කොවිඩ් ආතතියෙන් මිදීමට දරුවන් පාසල් යා යුතුයි

345

කොවිඩ් ආතතියෙන් මිදීමට දරුවන් පාසල් යා යුතුයි

ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ,
අධ්‍යාපන පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර

රටේ පාසල් පද්ධතිය කොවිඞ්-19 වසංගතය හේතුවෙන් බොහෝ කාලයක් වසා තිබුණි. මේ වනවිට කාණ්ඩ වශයෙන් පාසල් ආරම්භ කරමින් පවතී. ඔන්ලයින් හෙවත් මාර්ගගත ඉගෙනුම් ක‍්‍රමවේදයේ අර්බුද රැසකින් හෙම්බත් වූ දරුවන්ට යළි පාසල, මිතුරු මිතුරියන්, ගුරුවරුන් දැකගත හැකිය. පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පර්යේෂණ සිදු කර ඇති, ශ‍්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ, අධ්‍යාපන පීඨයේ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර මහත්මිය සමඟ මේ පිළිබඳව ‘‘දිවයින” කළ සාකච්ඡාව මෙසේ ය.

දරුවන් පාසල් ජීවිතයෙන් බොහෝ කාලයක් දුරස්ව සිටීමේ අනිසි ප‍්‍රතිවිපාක මොන වගේද?

‘‘කොවිඞ්-19 වසංගතයට ප‍්‍රතිචාර වශයෙන් ගෝලීය පාසල් වසා දැමීම නිසා දරුවන්ගේ අධ්‍යාපනයට, ආරක්ෂාවට සහ යහපැවැත්මට දැඩි බලපෑමක් එල්ල වුණා. ළමා අයිතිවාසිකම් සම්මුතියට අනුව සෑම දරුවෙකුගේම අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා ඇති අයිතිය ප‍්‍රවර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට ජාතික ආණ්ඩු, හවුල්කරුවන් බැඳී ඉන්නවා. පසුගිය කාලය පුරාම සෑම දරුවකුගේම ‘අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය’ නැති වෙලා තියෙනවා.

ඉගෙනුමට ඇති මේ බාධාව අනිවාර්යෙන්ම දරුවාගේ ඉගෙනීමේ හැකියාව කෙරෙහි දැඩි බලපෑමක් ඇති කළ හැකි යි. පාසල් පටන් ගත්තත් දරුවන්ගේ පැමිණීමේ අඩුවක් තියෙනවා. තමන්ගේ යාළුවෝ හමුවන්න, සෙල්ලම් කරන්න දරුවෝ පාසලට යැවීමයි සුදුසු වන්නේ. දිගුකාලීන වසා දැමීම් මඟින් දරුවන්ගේ මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය සහයෝගය වැනි අත්‍යවශ්‍ය කුසලතාවලට බාධා වුණා. සම වයසේ මිතුරන් අතර සබඳතා නැති වීම සහ සාමූහික දින චර්යාවන් බාධා වීම හේතුවෙන් මානසික ආතතිය සහ කාංසාව වැනි මානසික ගැටලූ පවා දරුවන්ට ඇති වෙනවා. ඒ හැමදේකට ම පිළියමක් වශයෙන් ළමයි පාසල් යා යුතුයි.”

පාසල් නොයෑම දරුවන්ගේ ශාරීරික, මානසික,

චිත්තවේගිය සහ සදාචාරාත්මක අංශයේ සංවර්ධනයට ඇති කරන බලපෑම මොන වගේද?

‘‘දරුවන් ගෙදරටම සීමා වීම සහ සන්නිවේදනය සීමාසහිත වපසරියක වීම නිසා, වෙනත් සමාජ වපසරි තුළ හැසිරවීමට නොහැකි වෙනවා. මේ නිසා දරුවන් සංස්කෘතිකව රාමුගත වෙනවා. ඔවුන් සිතුවිලිවලින් ජාතිවාදියකු වීමටත් පුළුවන්. මොකද, පාසලෙන් ලැබෙන සංස්කෘතික නිපුණතාව දරුවාට ගෙදරින් නොලැබී යෑමයි. ඒ වගේම දිගු කාලයක් එකදිගට දෙමවුපියන්ගේ, නෑදෑයින්ගේ නොමඳ ආදරය ලැබීම නිසා තමා අවට සිටින සියලූ දෙනා විශ්වාස කිරීමට ඔවුන් පෙළඹවෙන ප‍්‍රමාණය වැඩියි. එවිට සිදු වන්නේ ඔවුන්ට තම සතුරා හඳුනා ගැනීමට අපහසු වීමයි. සිතුවිලි ශක්තිමත් වීමට සමවයස් ඇසුර නොලැබීම නිසා ඉක්මනින් කළකිරීමට පත් වෙනවා. දරුවා පාසලට යැවිය යුත්තේ ඒ නිසයි. විෂයය නිර්දේශයට අදාළ කාරණා දෙවැනි විය යුතුයි.”

මාර්ගගත අධ්‍යාපනයේ වාසි අවාසි දෙකම තියෙනවා නේද?

‘‘ඔව්, වාසි ගොඩාක් තියෙනවා. වේගයෙන් ඉගෙන ගැනීමට හැකියි. හැබැයි, මෙහි සඵලතාව වයස් මට්ටම්වලින් වෙනස් වෙනවා. සමහර පාඩම්වලට අදාළ රූප, පටිගත කළ දර්ශන සෑම ළමයෙකුට ම ඉතා හොඳින් දර්ශනය කරවන්නත්, ගුරුවරයා බෝඞ් එකේ ලියන, අඳින දේවල් හැම ළමයෙකුට ම එක හා සමානව හොඳින් බලා ගන්නත්, අවශ්‍ය දේවල් පටිගත කරලා නැවත අධ්‍යනය කිරීමට සැලැස්වීමටත්, පාඩම ඉතා හොඳින් වෙනත් වෙබ් අඩවි සමඟ සම්බන්ධ කරන්නත් පුළුවන් වෙනවා. සුබවාදීව, පරාර්ථකාමීව හිතනවා නම් ඔන්ලයින් මගින් වුණත් මේ වසර දෙකහමාරම දරුවන් වෙනුවෙන් ඵලදායීව යොදවන්න තිබුණා. එහෙම සාර්ථකව වැඩ කළ ගුරුවරු ගැන මම තොරතුරුත් දන්නවා.

අවාසි ගැනත් කියන්නම්. සාමාන්‍ය ඉගෙනුම් රටාවකට හුරු වී සිටි ගුරු – ශිෂ්‍ය ප‍්‍රජාවට පමණක් නෙමෙයි දෙමාපියන්ටත් මේ තාක්ෂණික මෙවලම් නිසා අනිසි තැතිගැන්මක් ඇති වුණා. සාමාන්‍ය ඉහළ මධ්‍යම පාන්තිකයන්ට මේ සඳහා යම් ආකාරයකින් මුහුණ දිය හැකි වුවත් අඩු වරප‍්‍රසාද ලත් අයට මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය තදබල කුණාටු සමයක් බවට පත් වුණා. විශේෂයෙන් ප‍්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන මට්ටමේ සිටින සිසුන් සැලකුවහොත් මෙහි බරපතළකම ටිකක් විතර බැ?රුම් වෙනවා. දරුවන්ට තනිව ඉගෙනුම සහ මෙම උපාංග හැසිරවීමට නොදන්නා නිසා ඉගෙනුම් ක‍්‍රියාවලිය තුළ දෙමාපියන්ටත් නිරත වීමට සිදුවෙලා තියෙනවා. ඒ වගේම අනවශ්‍ය ආර්ථික පීඩනයකටත් මුහුණ දෙන්න වෙලා තියෙනවා. එදිනෙදා කුලියක් කර යැපෙන පවුලකට මේක දරා ගන්නම බෑ. අපේ ගුරුවරු බොහොමයක් මාර්ගගත ඉගෙනුම පිළිබඳ අවබෝධයකින් තොරව තමයි ඉගෙනුම් ක‍්‍රියාවලිය මෙහෙයවන්නේ. අපි ඉගෙනුම කියන්නේ ගුරුවරයා සුසාධ්‍යයකරුවකු ලෙස දරුවන්ගේ ඉගෙනුමට පහසුකම් සපයමින් දරුවන්ගේ චර්යාව වෙනස් කිරීමට ගන්නා උත්සාහය ලෙසයි. ඒත් බොහෝ ගුරුවරුන්ට මාර්ගගත ඉගෙනුම පරිශීලනය කරන්නේ කෙසේදැයි නිවැරදි පුහුණුවක් නොමැතිකම, ප‍්‍රමාණවත් නොවන සූදානම සහ පරිශීලනයේ ඇති සීමිත අත්දැකීම් නිසා මාර්ගගත අධ්‍යාපනයේ යම්යම් දුර්වලතා කැපී පෙනෙනවා. ඉගැන්වීම සඳහා සිසුන්ගේ පමණක් නොව ගුරුවරුන්ගේ ද මානසිකත්වයේ වෙනසක් අවශ්‍යයි. සාම්ප‍්‍රදායික සටහන් ලබා දීමේ ක‍්‍රමය මාර්ගගත ඉගෙනුමට අදාළ නැහැ. 21වන සියවස වෙනුවෙන් සෑම ගුරුවරයකුම ඩිජිටල් නවෝත්පාදන තාක්ෂණය කෙරෙහි වෙනදාටත් වඩා තම අවධානය යොමු කළ යුතු වෙනවා. තාක්ෂණය කෙතරම් වේගයෙන් විකාශනය වී ඇති ද යත් ගුරුවරුන් නිරන්තරයෙන් නව තාක්ෂණය පිළිබඳ ඉගෙනගත යුතු අතර නව තාක්ෂණය සම්බන්ධයෙන් නිතර යාවත්කාලීන වීම අනිවාර්ය වෙනවා.”

මාර්ගගත අධ්‍යාපනයේදී ඩිවයිස් භාවිතය තුළ ඒ නිදහසින් ළමයින් අනිසි ප‍්‍රයෝජන ගන්නා බවට තර්කයක් නැහැ… ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

‘‘මට මෙහිදී පළමුවෙන් කියන්න තියන්නේ අපිට අපේ මානයන් වෙනස් කර ගැනීමට කාලය ඇවිත් කියලා. මොකද අප අමතක නොකළ යුතුයි අපේ ශිෂ්‍යයා ‘ඩිජිටල් ස්වදේශිකයකු’ නැතහොත් ෘසටසඒක භ්එසඩැි බව. යම් ශිෂ්‍ය කණ්ඩායමක් වර්ෂ 1995 සහ 2009 අතර උපන් අය නම් ඔවුන් හඳුන්වන්නේ ඨැබැර්එසදබ ’ හෙවත් ඩිජිටල් ඒකාබද්ධ කරන්නන්ගේ පරම්පරාව ලෙසිනුයි. මේ පරම්පරාව ලෝක ජනගහනයෙන් 30%ක් පමණ වන අතර ගෝලීය වශයෙන් ඔවුන් බිලියන 2කට ආසන්න යැයි අනුමාන කරනවා. දෙවැනි පරම්පරාව 2010 වර්ෂයේ සිට උපත ලැබූ හා හැඩගස්වන ලද පරම්පරාව යි. ඔවුන් හඳුන්වන්නේ ඨැබැර්එසදබ ්කචය් නැතහොත් ඩිජිටල් ස්වදේශිකයකයන් ලෙසිනුයි. මෙම පරම්පරාව ස්මාර්ට් ෆෝන්, අයිපෑඞ්, ත‍්‍රිමාන රූපවාහිනී, ඉන්ස්ටග‍්‍රෑම් සහ ස්පොට්ෆි වැනි සංගීත ප‍්‍රවාහ යෙදුම්වලට වඩා බාල වන නිසා ඔබ, අප ගනුදෙනු කළ යුත්තේ මේ අනාගත ඩිජිටල් ස්වදේශිකයන් සමඟ යි. මේ නිසා, මේ දරුවන්ට ඩිවයිස් අවශ්‍ය නොවේ යැයි කියමින් එය නොසලකා හැරීමට ඔබට, මට පුළුවන්කමක් නැහැ. තාක්ෂණය පරිණාමය වෙමින් පවතින නිසා ගුරුවරුන් සියලූම දෙනා තම විෂයයන් සඳහා තාක්ෂණික ඉලක්ක මෙන්ම තාක්ෂණික මෙවලම් ද යොදාගැනීම අනිවාර්ය වෙනවා. අපිට මේ මෙවලම්වලින් දරුවන් ඈත් කර උගන්නවා යැයි සිතීම ම විහිළුවක් වෙනවා. දරුවෝ වැරදි කරනවා. ඔවුන්ට නිසි මඟ නිවැරදි ලෙස පෙන්වා දිය යුතුයි. දරුවෝ ඩිවයිස් භාවිතය හරහා අනිසි ප‍්‍රයෝජන ගන්නේ නම් ඒක අධ්‍යාපනයේ වැරද්දක් මිස දරුවන්ගේ වරදක් නෙවෙයි. වැඩෙන දරුවා ස්වාභාවික කුතුහලයෙන් යුක්තයි. හැම දෙයක් ගැනම විපරම් කරනවා. නව යොවුන් වියට පැමිණෙන දරුවන්ට ලිංගික සිතිවිලි පහළ වෙනවා. ඒ ගැන සොයා බලන්න, තොරතුරු දැනගන්න ඔවුන් ඉබේ පෙළඹෙනවා. පාසල දරුවාට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙනවා නම් මේ තත්ත්වය ගොඩාක් දුරට අඩු කර ගන්න පුළුවන්. අනික ඉහළ තරගකාරී විභාග සංස්කෘතිය ශ‍්‍රී ලාංකික ශිෂ්‍යයන් කාංසාව, මානසික අවපීඩනය සහ වෙනත් සැලකිය යුතු හානි සඳහා තල්ලූ කරලා තිබෙනවා. මුළු කාලච්ජේදය පුරාවටම සටහන් දී විභාගවලට සූදානම් කරනු වෙනුවට නිර්මාණාත්මක ක‍්‍රියාවලියක නිරත කරවීමට, නිශ්චිත පිළිතුරක් සොයා ගැනීම වෙනුවට ඔවුන්ගේ චින්තනය නව නිපැයුම් හා පරිකල්පනීය අවස්ථා ලබා දීම සඳහා දොරගුළු විවර කරන්නේ නම් දරුවෝ අන්තර්ජාලයේ සැරිසරන්නේ නව දනුම සොයා මිස ශාරීරික කුතුහලය සොයා නොවෙයි.”

අනාගත අහියෝග ජයගැනීමට දරුවන් සූදානම් කිරීමට නම් සමස්ත අධ්‍යාපනයම වෙනස් විය යුතුද?

‘‘ඔව් අනිවාර්යයෙන් ම වෙනස් විය යුතුමයි. වර්තමානයේ නිර්මාණශීලීත්වය විසින් දේශසීමා මකා දමා තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල බහුවිධ කුසලතා සංවර්ධනය කිරීම අධ්‍යාපනයේ ප‍්‍රධාන ඉලක්කය වී තිබෙනවා. නිර්මාණාත්මක ක‍්‍රියාකාරකම් ඒකාබද්ධ කර අධ්‍යාපනය ලබා දෙන්න උත්සාහ ගන්නවා. මේ නිසාම ලෝකයේ බොහෝ රටවල් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිතය ඇතුළු විෂයයන් සෞන්දර්ය හා නිර්මාණාත්මක කලා යොදා ගනිමින් ඉගැන්වීම් කටයුතු කරනු ලබනවා. මේ මඟින් නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට ඉබේ ශිෂ්‍යයන් දිරිමත් කෙරෙනවා. ආතතියෙන්, අසහනයකින් ඉගෙනුම නොලබා සතුටින්, සෞඛ්‍ය සම්පන්නව ඉගෙනුම ලබන්න මෙයින් හැකි වෙනවා. අවාසනාවකට, අපේ රටේ තවමත් විෂයමාලාව තුළට සෞන්දර්ය කෙතරම් දුරට අන්තර්ගත කරන්නේ ද යන්න ගැඹුරු ලෙස සාකච්ඡුාවට ලක් වෙලා නැහැ. 2011 දී මම සෞන්දර්ය සාක්ෂරතාව කියලා අලූත් සංකල්පයක් හඳුන්වල දුන්නා. මෙයින් අදහස් කළේ සෞන්දර්ය අත්දැකීමක් සමඟ විවෘතාකාරයෙන් අනුබද්ධ වීමට පුද්ගලයෙකුට ඇති හැකියාව පිළිබඳව යි. 2021 දී මම සෞන්දර්ය අධ්‍යාපනයට නව ප‍්‍රවේශයක් කියලා පර්යේෂණ ග‍්‍රන්ථයක් එළි දක්වනවා. මේ හරහා මම කීමට උත්සාහ ගන්නේ 21 වන සියවසේ අභියෝග ජයගැනීම සඳහා නව සාක්ෂරතා විසින් උපදෙස් ලබාදෙන ආකාරය, ඉගෙනීම තක්සේරු කරන ආකාරය සහ ශිෂ්‍යයන් තම පන්තිය තුළ, සම වයසේ මිතුරන් සමඟ නූතන සන්නිවේදන මෙවලම් භාවිත කරන ආකාරය පිළිබඳව යි. මේ දේවල් හොඳින් අධ්‍යනය කරලා පළමුව ගුරුවරයා වෙනස් විය යුතුයි නැත්නම් වෙනස් කළ යුතුයි. ඇත්තටම මේක නව ප‍්‍රතිපත්ති හද හදා මහා ලොකුවට වෙනස් කරන්න කියලා දඟලන්න ඕනෙ දෙයක් නම් නෙවෙයි. කළයුතු වන්නේ මේ ක‍්‍රමවේදය පිළිබඳව ගුරුවරුන්ට යම් අවබෝධයක් හා පැහැදිලි කිරීමක් පමණයි. බොහෝ ගුරුවරු තුළ මේ නව ප‍්‍රායෝගික ඉගැන්වීම් ක‍්‍රමවේද පිළිබඳ හැකියාව තිබෙනවා. නමුත් ඒ හැකියාව අධ්‍යාපන ඉගැන්වීම් සඳහා ප‍්‍රායෝගිකව යොදා ගන්නේ කෙසේද කියා නිශ්චිත අවබෝධයක් ගුරුවරුන්ට නැහැ. ඒ අවබෝධය ලබා දීමෙන් ගුරුවරුන්ට එය සාර්ථකව කළහැකි වෙනවා. මේ ක‍්‍රමවේදය හරියට අවබෝධ කර ගත්තොත් ඉගැන්වීම මොනතරම් පහසු හා ආස්වාදනීය ක‍්‍රියාවලියක් ද කියා ගුරුවරුන්ටම අවබෝධ වේවි. අමාරු විෂයයන් මොනතරම් පහසුද කියලා දරුවන්ටත් දැනේවි. වෙනස් කළ යුත්තේ ප‍්‍රතිපත්ති නොව, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක‍්‍රමයයි.”

ප‍්‍රායෝගික අධ්‍යාපන ක‍්‍රියාකාරකම් දරුවන්ට මෙන්ම රටේ අනාගතයට මොන ආකාරයෙන් බලපායිද?

‘‘ගෝලීයකරණය වූ නව දැනුම හමුවේ පැරණි දැනුම යල්පැන යන්නක්. සරලව කිව්වොත් ‘අද දැනුම හෙට මාළු මෙන් නරක් වේ’ යන්නෙන් අදහස් වන්නේ මෙයයි. මේ නිසා ගුරුවරුන් මෙන්ම සිසුන් ද වෙනස් වීමට හා නව අවස්ථා සඳහා විවෘත විය යුතුයි. කරුණු කරුණු සඳහාම ලැබෙන ඉගෙනුම ඉංග‍්‍රීසි ජාතික රෝගයක් කියල කියනවා. ලැබූ දැනුම සත්‍ය ගැටලූ සමඟ ප‍්‍රායෝගිකව යොදා ගන්නේ නැතිනම් කරුණුවලින් පමණක් දැනුමෙන් සන්නද්ධ වීම වැඩක් නැහැ. ඒ සඳහා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් හා සෞන්දර්ය අධ්‍යාපනය ප‍්‍රබල කාර්යයක් ඉටු කරනවා. ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් නැතිවීම දරුවාගේ වර්තමාන මෙන්ම අනාගතයේ සමස්ත ජීවන ක‍්‍රියාදාමය කෙරෙහිම බරපතළ ලෙස බලපානවා.”

සෞන්දර්ය අධ්‍යාපනය පාසල් විෂයය ධාරාවේ ප‍්‍රමුඛ විෂයයක් ලෙස සැලකෙන්නේ නැහැ නේද?

‘‘ඒ අපේ රටේ යි. සෞන්දර්ය අධ්‍යාපනය කියන්නේ චිත‍්‍ර, නැටුම්, සංගීත, නාට්‍ය හා රංග කලාව යනුවෙන් පාසල් විෂයය මාලාවේ තියෙන විභාගයක එක විෂයයක් විතරක් නෙවෙයි. එයින් ගණිතය, විද්‍යාව මෙන්ම සාහිත්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ඉගෙනීම ද වැඩි දියුණු කෙරෙනවා. සාමාන්‍ය පෙළ සෞන්දර්ය අධ්‍යාපනයෙන් ලබාදෙන උත්තේජනය තමයි උසස් පෙළදී දරුවාගේ සාර්ථකත්වයට යහපත් බලපෑමක් වන්නේ. සමාජය එකට එකතු කරමින් එකිනෙකාට ආධාර කරමින් සාමූහිකව වැඩ කිරීමේ දී තමන් විසින් කරනු ලබන වැරදිවල වගකීමට මෙන් ම වගවීමට හුරු කරවමින් දරුවන්ගේ චිත්තවේගී සමබරතාව සඳහා තමා ලැබූ සෞන්දර්ය අධ්‍යාපනය මහත් පිටිවහලක් වෙනවා.

සෞන්දර්යය අධ්‍යාපනයේ වැදගත්කම ලොවට කියා දුන් ජාත්‍යන්තර අධ්‍යාපන කාර්යාංශය සහ යුනෙස්කෝව පැහැදිලිව පෙන්වා දී තිබෙනවා සෞන්දර්යය අධ්‍යාපනය ශිෂ්‍යයන්ට ගැඹුරු, දිගු කාලීන ප‍්‍රතිලාභ ලබා දෙන බව. ඒ වගේම උසස් ඉගෙනුම් ප‍්‍රතිඑල සහ නව කුසලතා ළඟා කර ගැනීමටත්, ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම විශ්වාසය සහ යහපැවැත්ම ගොඩ නැංවීම, කුතුහලය, නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ විවිධත්වයට ගරු කිරීමට සෞන්දර්යයෙන් උත්තේජන සපයන බව. ප‍්‍රශ්න පත‍්‍රයකට පිළිතුරු ලියලා විභාගයක් සමත්වීමකට වඩා එහා ගිය වටිනාකමක් සෞන්දර්ය කලාව තුළින් දරුවන්ට ලැබෙනවා. යහපත් ලෙස සමාජයේ ජීවත් වීමට අවිඥානිකව සෞන්දර්ය අධ්‍යාපනයෙන් දරුවන්ට කියා දෙනවා.

සෞන්දර්ය අධ්‍යාපනය පාසල් විෂය මාලවේ කොඳු නාරටිය විය යුතුයි. වර්තමානය වනවිට ශිෂ්‍යයන් තුළ බහුවිධ කුසලතා සංවර්ධනය කිරීම සෑම රටකම අධ්‍යාපනයේ ප‍්‍රධාන ඉලක්කය වී ඇති නමුත් අවාසනාවකට අපේ රටේ එවැනි තත්ත්වයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවල තිබුණාට ඒවා ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක වන්නේ නැහැ.”

සාකච්ඡා කළේ – තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment