කොවිඞ් ත‍්‍රාසය දසත පැතිරෙන විට ධීවර ජීවිත සසල කළ නැවේ ගින්නෙන් නොකියැවෙන කතාව

306

ශ‍්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ කුලපති සහ සුළු පරිමාණ ධීවරයින් සඳහා වන ශ‍්‍රී ලාංකේය එකමුතුවේ (Sri Lanka Forum for Small Scale Fisheries) හි සභාපති, මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා විසින් රචිත “Caught between the Devil and the Troubled Waters (Bizarre story of fishers hit by the Xpress Pearl Ship Disaster˜ ලිපියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

කොවිඞ් ත‍්‍රාසය දසත පැතිරෙන විට ධීවර ජීවිත සසල කළ නැවේ ගින්නෙන් නොකියැවෙන කතාව

”ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ” යැයි පිරුළක් අප ව්‍යවහාරයේ පවතී. ඒ, කරදරයක වැටී සිටින අයෙකුට ඊටත් වඩා බරපතළ කරදරයකට මුහුණ පාන්නට වූ අවස්ථාවක් හැඟවීමටයි. කොවිඞ් වසංගතය නිසා මාස ගණනාවක් තිස්සේ පීඩාවට පත්ව සිටින අවස්ථාවක, ආපදාවට ලක් වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව නිසා ඇතිවූ බලපෑම්වලටද මුහුණ දීමට සිදු වූ හෙයින් බටහිර වෙරළ තීරයේ, විශේෂයෙන්ම කළුතර සිට මීගමුව දක්වා ප‍්‍රදේශයේ වෙසෙන ධීවර ප‍්‍රජාව මේ වන විට ප‍්‍රායෝගිකව අත්විඳිමින් සිටින්නේ මෙම තත්ත්වයයි. ෙඅනෟකාව දැවී, මුහුදුබත් වී අවසන් වුව ද ධීවර කර්මාන්තයෙන් සිය ජීවිකාව ගැටගසා ගත් දහස් ගණනක් මිනිසුන් සහ ඔවුන්ගේ අඹු දරුවන් තවමත් සිටින්නේ ඒ ගින්නෙන් දැවෙමිනි. දැවුණේ යකඩ ගොඩක් වුවත්, දැවෙමින් සිටින්නේ ලේ, මස්, ඇට, නහරවලින් සැදුණු මිනිසුන් පිරිසකි.

පසුගිය මැයි මස අග භාගයේ කොළඹ වරායට ඔබ්බෙන් වූ බටහිර මුහුදු කලාපයේදී ගින්නෙන් දැවී මුහුදුබත් වූ MV X-Press Pearl නෞකාවෙන් සිදුවූ හානිය, ශ‍්‍රී ලංකාව තුළ පමණක් නොව මෑත ඉතිහාසයේ ලෝකයේ ඕනෑම සාගර පරිසර පද්ධතියකට සිදුවූ දරුණුතම හානිය විය හැකි බව පිළිගත යුතුව ඇත. විශාල පාරිසරික විනාශයකට පමණක් නොව, එය දහස් ගණනක් ධීවර පවුල්වලට සිය ජීවනෝපාය හා ආදායම් අහිමි කිරීමට ද මඟ පෑදුවේය. නෞකාව මුහුදුබත් වීමෙන් පසු උද්ගත වූ හානිකර අතුරුපල හේතුවෙන්, 2021 මැයි මස 21 වන දින සිට මුහුදු යෑම තහනම් කරමින් නිකුත් කළ තාවකාලික වාරණ නියෝගය බටහිර වෙරළ තීරයේ වෙසෙන ධීවර ප‍්‍රජාවට, විශේෂයෙන්ම කළුතර සිට මීගමුව දක්වා වෙරළ තීරයේ වෙසෙන ධීවර ප‍්‍රජාවට ඍජුවම බලපෑම් එල්ල කළේය. ආපදාවට ලක් වූ ධීවර පවුල් වෙත රු. 5000ක දීමනාවක් ලබා දීමට රජය පියවර ගත් අතර, නැවේ රක්ෂණ සමාගමෙන් අය කර ගන්නා ලද හානි පූරණ වන්දි මුදලින් කොටසක් ද පීඩාවට පත් ධීවර ප‍්‍රජාව වෙත සහන සැලසීම සඳහා වෙන් කොට ඇත. කෙසේ වුවත් ධීවර ප‍්‍රජාව වෙත එල්ල වූ පීඩනය අතිමහත් වන අතර, මේ ලිපිය ලියැවෙන්නේ, අහිමි වූ ආදායම් මත පමණක් පදනම්ව සංඛ්‍යාත්මකව ගණනය කොට වන්දි ගෙවිය නොහැකි එකී පීඩාවන් සම්බන්ධවයි.

