ලැබීම හේතුවෙන් උද්දාමයට පත්වූ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පසුව එය ”පළමුවන ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය” ලෙස නිල වශයෙන් හැඳින්වීමට කටයුතු කරන ලදී. පළමු ශීත ඔලිම්පික් උළෙලෙහි පූර්වාදර්ශය අනුව යමින් චාමොනික්ස් උළෙලේ සිට 1992 දී පැවැති බාර්සිලෝනා ඔලිම්පික් උළෙල දක්වා වන සියලූ ශීත සෘතු ඔලිම්පික් උළෙලවල් ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැති වර්ෂයේම එයට පසුව පැවැත්වූ නමුත් බාර්සිලෝනා තරගාවලියෙන් පසු ගිම්හාන ඔලිම්පික් උළෙල පැවැත්වූ වර්ෂයට පසුව එන දෙවැනි වර්ෂයේදී ශීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වීමට කටයුතු කරනු ලබයි. ඒ අනුව ඊළඟ ශීත සෘතු ඔලිම්පික් උළෙල 2022 වසරේදී චීනයේ ”බීජිං”හිදී පැවැත්වීමට නියමිතව ඇත.
 
 * නූතන ඔලිම්පික් ධජය
 
 ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වර්තමානයේදී භාවිතා කරන නිල ධජය සුදු පසුබිමක් මත එකිනෙක හා බැඳුණ විවිධ වර්ණ මුදු 5 කින් යුක්ත වේ. එය ඓතිහාසික පසුබිමක් මත නිර්මාණය කළ එකක් නොවන අතර එය 1913 වසරේදී එවකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති බාරොන් පී. කව්බර්ටින් ගේ මාර්ගෝපදේශ මත නිර්මාණය කරන ලද්දකි. කව්බර්ටින්ට මෙම මුදු පිළිබඳ අදහස එවකට ක‍්‍රියාත්මක වූ ප‍්‍රංශ මලල ක‍්‍රීඩා සංගමයේ ලාංඡුනය මගින් ලැබෙන්නට ඇතැයි සැලකේ. (ප‍්‍රංශ මලල ක‍්‍රීඩා සංගමයේ ලාංඡුනය එකිනෙක හා බැඳුනු නිල් සහ රතු මුදු දෙකකින් යුක්ත විය.) 1914 දී එළිදැක්වූ මෙම නව ධජය පළමුවරට බෙල්ජියමේ ”ඈන්ට්වර්ප්” නගරයේ පැවැති 7 වන ඔලිම්පික් තරගාවලියේදී නිල වශයෙන් භාවිතයට ගන්නා ලදි. ඔලිම්පික් තරගාවලියේ විශ්වීය භාවය සහ ජාත්‍යන්තර එකමුතු භාවය සංකේතවත් කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම නවීන සංකේතයේ එකිනෙක හා බැඳුන මුදු 5 මගින් ලෝකයේ මහාද්වීප 5ත් ඒවා එකිනෙක හා නොගිලිහෙණ ලෙස අන්‍යොන්‍ය වශයෙන් බැඳී තිබීමත් නිරූපණය වේ. මුදු 5 නිල්, කහ, කළු, කොළ හා රතු පැහැයන්ගෙන් වර්ණ ගන්වා තිබෙන අතර එම වර්ණ ලොව සියලූ රටවල ජාතික ධජයන් සකස් වී ඇති වර්ණ නියෝජනය කරයි.
 
 * ඔලිම්පික් ගිනි සිළුව
 
 ඔලිම්පික් ගිනිිසිළුව පුරාණ සහ නවීන ඔලිම්පික් උළෙවල අඛණ්ඩතාවයේ කැපීපෙනෙන සංකේතයක් වන අතර එය පුරාණ ග‍්‍රීසියේ ආගමික චාරිත‍්‍රයන්ගේ අංගයක දිගුවකි. ග‍්‍රීසියේ පුරාණ ඔලිම්පික් උළෙල පැවැති කාල සීමාවේදී ”සියුස්”, ”හේරා” සහ ”හෙස්ටියා” දෙවඟන යන දෙවි දේවතාවුන්ගේ පූජාසනයන් ඉදිරියේ ගිනි දල්වන අතර එය ක‍්‍රීඩා උළෙල අවසන් වන තෙක් නොනිවා දල්වනු ලැබේ. (ග‍්‍රීක විශ්වාසයන්ට අනුව හෙස්ටියා කන්‍යා දෙවඟන නීරෝගීතාවය, පවුල, නිවස සහ රාජ්‍යයට අධිපති දෙවඟන සේ සැලකෙන අතර ගින්නට දිව්‍යමය අර්ථයක් ඇතැයිද සැලකේ. විවාහය, දරුවන් සහ පවුලට අධිපති දෙවඟන සේ සැලකෙන හේරා දෙවඟන සියුස් ගේ බිරිඳ වේ.)
 
 නූතන ඔලිම්පික් උළෙලවල ඔලිම්පික් ගිනිසිළුව පළමුවරට දැල්වෙන්නේ 1928 වසරේදී නෙදර්ලන්තයේ ”ඇම්ස්ටර්ඩෑම්” හි පැවැති 9 වන ඔලිම්පික් තරගාවලියේදීය. ඇම්ස්ටර්ඩෑම්හී ඔලිම්පික් ක‍්‍රීඩාංගනයේ මැරතන් කුලූනේ පළමු ගිනි දැල්ල දැල්වීමෙන් පසු එය ගිම්හාන ඔලිම්පික් උළෙලේ කොටසක් වූ අතර 1936 ශීත සෘතු ඔලිම්පික් උළෙලේදී එය ශීත සෘතු ඔලිම්පික්වලට ද පළමුවරට හඳුන්වා දෙන ලදි. ග‍්‍රීසියේ ඔලිම්පියාහී තැන්පත් කර තැබෙන ඔලිම්පික් ගිනිසිළුව උළෙලට මාස කිහිපයකට පෙර දල්වනු ලබන අතර ලොව පුරා රටවල් මැදින් සිදුවන ප‍්‍රදර්ශනාත්මක සහාය දිවීමකින් ඔලිම්පික් තරග පැවැත්වෙන ක‍්‍රීඩාංගණය වෙත රැගෙන එනු ලැබේ. ඔලිම්පික් ක‍්‍රීඩාංගනයේ පිහිටුවා ඇති ඔලිම්පික් උදුන දැල්වීමෙන් අනතුරුව තරග පැවැත්වෙන කාලය පුරා නොනිවී දැල්වෙන ගිනිසිළුව සමාප්ති උළෙලෙන් පසු නිවා දමනු ලබන අතර නැවත ග‍්‍රීසියේ ඔලිම්පියා වෙත ගෙන ගොස් තැන්පත් කරනු ලැබේ.
 
 * ටෝකියෝ ඔලිම්පික් උළෙල
 
olympic2 2013 සැප්තැම්බර් මස 07 වන දින ආර්ජන්ටිනාවේ ”බුවනෝර්ස් අයර්ස්” හිදී පැවැති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ 125 වන සැසිවාරයේදී 2020 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය සඳහා ජපානයේ ටෝකියෝ නුවර තෝරාගන්නා ලදි. මෙම අගනා අවස්ථාව ලබාගැනීම සඳහා ජපානයේ ටෝකියෝ සමග තූර්කියේ ඉස්තාන්බුල් සහ ස්පාක්‍ද්ක්‍දයේ මැඞ්රීඞ් නගර තරග වැදුන අතර පළමු වටයේ ඡුන්ද විමසීමේදී 44.68% ක්ද, දෙවැනි වටයේ දී 62.50% ක ඡුන්ද ප‍්‍රතිශතයක්ද ලබා ගනිමින් ටෝකියෝ ජයග‍්‍රහණය අත්කර ගත්තේය. මෙවර ඔලිම්පික් තරගාවලියත් සමග ඔලිම්පික් තරගාවලියක් දෙවරක් පැවැත්වූ ආසියාවේ එකම නගරය බවට ටෝකියෝව පත්වෙයි. 1964 වසරේ ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරකත්වය දැක්වූයේ ද ටෝකියෝ නගරයයි.
 
 ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සැලසුම් කර තිබුණේ 2020 ජූලි 24 වැනි දින සිට අගෝස්තු 9 වන දින දක්වාය. කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය කල් තබන බව 2020 මාර්තු මාසයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව නිවේදනය කළේය. වසරක ප‍්‍රමාදයකින් පසු එය මෙවර පැවැත්වෙන්නේ දැඩි සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන් යටතේ නරඹන්නන්ගෙන් තොරවය. කෙසේ වෙතත් ටෝකියෝ ඔලිම්පික් උළෙල ඉතිහාස ගතවනු ඇත්තේ කල් දමා නැවත පවත්වන ලද පළමු ඔලිම්පික් තරගාවලිය ලෙසිනි.
 
 ”හැඟීම් මගින් එක්සත්භාවයට” යන තේමාව මත පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා ලොව පුරා ජාතීන් 206 කට අයත් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 11238 කට වැඩි පිරිසක් සහභාගීව සිටින අතර ක‍්‍රීඩා 33 ක් වෙනුවෙන් තරඟ ඉසව් 339 ක් පැවැත්වෙනු ඇත. තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගනු ලබන තරඟ ඉසව්ව වන මීටර් 100 කෙටි දුර ධාවන තරගයේ කාන්තා තරගය ජූලි 31 වන සෙනසුරාදා පැවැත්වෙනු ඇති අතර පිරිමි තරගය අගෝස්තු 01 වැනිදා පැවැත්වීමට නියමිතය. කාන්තා තරගයේ රන් පදක්කම මහා බි‍්‍රතාන්‍යයේ ”ඩිනා ආශර් ස්මිත්” විසින් දිනා ගනු ඇති බවට අනාවැකි පළවන අතර පිරිමි මීටර් 100 රන් පදක්කම ඇමෙරිකාවේ ”ටෙ‍්‍රවෝන් බ්‍රොමෙල්” විසින් දිනා ගනු ඇති බව විශ්වාස කෙරේ. 2012 සිට මීටර් 100 පිරිමි ඉසව්වේ ආධිපත්‍ය දරණ ලද ජැමෙයිකාවේ ”උසේන් බෝල්ට්” විශ‍්‍රාම යෑමෙන් අනතුරුව එම ඉසව්ව සඳහා මෙවර නව ක‍්‍රීඩා තරුවක් බිහිවීමට නියමිත වීම ද විශේෂ කාරණයකි. ජූලි 24 වන දින පැවැත්වීමට නියමිත කාන්තා මීටර් 10 එයාර් රයිෆල් තරගය පළමු රන්පදක්කම පිරිනැමෙන තරගය වනු ඇති අතර අගෝස්තු 8 වැනි ඉරිදා පැවැත්වීමට නියමිත පිරිමි වෝටර් පෝලෝ තරගය තරගාවලියේ අවසන් රන් පදක්කම පිරිනැමෙන තරගය බවට පත්වීමට නියමිතය. රන් පදක්කම් 40 ක් සමග සමස්ත පදක්කම් 96 කට ආසන්න ගණනක් දිනාගනු ඇතැයි පුරෝකථනය කෙරෙන එක්සත් ජනපදය ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමස්ත ජයග‍්‍රහණය දිනා ගනු ඇති බවට අනාවැකි පළවන අතර රුසියාව සහ චීනය අතර දෙවැනි ස්ථානය සඳහා තියුණු තරගයක් පවතිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. මෙම අනාවැකි කෙතරම් දුරට සැබෑ වනු ඇතිදැයි තවත් සති කිහිපයකින් දැනගත හැකි වනු ඇත.
 
 මේ අතර ටෝකියෝ ඔලිම්පික් ගම්මානයේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කිහිප දෙනෙකු කොවිඞ් 19 සඳහා ධනාත්මක බව තහවුරු වීම බලධාරීන් අතර තිගැස්මක් ඇති කරලීමට හේතු වී ඇති අතර අදාළ පිරිස් ඔලිම්පික් ගම්මානයෙන් පිටත හෝටල්වල නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර ඇත. පළමු සිදුවීම ලෙස දකුණු අප‍්‍රිකානු පාපන්දු කණ්ඩායමේ ක‍්‍රීඩකයන් දෙදෙනෙකු හඳුනාගත් අතර ඔවුන්ට සිදුකරන ලද කොවිඞ් 19 පරීක්‍ෂණ ධනාත්මක බව දකුණු අප‍්‍රිකානු පාපන්දු සංගමය තහවුරු කර ඇත. මේ අතර ධනාත්මක කොවිඞ් පරීක්‍ෂණයකින් පසු ඔලිම්පික් උළෙලින් ඉවත් වීමට ඇමෙරිකානු ටෙනිස් ක‍්‍රීඩිකාවක් කටයුතු කර තිබෙන අතර ජිම්නාස්ටික් කණ්ඩායමේ ක‍්‍රීඩිකාවක්ද ධනාත්මක බව තහවුරු කර තිබේ. චෙක් ක‍්‍රීඩකයෙක් ඇතුළු තවත් කිහිප දෙනකුම කොවිඞ් ධනාත්මක තත්්ත්වයන්ට මුහුණ දී ඇති නමුත් ටෝකියෝ බලධාරීන් ප‍්‍රකාශ කරන්නේ බලාපොරොත්තු වූ තරම් සිදුවීම් වාර්තා නොවුන බවයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කොවිඞ් ප‍්‍රතිචාර ක‍්‍රියාමාර්ග අධීක්‍ෂණය කරන වෛද්‍ය ”බ‍්‍රයන් මැක්ලොස්කි” ප‍්‍රකාශ කරන්නේ ආසාදිතයන් අවම කිරීමේ ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක බවත් ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන අතරතුර වෛරසය පැතිරී යෑම පිළිබඳව අවදානමක් නොමැති බවත්ය.


advertistmentadvertistment