කොවිඩ් අස්සේ දුගී බව පරදන වැඩසටහන

110

එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භයේ සිට 1990 දශකය දක්වා කාලය තුළ ඔවුන්ගේ සංවර්ධන ඉලක්කයන් යොමු කරන ලද්දේ ආර්ථික, සමාජ සහ පාරිසරික අංශ කෙරෙහිය. ඒ සඳහා ඔවුන්ගේ අරමුදල් විවිධ වැඩසටහන්, සංවර්ධන ව්‍යාපෘති එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ක‍්‍රියාත්මක කරවන ලදී. 1990 දශකයේ සිට 2015 දක්වා පමණ කාලසීමාව තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය සංවර්ධන අරමුණු සහස‍්‍ර සංවර්ධන අරමුණු ලෙස වෙනස් කරමින් ක‍්‍රියාත්මක කළ අතර 2016 මාර්තු මාසයේදී ළඟා කරගත යුතු තිරසර සංවර්ධන ඉලක්ක ලෙස අරමුණු 17 ක් හඳුනා ගන්නා ලදී.

වර්ෂ 2030 එම තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීමට ලෝකයේ සංවර්ධිත, රටවල ආණ්ඩු ඒ සඳහා වූ ඉලක්ක ළඟා කරවා ගැනීමට යොමුකරවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සහ දරමින් සිටී.

මුල් අවස්ථාවේදී සහස‍්‍ර සංවර්ධන අරමුණු 08 ක් හඳුනාගෙන තිබූ අතර එම අරමුණු ළඟාකර ගැනීමට ඉලක්ක 27 ක් සහ එය මැනීම සඳහා දර්ශක 63 ක් හඳුනා ගෙන තිබිණි. නමුත් තිරසර සංවර්ධන අරමුණු ඊට වඩා පුළුල් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් හඳුන්වා දී ඇති තිරසර සංවර්ධන අරමුණු සංඛ්‍යාව 17 කි. මෙම තිරසර සංවර්ධන අරමුණු 17 කරා යෑමට ඉලක්ක 169 සහ එම ඉලක්ක ළඟා කර ගැනීම, මැන බැලීම සඳහා සකස් කර ඇති දර්ශක සංඛ්‍යාව 232 කි.

මෙම තිරසර සංවර්ධන අරමුණු අතර පළමු අරමුණ වන්නේ දුප්පත්කම නැති කිරීමයි (No poverty). මෙම අරමුණ සඳහා වූ මෙහෙවර ප‍්‍රකාශයේ දැක්වෙන්නේ ‘‘ ඕනෑම තැනක ඇති සෑම ආකාරයකම දුප්පත්කම නිමා කිරීම යන්නයි.’’

මෙම අරමුණ සඳහා ඉලක්කයන් 07 සහ ඒවා ළඟා කර ගැනීම, මැන බැලීම සඳහා ඇති දර්ශකයන් 13 ක් දක්වා ඇත. වර්ෂ 2015 ලෝකයේ අන්ත දුගී ජන සංඛ්‍යාව මිලියන 736 ක් වූ අතර එය 1990 දී බිලියන 1.85 ක් වූ ජන සංඛ්‍යාවෙන් හරි අඩක් අඩුවීමකි. අන්ත දුගී යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්වචනය කර ඇත්තේ දෛනික ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 1.90 ට වඩා අඩු පුද්ගලයින් ලෙසයි.

2017 ලෝක බැංකු වාර්තාව අනුව අන්ත දුගී රේඛාවට පහළින් ජීවත් වූ ශ‍්‍රී ලංකාවේ ජනගහනය මුළු ජනගහනයෙන් 4.1% ක් වූ අතර දෛනික ආදායම ඩොලර් 3.10 අඩු ජන සංඛ්‍යාව මුළු ජනගහනයෙන් 15% ක් විය.

ශ‍්‍රී ලංකාවේ අන්ත දුගී ජනගහනය අවම කිරීමේ ඉලක්කයන් ළඟා කර ගෙන ඇති ආකාරය පහත පරිදි දැක්විය හැක.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන ඒ ඒ රටවල ආණ්ඩු මගින් ඉටු කළ කාර්ය භාරය නිසා 1990 සිට ක‍්‍රමිකව ලෝකයේ අන්ත දුගී බව අඩු වී ඇත.

ශ‍්‍රී ලංකාවට මෙම අභියෝගයට මුහුණ දීමට එනම් අන්ත දුගී දුප්පත්කම නැති කිරීමට අවශ්‍ය ශක්තිය තිබෙන අතර දැනටමත් ක‍්‍රියාත්මකව ඇති සමෘද්ධි වැඩසටහන නිසි ඉලක්කයට යොමුකර ක‍්‍රියාත්මක කළහොත් 2030 වර්ෂයේදී ශ‍්‍රී ලංකාවේ අන්ත දුගී බව අවම ඉලක්කමක් වනු ඇත.

1995 වන විටත් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වූ ජනසවිය වැඩසටහනේ ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 527000 ක් වූ අතර 1996 දී සමෘද්ධි වැඩසටහන හඳුන්වාදීමත් සමග සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1440198 ක් විය. ඒ සඳහා දරන ලද වාර්ෂික වියදම රුපියල් මිලියන 6833 ක් විය. 1996 සිට 2021 දක්වා කාලය තුළ වැඩිම සමෘද්ධි ප‍්‍රතිලාභීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ 2000 වර්ෂයේදීය. ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 2013685 ක් වූ අතර ඒ සඳහා දරන ලද වියදම රුපියල් මිලියන 11946 ක් විය. වර්ෂ 2018 දී සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1388543 ක් වූ අතර 2019 වර්ෂයේදී නැවත ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1800182 ක් විය. දරන ලද වියදම රුපියල් මිලියන 39238 සිට රුපියල් මිලියන 44660.45 ක් දක්වා වැඩි විය.

2021 වර්ෂය අවසානයේදී ශ‍්‍රී ලංකාවේ මුළු ගෘහ ඒකක සංඛ්‍යාව මිලියන 5.1 ක් වනු ඇතැයි අපේක්‍ෂා කරන අතර 2015 දී එය මිලියන 4.9 ක් විය. 2015 ද සමෘද්ධි ප‍්‍රතිලාභ ලැබූ පවුල් ඒකක සංඛ්‍යාව මිලියන 1.45 ක් වූ අතර 2020 වන විට එය මිලියන 1.79 ක් විය. ඒ අනුව රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් 35% ක් පමණ සමෘද්ධි ප‍්‍රතිලාභී පුවල් වේ.

2019 දී රටේ සමස්ත ජනගහනයෙන් 4% ක් වූ අන්ත දුගී සංඛ්‍යාව මේ අනුව 840000 ක් පමණ වනු ඇතැයි උපකල්පනය කළ හැක. එසේ නැතිනම් අන්ත දුගී බවට පත්වනු ඇති පවුල් සංඛ්‍යාව ආසන්නම වශයෙන් 200000 ට වඩා වැඩිවිය හැක.

එසේ නම් වර්ෂ 2030 දී ශ‍්‍රී ලංකාව අන්ත දුගීබව නැති කිරීම යන අභියෝගය ජයගැනීමට නම් සමෘද්ධි වැඩසටහන නිසි ඉලක්කයක් කරා යොමුකරවීමටත් සියලූ ශක්තීන් එම අරමුණු ඉටුකරගැනීමට යොමුකරවීමටත් අවශ්‍ය සැලසුම් වහා වහා ක‍්‍රියාවට නැංවිය යුතුය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන අරමුණු අතරින් පළමුවන අරමුණ වූ සෑම ආකාරයකම අන්ත දුගී බව නැති කිරීම සඳහා වූ ඉලක්ක සහ ඒවා මැන බැලීම සඳහා වූ දර්ශකයන් මගින් ඉලක්කවලට ළඟා වීමේ නැතිනම් සාර්ථක වීමේ ප‍්‍රතිඵල මැන බැලිය හැකිය.

නමුත් කොරෝනා වසංගතය නිසා ලෝකයේ අන්ත දුගී බව වර්ෂ 2030 දී 3% දක්වා අඩුකර ගැනීමේ ඉලක්කයන් ළඟා කර ගැනීම අභියෝගයක් වී ඇති අතර 2020, 2021 වසරවලදී ලෝකයේ අන්ත දුගී ජනගහනය මිලියන 831 සිට බිලියන 1.16 දක්වා වැඩිවනු ඇතැයි ලෝක බැංකුව දැනටමත් පුරෝකථනය කර තිබේ. ඒ අනුව 2030 දී අන්ත දුගී ජන සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් 6% වඩා වැඩි වනු ඇත.

මේ තත්ත්වය තුළදී 2018 දී 4% ක් වූ අන්ත දුගී ජන සංඛ්‍යාව අවම කර ගැනීම ශ‍්‍රී ලංකාවට සැබෑම අභියෝගයක් වනු ඇත. කොවිඞ් වංසගතය නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටීම, අපනයන ආදායම අඩුවීම, ආනයන වියදම ඉහළ යාම, විදේශ සංචිත අඩුවීම යන කරුණු නිසා ආර්ථිකයට වන අයහපත් බලපෑම් මෙන්ම ලෝකයේ වඩාත්ම දේශගුණික බලපෑමට ලක්වන රටක් වීමත් ජන වර්ග අතර පවතින ගැටලූවක් ශ‍්‍රී ලංකාවට එම ඉලක්කය කරා යන ගමන තවදුරටත් දුෂ්කර කරවනු ඇත. ඒ අනුව රට හමුවේ ඇති සැබෑම අභියෝගය වන්නේ වර්ෂ 2030 වනවිට අන්ත දුගී ජන සංඛ්‍යාව අඩු කිරීමේ ඉලක්කය කුමක්දැයි සහ ඒ සඳහා වන ගමන් මාර්ගය කෙසේ සකසා ගන්නේද යන්නයි.

කේ. ඒ. ටී. එස්. එන්. පෙරේරා

advertistmentadvertistment