කොවිඞ් ත‍්‍රාසය දසත පැතිරෙන විට ධීවර ජීවිත සසල කළ නැවේ ගින්නෙන් නොකියැවෙන කතාව

සිදුවීම සැකෙවින්

සිංගප්පූරු ධජය යටතේ ලියාපදිංචි වී ඇති, දිගින් මීටර 186ක් වූ Q X-Press Pearl බහාලූම් නෞකාව, විසිපස් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් හා බහාලූම් 1486ක් රැගෙන 2021 මැයි මස 15 වන දින ඉන්දියාවේ හසීරා වරායෙන් පිටත්ව, ශ‍්‍රී ලංකා මුහුදු තීරයට සේන්දු වන්නේ ඉකුත් මැයි මස 19 වනදා ය. කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව ඒ වෙත ඇතුළුවීමේ අපේක්ෂාවෙන් වරායට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වනදා එහි ගින්නක් හටගෙන තිබිණි. ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ දැරුවද, මැයි 25 වන දින යාත‍්‍රාව තුළ විශාල පිපිරීමක් සිදු වූ අතර එදින දහවල් වන විට නෞකාව තුළ තිබූ බහාලූම් මුහුදට වැටීමට පටන්ගෙන තිබිණි. නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පැවති හෙයින්, එවැන්නකින් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැුගෙන යාමට නාවික හමුදා විශේෂ කණ්ඩායම් දැඩි ප‍්‍රයත්න දැරුවද, ඒ සියල්ල ව්‍යර්ථ කරමින් ජුනි මස 2 වන දින නෞකාව මුහුදුබත් වීම ආරම්භ විය. නෞකාවේ බහාලූම්වල වූ භාණ්ඩ අතර ප්ලාස්ටික් සහ පොලිමර් මෙටි‍්‍රක් ටොන් 12,085ක්, රසායනික ද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 8252ක් සහ ලෝහ මෙටි‍්‍රක් ටොන් 3,081ක් ඇතුළත් විය. නෞකාව ආපදාවට ලක් වූ දා සිට ගින්නෙන් දැවීගිය නෞකාවේ සුන්බුන්, මුහුදට වැටුණු බහාලූම්වල වූ භාණ්ඩ, ප්ලාස්ටික් පෙලට් විශාල ප‍්‍රමාණයක් වෙරළට ගසා ඒමට පටන් ගත්තේය. මියගිය මුහුදු කැස්බෑවන්, මත්ස්‍යයින් සහ සමුද්‍ර ක්ෂීරපායින්ගේ සිරුරු බටහිර වෙරළ තීරයට ගොඩ ගැසීමට පටන්ගත් අතර, ප්ලාස්ටික් පෙලට් කරමලයෙහි සිර වීමෙන් ස්වශන අකර්මණ්‍යතාවය නිසා මරණයට පත් වූ මසුන්ද ඒ අතර විය. ආරම්භයේදී මීගමුව ආශ‍්‍රිත වෙරළ තීරයෙන් දක්නට ලැබුණු මෙම සුන්බුන් හා මත්ස්‍ය මළසිරුරු පසුව කල්පිටිය හා මාතර දක්වා වූ වෙරළ තීරයන්වලින්ද හමුවීමට පටන් ගත්තේ හානියේ පුළුල් ව්‍යාප්තිය මොනවට පසක් කරමිනි. පෙර සඳහන් කළ පරිදිම, මෙම සිදුවීම ලංකා ඉතිහාසයේ සිදුවූ දරුණුතම සමුද්‍රීය පාරිසරික ව්‍යසනය ලෙස සැලකේ.

ව්‍යසනයෙන් ධීවර ක්ෂේත‍්‍රයට වූ බලපෑම

බටහිර වෙරළ තීරයට නෞකාවේ සුන්බුන් හා එහි වූ බහාළුම්වල තිබූ දෑ ගසා ගෙන ඒමත්, මියගිය මත්ස්‍යයින්ගේ හා මුහුදු ක්ෂීරපායීන්ගේ සිරුරු ගොඩ ගැසීමත් හේතුවෙන්, 2021 මැයි මස 21 දා සිට බල පැවැත්වෙන පරිදි කළුතර සිට මීගමුව දක්වා වෙරළබඩ දිස්ති‍්‍රක්කයන් හි ධීවරයන්ට මුහුදු යෑම වළක්වාලමින් තාවකාලික වාරණයක් පැනවීමට ධීවර දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. කළුතර දිස්ත‍්‍රික්කයේ වාද්දුව ධීවර පරීක්ෂක කොට්ඨාසය හා මීගමුව ධීවර දිස්ත‍්‍රික්කයේ කොච්චිකඬේ ධීවර පරීක්ෂක කොට්ඨාසය දක්වා ප‍්‍රදේශය මෙම සිද්ධියෙන් වඩාත්ම බලපෑමට ලක්වූ පෙදෙස ලෙස හඳුනාගැණිනි. එම වාරණය, අද මෙම ලිපිය ලියවෙන මොහොත දක්වාම ක‍්‍රියාත්මක වෙමින් පවතී.

පීඩාවට පත් ධීවර ප‍්‍රජාව

මෙම සිදුවීමෙන් දැඩි බලපෑමට ලක්වූ වෙරළබඩ දිස්ත‍්‍රික්ක ත‍්‍රිත්වයෙහි ධීවර යාත‍්‍රා ආසන්න වශයෙන් 4612 කි. එය බහුදින ධීවර යාත‍්‍රා 51කින්, ඇතුළත එංජිම සහිත එක්දින ධීවර බෝට්ටු 204කින්, පිටත මෝටරය සහිත එෆ්.ආර්.පී. බෝට්ටු 2504කින්, යාන්ත‍්‍රීකරණය කරන ලද සාම්ප‍්‍රදායික බෝට්ටු 3කින්, යාන්ත‍්‍රීකරණය නොකළ සාම්ප‍්‍රදායික බෝට්ටු 1905කින් හා යාන්ත‍්‍රීකරණය නොකළ මාදැල් බෝට්ටු 75කින් සමන්විතය. ඇත්ත වශයෙන්ම මෙම ව්‍යසනයෙන් ඍජුවම බලපෑම් එල්ල වූයේ ආසන්න වශයෙන් 12,731ක් පමණ වූ සක‍්‍රිය ධීවරයන්ට සහ ධීවර යාත‍්‍රා කාර්ය මණ්ඩලයටයි. නමුත් ඍජුවම මසුන් ඇල්ලීමේ ක‍්‍රියාවට සම්බන්ධ නොවූවත් ධීවර අගය දාමයට සම්බන්ධ පාර්ශ්වකරුවන් විශාල සංඛ්‍යාවක් සිටී. ඒ අතර, මත්ස්‍ය අලෙවිකරුවන්, කරවල/උම්බලකඩ නිෂ්පාදකයින් හා අලෙවිකරුවන්, අයිස් නිෂ්පාදකයින්, අයිස් බෙදාහරින්නන්, බෝට්ටු හා එංජින් අලූත්වැඩියා කරන්නන්, ඉන්ධන සැපයුම්කරුවන්, දැල් අලූත්වැඩියා කරන්නන්, ඇම නිෂ්පාදනය කරන්නන්, යාත‍්‍රා පිරිසිදු කරන්නන්, ආහාර සැපයුම්කරුවන්, මා දැල් අදින්නන් හා අත්උදව්කරුවන්, තොටුපළ/ගොඩබෑමේ ස්ථාන අත්උදව්කරුවන්, කිමිදුම්කරුවන් හා මත්ස්‍ය සැකසීමේ සහ අලෙවිකරණයේ නිරත කාන්තාවන් වේ. ආපදාවෙන් දැඩි බලපෑම් එල්ල වූ දිස්ත‍්‍රික්ක තුනෙහි, මෙවැනි පාර්ශ්වකරුවන් 3995ක් පමණ හඳුනාගෙන ඇති අතර, ඒ අනුව ආපදාවට ලක්වූ පවුල් සංඛ්‍යාව 16,727ක් පමණ වන බව ගණන් බලා ඇත. 2020 වර්ෂයේ සංඛ්‍යාලේඛන දත්තවලට අනුව, පවුලක සාමාන්‍ය සාමාජික සංඛ්‍යාව 3.8ක් ලෙස ගතහොත් ආපදාවට ලක්වූ මුළු පුද්ගල සංඛ්‍යාව 63,563ක් පමණ විශාල අගයක් ගනී.

කොවිඞ් ත‍්‍රාසය දසත පැතිරෙන විට ධීවර ජීවිත සසල කළ නැවේ ගින්නෙන් නොකියැවෙන කතාව

කොවිඞ් වසංගතයේ බලපෑම

කොරේ පිටට මරේ කියන්නාක් මෙන්, බටහිර වෙරළ තීරයේ වෙසෙන ධීවර ප‍්‍රජාවට මෙම ව්‍යසනයේ බලපෑම එල්ල වන්නේ ඔවුන් කොවිඞ් වසංගතය හේතුවෙන් පීඩා විඳිමින් සිටි අවස්ථාවකය. රටම වෙළාගත් කොවිඞ් වසංගතයේ පළමු රැල්ලෙන්ම මත්ස්‍ය අගය දාමයේ සියලූ පුරුක්වලට දැඩි බලපෑම් එල්ල වූ අතර, මත්ස්‍ය ගොඩ බෑම, අලෙවිකරණය, බෙදා හැරීම හා සැකසීම යන අංශ සියල්ලක්ම පාහේ බිඳ වැටිණි. ඇඳිරි නීතිය පැනවීම, අඩු ඉල්ලූම, අඩු මිල ගණන් සහ බිඳ වැටුණු අලෙවිකරණ ක‍්‍රියාවලිය, මසුන් ඇල්ලීමේ කටයුතු සාමාන්‍ය අගයට වඩා 45-65% අතර ප‍්‍රමාණයකින් අඩු වීමට තරම් බරපතළ ලෙස බලපෑවේය. මාස ගණනක මඳ නිහැ`ඩියාවකින් පසු කොරෝනා වෛරසයේ දෙවන රැුල්ල ආරම්භ වූයේ 2020 ඔක්තෝබර මස 04 වන දින මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවකයින් කිහිපදෙනෙකු වෛරසය ආසාදිත බවට හෙළිවීමත් සමඟයි. ඉන් අනතුරුව ඔක්තෝබර් 21 වන දින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළෙහි වෙළෙඳුන් කිහිපදෙනෙකු කොවිඞ් ආසාදිත බවට හඳුනා ගැනුණු අතර, වෙළෙඳපොළ ආශ‍්‍රිතව වෛරසය ඉතා ශිඝ‍්‍රයෙන් පැතිර ගියේය. මෙම පෑලියගොඩ කොරෝනා පොකුරේ මතුවීමත් සමඟ, ශ‍්‍රී ලාංකේය ධීවර කර්මාන්තයට එල්ල වූයේ දරුණු පහරකි. වෙළෙඳපොළ ආශ‍්‍රිතව විශාල වශයෙන් ආසාදිතයින් හමුවීම නිසා වෙළෙඳපොළ පරිශ‍්‍රය තාවකාලිකව මුද්‍රා තැබීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්හ. නමුත් ඒ වන විටත් රටේ ප‍්‍රධාන ධීවර වරාය කිහිපයකට හා ධීවර වෙළෙඳසැල් කිහිපයකටම කොවිඞ්-19 වෛරසය පැතිර ගොස් තිබූ අතර, එම ධීවර වරායයන් හා ධීවර වෙළෙඳසැල් ද තාවකාලිකව වසා දැමිණි. මේ අතර, ධීවර කර්මාන්තයේ නියැලෙන්නන් හා මාළු අලෙවි කරන පුද්ගලයින් ආසාදිතයින් ලෙස විශාල වශයෙන් හඳුනා ගැනීම නිසා මසුන් මඟින් කොරෝනා වෛරසය පැතිර යා හැකිය යන මතය රට පුරා පැතිර ගිය අතර, මත්ස්‍ය මිල ගණන් ඉතා ශීඝ‍්‍ර ලෙස පහත වැටිණි. කෙසේ වෙතත් පීඩාවට පත් ධීවර ජනතාවට මින් යථා තත්ත්වයට පත්ව සැනසිලිදායක හුස්මක් හෙළීමට ඉඩක් ලැබුණේ නැත. ඒ, පසුගිය සිංහල-දමිළ අලූත් අවුරුද්දෙන් පසු කොරෝනා වසංගතයේ තුන්වන රැුල්ල පෙර වාරයන් දෙකටම වඩා දරුණු ලෙස රට වෙළාගත් හෙයිනි. රටේ ආර්ථිකය එන්න එන්නම බිඳ වැටීමට පටන්ගත් අතර එහි විශාලතම බලපෑම එල්ල වූයේ දෛනික වැටුප් ලබන දිළිඳු ජනතාව වෙතයි. මත්ස්‍ය ඉල්ලූම පහත වැටීම හා ධීවර කටයුතුවල නිරත විය නොහැකි ලෙස විටින් විට පැනවුණු සංචරණ සීමා හේතුවෙන් ධීවර ආදායම් එන්න එන්නම පහළ වැටුණු අතර, එය ධීවර ජීවනෝපායන්ට, විශේෂයෙන්ම දේශීය වෙළඳපොළ වෙත සිය මත්ස්‍ය අස්වැන්න සපයන සුළු පරිමාණ ධීවර ජනතාව වෙත එල්ල කළේ දැඩි තර්ජනයකි. එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ආපදාවට ලක් වන්නේ ධීවර ජනතාව මේ ආකාරයට කොවිඞ් වසංගතයෙන් බැට කා පීඩිතව සිටින අවස්ථාවක ය.

ධීවර ප‍්‍රජාව ආපදාවට මුහුණදුන් අන්දම

මැයි මස 21 වන දින පනවන ලද වාරණය, ධීවර පවුල් වෙත එල්ල කළේ දැඩි පීඩනයකි. කෙසේ වුවත් කොවිඞ් වසංගතය නිසා ජීවනෝපාය අහිමි වූ ස්වයං රැුකියාවල නියුතු වූවන් සඳහා ගෙවන ලද රු.5000 දීමනාව ධීවර වාරණය හේතුවෙන් අගතියට පත් වූ ධීවර පවුල් වෙත ද ගෙවීමට රජය පියවර ගත්තේය. 2016 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව එය ලාංකික පවුලක සාමාන්‍ය මාසික වියදම වූ රු.54,999න් 10% ප‍්‍රතිශතයකට සමාන විය. එනමුත් එම 5000 දීමනාව ධීවර පවුල් වෙත ලැබී තිබුණේ එක් වරක් පමණි. මේ අතර, අනතුරට පත් නැවේ රක්ෂණ සමාගමෙන් අතුරු වන්දි ලෙස අය කර ගත් රුපියල් මිලියන 720ක මුදලින් රුපියල් මිලියන 400ක් ද ආපදාවට පත් ධීවර පවුල් වෙත සහන සැලසීම සඳහා වෙන් කොට තිබේ. මේ සියල්ල මධ්‍යයේ වුවද, සහන ගෙවීම් අතර කාල පරතරය දිගු වීමත්, ලැබෙන සහනාධාරය කුඩා වීමත් නිසා සිය අඹු දරුවන් පෝෂණය කිරීමට ධීවරයාට දැඩි අරගලයක නිරත වීමට සිදුව ඇත. ඇත්තෙන්ම මෙවැනි ආපදාමය අවස්ථාවක ධීවර ප‍්‍රජාවට සිදු වන්නේ තිබෙන දෙයක්, වේලක් හැර වේලක් කමින් හෝ සිය පටි තද කර ගැනීමටයි. එහෙයින් ආපදාවකදී ආහාර සුරක්ෂිතතාව, විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ පෝෂණ සුරක්ෂිතතාව කෙරෙහි හානිකර බලපෑම් එල්ල විය හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. පවුලක පරිභෝජනය අඩු කරන අවස්ථාවන්හිදී, පවුලේ ගෘහමූලිකයා මෙන්ම මුහුදු ගොස් ආදායම් උපයන්නා වන පුරුෂයාගේත්, දරුවන්ගේත් කුසට එය දැනෙන්නට නොදී එහි වගකීම උසුලා ගනිමින් අඟහිඟතාවල බර නිසඟයෙන්ම කර මත පටවා ගන්නේ ධීවර කාන්තාවයි.

විපතට පත් ධීවර පවුල්වලට මුහුණ පාන්නට වන තවත් ගැටලූවක් වන්නේ නිවාස කුලී, විදුලි හා ජල බිල්පත්, මිලට ගත් භාණඩවල වාරික යනාදී දහසකුත් එකක් වියදම් ගෙවා ගත නොහැකි වීමයි. 2020 වර්ෂයේදී මා විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූ පරිදි සාමාන්‍ය ධීවර පවුලක මාසික ණය වාරික හා බිල්පත්වල එකතුව රු. 20,000කට ආසන්න අගයක් ගනී. අමතර ආදායම් මාර්ගයක් නොමැතිව ධීවර රැුකියාවෙන් පමණක් යැපෙන ධීවර පවුලකට එම රැුකියාවේ නිරත වීමට අවස්ථාව අහිමි වූ විට ණය වාරික හා බිල්පත් නොගෙවා එකතු වීමට හැර බලා සිටිනවා විනා වෙනත් විකල්පයක් නොමැත.

ධීවර ආපදා සඳහා රක්ෂණ ක‍්‍රමවේදයක් නොමැති නිසා, ධීවර ප‍්‍රජාවට ඉතිරිවන මූලිකම විකල්පය ණය ගැනීමයි. බොහෝ විට ධීවර සමිති තුළ කුඩා ණය හුවමාරු ඉතා සුලබය. දෛනිකව මත්ස්‍ය අස්වැන්නේ සිදුවන විචල්‍යතා නිසා ධීවරයෙකුගේ දවසේ ආදායම නිහින නොවේ. එක් දිනක විශාල මත්ස්‍ය අස්වැන්නක් ලැබීමට වාසනාවන්ත වන ධීවරයෙකුට, පසු දින ඉතා අඩු අස්වැන්නකින් සෑහීමකට පත්වීමට සිදු විය හැක. සිය රැුකියාවේ මෙම අවිනිශ්චිත ස්වභාවය හොඳින් දන්නා හෙයින්, විශාල අස්වැන්නක් ලැබුණු සෑම අවස්ථාවකම ඉන් කොටසක් අස්වැන්නක් නොලැබුණු පවුල් වෙත ලබා දීම, ධීවර සමාජය තුළ සුලබ සංසිද්ධියකි. එනමුත් මෙම ව්‍යසනයේදී සියලූදෙනා එක ලෙස පීඩාවට පත් වූ අතර, එකිනෙකා වෙත උදව් කර ගැනීමේ හැකියාවක් ඔවුනට තිබුණේ නැත. එවැනි සන්දර්භයක් තුළ තමන් සතුව ඇති ස්වර්ණාභරණ උගස් කිරීමත්, වත්කම් විකුණා දැමීමත්, මුදල් පොලියට දෙන්නන්ගෙන් අධික පොලියට ණය ගැනීමත් හැර ධීවර ප‍්‍රජාවට වෙනත් විකල්පයක් ඉතිරි වන්නේ නැත. මුහුදු යෑම තාවකාලිකව තහනම් කළ දා සිට මෙවැනි පොලී සහ ණය මුදල් ගෙවා ගත නොහැකිව එකතු වූ හෙයින් ධීවර පවුල් මේ වන විට ණය බරින් මිරිකීමට පටන් ගෙන ඇත.

නීල සාධාරණත්වය

මෙම ව්‍යසනයේදී ධීවර ප‍්‍රජාවට වූ බලපෑම විශ්ලේෂණය කරන විට, සුළු පරිමාණ ධීවර ප‍්‍රජාව කිසිසේත් අමතක කළ නොහැක. අද වන විට නීල ආර්ථික වර්ධන ක‍්‍රියාවලිය (Blue Economy) තුළ සුළු පරිමාණ ධීවරයාට විවිධ අසාධාරණයන්ට ලක් වීමට සිදුව ඇති බව රහසක් නොවේ. සංවර්ධන තීරණ ගැනීමේදී සුළු පරිමාණ ධීවර ප‍්‍රජාව නොසලකා හැරීම, සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී සුළු පරිමාණ ධීවරයාගේ අදහස්වලට සවන් නොදීම, සංචාරක කර්මාන්තයේ අවශ්‍යතා මත වෙරළාසන්න ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම නිසා උද්ගතව ඇති ඉඩම් බලතල ගැටලූ යනාදිය ඒ අතර කැපී පෙනෙන ලෙස දක්නට මෙන්ම අත්දකින්නටද ලැබෙයි. අද වන විට සුළු පරිමාණ ධීවර ප‍්‍රජාව සහ සංචාරක ක්ෂේත‍්‍රය නියෝජනය කරන පාර්ශ්වකරුවන් අතර ගැටුම් ඉහළ ගොස් ඇත. දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන වෙරළ ඛාදනයේත්, සංචාරක ක්ෂේත‍්‍රයේ අවශ්‍යතා මත අනවසරයෙන් වෙරළාශ‍්‍රිත ඉඩම් අත්පත් කර ගැනීමේත් ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ සුළු පරිමාණ ධීවරයින්ට ධීවර කටයුතුවල නිරත වීමට, යාත‍්‍රා නැවැත්වීමට, මසුන් වියළීමට තිබූ අවකාශය වන වෙරළ තීරය අහිමි වී ඇත. වෙරළ හා ඒ ආශ‍්‍රිත සාගර කලාපය සුළු පරිමාණ ධීවරයින් දහස් ගනණකට ජීවනෝපාය සලසන අතර, එම ප‍්‍රදේශයේ ධීවර සම්පත්වල පාරම්පරික අයිතිය හිමි ඔවුන්ව අද එම ප‍්‍රදේශවලින් පලවා හැරීමට කටයුතු සිදු කෙරෙමින් පවතිනුයේ වෙරළ හා වෙරළාශ‍්‍රිත මුහුදු කලාපය මුහුදු ක‍්‍රීඩා සහ සංචාරක කර්මාන්තයේ තෝතැන්නක් වීම හේතුවෙනි. පොදු සම්පතක් වන වෙරළ තීරය මේ වන විට පෞද්ගලික දේපළක් බවට පත්වෙමින් පවතින අතර සමහර වෙරළ ප‍්‍රවේශ මාර්ග සංචාරක හෝටල් හිමිකරුවන්ගේ පුද්ගලික බූදලයක් බවට පත්ව ඇත. මේ සියල්ල නිසි නියාමනයකින් තොර වූ නීල ආර්ථික වර්ධනයක ප‍්‍රතිඵලයි.

දැන් කුමක් කළ යුතුද ?

සිය ජීවනෝපාය හා ආදායම් අහිමි වීම, ආහාර හා පෝෂණ අනාරක්ෂිතතාව ඉහළ යෑම, පරිභෝජන අවශ්‍යතා සහ වියදම් කපා හැරීමට සිදු වීම, දෙමාපියන්ගේ සහ දරුවන්ගේ සුබසාධනය කෙරෙහි අවධානය යොමු කළ නොහැකි වීම, ණය පියවා ගත නොහැකි වීම යනාදී කරුණු ධීවර ප‍්‍රජාව දැඩි දුක්ඛිත තත්ත්වයකට පත් කොට ඇත. රුපියල් 5000ක දීමනාව ලබා දීමත්, අනතුරට පත් නෞකාවේ රක්ෂණ සමාගමෙන් ලද අතුරු වන්දි මුදලින් කොටසක් පීඩාවට පත් ධීවර පවුල් වෙත ලබා දීමට කටයුතු යෙදීමත් මඟින් අගතියට පත් ධීවර ප‍්‍රජාව වෙත සහන සැලසීමට රජය පියවර ගනිමින් සිටියි. නමුත් මෙම හානිපූරණ වන්දි මුදල් ගෙවීමේදී ඇතිවන ප‍්‍රමාදයන් හේතුවෙන් ධීවර ප‍්‍රජාව වෙත අදාළ සහන මුදල් ගෙවීමද සැලකිය යුතු ලෙස ප‍්‍රමාද වෙමින් පවතී. කනගාටුවට කරුණ වන්නේ ගෙවීම ප‍්‍රමාද වන තරමට ඔවුන් මුහුණ පා සිටින දුක්ඛිත තත්ත්වය හා ගැටලූ තව තවත් උග‍්‍ර වීමයි. වගකිවයුතු පාර්ශ්වයන් විසින් මුහුදේ තැන් තැන්වල විසිරී පවතින නෞකාවේ සුන්බුන් ඉවත් කරන තෙක් පනවන ලද ධීවර වාරණය අඛණ්ඩව ක‍්‍රියාත්මක වන අතර, එතෙක් සිය ගැටලූ හා පීඩා උසුලා ගැනීමට ධීවරයාට සිදුවේ. මේ අවස්ථාවේ කරුණු දෙකක් සඳහන් කිරීම වටී. පළමුවැන්න, ආපදාවට පත් ධීවර පවුල් වෙත මෙතෙක් ගෙවා ඇති දීමනාව පවුලක යැපුම් අවශ්‍යතා සපුරාලීම සඳහා ප‍්‍රමාණවත් නොවේ. අහිමි වූ දෛනික ආදායමට සමාන ගෙවීමක් කිරීමට අමතරව ණය වාරික, වත්කම් අහිමි වීම් යනාදී විවිධ වූ වියදම් පියවා ගත හැකි ආකාරයේ සහන මුදලක් ලබා දීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත. දෙවැන්න, ධීවර ප‍්‍රජාවගේ ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට පියවර ගත යුතුය. ධීවර සමුපාකාර, සමුපාකාර ඉතිරි කිරීම් වැනි ප‍්‍රජා මූලික රක්ෂණ ප‍්‍රභවයන් ශක්තිමත් කිරීම, ඉතිරි කිරීම්, විකල්ප ජීවනෝපායන් වැනි ස්වයං රක්ෂණ ක‍්‍රමවේදයන් බල ගැන්වීම සහ නීල ආර්ථික වර්ධන ක‍්‍රියාවලිය හේතුවෙන් සුළු පරිමාණ ධීවරයාට මුහුණ පාන්නට සිදුව ඇති සමාජ අසාධාරණයන්ට පිළියම් යෙදීම යනාදිය මෙහිදී ප‍්‍රමුඛත්වයෙහි ලා සැලකිය යුතුය.

පරිවර්තනය: කෞමි පියසිරි

කොවිඞ් ත‍්‍රාසය දසත පැතිරෙන විට ධීවර ජීවිත සසල කළ නැවේ ගින්නෙන් නොකියැවෙන කතාව
advertistmentadvertistment