කොවිඩ් නිවාඩුව කියා දෙන අකුසල් සංස්කාරය ගැන පාඩමක් !

86

අවිද්‍යාවෙන් උපන් ජීවිතයක්, ජීවත් කරගන්න, පිංවත් මනුෂ්‍යයෙක් විඳින දුකක් දැක්කම, භික්ෂුවගේ සිත නවතින්නේ උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගය තුළමයි. පංචනීවරණ තුනී වූ සම්මා සමාධිමත් සිත, දුක විනිවිද දකින්න උපකාර කරන කැඩපතක් වගේමයි. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක අපිට දෙවියෙක් දුන්න දෙයක්ද, බ‍්‍රහ්මයෙක්, මනුෂ්‍යයෙක්, අමනුෂ්‍යයෙක් දුන්න දෙයක්ද. එසේත් නැතිනම් දුක අතීත සංස්කාරයෝ විසින් දුන්න දෙයක්ද. පිංවත දුක අපිට දුන්නේ අප තුළම සකස්කොටගත් පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවමයි. බ‍්‍රහ්ම ජීවිතත් අනිත්‍ය වෙලා යනවා නම් දිව්‍ය, මනුෂ්‍ය සැපයනුත් අනිත්‍ය වෙලා යනවා නම්, සතර අපා දුකත් අනිත්‍ය වෙලා යනවා නම්, අපි තවත් කුමක් කෙරෙහි තෘෂ්ණාව ඇතිකොට ගන්නද.

පිංවත, කොරෝනා නිවාඩුව දවසින් දවස දීර්ඝවන්නේ, අපි හැමෝටම අකුසල් සංස්කාරයන් ගැන පාඩම් කියලා දෙන්න. අපි දවසින් දවස අලූත් පාඩමක් ඉගෙන ගන්නවා. ඊයේ කොරෝනා මරණ එකසිය අනූවයි. පෙරේදා කොරෝනා මරණ දෙසීයයි, ඊයේ කොරෝනා රෝගීන් හාරදාහයි, දවසින් දවස මේ අපි ඉගෙන ගන්නේ, අකුසලයේ විපාකයන් පිළිබඳ අලූත් අලූත් පාඩම්. අවිද්‍යා විශ්වවිද්‍යාලයේ තෘෂ්ණාවේ මහාචාර්යවරයා, අකුරටම නිවැරදිව පිංවත් ඔබට කියලා දෙන මේ අකුසලයේ ප‍්‍රතිඵලයන් පිළිබඳ විෂය නිර්දේශයන් සිහිනුවණින් කටපාඩම් කොටගෙන ජීවිතයට එකතුකොට ගන්න. මේ අකුසලයේ පාඩම් පෙල, මේ මොහොතේ හොඳින් ඉගෙනගත්තොත් පමණක්මයි, ජීවිතයේ අවසාන ප‍්‍රශ්න පත‍්‍රයට හොඳින් පිළිතුරු දෙන්න ඔබට පුළුවන් වෙන්නේ. පිංවත් ඔබට සුගතියට සමත්වීම සඳහා හෝ සුගතියෙන් අසමත්වීම සඳහා පැවැත්වෙන අවසාන පරීක්ෂණය සඳහා ඔබට ලැබෙන කාලය, අවසාන චුති සිතේදී ලැබෙන, ඇසුරුසැනක් වගේ පුංචි කාලයක්. හරිම අවදානම් සහගත, තීරණාත්මක අවසන් පරීක්ෂණයක්. එක ප‍්‍රශ්නයයි, පිළිතුරු දෙකයි, හරි උත්තරයට ඉර ගහන්නයි තිබෙන්නේ. ජීවිත කාලයක් පුරා ඉගෙනගත් පාඩම් ගොන්නෙන්, ඇසුරුසැනක් වන් චුති සිතේදී, කෙසේ නම් සුගතියට සමත් වීමට අදාළ නිවැරදි පිළිතුර මතුකොටගන්නද. අවිද්‍යා විශ්වවිද්‍යාලයේ තෘෂ්ණාවේ මහාචාර්යවරුන් අපිට වැඩියෙන්ම උගන්වල තිබෙන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චාවන්මයි. තෘෂ්ණාවේ මහාචාර්යවරුන් සප්තබොජ්ජංගයන් ගැන කියලා දෙන්නේම නැහැ. කළ්‍යාණමිත‍්‍ර ආශ‍්‍රයක් ලබපු ශිෂ්‍යයෙක්, තෘෂ්ණාවේ මහාචාර්යවරුන්ට කිව්වොත්, සර් අපිට සප්තබොජ්ජංගයන්ගැන කියලා දෙන්න කියලා, අවිද්‍යා විශ්වවිද්‍යාලයේ තෘෂ්ණාවේ මහාචාර්යවරු ගත් කටටම කියන්නේ, සප්තබොජ්ජංගයන් ඉගෙනගෙන මොනවා ලබන්නද, ශිෂ්‍යයිනි ඔබලා කාමච්චන්දයන් ඉගෙනගෙන ආදරය කරලා, විවාහයක් වෙලා, දරු මුණුපුරන් හදලා, සැපසේ ජීවත්වෙන්න කියලාමයි. එ් අවිද්‍යා විශ්වවිද්‍යාලයේ සේවය කරන තෘෂ්ණාවේ මහාචාර්යවරු අතේ තිබෙනවා, සංස්කාර හේතුවෙන්ම සකස්වෙන විඤ්ඤාණය නමැති මැජික් යශ්ඨියක්. තෘෂ්ණාවේ මහාචාර්යවරුන් මේ මැජික් යෂ්ඨිය කරක, කරකවා, ශිෂ්‍යයින්ට කියනවා, දොස්තර කෙනෙක් වුණොත්, ඉංජිනේරුවරයෙක්, ගුරුවරයෙක්, ව්‍යාපාරිකයෙක් වුණොත්, නීතිඥ මහත්මයෙක් වුණොත්, ඔස්ටේ‍්‍රලියාවේ, එංගලන්තයේ, මැලේසියාවේ උපාධියක් ගත්තොත්, ප‍්‍රීතිය ඵස්සද්ධිය දෝරෙ ගලා යනවාය කියලා. ප‍්‍රීතිය ඵස්සද්ධිය කියන වචනවල ධර්මානුකූල අර්ථයන්, සිහිනෙන්වත් දැක නැති මේ තෘෂ්ණාවේ මහාචාර්යවරුන්ගේ, ගුරු උපදේශයන්ට වශී වුණ මේ තෘෂ්ණාවේ වයින් බෝනික්කෝ වන අපි නිත්‍ය වූ සැපයන් නැති ලෝකයක, සැප සොයාගෙන යන මේ ගමනක, අවසානය කොතනින් නවතියිද. අවිද්‍යාවේ විශ්වවිද්‍යාලයත්, තෘෂ්ණාවේ මහාචාර්යවරයාත් ක‍්‍රියාත්මක වෙන්නේ, පිංවත් ඔබේම පංචඋපාදානස්කන්ධ ලෝකයේම බව, සිහිනුවණින් තේරුම් ගන්න ඕනේ. දැන් පිංවත් ඔබට වැටහෙනවා නේද, මේ දිනෙන් දින දීර්ඝ වෙන කොරෝනා නිවාඩුවේදී අපි සිතින්, කයින්, වචනයෙන්, කාමච්ඡන්දයන්ම වඩමින් සිටියොත්, ‘ඔන්ලයින්’ ක‍්‍රමයට ජීවිතය දින්නත්, පටිච්චසමුප්පාද ක‍්‍රමයට භව පච්චයා ජාතිය නම්, බරපතළ අනතුරකට යන්න පුළුවන්.

කොවිඩ් නිවාඩුව කියා දෙන අකුසල් සංස්කාරය ගැන පාඩමක් !

කුටිය අවට නිතර සැරිසරන රිළා රංචුවේ රිළවියකට පැටවෙක් ලැබිලා. ශාරීරිකව හරිම දුර්වල රිළා පැටියෙක්. එ් රිළා පැටියා දැකීමත් හරිම අපුලක්. රිළා අම්මාත් හරියට අපිරිසිදුයි. මේ කේඩෑරි වී ගිය රිළා පැටවා තුළින් මොනතරම් සුන්දර ධර්මයක්ද, භික්ෂුව මේ දකින්නේ. තෘෂ්ණා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවය, භව පච්චයා ජාති, අනේ රිළා පැටියෝ, ඔබ නම් පෙර ජීවිතයේ ඉන්ද්‍රීය සංවරය තුට්ටුවකටවත් මායිම් නොකොට, මුහුණු පොතේ නරක වචන හරඹ කළ මනුෂ්‍යයෙක්මයි කියලයි, භික්ෂුවට නම් සිතෙන්නේ. අනේ රිළා පැටියෝ අපිරිසිදු ගඳගසන රිළා අම්මාගේ බඬේ එල්ලිලා, දැන් ඉතිං ගහෙන් ගහට පැන පැන ඉන්නයි තිබෙන්නේ. අවසාන චුති සිතේදි, ඇසුරුසැනක්වන් කාලයකදී ලැබෙන අවසාන පරීක්ෂණයෙන් අසමත්වුන අහිංසක මනුෂ්‍යයෙක්, රිළා පවුලේ අලූත් සාමාජිකයෙක් වෙලා. කැලෑ පරිසරයේ කොතන බැලූවත් ධර්මයක්මයි පෙනෙන්නේ. භික්ෂුව මෙහෙම සටහන් තබනකොට, සමහර පිංවතුන් භික්ෂුවට චෝදනා කරනවා, කැලයේ කොහොමද ධර්මයක් තිබෙන්නේ කියලා. කැලයේ තිබෙන ධර්මයන් දකින්න නම් ජීවිතයට ධර්මයක් එකතුකොටගත් කෙනෙක් වෙන්නම ඕනේ. ජීවිතයට ධර්මයක් එකතුකොට නොගෙන අපි ජීවිතයට සල්ලි එකතුකොට ගන්න ගියොත්, කැලය තුළින් අපිට දකින්න ලැබෙන්නේ බිය පමණක්මයි.

මේ දවස්වල පිණ්ඩපාත මඩුව වහලා තිබෙන්නේ. ගමේ පිංවතුන් දෙදෙනකුට පමණක් කැලය අද්දරට දානය ගේන්න අවසර දීලා තිබෙනවා. මේ දවස්වල නිරෝධායන ඇඳිරි නීතිය, රජය පනවන නීති වලට අපි ගරු කරන්න ඕනේ. නීතිය කිව්වත්, විනය කිව්වත්, ශීලය කිව්වත් මේවා ළඟ ළඟම ඥාතිත්. අද උදෑසන දානය භාරගත් පිංවතුන් දෙදෙනාට අමතරව, අනවසරයෙනුත් දෙදෙනෙක් පිණ්ඩපාත දානය ගෙනල්ලා. දානය භාරගත් දෙදෙනාගේ සිත නරක්වෙලා. තමන්ට හරි හැටි දානය බෙදාගන්න බැරිවුනාය කියලා. මේ සටහන කියවන පිංවත් ඔබටත් ඉහත අත්දැකීම් ලැබිලා ඇති. දන්දෙන්න ඇවිල්ලා, සිත නරක් කරගෙන, පින දන්දීලා, අකුසල් මූලයන් අරගෙන ගෙදර යනවා. භික්ෂුව, තම දානට සිත්සේ බෙදාගන්න බැරිව, සිත ටිකක් නරක් කොටගත් පිංවත් මහත්මයාගෙන් ඇසුවා මහත්තයෝ, දානයන්ගෙන් ශ්‍රේෂ්ඨම දානය කුමක්ද කියලා. එම පිංවතා පිළිතුරු දුන්නා දානයෙන් ශ්‍රේෂ්ඨ, ධර්ම දානයයි කියලා. භික්ෂුව දෙවනුව ඇසුවා මහත්තයෝ, උතුම් ධර්මදානයෙන් ලැබෙන ආනිශංස මොනවාද කියලා. ධර්මදානය තුළින් අපිට ලැබෙන්නේ, ලෞකික ප‍්‍රඥ්‍යාව සහ විදර්ශනාත්මක ප‍්‍රඥ්‍යාවයි. උතුම් ධර්මදානයේ ආනිශංස තුළින් ප‍්‍රඥාවේ අර්ථයන් ජීවිතයට එකතුකොටගත් පිංවතාට පමණක් දිය හැකි, ශ්‍රේෂ්ඨම දානයක් තිබෙනවා. එම ශ්‍රේෂ්ඨම දානය තමයි, තමන්ගේ දානමය අවස්ථාව අනුනට දන්දීම. තමන්ගේ දානය දවසේ, තමන්ගේ නොවන පිරිසත් දානය බෙදනවා දැකලා සතුටුවෙන්න පුළුවන්කම අපට ලැබෙන්නේ, අවම වශයෙන් අපි, ලෞකික ප‍්‍රඥ්‍යාවට අදාළ සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පයන්ගෙන්, අපේ ජීවිත ශක්තිමත් කොටගත්තොත් පමණක්මයි. එසේ නොවුණොත් අපි එක අතකින් දන් පූජාකොට, අනෙක් අතින් අකුසල් මූලයන් ලබාගත්තා වෙනවා. පංචඋපාදානස්කන්ධ ලෝකය මේ මොහොතේ දුවන්නේ තෘෂ්ණාවේ සුපිරි පෙට‍්‍රල් වලින්, පිංවත් මනුෂ්‍යයාගේ අතීත සංස්කාර විපාකදීම සහ අලූතින් සංස්කාර රැස්කිරීම හරිම වේගවත්. ආර්ය අශ්ඨාංගික මාර්ගය නැමති විල් තෙරේ සුපිපි, සප්ත් බොජ්ජංගයෝ නමැති සුදු රෝස කුසුම් අකලට පරවී යද්දී, අපේ දෑස් ඉදිරිපිටදීම රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ කඩාගෙන වැටෙන්නේ, අපි ශීලයට, විනයට, නීතියට ගරු නොකරන නිසාමයි. මුළු ලෝකයටම විපාකදෙන මේ කොරෝනා අකුසලයෙන්, රටක් හැටියට නැඟීසිටීමට නම් අපි සමඟියෙන්, විනයගරුකව, මේ අකුසලයට මුහුණදිය යුතුවෙනවා. අපි අසමගිය නිසාම ඉන්ද්‍රීය අසංවරභාවය ඇතිකොටගත්තොත්, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මථාවය තුළ, අපේ දැනීම් සකස්වෙන්නේ අනතුර වැඩිකොටගන්නා දිශාවටමයි.

රට විවෘත කරපු අවස්ථාවක, රජයේ කාර්යාලයක සේවය කරන පිංවත් මහත්මයෙක්, උදෑසන නිවසේදී බුදුන් වන්දනා කරලා, පංචශීලය සමාදන් වෙලා බස් රථයට ගොඩවෙන්න නගරයට එනවා. ප‍්‍රවාහන පහසුකම් දුර්වල නිසාම, මගීන්ගෙන් පිරිච්ච බසයට ගොඩවෙන්නේ තෙරපිලා, මීටරයේ පරතරයක් තබා අඟලක පරතරයක්වත් නැහැ. ගෞරවනීය පිංවත ඔබ උදෑසන සමාදන් වූ පංචශීලයට දැන් කුමක්ද වෙන්නේ. පංචශීලයේ මුල් ශිල්පදය මම සතුන් මරන්නේ නැහැ. සත්ව හිංසනය කරන්නේ නැහැය කියලා පිංවත් ඔබ කොරෝනා නිරෝධායන නීති රීති පවතින වේලාවේ, මගීන්ගෙන් පිරි බසයට, දුම්රියට තෙරපෙමින්

ගොඩවෙන කොටම, ඔබ සමාදන් වූ පළමුවැනි ශිල්පදය දුර්වලවෙලා යනවා. ඔබට අයිතියක් නැහැ ඔබ පංචශීලය ආරක්ෂාකොට ගත්තාය කියලා කියන්න. මේ කොරෝනා විශබීජය මැද, ඔබ ඔබවත් හිංසාවට ලක්කරගෙන, අනුන්වත් හිංසනයටම ලක්කළා වෙනවා. පිංවත් ඔබ, භික්ෂුවගෙන් ප‍්‍රශ්න කරන්න පුළුවන්, මෙවැනි අවස්ථාවක ශිල්පදය ගැන සිතුවොත්, මට රාජකාරියට යන්න බැරිවෙනවා නේද කියලා. භික්ෂුව ඔබේ ප‍්‍රශ්නයට, ඔබට නොපෙනෙන පිළිතුර සටහන් තබනවා. ඔබ සමාදන් වූ පංචශීලයට වටිනාකමක් නොදී ශීලට දුර්වලකොටගෙන අනාගතයේදී පටිච්චසමුප්පන්නව විඳින්න සිද්ධවෙන සතරඅපා දුකද, එසේත් නැතිනම්, ඔබේ සමාදන් වූ ශීලයට වටිනාකම ලබාදී විනයගරුකව, ඊළඟ බසය එනතෙක් රැඳීසිටීම හෝ රැකියාවට ප‍්‍රමාදවී යෑම,

රැකියාවට නොයා සිටීමේ, දුකද වැඩි කියලා. පිංවත් ඔබ රජය පනවා ඇති නිරෝධායන නීති නොසලකා කටයුතු කරන මොහොතක් පාසා, පංචශීලයේ මුල් ශිල්පදයට අභියෝග කරන පිංවතෙක් වෙනවා. අපි හැමෝම උපන් රට කෙරෙහි අනුකම්පාවෙන්, මොහොතක් නුවණින් මෙනෙහිකොට බලන්නකෝ, එක දිනකදී, අපේ ජනතාව මොනතරම් නම් ශීලයේ දුර්වලභාවයන් ඇතිකොට ගන්නවාද කියලා. භික්ෂුව පිංවත් ඔබට ගෞරවයෙන් කියනවා, අකුසලට අකීකරු මේ මොහොතේ නිවසට වී, පරිප්පුයි බතුයි අනුභව කරලා හරි, ඔබේ ජීවිතයෙන්, පළමුවැනි ශිල්පදය, දිවි දෙවැනි කොට ආරක්ෂා කොටගන්නය කියලා. පංචශීලයේ පළමුවැනි ශිල්පදය දුර්වල වීමමයි. මනුෂ්‍ය සමාජය තුළ රෝග බිය ඇතිවී, මනුෂ්‍යයා රෝගීභාවයන්ගෙන් අකලට මියයන්නේ.

භික්ෂුව මේ මොහොතේ වස් ශීලය සමාදන්ව දුරබැහැර ගම්මානයකයි වැඩසිටින්නේ. නිරෝධායනය කළ ගෙවල් මේ ගම්වලත් තිබෙනවා. මේ ගමේ පිංවතුන් කන, බොන දේවල්මයි භික්ෂුවත් බොහෝම උපේක්ෂාවෙන් වළඳන්නේ.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment