නිවෙස්වල මියයන පුද්ගලයන්ගේ මෘතදේහ නිදහස් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කිරීම කාලෝචිතය. ඒ සඳහා පවතින නීතිමය ප‍්‍රතිපාදන සැලකිල්ලට නොගෙන පවතින තත්ත්වය මත දැනුවත් කිරීම සිදුකළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
නිරෝධායන ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක කරන සමයේ නිවෙස් තුළ මියයන පුද්ගලයන්ගේ ජෛව පටල සාම්පල් පරීක්ෂණ සිදු කොට අවසන් කටයුතු සිදු නොකිරීමෙන් වෛරසය සමාජය පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් දැඩිව පවතී. මෙවන් පසුබිමක ඉකුත් 4 වෙනි දින පුත්තලම වෙප්පමඩුව ප‍්‍රදේශයේ මියගිය පුද්ගලයෙකුගේ දේහයක් සෞඛ්‍ය අංශ දැනුවත් නොකර මිහිදන් කිරීමට කටයුතු කර තිබුණි. ඒ සඳහා අනුබල දී ඇත්තේ මියගිය පුද්ගලයා ප‍්‍රතිකාර ලබාගත් ආයුර්වේද වෛද්‍යවරිය සහ ප‍්‍රදේශය භාර ග‍්‍රාම නිලධාරිවරයාය. අනතුරුව ඔවුනට එරෙහිව පුත්තලම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් පුත්තලම පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කළේ ඉකුත් 6 වැනි දිනය.
56 හැවිරිදි මොහොමඞ් නිස්තාර් නමැති අය මෙසේ හදිසියේම මරණයට පත්විය. දේහය වෙප්පමඩුව මුස්ලිම් සුසාන භූමියේ මිහිදන් කර ඇත්තේ පුත්තලම ආයුර්වේදයේ වෛද්‍යවරියගේ නිගමනයන් සැලකිල්ලට ගෙන ප‍්‍රාදේශය භාර ග‍්‍රාම නිලධාරිවරයාගේ උපදෙස් මතය. මෙම කරුණු අනාවරණය වූයේ මියගිය මොහොමඞ් නිස්තාර් නමැති අයගේ බිරිඳ සහ දියණිය කොවිඞ් ආසාදනය වී මිය යෑමේ සිද්ධියත් සමගය. මියගිය බිරිඳ 51 හැවිරිදි සිත්ති අජීබා ය. දියණිය 37 හැවිරිදි ෆාතිමා සහානා ය. පුත්තලම මන්නාරම මාර්ගයේ වෙප්පමඩුව ප‍්‍රදේශයේ එකම නිවසේ ඔවුන් තිදෙනාම ජීවත් විය. දියණිය ෆාතිමා විවාහවීය. ඇයගේ ස්වාමිපුරුෂයා විදෙස් රටක සේවය කරයි. ඔවුන්ගේ පුතුන් දෙදෙනාද ජීවත් වන්නේ එම නිවසේය. මොහොමඞ් නිස්තාර් දියවැඩියාව සහ හෘද රෝගයකින් පෙළුණේය. ඔහු එම රෝග සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර ගනිමින් සිටියාය. ඔහුගේ බිරිඳ සහ දියණියද දියවැඩියා රෝගීන්ය. ඔවුන්ද ඒ සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර ගනිමින් සිටියහ. මේ අතරතුර හදිසියේ එනම් ඉකුත් 4 වෙනි දින උදෑසන නිවසේදීම මොහොමඞ් නිස්තාර් මිය යන්නේය. ආයුර්වේද වෛද්‍යවරිය දේහය පරීක්ෂාකර බලා හුස්ම අවහිරවීමෙන් මරණය සිදු වූ බවට කළ නිගමනය හා ග‍්‍රාම සේවකවරයාගේ උපදෙස් මත පවුලේ සමීපතයන්ගේ පමණක් සහභාගි වීමෙන් දේහය වෙප්පමඩුව සුසාන භූමියේ මිහිදන් කිරීමට කටයුතු කරති. ඉන් දින දෙකකට පසුව එනම් 6 වෙනි දින උදෑසන 6.30 ට පමණ මියගිය මොහොමඞ් යන අයගේ දියණිය හදිසියේ අසනීප වීම හේතුවෙන් ඇය ත‍්‍රිරෝද රථයකින් පුත්තලම මූලික රෝහලට ප‍්‍රතිකාර සඳහා පැමිණෙන අතර රෝහලට පැමිණි පැය කීපයකින් ඇය මිය යන්නේය. පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඇය කොවිඞ් ආසාදිතයකු බව සනාථ වී තිබුණි. ඇය මරණයට පත්වී පැය කීපයක් ගත වී 51 හැවිරිදි ඇගේ මවද නිවසේ ඇද වැටී සිහිසුන් නොමැතිව සිටියදී පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව වෛද්‍යවරු පැවසීය.
මියගිය මවද පුත්තලම මූලික රෝහලේදි සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයෙන් පසුව සනාථ වී ඇත්තේ ඇය ද කොවිඞ් ආසාදිතව සිට ඇති බවයි. මෙම සිදුවූ මරණ සැලකිල්ලට ගනිමින් පුත්තලම මූලස්ථාන පොලිසිය හා පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ මෙම නිවසේ ගෘහ මූලිකයා වූ 56 හැවිරිදි තැනැත්තාගේ සිරුර පොලිසිය හා සෞඛ්‍ය අංශ දැනුවත් නොකර භූමිදානය කිරීම බරපතළ වරදක් බවයි. ඒ අනුව මේ සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර අදාළ අංශ කිසිදු ලෙසකින් දැනුවත් නොකරමින් භූමිදානය කිරීම සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කර නැවත දේහය ගොඩ ගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටීමට පුත්තලම මූලස්ථාන පොලිසිය කටයුතු කළේය.
ඒ අනුව සෞඛ්‍ය අංශවලට නොදන්වා රහසේම මිහිදන් කළ පුත්තලම වෙප්පමඩුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි මියගිය පුද්ගලයාගේ දේහය පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් අසේල ද සිල්වා මහතාගේ නියෝග මත ඒ මහතා ඉදිරියේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේදයන් භාවිත කරමින් පුත්තලම පොලිසිය හා සෞඛ්‍ය අංශ එක්ව ඉකුත් 10 වෙනි දින දේහය ගොඩ ගැනීම සිදුවිය. දේහය පුත්තලම මූලික රෝහලට රැගෙන ගොස් ජෛව පටල සාම්පල ලබාගෙන නැවතත් එම දේහය මිහිදන් කරන ලෙස ද මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය. ඒ අනුව අධිකරණ නියෝග මත පුත්තලම මූලික රෝහලේ සිදුකළ ජෛව පටල සාම්පල් පරීක්ෂණයේදී මියගිය පුද්ගලයාට කොවිඞ් ආසාදනය වී ඇති බවට තහවුරු විය. සිද්ධියට සම්බන්ධ ආයුර්වේද වෛද්‍යවරිය සහ ග‍්‍රාමසේවක වරයාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබේ.
රහසේ මිහිදන් කළ තැනැත්තාගේ අවසන් කටයුතු කළ මවුලවිවරයා ඇතුළු මියගිය අයගේ නිවැසියන් සමග ප‍්‍රදේශයේ නිවාස 9 ක පුද්ගලයන් 30 කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තේය. පුත්තලම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක පී. කුමාරදාස මහතා ඇතුළු පොලිස් නිලධාරීන්, මනතිව් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ධනංජය මනෝජ් මහතා ඇතුළු සෞඛ්‍යක අංශ සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුත් සිදු කරයි.
අමරනන්ද විජේසේකර