කොවිඩ් පාලනය කර ආර්ථිකය ගොඩනගන හැටි…

293

රටේ ලොකුම ආර්ථික අර්බුදය ලෙස සලකන්නේ විදේශ ණයයි. ණය ගෙවීම පිළිබඳව සාමාන්‍ය කාලයක දී මෙන් කටයුතු කළ නොහැකිය. මෙම ණය බරට හේතුව පසුගිය දශක දෙක තුළදී කිසිදු සැලැස්මකින් තොරව පැවති රජයයන් විසින් සිදු කළ නාස්තිකාර ආයෝජනයන්ය. එම ආයෝජනයන් සැබෑ ආයෝජනයන් බවට පත් වූවා නම් මේ වනවිට ඉන් ප‍්‍රතිලාභ ලැබී ආර්ථිකය ශක්තිමත් විය යුතුය. ණය ගෙවීමට හැකිවිය යුතුය. නමුත් සිදුවී ඇත්තේ ඊට ප‍්‍රතිවිරුද්ධ දේය.

මේ වන විට කොරෝනා වසංගත අර්බුදය නහයටත් උඩින් ගොස් ඇත. ආසාදිතයින්ගේ ප‍්‍රමාණය හාර ලක්ෂය ඉක්මවා ඇති අතර, මියගිය අයගේ සංඛ්‍යාව 7800 ඉක්මවා තිබේ. මේ වන විටත් එම අගය 8000 ද ඉක්මවා තිබෙන්නට පුළුවන. රෝහල් පද්ධතියට දරා ගත නොහැකි තරමටම රෝගීන්ගේ ප‍්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල වෙහෙසට පත්වී ඇත.

එසේ හෙයින් එක පැත්තකින් මෙසේ වසංගතය ඔඩු දුවමින් පවතින අතර, තවත් පැත්තකින් ආර්ථිකය නාය යමින් පවතී. බිඳවැටී ඇති ආර්ථිකය ගොඩගන්නට රජය දත කමින් සිටින අතර, තව තවත් විදේශ ආධාර, විදේශ ණය උගුලේ පැටලෙමින් රට අරාජික තැනකට ගමන් කරනු පෙනේ. මෙම අවස්ථාවේ බුද්ධිය මෙහෙයවා පාලකයින් කටයුතු කළ යුතුව ඇත. නැතහොත් රටම මහා විපතක වැටීම නොවැළැක්විය හැකි වේ. එසේ හෙයින් පහත යෝජනා ඉදිරිපත් කරන අතර, ආර්ථිකය ද ජයගෙන කොරෝනා අර්බුදයෙන් රට ගොඩ ගන්නට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්නට නම් ඉක්මණින් කළ යුතු කාරණා කිහිපයකි. ඒ අතරින් ප‍්‍රධාන වන්නේ ආනයනය අඩු කිරීමයි හෝ සීමා කිරීමයි. ශ‍්‍රී ලංකාවේ ආනයන අඩු කිරීමේ ඉඩප‍්‍රස්ථා කිහිපයක් ඇත. ප‍්‍රමුඛතාව අනුව ඒවා මෙසේ පෙළ ගැස්විය හැකිය.

* ප‍්‍රමුඛතා අංක 1: ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය

ශ‍්‍රී ලංකාවේ මුළු ආනයන වියදමෙන් 20% ක්ම වැයවන්නේ ඉන්ධන එනම් ඛනිජ තෙල් හා ගල් අඟුරු ආනයනයටයි. ඉන් 75%ක්ම ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය සඳහාය. තවත් 6% කට වඩා වැයවන්නේ වාහන හා වාහන අමතර කොටස් ආනයනයටයි. එම නිසා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ සිදුවන මැදිහත් වීමක් මඟින් ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 3 කින් පමණ අඩු කිරීමට හැකිවේ. කොරෝනා සමයේ ලෝකය පුරාම ඛනිජ තෙල් අවශ්‍යතාවය සීඝ‍්‍රයෙන් අඩුවිය. එබැවින් සංචරණ සීමා මඟින් හා මෝටර් රථ ආනයන සීමා මඟින් ආනයන අවශ්‍යතාවය ද සැලකිය යුතු ලෙස අඩුවේ. දිගු කාලීනව ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ඇති මූලික ගැටලූවට විසඳුම පොදු මගී ප‍්‍රවාහන සේවයේ ඇති තරඟය නැවැත්වීමයි. පොදු මගී බස් රථ අතර ඇති තරඟය නැති කිරීම සඳහා පෙරගෙවුම් කාඞ්පතක් සමඟ බස් රථවලට දිනයේ ගමන් කළ වාර ගණනට අනුව බස් හිමියන් ආදායම බෙදන සංනිවේදන තාක්ෂණ විසඳුමක් ලබා දිය හැකිය. දැනටමත් එහි නියමු පරීක්ෂණය කර අවසන් බැවින් එම වැඩසටහන වසරක් ඇතුළත සම්පූර්ණ කළ හැකිය. ඊට වැය වන ප‍්‍රාග්ධන වියදම රු. බිලියන 5ක් පමණ වේ

* ප‍්‍රමුඛතා අංක 2: ගොවිතැන

ආනයනයෙන් 15%ක් පමණ වැයවෙන්නේ ආහාර හා ගොවිතැන සඳහාය. රසායනික ගොවිතැන නිසා ඵලදාව අඩුවී ඇතිවා පමණක් නොව ගොවිතැන අවශ්‍ය යෙදවුම් සඳහා විශාල විදේශ විනිමයක් ද වැයවේ. එබැවින් රසායනික ගොවිතැන, ජෛව විද්‍යාත්මක ගොවිතැන බවට පරිවර්තනය කිරීම මඟින් ආනයන වියදම් තවත් 8% කින් පමණ අඩු කළ හැකිය. එසේ වුවද කිසිදු උපායමාර්ගික සැලැස්මකින් තොරව රසායනික පොහොර තහනම් කිරීමෙන් රට කබලෙන් ලිපට වැටී ඇත.

* ප‍්‍රමුඛතා අංක 3: විදුලිබලය

ආනයනය කරන ලද ඛනිජ තෙල් හා ගල් අඟුරු ප‍්‍රධාන වශයෙන් වැය වන ක්ෂේත‍්‍රයක් වන්නේ විදුලිබලයයි. එබැවින් දේශීය පුනර්ජනනීය බලශක්තියට ප‍්‍රමුඛතාව ලබා ගැනීම සඳහා විදුලි රැුහැන් පද්ධතිය පුනර්ජනනීය බලශක්තියට හිතැති රැහැන් පද්ධතියක් බවට පත් කළ යුතුය. ඒ සඳහා සෞභාග්‍යයේ දැක්මට අනුව 2030 දී 80% පුනර්ජනනීය බලශක්ති ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ස්මාට් රැහැන් පද්ධතියක් ඇති කිරීමටත් දිගුකාලීන සැලසුම්වල ඇති ජල පොම්ප ජලවිදුලි බලාගාර කඩිනමින් ස්ථාපිත කිරීමත් අවශ්‍ය වේ.

* ණය උගුලෙන් ගැලවීම

රටේ ලොකුම ආර්ථික අර්බුදය ලෙස සලකන්නේ විදේශ ණයයි. ණය ගෙවීම පිළිබඳව සාමාන්‍ය කාලයක දී මෙන් කටයුතු කළ නොහැකිය. මෙම ණය බරට හේතුව පසුගිය දශක දෙක තුළදී කිසිදු සැලැස්මකින් තොරව පැවති රජයයන් විසින් සිදු කළ නාස්තිකාර ආයෝජනයන්ය. එම ආයෝජනයන් සැබෑ ආයෝජනයන් බවට පත් වූවා නම් මේ වනවිට ඉන් ප‍්‍රතිලාභ ලැබී ආර්ථිකය ශක්තිමත් විය යුතුය. ණය ගෙවීමට හැකිවිය යුතුය. නමුත් සිදුවී ඇත්තේ ඊට ප‍්‍රතිවිරුද්ධ දේය. එම නිසා තවදුරටත් විදේශ ණය උගුලේ හිරවීමෙන් පලක් නැත. තිරසර සංවර්ධනය ඉලක්ක කරගත් රටට ඔරොත්තු දෙන උපාය මාර්ගික සංවර්ධන සැලැස්මක් මඟින් රටට ණය උගුලෙන් මිදීමට හැකිවේ.

* කුමක් කළ යුතුද?

කොවිඞ් 19 වෙරසයට එරෙහිව මුහුණ දීම ජනතාවට තනිවම කළ හැකි දෙයක් නොවේ. ඒ නිසා මේ මොහොතේ කොරෝනා වෛරසයෙන් මියයන සෑම ජීවිතයක් පිළිබඳවම රජය වගකීම දැරිය යුතුය. කොවිඞ් නිසා දැන් රට අරාජික වී හමාරය. එම නිසා රජය විසින් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පහත දැක්වෙන ක‍්‍රියාමාර්ග ගතයුතු වේ.

1. කොවිඞ් 19 වෛරසය පාලනය කිරීමේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික වගකීම දැරීම සඳහා හුදෙක් වෛද්‍යවරයකු නොව ආපදා කළමනාකරණය පිළිබඳ මනා පළපුරුද්දක් ඇති සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයකු පත් කළ යුතුය. ඒ අනුව වහාම කොවිඞ් 19 වෛරසය පාලනය පිළිබඳව මනා කුසලතාවයක් මේ වනවිටත් පෙන්වා ඇති දැනට පරිසර අමාත්‍යාංශයේ ලේකම් වන වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කිරීම.

2. එන්නත්කරණය තදබදයක් ඇති නොවන අයුරින් ජංගම සේවයක් ක‍්‍රියාත්මක කර මසක් ඇතුළත අවසන් කිරීම.

3. රජයේ හා පුද්ගලික අංශයේ සියලූම සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ කර කොවිඞ් 19 රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ හා හුදකලා කිරීමේ දීප ව්‍යාප්ත සේවාවක් ස්ථාපිත කිරීම.

4. කොවිඞ් 19 රෝගය වැලඳෙන හා මිය යන රෝගීන් පිළිබඳ සියලූ විස්තර විද්‍යාත්මක ක‍්‍රමවේදයකට අනුව ප‍්‍රකාශයට පත් කර එන්නත්කරණය විවිධ ජන කණ්ඩායම්වලට බලපාන ආකාරය අධ්‍යනය කර කොවිඞ් 19 වෛරසය ස්ථිරව පරාජයට පත් කිරීමේ නිසි ක‍්‍රමවේදයන් හඳුනාගැනීම.

5. දැන් කොරෝනා රෝගීන් විශාල වශයෙන් මියයන බැවින් රජය විසින් අනුමත කර ඇති දේශීය ආයුර්වේද කොරෝනා බෙහෙත් පිළිබඳ විද්‍යාත්මක පාලිත පරීක්ෂණයක් ආයුර්වේද රෝහල්වල සිදු කර එහි සාර්ථක අසාර්ථකභාවයන් විමසා බැලීම.

6. එන්නත්කරණය අවසන් කර රට යථා තත්ත්වයට පත්වන තෙක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි රටම මාසයක කාලයක් සඳහා පූර්ව සූදානමක් ඇතිව පූර්ණ වශයෙන් ලොක් ඩවුන් කිරීම.

7. පුද්ගලික අංශයේ ද සහය ඇතිව ගොවීන්ගෙන් හා ධීවරයින්ගෙන් අස්වනු මිල දී ගෙන නාගරික ප‍්‍රදේශවල සෑම නිවසකට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට විධිමත් යාන්ත‍්‍රණයක් සැකසීම.

8. දෛනික ආදායම් ලබන දුප්පත් පවුල්වලට මසකට සරිලන සහන මුදලක් ලබා දීම.

9. පාසල් දරුවන් සඳහා රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා 6 ක් බැගින් භාවිතා කර සෑම ශ්‍රේණියකටම දිනකට පැය 6 ක් වන පරිදි හා සියලූ විෂයයන් ආවරණය වන පරිදි ක‍්‍රමවත් ලෙස පංති පැවැත්වීම. ඊට අදාළ ක‍්‍රියාකාරකම් හා පසුවිපරම් සඳහා ඔන්ලයින් පංති පැවැත්වීමට සෑම ගුරුවරයකුට හා සිසුවෙකුටම අවශ්‍ය ඬේටා නොමිලයේ සැපයීම.

10. ලොක්ඩවුන් කාලය තුළ ආන්දෝලනයට තුඩුදෙන කොතලාවල පනත වැනි කිසිදු කාරණයක් සම්බන්ධයෙන් රජය තීරණ ගැනීමෙන් වැලකී සිටීම.

11. එළඹෙන මහ කන්නයේ දී ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය සේවා සපයන ආකාරය පිළිබඳ විධිමත් වැඩපිළිවෙළක් සකසා ක‍්‍රියාවට නැංවීම.

12. රටේ ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා අවශ්‍ය කරන, ප‍්‍රමුඛතාවයන් නිසි ලෙස හඳුනාගෙන ඊට අනුරූප වූ පුනර්ජීවන සැලැස්මක් සති දෙකක් ඇතුළත සම්පාදනය කර, මහජන ප‍්‍රතිචාර සඳහා සතියක කාලයක් ලබා දී අවසන් සැලැස්ම මසක් ඇතුළත ප‍්‍රකාශයට පත් කර ක‍්‍රියාවට නැංවීම මෙම විසඳුම්ය.

කොවිඩ් පාලනය කර ආර්ථිකය ගොඩනගන හැටි...
අශෝක අභයගුණවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment