කොවිඞ් ව්‍යසනය අතරේ ජිනීවාහි දී ශ්‍රී ලංකාවේ ගෙළ සිරකිරීම !

286

සිවිල් ක‍්‍රියාකාරීන් සහ සංවිධාන මර්දනයට නව නීති ගෙන ඒමට කටයුතු කිරීම, පුද්ගලයින් 11 අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවෙන් එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම ජිනීවා කවුන්සිලය මතු කර ඇත. ඉදිරියේදී බන්ධනාගාර රාජ්‍ය ඇමැති එල් ටී ටී ඊ සැකකරුවන්ට පිස්තෝලයක් හිසට තබා තර්ජනය කිරීමද චෝදනා ගොන්නට එකතුවනු ඇත.

මිනීමරු තව්හිත් ජමාත් සංවිධානය පාස්කු ප‍්‍රහාර මාලාවෙන් මිනිස් ජිවිත 270 පමණ බිලිගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිසමට ගැටලූවක් නැත. හිජාස් හිස්බුල්ලා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර ප‍්‍රශ්නයක් කර ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ 48 වන නිත්‍ය සැසිය පසුගිය සැප්තැම්බර් 13 දින කොවිඞ් ව්‍යසනයෙන් බැට කන ශ‍්‍රී ලංකාවට බරපතළ අනතුරු ඇඟවීමක් කළේය. ශ‍්‍රී ලංකාවේ සිදුවූ යුද අපරාධ සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් සිදු කිරීමට සියල්ල සූදානම් බව මානව හිමිකම් කවුන්සිලයේ ප‍්‍රධානි මිෂෙල් බැෂලේ අවධාරණය කළේය. එම කටයුත්තට අවශ්‍ය මුල්‍ය ප‍්‍රතිපාදන ඇය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් වලින් ඉල්ලා සිටියේය. පසුගිය මාර්තු ජිනීවා සැසියේදී 46/1 යෝජනාව පරිදි සම්මතවූ අදාළ බාහිර ක‍්‍රියාමාර්ග ගැනීමට නැතහොත් සමස්ත යුද අපරාධ පරීක්ෂණ ක‍්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට මානව හිමිකම් කවුන්සිලය සූදානම් බව බැෂලේ ශ‍්‍රී ලංකාවට දැනුම් දුන්නේය. තත්ත්වය අතිශයින් ශ‍්‍රී ලංකාවට අහිත කරය.

චිලී රාජ්‍යයේ දෙවරක් ජනාධිපතිව සිටි (2006-2010 සහ 2014-2018) ඇය තමන් සතුව නඩු භාණ්ඩ සහ සාක්ෂි 120,000ක් ඇති බව යෝජිත පරීක්ෂණයට සියල්ල සූදානම් බවද ප‍්‍රකාශ කළේය. මහ කොමසාරිස්වරිය කිසිසේත් ශ‍්‍රී ලංකාවේ සහයෝගය බලාපොරොත්තු නොවන බව සක් සුදක්සේ පැහැදිලිය. මීට පෙර කළ පරීක්ෂණ සහ විමර්ශන කටයුතු කළේද ඒ ආකාරයටමය. භුමියේ තත්ත්වය වටහා ගැනීම අත්‍යවශ්‍යය. තේරුමක් නැති මාධ්‍ය මෙහෙයුම් වලින් ප‍්‍රයෝජනයක් නැත.

ඊට පසුදින මානව හිමිකම් කවුන්සිලය සූම් තාක්ෂණය ඔස්සේ ඇමතූ විදේශීය අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් නව පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කළේය. ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය මානව හිමිකම් කවුන්සිලයට අදාළ නැත. ශ‍්‍රී ලංකාව තවදුරටත් මානව හිමිකම් උගුලේ හිර කිරීම ක‍්‍රියාත්මකය. බටහිර බලවේග වලට අවශ්‍ය පරිදි ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක ජිනීවා ක‍්‍රියාවලිය තුළ කිසිදු ආකාරයක සාධාරණත්වයක් බලාපොරොත්තු විය නොහැක. පසුගිය අගෝස්තු 16 වන දින විදේශ අමාත්‍ය ධුරය නැවත භාරගත් මහාචාර්ය පීරිස් මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත්ය.

ජිනීවා ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනුවත්ද? ද්‍රවිඩ ත‍්‍රස්තවාදය පරාජය කළ ශ‍්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර මෙහෙයුම ක‍්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායම දැනුවත්ද? යෝජිත නව පරීක්ෂණය පිළිබඳව විමසා බැලීමට පෙර එම කටයුත්තට 2021 මාර්තු සැසියේදී අනුමැතිය දුන් රටවල් සඳහන් කළ යුතුය. එම රටවල් කාණ්ඩ දෙකකට අයත්ය. එක කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඡුන්දය දුන්නේය. දෙවන කණ්ඩායම ඡුන්දය දීමෙන් වැළකීමෙන් එම යෝජනාවට සහයෝගය පළ කළේය. ජාත්‍යන්තරය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම තේරුමක් නැත. නමුත් සත්‍ය තත්ත්වය ලෝකයට ඉදිරිපත් කිරීමට ශ‍්‍රී ලංකාවට අවශ්‍යතාවයක් තිබේද? ඒ සම්බන්ධයෙන් නිසි ක‍්‍රියාමාර්ග ගෙන තිබේද? දැනට ගත් ක‍්‍රියා මාර්ග ප‍්‍රමාණවත්ද?

එවකට විදේශ ඇමැති ධුරය හෙබවූයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර මහජන එක්සත් පෙරමුණ නායක දිනේෂ් ගුණවර්ධනය.

(ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාවට පහත සඳහන් රටවල් (22) පක්ෂව ඡුන්දය පාවිච්චි කළේය): ආර්ජන්ටිනාව, ආර්මේනියාව, ඔස්ටි‍්‍රයාව, බහමාස්, බ‍්‍රසීලය, බල්ගේරියාව, චෙකොස්ලෝවැකියාව, ඩෙන්මාර්කය, ෆීජි, ප‍්‍රංශය, ජර්මනිය, ඉතාලිය, මලාවි, මාර්ෂල් දුපත්, මෙක්සිකෝව, නෙදර්ලන්තය, පෝලන්තය, දකුණු කොරියාව, යුක්රේනය, කොටේ දිවියෝ (ක්‍ඹිඑැ ා‘ෂඩදසරු) මහා බි‍්‍රතාන්‍ය සහ උරුගුවේ.

(පහත සඳහන් රටවල් (14) ඡුන්දය දීමෙන් වැළකී සිටියේය): ඉන්දියාව, නේපාලය, ජපානය, ලිබියාව, ඉන්දුනීසියාව, බහරේනය, බූකිනා ෆසෝ, ගැබෝන්, මුරුතානියාව, නැමීබියාව, සෙනගාලය, සූඩානය සහ ටෝගෝ, කැමරූන්.

(ශ‍්‍රී ලංකාවේ සැබෑ මිත‍්‍රයින් එම යෝජනාවට එරෙහි විය. එම රටවල් (11) පහත දැක්වේ): චීනය, පකිස්ථානය, රුසියාව, බංග්ලාදේශය, බොලිවියාව, කියුබාව, එරිටි‍්‍රයාව, පිලිපීනය, සෝමාලියාව, උස්බෙකිස්ථානය සහ වෙනිසියුලාව.

යෝජිත පරීක්ෂණයට ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක් අවශ්‍ය බව එම මෙහෙයුම ක‍්‍රියාත්මක කරන කණ්ඩායම ඇස්තමේන්තු කර ඇත. ශ‍්‍රී ලංකාව වැටලීමේ ක‍්‍රියාවලියේදී බටහිර බලවේග කිසිදු පැකිලීමකින් තොරව අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබා දෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ සහයෝගය ජිනීවා කවුන්සිලයට අවශ්‍ය නැත. එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ රජය 2015 ඔක්තෝබර් මස 1 දින ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගැනීමට යෝජනා කළ ක‍්‍රියාවලියට එකඟ විය. එදා එම මෙහෙයුම යහපාලන රජය වෙනුවෙන් ක‍්‍රියාත්මක කළේ නැසීගිය විදේශ ඇමැති මංගල සමරවීර බව අවධාරණය කළ යුතුය. කැබිනට් මණ්ඩලය, විදේශ අමාත්‍යංශය සහ ජාත්‍යන්තරය අතර අවශ්‍ය සම්බන්ධතාවය ක‍්‍රියාත්මක කිරීමට නැසීගිය මනෝ තිත්තවැල්ල අගමැතිවරයා කැබිනට් පත‍්‍රිකාවක් මාර්ගයෙන් පත් කළේය. යහපාලන – බටහිර බලවේග සමග ක‍්‍රියාත්මක කළ මෙහෙයුම සාර්ථකව ඉදිරියට ගමන් කරන බව මානව හිමිකම් ප‍්‍රධානි ශ‍්‍රී ලංකාවට අවධාරණය කර ඇත.

මානව හිමිකම් කවුන්සිලය කලාප පහකට බෙදා ඇත. සාමාජික රටවල් 47 කි. වසර තුනකට පත්වීම ලබයි. ඇමෙරිකාව 2018 ජුනි මාසයේදී එම කවුන්සිලයෙන් ඉවත් වූයේ ක‍්‍රියාකාරිත්වය අසූචි වළකට සමාන කරමිනි. එම අවස්ථාවේදී ඇමරිකාව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ කටයුතු කළ රටවල් කීපයකින් සමන්විත කණ්ඩායමට නායකත්වය දැරීය. අසූචි වළෙන් ඉවත් වූ ඇමෙරිකාව ශ‍්‍රී ලංකාව පෙළීමේ ‘රාජකාරිය’ මහා බි‍්‍රතාන්‍යට භාර දුන්නේය. ශ‍්‍රී ලංකාවට එරෙහි 46/1 යෝජනාව ඇමෙරිකාවේ අවශ්‍යතාවය මත ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් කළේ මහා බි‍්‍රතාන්‍ය ආණ්ඩුවයි.

කොවිඞ් ව්‍යසනය අතරේ ජිනීවාහි දී ශ්‍රී ලංකාවේ ගෙළ සිරකිරීම !

ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක මහා බි‍්‍රතාන්‍ය නායකත්වය දෙන කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයින් වන්නේ කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මලාවි සහ මොන්ටේග්‍රෝය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන යෝජනාව දිගින් දිගටම යාවත්කාලීන කිරීම බටහිර ආණ්ඩු අපූරුවට කරන බව කිව යුතුමය.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිජාස් හිස්බුල්ලා පිළිබඳවද මානව හිමිකම් කොමසාරිස්වරිය ප‍්‍රශ්න කරයි. බි‍්‍රතාන්‍ය නායකත්වය දෙන කණ්ඩායමද ජිනීවා 48 වන සැසියේදීද හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම මතු කළේය. මිනීමරු තව්හිත් ජමාත් සංවිධානය පාස්කු ප‍්‍රහාර මාලාවෙන් මිනිස් ජිවිත 270 පමණ බිලිගැනීම පිළිබඳව මානව හිමිකම් කොමිසමට ගැටලූවක් නැත. හිජාස් හිස්බුල්ලා සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර ප‍්‍රශ්නයක් කර ඇත.

බන්ධනාගාර සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත මැතකදී බීමතින් පිස්තෝලයක් රැගෙන වැලිකඩ සහ අනුරාධපුරයේ බන්ධනාගාරවලට ඇතුළු වීම ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට ලක්වන බව රජය වටහා ගත යුතුය. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින යම් එල් ටී ටී ඊ සැකකරුවන් දණ ගැස්සවීම සහ වෙඩි තැබීමට පිස්තෝලයක් ගෙන තර්ජනය කිරීම ශ‍්‍රී ලංකාවට එරෙහි මෙහෙයුම ක‍්‍රියාත්මක කරන කණ්ඩායමට වාසිදායකය. ‘එක රටක් එක නීතියක්‘ ක‍්‍රියාත්මක කිරීමට බලයට පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ජිනීවා මෙහෙයුමට පහසුකම් සපයන්නෙකු වී ඇත. මහනුවර නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයාගේ ක‍්‍රියා කලාපය නැවතත් අවධාරණය කරන්නේ ශ‍්‍රී ලංකාවේ තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුමියේ ක‍්‍රියාත්මක ආකාරයයි.

මීට පෙරත් ආන්දෝලනාත්මක සිද්ධීන් කීපයකට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වී ය. නමුත් ඔහු රටට සිදු කළ හානිය බරපතළය. නමුත් නැවතත් ඔහු අමාත්‍ය ධුරයකට පත්වීම වැළැක්විය නොහැක. දූෂණ, වංචා සහ මිනීමැරුම් සම්බන්ධයෙන් පැවරූ නඩු ඉල්ලා අස්කර ගන්නා රටක රත්වත්තේ මන්ත‍්‍රීවරයා නැවතත් අමාත්‍ය ධුරයකට පත්වනු නොඅනුමානය.

බරපතළ ජාත්‍යන්තර අත පෙවීමකට භාජනය වී ඇති ශ‍්‍රී ලංකාව එම අභියෝගයට මුහුණ දෙන ආකාරය පුදුමාකාරය. යුද අපරාධ චෝදනාවලට අමතරව පොලිස් අත්අඩංගුවේ සිටින බරපතළ අපරාධවලට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයින් කීපදෙනෙකුම පොලිස් අත්අඩංගුවේදී වෙඩි වැදී මියයෑම සම්බන්ධයෙන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ‍්‍රී ලංකාවට චෝදනා කර ඇත. දැනට රැඳවුම් නියෝග මත බන්ධනාගාර ගතවී සිටින එවැනි සැකකරුවන් වෙනුවෙන් ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ අතුරුදන් වූවන් සොයන කාර්යාලයේ හිටපු ප‍්‍රධානි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් පෙනී සිටීම රජයේ අවධානයට යොමු විය යුතුය. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කණ්ඩායමට නායකත්වය දෙන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ද එවැනි බරපතළ ගනයේ සැකකරුවෙකු වෙනුවෙන් පෙනී සිටීමද ජාත්‍යන්තරයේ අවධානයට යොමුවෙනු ඇත. අවාසනාවකට රජය සමස්ත බටහිර වටලෑම තේරුම් ගෙන නැත.

ජිනීවා තර්ජනාංගුලිය වටහා නොගැනීම අවාසනාවකි. පසුගිය අගෝස්තු 30 දා හදිසි නීතිය නැවත ක‍්‍රියාත්මක කිරීම, එම තත්ත්වය තවදුරටත් පුළුල් කිරීමට ඇති අවස්ථාව, සිවිල් සමාජ ක‍්‍රියාකාරීන්, නායකයින්, මානව හිමිකම් ක‍්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්, ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්, වෛද්‍ය වෘත්තිකයින්, ආගමික නායකයින් ඉලක්ක කර කටයුතු කිරීම සම්බන්ධයෙන් රජයට චෝදනා කර ඇත. සිවිල් ක‍්‍රියාකාරීන් සහ සංවිධාන මර්දනයට නව නීති ගෙන ඒමට කටයුතු කිරීම, පුද්ගලයින් 11 අතුරුදන් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවෙන් එවකට නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීම සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම ජිනීවා කවුන්සිලය මතු කර ඇත. ඉදිරියේදී බන්ධනාගාර රාජ්‍ය ඇමැති එල් ටී ටී ඊ සැකකරුවන්ට පිස්තෝලයක් හිසට තබා තර්ජනය කිරීමද චෝදනා ගොන්නට එකතුවනු ඇත.

ජිනීවා අභියෝගයට මුහුණ දීමට රජය සිවිල් ක‍්‍රියාකාරීන්ගේ ද සහය පැතීය. ශ‍්‍රී ලංකා කලෙක්ටිව් ෆෝ කන්සෙන්සස් (ිරස ඛ්බන් ක්‍දකකැජඑසඩැ දෙර ක්‍දබිැමි) නමැති කණ්ඩායම (16 දෙනෙකුගෙන් සමන්විත) සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන, විදේශ ඇමැති ජී. එල්. පීරිස්, අධිකරණ ඇමැති අලි සබ්රි, මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, ක‍්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොලඹගේ අදාළ කරුණු කාරණා සාකච්ඡා කළේය. ශ‍්‍රී ලංකාවේ ස්ථාවරය සම්බන්ධයෙන් පීරිස් අමාත්‍යවරයා ජාත්‍යන්තර ප‍්‍රජාවට 48 වැනි ජිනීවා සැසියට පෙර ලිඛිතව කළ කරුණු දක්වීමේදීද මෙම සිවිල් ක‍්‍රියාකාරීන් සමඟ කළ සාකච්ඡාව සඳහන් කළේය. මානව හිමිකම් කොමසාරිස්වරියද තම කතාවේදී ජනාධිපති රාජපක්ෂ සිවිල් ක‍්‍රියාකාරීන් හමුවීම යම් අගය කිරීමක් කළේය. නමුත් නව පරීක්ෂණයකට ශ‍්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන බවද එක හුස්මට පැවසීය. ජාත්‍යන්තරය එසේය. රජය සහ එම සිවිල් ක‍්‍රියාකාරීන් අතර සිදුවූ සාකච්ඡා සම්බන්ධයෙන් විමසා බැලිය යුත්තේ සිවිල් සොසයිටි ප්ලැට්ෆෝම් (ක්‍සඩසක ීදජසැඑහ ඡුක්එදෙරප) නමැති කණ්ඩායමක් (සංවිධාන සහ පුද්ගලයින් 66 සමන්විත) නිකුත් කළ තදබල ප‍්‍රකාශයටද අවධානය යොමු කරමිනි. රජය සමඟ සාකච්ඡා කළ කණ්ඩායම සහ අනෙකුත් කණ්ඩායමද ප‍්‍රකාශ කළේ එකම දෙයකි. එනම් පැවති තත්ත්වයේ කිසිදු වෙනසක් නොමැති බවත් නැවත හදිසි නීතිය පැනවීම (අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඟවා තැබීමට එරෙහිව) සහ සිවිල් ක‍්‍රියාකාරීන් මර්දනය හේතුවෙන් තත්ත්වය වඩාත් අයහපත් වී ඇති බව අවධාරණය කිරීම ආණ්ඩුවට කම්මුල් පහරක් ගැසීමකි. මෙවැනි තත්ත්වයක් නැවත නැවතත් අවධාරණය කරන්නේ මෙම රජයද වැරදි මාර්ගයක ගමන් කරන බවයි.

රජය පසු විපරමක් කළ යුතුය. එසේ කිරීමට මෙම රජයට වුවමනාවක් නැතිද? එසේත් නැතහොත් එවැනි අවශ්‍යතාවයක් නොපෙනෙන්නේද? අදටත් ශ‍්‍රී ලංකාවට එරෙහි ප‍්‍රධානම චෝදනාව නැගෙනහිර වන්නියේදී ද්‍රවිඩ සිවිල් වැසියන් 40,000 කට අධික ප‍්‍රමාණක් මරා දැමීමය (දරුස්මන් වාර්තාවේ 137 වන ෙඡ්දය) නමක්, ගමක් සඳහන් නොවන පුද්ගලයින් 2,300 ලබා දුන් තොරතුරු 4,000 පමණ (දරුස්මන් වාර්තාවේ 17 වන ෙඡ්දය ) මත 40,000 මරා දැමූ බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කළේ එම තොරතුරු ලබා දුන් පුද්ගලයින්ගේ අනන්‍යතාවය 2031 වනතුරු හෙළි නොකළ යුතු බවට නියෝග කරමිනි. 2011 නිකුත් කළ දරුස්මන් වාර්තාවට අනුව වසර 20 යනතුරු තොරතුරු සැපයු පුද්ගලයින් සම්බන්ධයෙන් කිසිවක් හෙළි කිරීම හෝ විමර්ශනය කිරීම තහනම්ය. (එම වාර්තාවේම 23 වන ෙඡ්දය). දරුස්මන් අපූරු හෙළිදරව්වක්ද තම වාර්තාවෙන් කළේය. ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ ප‍්‍රබල ජාලය, වන්නියේ ක‍්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන, ආගමික නායකයින් සහ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය එක්වී 2008 අගෝස්තු සිට 2009 මැයි 13 දක්වා භුමියේ කළ විමර්ශන අනුව 7,721 මියගොස් 18,479 තුවාල සිදුවූ බවයි (දරුස්මන් වාර්තාවේ 134 පරිච්ෙඡ්දය) නේස්බි සාමිවරයා 2017 ඔක්තෝබර් මස මහා බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේ හෙළි කළ පරිදි යුද සමයේදී කොළඹ පිහිටි මහ කොමසාරිස් කාර්යාලයෙන් ලන්ඩන් නුවරට යැවූ ලිපි අනුව මියගිය ගණන 7,000-8,000 පමණය.

දරුස්මන් වාර්තාව පූර්ණ විමර්ශනයකට ලක් කර නොමැති බව පැහැදිලිය. විමර්ශනය කළ පමණින් සෑහීමකට පත්විය නොහැක. ශ‍්‍රී ලංකා ආරක්ෂක හමුදා සිවිල් ජනතාව ඉලක්ක කර පහර නොදුන් බවට සහ යටත් වන ත‍්‍රස්තවාදීන් මරා දැමීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය නොකළ බවට පළමුවෙන්ම ප‍්‍රකාශ කළේ යුද සමයේදී ශ‍්‍රී ලංකාවේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයට අනුයුක්තව සේවය කළ ලූතිනල් කර්නල් ලෝරන්ස් ස්මිත්ය. ඒ 2011 ජුනි මාසයේ කොළඹ පැවති ආරක්ෂක සමුළුවේදීය. එම අවස්ථාවේදී එවකට මේජර් ජෙනරාල් තනතුර හෙබවූ ශවේන්ද්‍ර සිල්වා ද විය. ඇමෙරිකානු ප‍්‍රකාශය රාජ්‍ය දෙපාර්තමේන්තුව අන්ද මන්ද කළ බවට සැක නැත. එම ප‍්‍රකාශය පිළිබඳව ලියුම්කරුගේ හෙළිදරව්ව සම්බන්ධයෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ ලූතිනල් කර්නල්වරයා එම සමුළුවේදී ඇමෙරිකාව නියෝජනය නොකළ බවයි. නමුත් ඔහු එම සමුළුවට සහභාගී වූ බව පිළිගත්තේය.

ත‍්‍රස්තවාදය පරාජය කළ ශ‍්‍රී ලංකාවට තම ජයග‍්‍රාහී සටන නිසියාකාරයෙන් ලෝකය ඉදිරියේ තැබීමට නොහැකිවිය. ජාත්‍යන්තරය සහ ඔවුන්ගේ අතකොළු බොරු වැපුරුවේය. පසුගියදා ශ‍්‍රී ලංකාවට එරෙහි නව පරීක්ෂණයක් ප‍්‍රකාශ කළ මානව හිමිකම් කොමසාරිස්වරිය 2019 මන්නාරමේ සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් හමුදාව වරද පැටවිය. එම බොරුව අතේ පත්තු වූයේ ඇමෙරිකානු පර්යේෂණාගාරයක් මන්නාරමෙන් සොයාගත් ඇටකටු වසර 500ට එපිට බවට නිගමනය කිරීමත් සමඟය. ඒ 2019 දිය. වර්තමාන රජය මේ කිසිවක් අවධානයට ක ලක් නොකළ බව පැහැදිලිය.

ශ‍්‍රී ලංකාවට එරෙහි අසත්‍ය චෝදනා ගොන්නට හිටපු විනිසුරුකරුවෙකු වූ සී. වී. විග්නේෂ්වරන් යහපාලන සමයේදී ( ඔහු වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයක නායකයෙක් ) ‘නව නිෂ්පාදනයක්’ එකතු කළේය. පුනරුත්ථාපනයට යොමු කර තිබූ හිටපු එල් ටී ටී ඊ සාමාජිකයින් 100 කට අධික ප‍්‍රමාණයක් වස එන්නත් කර මරා දැමූ බවට එවකට උතුරු පළාතේ මහ ඇමැතිවරයා ලෙස ඔහු ප‍්‍රකාශ කළේය. හමුදාව මෙම සහාසික අපරාධය කළ බව පැවසීය. ඒ පාර්ලිමේන්තුවෙන් පිටදීය. ඔහු අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෙකු ලෙස ශ‍්‍රී ලංකාව ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළ බව ප‍්‍රකාශ කරයි.

නේස්බි සාමිවරයා කළ හෙළිදරව්ව ස්මිත්ගේ සමකාලීනයකු වූ මහා බි‍්‍රතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලූතිනල් කර්නල් ඇන්ටනි ගෑෂ් නැගෙනහිර වන්නි සටන සම්බන්ධයෙන් තම ආණ්ඩුවට 2009 දී (ජනවාරි-මැයි ) යැවූ රහස්‍ය ලිපි සමඟ අපූරුවට ගැලපේ. නමුත් ශ‍්‍රී ලංකාවට රට වෙනුවෙන් අදාළ කරුණු කාරණා ජිනීවා සැසියට වාර්තාව කිරීමට මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාව වන තුරුම කිසිදු අවශ්‍යතාවයක් දැනී නැත. ශ‍්‍රී ලංකාව 80 ව දශකය පටන් ගැනීමේදීම (83 ජුලි කලකෝලහාල වලට පෙර) ත‍්‍රස්තවාදයට ගොදුරු කළේ ඉන්දියාව බව ජිනීවාහිදී අවම වශයෙන් සඳහන් කළ යුතු නොවේද? ජයග‍්‍රාහී යුද හමුදාවට චෝදනා නගන ද්‍රවිඩ ජාතික සන්ධානය 2010 ජනපතිවරණයේදී එවකට ජෙනරාල් සරත් ෆොන්සේකාට ඡුන්දය දුන් බව ජාත්‍යන්තරයට අවධාරණය කළ යුතු නොවේද? අති බහුතරයක් ද්‍රවිඩ කතා කරන ජනතාවක් ජීවත්වෙන උතුරු නැගෙනහිර සියලූම මැතිවරණ දිස්ති‍්‍රක්ක ෆොන්සේකා ඉහලින්ම ජයග‍්‍රහණය කළ බව ලෝකයට මතක් කර දිය යුතු නොවේද?

ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ දුර්වල නැත. දුර්වල කර ඇත. මෙම තත්ත්වය සම්බන්ධයෙන් ආරක්ෂක (ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැතිය) සහ විදේශ අමාත්‍යංශය ගැඹුරින් විමසා බැලිය යුතුය.

බටහිර බලවේග ද්‍රවිඩ ඩයස්පෝරාව තමන්ට අවශ්‍ය පරිදි පාවිච්චි කරන බව රජය වටහා ගත යුතුය. ශ‍්‍රී ලංකාවට එරෙහි ක‍්‍රියාමාර්ගය ද්‍රවිඩ ඩයස්පෝරාවේ වුවමනාවට සිදුවන ක‍්‍රියාවලියක් නොවේ. ඩයස්පෝරාව ද සමස්ත බටහිර මෙහෙයුමට දායකත්වය සපයයි. සැබෑ සතුරා සහ රටට එරෙහි මෙහෙයුම නිසියාකාරව හඳුනා ගැනීම අවශ්‍යය.

තත්ත්වය බරපතළ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. යහපාලන රජය සම අනුග‍්‍රාහකත්වය දැක්වූ 2015 ඔක්තෝම්බර් මස 1 දින අත්සන් කළ ජිනීවා යෝජනාවලියෙන් ශ‍්‍රී ලංකාව ඉවත්වූ බව 2020 මාර්තු මස සැසියේදී එවකට විදේශ ඇමැතිවරයා මහත් අභිමානයෙන් ප‍්‍රකාශ කළේය. එය හුදු ප‍්‍රකාශයක් බව මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගිය සතියේදී ශ‍්‍රී ලංකාවට අවධාරණය කර ඇත. තවත් පමා නොවී රජය ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපිත වූ ආකාරය සහ වසර 30ක් පැවති කුරීරු යුද්ධය සාර්ථකව අවසන් කළ ආකාරය ජිනීවා කවුන්සිලයට ඉදිරිපත් කිරීම වර්තමාන රජයේ වගකීමයි. එය එසේ නොවන්නේනම් ශ‍්‍රී ලංකාවට එරෙහිව කරන ජාත්‍යන්තර වටලෑමට මෙම රජයද වගවිය යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment