කොවිඞ් හා ඉන්ධන මිල වැඩිවීම… ඉන්ධන මිල වැඩිවීම ගැන නාමල් කී කතාව… නාමල්ගේ අගමැති සිහිනය…. ඛනිජතෙල් සංස්ථාව ලාබ ලැබුවාද?

214

කොවිඞ් වසංගතය හේතුවෙන් රට්ටුන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. එදිනෙදා කුලී වැඩ හා ස්වයං රැුකියා කිරීමෙන් පවුලේ බඩවියත රැුකගත් අති බහුතරයකට සිය ආදායම් මාර්ග අහිමි වී ගොස් ඇත. තැඹිලි වෙළෙන්දා, සපත්තු මසන්නාගේ සිට මහා පරිමාණ ව්‍යාපාරිකයා දක්වා කොවිඞ් වසංගතය නිසාවෙන් දැඩි බලපෑමකට ලක්ව තිබේ. විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයේ නිරත වූවන් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත. දකුණු වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. කොවිඞ් වසංගතය නිසා මෙකී වෙරළ තීරයත් පාළුවට ගොස් ඇත. හෝටල් හා අවන්හල් වසා දමා ඇති අතර සංචාරක කර්මාන්තයට අදාළව  රැකියාවල නිරත වූ විශාල පිරිසකට  රැකියා අහිමි වී ගොස් තිබේ. මේ නිසා සංචාරක කර්මාන්තයේ රැුකියාවල නිරතව සිටි ඇතැම් හෝටල් සේවකයන් ධීවර රක්ෂාවේ එදිනෙදා කුලී වැඩ කිරීම සඳහා යොමුවී ඇත. තම දරු පවුල් නඩත්තු කර ගැනීම සඳහා ඔවුන් දැඩි අරගලයක නිරතව සිටිති. මේ වනතෙක් කොවිඞ් වසංගතය නිසා ආදායම් මාර්ග අහිමි වූ පිරිසට රුපියල් 5000 දීමනාව පවා ලබා දී නැත. සංචාරක කර්මාන්තයේ රැුකියාවල නිරත වූවන්ට අමතරව පුද්ගලික බස්රථ සේවකයන් ද දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටිති. කොරෝනා අස්සේ ඉන්ධන මිල වැඩිවීම ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා’ වාගේය. ඉන්ධන මිල වැඩිවීම රටේ සෑම ක්ෂේත‍්‍රයකටම දැඩි බලපෑමක් එල්ල වී ඇත. ඉන්ධන මිල වැඩිවීම පිළිබඳ මේ වනවිට දේශපාලනඥයන් මෙන්ම රට්ටුන්ද විවිධ මත පළ කරති. පසුගියදා නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කොග්ගල ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී මාධ්‍යවේදීන් නාමල් ඇමැතිවරයාගෙන් ඉන්ධන මිල වැඩිවීම ගැන ප‍්‍රශ්න කළේය.

ඉන්ධන මිල වැඩිවීම  ගැන නාමල් කී කතාව

ඉන්ධන මිල වැඩි නොවුණා නම් හොඳයි. නමුත් අද තියෙන තත්ත්වයත් සමග ඉන්ධන මිලේ යම්කිසි වැඩිවීමක් විය යුතු බවට අමාත්‍යවරයා හා නිලධාරීන් විශ්වාස කරනවා යැයි නාමල් රාජපක්ෂ ඇමැතිවරයා කිවේය. ඉදිරියේ දී ඉන්ධන මිල අඩු කරන්න පුළුවන් පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල අඩුකිරීමට කටයුතු කරනවා මෙන්ම ජනතාවට සහන ලබාදීමට කටයුතු කරන බවද ඇමැතිවරයා කීවේය. පසුගිය වසර එකහමාරක කාලය තුළ අපි ඉන්ධන මිල වැඩිකළේ නැහැ.ලෝක වෙළෙඳපොළේ හා ලංකාවේ කොවිඞ් වසංගත තත්ත්වයත් එක්ක තමයි මේ තීන්දුව ගැනීමට සිදු වුණේ. මෙය කැමැත්තෙන් ගත් තීන්දුවක් නොවෙයි. ගත නොහැකි නිසා ගන්න වූ තීන්දුවක්. ආණ්ඩුවක් කරන විට අපි කළමනාකරණය කළ යුතුයි. මේ කළමනාකරණ කටයුතුවලදී දැඩි තීන්දු තීරණ ගන්න ඕන අවස්ථා තියෙනවා. අකමැත්තෙන් වුවත් එම තීන්දුව අපි ගතයුතු වෙනවා. පසුකාලීනව පසු තැවෙන්නේ නැතිව, දේශපාලනික වශයෙන් තීන්දු තීරණ ගන්නේ නෑ. රටේ ජාතික ආරක්ෂාව ජාතික ආර්ථිකය හා රටේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා මේ අවස්ථාවේ දී ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අපිට එම තීන්දුව ගන්න වුණා යැයි නාමල් රාජපක්ෂ ඇමැතිවරයා මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් කීවේය.

නාමල්ගේ  අගමැති සිහිනය

මීළඟ අගමැති ධූරය නාමල් රාජපක්ෂ ඇමැතිවරයාට හිමිවන බවට සමාජ මාධ්‍ය ජාල හරහා පසුගිය කාලයේ විශාල ප‍්‍රචාරයක් ලැබී තිබිණි. මෙහි ඇත්ත නැත්ත පිළිබඳ නාමල් රාජපක්ෂ ඇමැතිවරයා ගෙන්ම විමසීමට මාධ්‍යවේදීන් කටයුතු කළහ. මෙහිදී නාමල් රාජපක්ෂ ඇමැතිවරයා සිනහසෙමින් මෙසේ කීවේය. අගමැති ධුරය ලබා ගැනීම සඳහා මගේ කිසිදු බලාපොරොත්තුවක් නෑ ඇමැතිවරයා කීවේය.

ඛනිජතෙල් සංස්ථාව ලාබ ලැබුවාද?

ගෝලීය තෙල් මිල සාපේක්ෂ වශයෙන් පහළ මට්ටමක පැවතිය ද ප‍්‍රධාන ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය මිල ගණන් නොවෙනස්ව පවත්වාගෙන යෑම හේතුවෙන් 2020 ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 33.9 ක මෙහෙයුම් ලාභයක් වාර්තාකොට ඇති බැව් ශ‍්‍රි ලංකා මහ බැංකුව විසින් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. විගණනය නොකළ තාවකාලික මූල්‍ය ඇස්තමේන්තුවලට අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව 2019 දී රුපියල් බිලියන 19.1 ක මෙහෙයුම් අලාභයක් වාර්තාකොට තිබිණි. කෙසේ වුවද ප‍්‍රවාහනය, විදුලිබල උත්පාදනය, ගුවන්සේවා සහ කර්මාන්ත අංශවලට අලෙවිකරණ ලද ඛනිජතෙල් නිෂ්පාදනවලින් 2020 රුපියල් බිලියන 33.9 ක මෙහෙයුම් ලාබයක් වාර්තා කොට තිබිණි. කෙසේ වුවද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාගෙන තවම නොපියවා ඇති විදේශීය මුදලින් නියාමනය වූ විශාල ණය ප‍්‍රමාණය හේතුවෙන් හා 2020 ඩොලරයට සාපේක්ෂව රුපියල අවප‍්‍රමාණය වීම නිසා ඇති වූ විනිමය අනුපාත විචල්‍යතා අලාභය රුපියල් බිලියන 21.8 ක් බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. එමගින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සමස්ත ලාබයට (බදුවලට පෙර* සෘණාත්මක බලපෑමක් ඇති කරණු ලැබීය. පෙර වර්ෂයේ වාර්තා වූ රුපියල් බිලියන 11.8 ක අලාභයට සාපෙක්ෂව 2020 එම අගය රුපියල් බිලියන 2.4 ක ලාබයක් ලෙස සටහන් වූ බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. මෙ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බැංකු අංශයෙන් ලබාගත් ණය ප‍්‍රමාණය 2020 රුපියල් බිලියන 381.8 ක් දක්වා රුපියල් බිලියන 74.1 කින් ඉහළ ගිය බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම දේශීය බලපත‍්‍රලාභී වාණිජ්‍ය බැංකුවල පැවති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් තැන්පත් ප‍්‍රමාණය 2019 අවසානයේ පැවති රුපියල් බිලියන 30.0 සිට 2020 අවසානය වනවිට රුපියල් බිලියන 63.9 දක්වා වර්ධනය විය. කෙසේ වුවද ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ආනයනය කරණු ලැබූ බොරතෙල් බැරලයක මිල 2019 දී ඇමරිකානු ඩොලර් 68.80ට සාපේක්ෂව 2020 දී ඩොලර් 45.57 දක්වා පහළ ගිය බවද මහ බැංකු වාර්තාවේ දැක්වේ. 2021 වර්ෂයේ පළමු කාර්තුවේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමරිකනු ඩොලර් 61.22 ක් බව ද මහ බැංකුව මගින් නිකුත්කොට ඇති වාර්තාවේ දැක්වේ.

ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලට මොකද වුණේ

ඉන්ධන මිල වැඩිවීමත් සමග ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල මේ දිනවල කථාබහට ලක්වන ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේය. මෙකී ස්ථායිකරණ අරමුදල පිළිබඳ විවිධ කතා කියති. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 වර්ෂයේ නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවට අනුව මෙකී ස්ථායිකරණ අරමුදල පිහිටුවා ඇත්තේ 2020 වර්ෂයේ මාර්තු මාසයේදීය. එම කාලයේ දී අසාමාන්‍ය ලෙස ජාත්‍යන්තර වෙළෙඳ පොළේ පහළ ගිය තෙල් මිලෙහි ප‍්‍රතිලාභ ආර්ථිකය පුරා සාධාරණ ලෙස බෙදාහැරීම, සහතික කිරීම සඳහා දේශීය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම වෙනුවට ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල පිහිටුවනු ලැබීය. 2020 මාර්තු මාසයේ දී එම අරමුදල ස්ථාපිත කරන විට භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීම මගින් ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙතින් රුපියල් බිලියන 47.5 ක අරමුදල් රැුස්කර ගන්නා ලදී. 2020 අපේ‍්‍රල් අවසානයේ සිට පෙට‍්‍රල්, සුපිරි ඞීසල් හා සුදු ඞීසල් ආනයනය සඳහා ඉන්ධන අධිභාර පනවනු ලැබීය. අධිභාර හරහා රැුස්කරණු ලැබූ අරමුදල් ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදල සඳහා යොමුකොට ඇත. ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ සඳහන් ආකාරයට පෙට‍්‍රල් 92 සඳහා වන අධිභාරය 2020 වර්ෂයේ ජුනි මාසයේ දී ඉවත්කරණු ලැබීය. පෙට‍්‍රල් 95 සුදු ඞීසල් හා සුපිරි ඞීසල් සඳහා වන අධිභාරය පහළ හෙළමින් සංශෝධනය කරනු ලැබීය. පසුව ඛනිජතෙල් නිෂ්පාදිත ආනයනය කිරීම සඳහා පැවැති සියලූම අධිභාර 2021 පෙබරවාරි මස සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉවත්කරණු ලැබීය. ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබාගත් අරමුදල් ද ඇතුළුව 2020 වසර තුළදී දල වශයෙන් රුපියල් බිලියන 69.2 ක මුදලක් ඉන්ධන මිල ස්ථායිකරණ අරමුදලට ඇතුළත්ව තිබිණි. ඉන් රුපියල් බිලියන 48.0 ක් ලංකා විදුලිබල මණ්ඩලය වෙතින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබිය යුතු හිඟ ආර්ධ වශයෙන් පියවීම සඳහා යොදාගෙන ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ. තවත් රුපියල් බිලියන 21.0ක් ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් පියවීම සඳහා යොදාගනු ලැබීය.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment