කොවිඩ් නිසා කඳුළු සලන බෙන්තොට සංචාරක පාරාදීසේ….

160

* රට වහලා – සංචාරකයෝ නැහැ හතරපේරුවේ දායකයෝ අසරණ වෙලා – සීගිරියේ අනෝම නාහිමි

 * කොවිඞ්වලට බයෙන් රට වහගෙන හිටියොත් ජනතාව පාරට වැටෙනවා – බෙන්තොට අජිත් අමරවීර

 * ලීසිං ගෙවා ගන්න බැරිව වාහනයත් විකුණුවා – නිදහස් රියැදුරු සංගමයේ අනුශාසක රාජා අල්විස්

 * ලීසිං ආයතනවලින් වාහන උස්සන් යනවා – අපිට කිසිම පිහිටක් නෑ – එක්සත් ති‍්‍රරෝද රථ සංගමයේ ධම්මික අල්විස්

කොවිඩ් නිසා කඳුළු සලන බෙන්තොට සංචාරක පාරාදීසේ....

කොවිඞ්-19 මාරාන්තිකයි. කොවිඞ් වැළඳුණු සැවොම මියැදුනේ නැත. රටේ සෑම දෙනාටම කොවිඞ් වැළඳුනේද නැත. එහෙත් මේ සියලූ දෙනාහට කොවිඞ් ගෙන ආ බලපෑම අඩු වැඩි වශයෙන් සුළු පටු නොවේ. කොවිඞ් නිසා ආර්ථික වශයෙන් රටෙහි හැම අංශයක්ම පසුබැස ඇති වකවානුවක මෙරට ප‍්‍රධානතම ආර්ථික සම්පාදන මාර්ගයක් ලෙස හඳුනාගෙන දියුණු වෙමින් පැවැති කර්මාන්තයක් බිංදුවටම ඇද වැටීමේ ප‍්‍රතිවිපාක ලෙස ලංකාවේ ප‍්‍රථම ජාතික සංචාරක නිකේතනය හා සංචාරක කලාපයට හිමිකම් කියන බෙන්තොට සංචාරක කර්මාන්තය පිළිබඳව අසෙන අනුවේදනීය කතාවයි මේ.

කොවිඩ් නිසා කඳුළු සලන බෙන්තොට සංචාරක පාරාදීසේ....

1967 සංචාරක කර්මාන්තයේ ආරම්භක කලාපයක් ලෙස බෙන්තොට හඳුන්වයි. බෙන්තොට ජාතික සංචාරක නිකේතනය 1967 අපේ‍්‍රල් මස 6 දා එවකට රාජ්‍ය ඇමැතිව සිටී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මුල්ගල් තබා ආරම්භ කොට පසුව 1969 දෙසැම්බර් 16 දා ලංකා සංචාරක මණ්ඩලය මගින් ජාතික නිවාඩු නිකේතනය යැයි ප‍්‍රකාශයට පත්කරන ලදී. එතැනින් පන්නරය ලබාගත් බෙන්තොට සංචාරක කර්මාන්තය, බෙන්තොට මුහුදු වෙරළ, නිහඬව ගලාබස්නා බෙන්තොට ගං කොමළිය, බෙන්තොට ඓතිහාසික පංචමහා විහාර හා ඒ ආශ‍්‍රිතව පවතින පෞරාණික ස්ථාන, බෙන්තොට අනුබුදු මහා කාශ්‍යප දළදා පෙරහැර, වෙස්මුහුණු කර්මාන්තය, පන් කර්මාන්තය, අත්යන්ත‍්‍ර කර්මාන්තය, බෙන්තොට ගඟට ආවේණික මත්ස්‍යයන් හා බෙන්තොට ගෙඟහි සිදුකරන විවිධ ජල කී‍්‍රඩා ඇතුළු අංශ ගණනාවක් හේතුවෙන් මෙම කලාපය බිහිවී ඇත. මේ ස්ථාන ආශ‍්‍රිතව සෘජු හා වක‍්‍ර රැුකියා දහස් ගණනින් බිහිවීමත් ඒ තුළින් බෙන්තොට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි සියයට 80 ඉක්මවා ජන ජීවිත රැුකී තිබීමත් විශේෂත්වයකි. එහෙත් මේ සියලූ ජීවිත කොවිඞ්-19 යෙහි බලපෑමට ප‍්‍රබලව හසුවී ඇත්තේ කොවිඞ් වැළඳීම නිසා නොව ආර්ථිකය ඇද වැටීම හේතුවෙනි.

 මේ සම්බන්ධව ‘දිවයින’ වෙත අදහස් දක්වමින් දිගුකලක සිට එම කර්මාන්තය තුළින් සිය පවුල ජීවත් කළ බෙන්තොට පදිංචි අජිත් අමරවීර මහතා මෙසේ කීය. පස්සේ අපේ ව්‍යාපාරය ටිකෙන් ටික වැටෙන්න පටන් ගත්තා. සංචාරකයන් රටට එන්න බිය වුණු නිසා ගොඩක් අඩු වුණා. ඒත් එක්කම වගේ නැවතත් සංචාරක ව්‍යාපාරය ගොඩනඟන්න රජයන් යම් යම් පියවර ගත්තා. ඒ තුළින් දියුණු වෙන්න හදනකොටම නැවතත් මේ අවාසනාවන්ත රෝගය නිසා සංචාරකයන් මෙරටට පැමිණීම නැවතුණා. අපි අසරණ වුණා. කබලෙන් ළිපට වැටුණා. අපි අරන් ගෙව ගෙව හිටපු ණය හිර වුණා. දැන් ඒ ණය ගෙවන්න නැවත ණය ගන්න සිදුවුණා. ආදායම් නැහැ. නමුත් ණය ගෙවනවා. මේක විසඳුමක් නෙමෙයි. නැවතත් කියන්නේ කබලෙන් ළිපටම වැටීමක්. කෙසේ හෝ නැවතත් මේ සංචාරකයන් මෙරටට තනි තනිව ගෙන්වා ගැනීමක් සිදුවෙනව නම් හොඳ බව තමයි මම හිතන්නේ. මොකද අපිට බැහැ රට ඇතුළේ කොවිඞ් තියාගෙන අපි බලාපොරොත්තු වෙන තරමට සංචාරකයන් ගෙන්වාගෙන නැවත රට වහන තත්ත්වයට පත්කරන්න වන යෝජනා කරන්න. කෙසේ වෙතත් කොවිඞ්වලට බයෙන් රටම වහගෙන මේ ව්‍යාපාරය මෙහෙම තිබුණොත් බෙන්තොට ජීවත් වන සියයට 80කට වැඩි ජනතාවක් පාරට වැටෙනවා ස්ථිරයි. කොහොම හෝ මේ තුළින්ම ගොඩයන්න පුළුවන් ක‍්‍රමයක් හදල නැවත අපේ ව්‍යාපාරය ස්ථාවර කරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා. මෙහෙම කළොත් ලොකු පිනක්. නැත්නම් අපේ දරු පවුල් පිටින් පාරට වැටෙනවා.

 බෙන්තොට ජාතික සංචාරක නිකේතන භාරව කටයුතු කළ හිටපු නිකේතන භාර නිලධාරි කිත්සිරි සිරිවර්ධන මහතා මේ සම්බන්ධව මෙසේ කීය. අද හට් තියෙනවා. සංචාරකයෝ නැහැ. බෙන්තොට ඓතිහාසික දළදා පෙරහැර කියන්නෙ සංචාරක ආකර්ෂණය ඉහළින් තිබෙන පෙරහැරක්. ඒක බලන්නම බෙන්තොට ඇවිත් නවාතැන් ගන්න හුරුවුණ සංචාරකයන් හිටියා. ඒවා තමයි ආදායම් හොයන මාර්ග. අද ඒ ඔක්කොම ඇනහිටලා. මේවා ක‍්‍රමක‍්‍රමයෙන් ආරම්භ කරල සංචාරකයන් නැවත ගෙන්වන තැනට අප රට යා යුතුම වෙනවා. නමුත් ඒකෙදී මතක තබාගත යුතුම දේ තමයි අපි තවමත් ජීවත් වෙන්නෙ කොවිඞ් එක්ක කියන කාරණය. ඒ නිසා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සංචාරක ව්‍යාපාරයට මෙම බෙන්තොට සංචාරක කර්මාන්තයේ නියැලූනු දහස් ගණනක් පිරිස යොදවන ආකාරය හා ඒ සඳහා කළ යුතු දේ ගැන ඔවුන්ව නිතර දැනුවත් කිරීම වැදගත්.

 අනුශාසක රාජා අල්විස් මහතා (ශ‍්‍රී ලංකා නිදහස් සංචාරක රියැදුරු සංගමය) – ‘

 බෙන්තොට අපිට අද අත්වෙලා තියෙන තත්ත්වය හරිම දුකයි කියන්න. මම කාලයක ඉඳන් පැදපු වාහනය ලීසිං ගෙවාගන්න බැරිව විකුණුවා. 2020 මාර්තු 20 තමයි මම අන්තිමටම සංචාරකයකු ප‍්‍රවාහනය කළේ. එදා ඉඳලා මේ වසංගතය නිසා ගෙදර තමයි ඉන්නේ. අද සමහරු මාළු විකුණනව කර කියා ගන්න දෙයක් නැතිව. බෙන්තොට ප‍්‍රධාන වශයෙන් හෝටල් 04 ක් මූලික කරගෙන තමයි අපි රැුකියාව කරන්නේ. අද ඒ හෝටල් නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්වෙලා. ඉතිං ඒවායේ නිරෝධායනය වන අයගේ කාලය අවසන් වුණු පසු නිවෙස් වෙත ගෙන යෑම තමයි අපි කරන්නේ. ඒ අය පිටරට ඉඳන් මෙරටට ආපු, ඒ රටවල රැුකියා කරපු අය.’ අපේ සංගමයේ ලියාපදිංචි රියැදුරන් 71 ක් ඉන්නවා. ඒ අයගෙන් 48 කට සංචාරක මණ්ඩලය හරහා රජය ලබාදුන් රු. 15,000 ක් බැගින් ලැබුණා. ඒකත් ලොකු ශක්තියක් වුණා

 ජාතික සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය නන්ද ගුණවර්ධන මහතා

 මම අවුරුදු 25 ක විතර ඉඳලා මේ කර්මාන්තය සමග ජීවත් වෙනවා. අද අපි ළිපට වැටිලා. මෙහෙම තියාගෙන කොහොමද සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ. රට විවෘත කරලා සාර්ථක ක‍්‍රමවේදවලට අනුව මේ කර්මාන්තය ටිකෙන් ටික ගොඩනඟන වැඩපිළිවෙළ අවශ්‍ය වෙනවා.

 ‘සංචාරකයන් රටට ඇවිත් නැරඹුම් ස්ථාන වෙත රැගෙන යන අපට අද තියෙන ගැටලූවක් තමයි ඒවා තවමත් වසා තිබීම. එහෙම තියන් සංචාරකයන් එයි කියල හිතන් ඉඳලා බැහැ. ඒවා විවෘත කරලා නිරෝධායන කි‍්‍රයාවලිය අඩු කරල මේක කරන්න වෙනවා. නිරෝධායනය වෙන්න විතරක් සංචාරකයන් එයි කියලා හිතාගෙන වගේ විශාල දින ගණනක් හිරකරල තියල මේක කරන්න බැහැ. මම කියන්නේ මේ රටේ ජනතාව පවා තවමත් කොවිඞ්වලට අවනත නැහැ. ඒ නිසයි මේ තරම් ගැටලූ වෙලා තියෙන්නේ. සියලූ දෙනාගේ සහය ඇතිව රට විවෘත කරල කර්මාන්තය කොහොම හෝ ආරම්භ කළ යුතුයි. නැත්නම් වෙන්නෙ බෙන්තොට ඉන්න හැම නිවසකින්ම මේ ව්‍යාපාරයට එක් අයකු හරි සම්බන්ධව සිටින තත්ත්වයක අපේ මිනිස්සුන් තව තව අසරණ වෙන එක විතරයි.’

 සංචාරක හෝටල් හිමිකරුවකු වන පි‍්‍රයන්ත වීරසිංහ මහතා මෙසේ කීය. ‘වසර 18 ක් මම මේ ව්‍යාපාරය කරනවා. වසරකට දෙවතාවක් ලංකාවට එන සංචාරකයන් පවා ඉන්නවා. මගේ හෝටලයේ කාමර පහසුකම් අරගෙන 43 න් වතාවක් ලංකාවට ආපු, ඒකෙන් 42 වතාවක්ම මගේ ළ`ග නවාතැන් ලබාගත් ඔස්ටි‍්‍රයා ජාතික කාන්තාවක් ඉන්නවා. 35 වතාවක් ලංකාවට ආපු ඇවිත් ඒ 35 වතාවේම මගේ කාමර අංක 08 හි පමණක් නවතින්න බලන් එන ජර්මන් ජාතිකයකු ඉන්නවා. ඒ අය බලන් ඉන්නව රට අරිනකම් මෙහෙ එන්න. දැන් කාලය හරි රට අරින්න. අනික මගේ ළඟ සේවකයන් 08 ක් ස්ථිරව වැඩකරනවා. ඒ අය වසර 15 ක් විතර ඉන්න අය. මම අදටත් පඩි ගෙවල ඒ අයව නඩත්තු කරනවා. නමුත් ආදායමක් නැහැ.

 බෙන්තොට ඓතිහාසික ගලපාත රාජමහා විහාරාධිපති හා ගලතුරුමුල්ල මූලායතනාධිපති දර්ශනපති පණ්ඩිත සීගිරියේ අනෝම නාහිමියන් –

 බෙන්තොට අද ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව මෙසේ පැවැසූහ. ‘සංචාරක ව්‍යාපාරය තුළින් තමයි බෙන්තොට හිස ඔසවල තියෙන්නේ. 1960 විතර ඉඳලා බෙන්තොට තිබුණු තත්ත්වය මට හොඳට මතකයි. ගෙවල් අඩුයි ඒ කාලේ. පොල්අතු ගෙවල් තිබුණේ හැම තැනම. කලාතුරකින් තමයි උළු සෙවිලි ගෙයක් දැක්කේ. ගලපාත විහාරස්ථානයේ වැඩහිඳිනා අනුබුදු මහා කාශ්‍යප දන්ත ධාතූන් වහන්සේලා දෙවැනි පරාක‍්‍රමබාහු රජ සමයේදී 1565 දී පෘතුගී‍්‍රසීන් විසින් කොල්ලකෑව. ඒ සමගම බෙන්තොට අරාජික වුණා. පසුව අපවත්වී වදාළ ගාලූකෝරළයේ ප‍්‍රධාන සංඝනායක ගලපාත රාජමහා විහාරාධිපති හා මූලායතනාධිපතිව වැඩ විසූ ඇලකාකේ පඤ්ඤාවාසාභිදාන නාහිමියන් 1976 දළදා පෙරහැර නැවත ආරම්භ කළා. මේක බලන්න සංචාරකයන් පවා ආවා. 1977 සිට මෙම පෙරහැරට රාජ්‍ය අනුග‍්‍රහය ප‍්‍රථම වරට හිමිවුණා. හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධ මහතා පවා පැමිණ ඒ පෙරහැර අති උත්කර්ෂවත්ව පැවැත්වීමට සහයෝගය ලබාදුන්නා. අද මේ වසංගතය නිසා රට වහලා. සංචාරකයෝ නැහැ. අපේ සතරපේරුවේ දායකයෝ අසරණ වෙලා. වාහන විකුණනවා. වාහල ලීසිං ආයතන ඇවිත් උස්සන් යනවා. අපිට එදා ලැබුණු දන් වේලයි අද ලැබෙන දන් වේලයි දැක්කම තේරෙනවා මිනිස්සු පත්වෙලා තියෙන අසරණකම. සුඛෝපභෝගී ජීවිත ගෙවපු අය පවා එළවළු විකුණනවා. අපේ විහාරස්ථානයට කිසිම ආදායම් මාර්ගයක් නැහැ. අපි ලයිට් වතුර ටෙලිෆෝන් බිල් ගෙව්වේ විහාරය නරඹල සතුටුවෙලා ආධාර කරල යන සංචාරකයන් නිසයි. අද පන්සලත් වැටිලා. කිසිම සංවර්ධනයක් කරගන්න බැරිව අපි ලතවෙනවා. මම කියන්නේ ඉක්මනින් මේ ව්‍යාපාරය ආරම්භ කරල අපේ දායකයන්ගේ ජීවිත ගොඩගන්න කියන එකයි.’

 බෙන්තොට එක්සත් ති‍්‍රරෝද රථ සංගමය වෙනුවෙන් ධම්මික අල්විස් මහතා

 ‘මම අවුරුදු 20 ක් වෙනව මේ ව්‍යාපාරයට අතගහල. අපි කරන්නෙ ති‍්‍රවිල් එක තියන් ඉඳල සංචාරකයෙක් අල්ලගෙන රට වටේ පෙන්වල කීයක් හරි හොයන එක. දැන් කිසිම ආදායමක් නැහැ. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් දුන්නු රු. 5000 දීමනාව දෙවතාවක් ලැබුණා. පසුව දුන්නු රු. 2000 දීමනාවවත් ලැබුණේ නැහැ. අපේ සංගමයේ ති‍්‍රවිල් 58 ක් තියෙනවා. බෙන්තොට කලාපය තුළ 200 ඉක්මවල රථ තියනව මේ ව්‍යාපාරය කරගෙන යන. අද අපිට කිසිම ආධාරයක් නැහැ. ලීසිං හිරවෙලා. වාහන විකුණනවා වාහන උස්සන් යනව ලීසිං ආයතන ඇවිත්. කිසිම පිහිටක් නැහැ. අපට ආධාර අවශ්‍යයි. ඉක්මනින් මේ ව්‍යාපාරය පටන්ගන්න වෙනවා. නැත්තම් අපේ දරු පවුල්වලට අපි මොනවද කන්න දෙන්නේ.’

 සංචාරක නිකේතනය වසර 53 කට කලින් බෙන්තොට පිහිටුවා තිබුණද බෙන්තොටින් සංචාරක ක්‍ෂේත‍්‍රයේ ඉහළ රැුකියාවලට යොමුවුණු පිරිසක් නැත. අදටත් සිටිනුයේ රූම් බෝයි, බීච් බෝයි හා සංචාරක මගපෙන්වන රියැදුරු වැනි තනතුරුවල නිරත වූවන් පමණි. එවන් තත්ත්වයක පසුවන බෙන්තොට සංචාරක කර්මාන්තය, මෙලෙස බිංදුවට වැටී තිබීම නිසා මෙම පිරිස අන්ත අසරණව සිටිති. ඔවුන්ගේ පවුල්වලින් නැෙගනා මේ සෝ සුසුම් අදාළ බලධාරීන්ගේ දෙසවන්වලට නතු වේවායි යන්න ඔවුන්ගේ පැතුමයි. ඉක්මනින් නැවතත් බෙන්තොටට යූරෝ, ඩොලර් ගලා එන දිනය වනු තුරු ඔවුන් මග බලා සිටිති.

 බෙන්තොට- දර්ශන කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment